
ජනප්‍රවාදයට අනුව සිතූ පැතූ සම්පත් ලබාදෙන කප්රුක නම් මහා වෘක්ෂයක් දිව්‍යතලයක තිබේ. අපි අද කියන්නට සැරසෙන්නේ දිව්‍ය තලවල ඇති කප්රුක පිළිබඳ කතාව නොවේ. මේ මිහිතලය තුළ මානවයන්ට කප්රුකක් වූ පොල් ගස පිළිබඳව වර්තමාන කතාවයි.
කලක මෙලක මහා ආර්ථික රුක්ෂය වූයේ පොල් ගසයි. ඒ නිසාම අද වනතුරුත් මෙරට දරුවෝ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග ලෙස තේ, රබර්, පොල් පිළිබඳව පිළිබඳව ඉගෙන ගනිමින් සිටිති. එහෙත් තත්ත්වය ඊට ඉඳුරා වෙනස්ය. අද වනවිට අපනයනය කරන්නට තබා රට තුළ පරිභෝජනය කරන්නට තරම් පොල් ඵලදාවක් මෙරට තිබේද යන්න සැබෑ ගැටලුවකි. වෙළෙඳ පොළෙහි පොල් ගෙඩියක මිල සහල් කිලෝවක මිලට සමාන වන තත්ත්වයක් ඇතිව තිබේ. තවත් පසෙකින් පොල් වගාකරුවෝද ආර්ථික ගැටලු රැසක පැටලී සිටිති.
පොල් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අර්බුදයකට යාමට හේතු වූ කරුණු රැසකි. පොල් වගාකරුවන් පොල් වගාව සඳහා දක්වන උනන්දුව හීනවීම හේතුවෙන් පොල් ඵලදාව පහත වැටීම, පොල් වගාව සඳහා බලපාන කෘමි උවදුරු, ලෙඩ රෝග, සතුන්ගෙන් වන හානි හා පොල් ඉඩම් කට්ටි වීම, පොල් ඉඩම් පාලනය කිරීමේදී පවතින පුහුණු ශ්‍රමය හිඟවීම ඒ අතරින් කිහිපයක් පමණි. කර්මාන්තයක් ලෙස ඇතිවූ ඇති එම ගැටලු එසේ වුවද පොදුවේ රට තුළ පොල් සම්බන්ධ අර්බුදයට හේතු වී ඇත්තේ පසුගිය දශක තුන හතර තුළ ගෘහාශ්‍රිත පොල් ගස් ලක්ෂ ගණනක් කපා දැමීමයි. එම නිසාම පොල් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නම් ගෘහාශ්‍රිත පොල් වගාවන් වැඩිදියුණු කළ යුතුමය. පමා වී හෝ මේ වනවිටත් බලධාරීන් එය හඳුනාගෙන තිබේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගැටලුවට විසඳුම් ලබාදීම ආරම්භ වූයේ ඒ අනුවය.
එය “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ලෙස නම් කර තිබුණි. මෙම වැඩසටහන මගින් ගෙඩි මිලියන 2800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් දිවයින පුරා පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ සිදුවනු ඇත. ඒ අනුව මෙම ජාතික වැඩසටහනේ සමාරම්භය සංකේතවත් කරමින් පසුගිය ජූලි 10 වැනිදා වැලිකැටිය වතුයායේ පොල් පැළයක් රෝපණය කිරීම ජනාධිපති අතින් සිදු කෙරිණ. පොල් පැළ මිලියනයක් සමෘද්ධිලාභීන්ටත්, මිලියන දෙකක් සහනාධාර යටතේ සහ මිලියනයක් කැමැති ඕනෑම අයෙකුට මිලදී ගෙන වගාකළ හැකි අයුරින්, ඉදිරි වසර තුළ පැළ ලක්ෂ 40ක් සිටුවීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ. දහස් ගණනින් පොල් ගස් කපා දමා ඇති පසුබිමක මෙම විසඳුම ඉතා තිරසාරය. මෙහි ප්‍රතිඵල දිනකින් දෙකකින් වසරකින් හමාරකින් ලබාගත නොහැකි බව සැබෑවකි. එහෙත් ඉදිරි දශකය තුළ පොල් ගෙඩිය සුඛෝපභෝගී පාරිභෝගික භාණ්ඩයක් නොවන තැනට පත් කරගත හැකි එකම ක්‍රමවේදය මෙයයි.
වර්තමානය වනවිට පොල් ගස ආශ්‍රිත නිෂ්පාදන සඳහා හෝ කර්මාන්ත සියල්ලම පාහේ බිඳවැටී තිබේ. පොල්තෙල් පවා පිටරටින් ආනයනය කරන තත්ත්වයට අප පත්ව සිටීම ඊට කදිම උදාහරණයකි. පසුගිය කාලයේ පොල්තෙල්වල විස අඩංගු වීම හේතුවෙන් ඇති වූ අර්බුදය අපට මතකය. පොල් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වූවා නම් කිසිදිනක ඒවා නම් ගැටලු අපට අසන්නට වන්නේ නැත. ලෝක වෙළෙඳ පොළේ තවමත් අප විසින් සිදුකරන පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ට ඉහළ වටිනාකමක් තිබේ. එහෙත් අපනයනය සඳහා නිෂ්පාදන සකස් කිරීමද මේ වනවිට අභියෝගයක් වී ඇත. ඊට හේතුව නම් දේශීය වෙළෙඳපොළේ පවතින පොල් හිඟයයි. දේශීය පාරිභෝජන අවශ්‍යතාවය සපුරාගත නොහැකි පසුබිමක අපට අපනයනය හරහා ආදායම් උපදවා ගැනීමට තිබෙන අවස්ථාවන් නොමැත. මේ වනවිට කර්මාන්තකරුවන් රැසක් පොල් ආශ්‍රිත කර්මාන්ත අතහැර දමා ඇති බවද වාර්තාව වන්නේ ඒ අනුවය. එම නිසාවෙන්ම ජනපති සංකල්පයක් පරිදි ක්‍රියාත්මක කරන මෙම නව වැඩසටහන අතිශය කාලෝචිතය.
“දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයයි. ඔවුනට අනුව දිගු කලක සිට රට තුළ පවතින පොල් හිඟයට 2025 සිට ස්ථිර විසඳුමක් ලබාදීමට මෙම ව්‍යාපෘතිය හැකිවෙනු ඇත. විෂයභාර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන පරිදි කාබනික වපසරියක් තුළ මෙම පරිවර්තනය සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. එසේම ඔහු පෙන්වා දෙන්නේ දේශීය පරිභෝජනයට සේම පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනයටද මෙම වැඩසටහනෙන් සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇති බවයි. ඒ අනුව ප්‍රාදේශීය මට්ටමින් සෑම දිස්ත්‍රික්කයකම සූදානම් කරන රාජ්‍ය අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ මෙහෙයවීමෙන් පොල් පැළ සිටුවීමේ වැඩසටහන් රුසක් මේ වනවිට ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව පොල් පැළ සිටුවීමට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අක්කර 10ක තැඹිලි බීජ උයනක් ආරම්භ කිරීමද මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදුවේ. එසේම වර්තමානයේ කුඹුරු වශයෙන් අස්වැද්දිය නොහැකි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් පුරන් කුඹුරුවල ඇලි වැටි ක්‍රමයට පොල්වගා කිරීම ආරම්භ කර තිබේ. තවද වැඩි ඵලදාවකින් යුත් දෙමුහුන් පොල් පැළ (HYBRID) 89,279ක් මෙම වසර තුළ නිෂ්පාදනය කෙරෙන අතර මේ වනවිටත් ඉන් සැලකිය යුතු මට්ටමේ ඉලක්ක සපුරා ගැනීමට හැකිවී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
සැබැවින්ම මෙය අගය කළයුතු කටයුත්තකි. එහෙත් අකමැත්තෙන් වුවත් සඳහන් කළ කළයුතු වන්නේ අද මෙවන් වැඩපිළිවෙළක් ආරම්භ වුවද පසුගිය දශක දෙක තුන තුළ පොල් වගාවේ පරිහානියට දේශපාලනඥයන් මෙන්ම බලධාරීන්ද වගකිව යුතු බවයි. මෙරට පොල් වගාව සංවර්ධනය කිරීම සඳහා ආයතන රාශියක් පවතී. සැලකිය යුතු නිලධාරීන් සංඛ්‍යාවක් මෙන්ම සැලකිය යුතු තරම් සම්පත්ද ඔවුන් සතුව ඇත. එහෙත් පසුගිය දශක කිහිපය පොල් වගාව දැවැන්ත අර්බුද රැසකට මුහුණ දුන්නත් බලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද පොල් වගාකරුවන් මෙන්ම එය ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් රුක ගැනීමට ඉදිරිපත් වූයේ නොමැති තරම්ය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නම් ජනතාව පොල් වගාවට නැඹුරු කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන්ද දියත් කළ යුතුය. එසේම දිනෙන් දින සිදුවන පොල් ගස් කපා දැමීම නැවතීම සඳහා සාධනීය නීති සකස් කිරීමද අත්‍යවශ්‍යය. මහල් නිවාස වැනි ස්ථානවල ජීවත්වන ජනතාවට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතා සුළු කොටසක ජීවත්වෙන ජනතාවට හැරුණු විට දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවල ජනතාවට පොල් වගාවට භූගෝලීය වශයෙන් බාධාවක් නොමැත. එක් පවුල් ඒකකයක් සඳහා අවශ්‍ය කරන පොල් ප්‍රමාණය ලබාගැනීම සඳහා ක්‍රමවත්ව වැඩුණු පොල් ගස් 02ක් ප්‍රමාණවත් බව කියැවේ. එසේ නම් රටේ මහජනතාව ලෙස පක්ෂ පාට භේදයකින් තොරව දොරින් දොරට පොල් ගසක් සිටුවීමට සහාය දීමට ඔබද එක්විය යුතුවමය. ගෙවත්තේ පොල් ගසක් නොමැති නම් පොල් ගසක් සිටුවන්නට මේ මේ සුදුසුම කාලයයි.
රජය මගින් ඉදිරියේදී නොමිලයේ පොල් පැළ ලබාදීම හා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම මෙන්ම නිසි පසු විපරමක්ද සිදුකරනු ඇත. ජනපති ඊට අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ. යම් තැනක අදාළ කටයුතු නිසි පරිදි සිදු නොවේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාවද ඔබට තිබේ. රටේ පොල් ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් සොයාගැනීම අප සියලු දෙනාගේම වගකීමකි. දොරින් දොරට කප්රුක වැඩසටහන ඊට කදිම අවස්ථාවක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. පොල් ගස යනු ලක්වැසියන්ට කප්රුකයි.
චමිඳු නිසල් ද සිල්වා