
අපේ රටට හිමිවෙන්නට තිබූ ජී.එස්.පී.+ සහනය අන්තිම මොහොතේ අහිමිව ගොස් තිබේ. මේ පිළිබඳ සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ මේ දිනවල සාකච්ඡා වෙමින් පවතින අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සමාජයට පෙන්වීමට සූදානම් වන්නේ ජී.එස්.පී.+ සහනය ලබාගැනීම පිළිබඳ තමන් එතරම් උනන්දුවක් නොදක්වන බවය. එයට කරුණු ලෙස හුවා දක්වන්නේ මෙම සහනය නොලැබුණාට අපේ අපනයනවලට එතරම් හානියක් නොවන බවය. අධිරාජ්‍යවාදී යුරෝපා සංගමයේ කොන්දේසිවලට යටත් වී රටේ ස්වෛරීභාවය හා ආත්ම ගරුත්වය නැතිකර ගන්නවාට වඩා එය අහිමි කර ගැනීම යහපත් බව ඇතැමුන්ගේ අදහස වේ. සමහර අය පවසන්නේ මැති ඇමැතිවරුන් මෙවැනි කතා කියන්නේ ඔරුවේ පෙරළුණු පැත්ත හොඳයි කියනවා මෙන් බවයි. ඔවුන්ට වෙනත් විකල්පයක් නැති නිසා මේ තත්ත්වය නොසලකා හරිමින් කටයුතු කරන බව රටට පෙන්වීමට කටයුතු කරන බවටද විවේචන එල්ල වෙමින් තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජී.එස්.පී.+ සහනය එපාය කියනවාට වඩා ඔවුන්ගේ කොන්දේසිවලට එකඟ වී එය ලබාගැනීමෙන් රටට යහපතක් මිස අයහපතක් සිදු නොවන බවය.
ජී.එස්.පී.+ සහනය ලැබෙන්නේ ලොව දුප්පත්ම රටවලට වන අතර එම රටවල ආර්ථිකය ඉහළ නැංවීමට මෙම බදු සහනය ලබාදීමට යුරෝපා සංගමය කටයුතු කරන්නේ සද් පරමාර්ථයෙන් බවද කියන්නෝ සිටිති.
කෙසේ වුවද යුරෝපා සංගමය මෙම සහනය ලබාගැනීමට පනවන කොන්දේසි එම රටවලට යහපත් ඒවා වන අතර ඒවාට එකඟ වූවා යැයි යහපතක් මිස අසාධාරණයක් සිදු නොවන බව මැදහත් ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. එහි ප්‍රධාන කොන්දේසියක් වනුයේ එම රටවල් යහපාලනය හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුය යන්නය. සෑම රටක්ම එම කොන්දේසි අනුගමනය කළද ඒවායින් යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැත.
ශ්‍රී ලංකාව පසුගිය සමයේ කටයුතු කළ ආකාරය අනුව එහි මානව අයිතිවාසිකම් සුරක්ෂිත කෙරේද යන්න ගැටලු සහගතව පැවතුණු බව රහසක් නොවේ. ජාත්‍යන්තර ප්රඥප්තිවලින් බැහැරට ගොස් පුද්ගලයන් අතුරුදන් කිරීම, සමහරුන්ට වෙනස් ලෙස සැලකීම, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ආදිය පිළිබඳ පසුගිය සමයේ අපේ රටට විවිධ චෝදනා නැගිණි. මානව හිමිකම් කොමිෂන් වාර්තාවලින්ද මේ මතය සනාථ විය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධානවලින් ශ්‍රී ලංකාවට සහන සැලසීමේදීද මෙම තත්ත්වය බාධකයක් විය. ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල වූයේ අද ඊයේ නොවේ. මෙම ආණ්ඩු සමයේ පමණක් නොව පසුගිය විවිධ ආණ්ඩු කාලවලදීද මෙම චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් කිහිප වරක් ජී.එස්.පී.+ සහනය නැවැත්වූ බව අපිට මතකය. පසුව ඒ රජයවල් එම තත්ත්වයට යහපත් ප්‍රතිචාර දැක්වීම නිසා යළි සහනය ප්රදානය කෙරුණි.
එහෙත් අද සිදුව ඇති තත්ත්වය වනුයේ වර්තමාන රජය මෙම කොන්දේසි ඉටු කිරීමට උනන්දුවක් නොදැක්වීමය. ඔවුන්ට අවස්ථා කිහිපයක් ලබා දුන්නද ඒවා ඉටුකර නොමැති නිසා සහනය ලබා දී නැත. දැන් වුවද ප්‍රමාද වැඩි නොමැති අතර බොහෝ දෙනා කියන්නේ තවමත් වැරදි නිවැරදි කර ගැනීමට කාලය ඇති බවය. එහෙත් ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙළ නිසා යළි එය නොලැබීමේ අවදානමක් උද්ගතව ඇතැයි පැවසේ. එය රජයට වඩා රටට වන හානියකි.
මේ පිළිබඳ අදහස් දක්වන ඇඟලුම් සහ රෙදිපිළි සේවක සංගමයේ සංවිධායිකා ලලිතා රංජනී දෙද්දුවකුමාර පවසන්නේ රජය මෙම අවස්ථාවේ වඩාත් නම්‍යශීලීව කටයුතු කළ යුතු බවය. ලැබුණු අවස්ථාව නැතිකර ගැනීමට වඩා එයින් ප්‍රයෝජන ලැබීමට කටයුතු කිරීමේ වැදගත්කම ඇය පෙන්වා දෙන්නීය.
මෙම බදු සහනය නැතුව කටයුතු කළ හැකි යැයි රජය කියනවා නම් එය සාධාරණ කතාවක් නොවෙයි. අද කොවිඩ්-19 අර්බුදය නිසා රට භයානක ආර්ථික අර්බුදයකට තල්ලු වෙමින් සිටියදී එයින් මිදීම සඳහා අපේ අපනයන වර්ධනය කළ යුතුයි. මෙය සහන අවශ්‍යම මොහොතක්. එසේ තිබියදී තිබෙන සහන නැති කරගත යුතු නොවෙයි. විශේෂයෙන් අපේ රටේ තරුණ කොටස් තමා ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ නිරතව ඉන්නේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය එයයි. එය කඩා වැටුණොත් එම සේවක සේවිකාවන්ට මෙන්ම රටටද විශාල හානියක් සිදුවෙනවා.
ඇඟලුම් ක්ෂේත්රයේ වැටුප රුපියල් 10,000 සිට 12,000 දක්වා ඉහළ නැංවීමේ ප්රයත්නයක මේ දිනවල නිරත වෙනවා. මෙම කර්මාන්තයේ ආදායම වැඩි කිරීම ඒ සඳහා අවශ්‍ය වෙනවා. මේ වන විට රටේ ඩොලරය පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. අපේ අපනයන ආදායම වැඩිකර ගැනීම පිළිබඳ වඩාත් උනන්දු විය යුතු කාලයක් මේ. ඇතැම් කම්හල් ගමෙන් නගරයට අවතීර්ණ වෙමින් පවතිනවා. එහිදී සේවකයන්ගේ ජීවන වියදම ඉහළ යනවා. අද වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමද වැඩ කරන ජනතාවට විශාල ජීවත්වීමේ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. රජය මේ අවස්ථාවේ කැත්තට පොල්ල වගේ නොසිට නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතුයි යන්න අපේ අදහසයි. අද අප සිටින්නේ ජාතික අර්බුදයක් හමුවේ බව අමතක නොකළ යුතුයි.
ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ අද රට විදේශ විනිමය අර්බුදයකට ලක්ව සිටියදී ජී.එස්.පී.+ සහනය නොලැබීම අපට විශාල හානියක් බවය. වෙන කවරදාවකටත් වඩා අද අපට මෙම සහනය අහිමිවීම අවාසි සහගත නිසා දැන් හෝ ඔවුන්ගේ කොන්දේසිවලට එකඟ වී කටයුතු කළ යුතු බව ඔහු කියයි. අද සිදුව ඇති තත්ත්වය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැන්නක් බවද හෙතෙම පෙන්වා දෙයි.
&ජී.එස්.පී.+ සහනය සඳහා වන කොන්දේසි වර්ග දෙකක් තියෙනවා. ඒවා නම් ආර්ථික හා දේශපාලන කොන්දේසියි. මෙම සහනය සලසනු ලබන්නේ ලොව දුප්පත් රටවලටයි. බාහිර කරදරවලින් පීඩාවට පත්විය හැකි, සංවර්ධනය වෙමින් පවතින සහ යුරෝපා හවුලේ රටවල්වලට ඉතාම කුඩා අපනයන ප්‍රමාණයක් කරන රාජ්‍යයන් තමා මෙයට සුදුසුකම් ලබන්නේ. එම කොන්දේසිවලින් ශ්‍රී ලංකාවද ආවරණය වෙනවා.
මෙම සහනය ඉල්ලන රටවල් ජාත්‍යන්තර සම්මුතින් 27කට එකඟ විය යුතුය යන කොන්දේසියක් තිබෙනවා. මානව අයිතිවාසිකම් සහ යහපාලනය ඇතිකිරීම මෙම සම්මුතියට අදාළ ප්‍රධාන කොන්දේසි වෙනවා. අරමුදල මෙම කොන්දේසි ඉටුකිරීම පිළිබඳ විශේෂයෙන් සලකා බලනවා. දකුණු ආසියාවෙන්ම මෙම සහනය ලබාගැනීමට සුදුසුකම් ලබා තිබෙන්නේ අපේ රට සහ පකිස්තානයයි. පකිස්තානය අදටත් මෙම පහසුකම ලබනවා. එහෙත් මෙම කොන්දේසිවලට එකඟ වූ බව සනාථ කළ නොහැකිවීම නිසා ලංකාවට අදටත් මෙය අහිමි වී තිබෙනවා.
2005 වසරේ සිට 2020 දක්වා අපට මෙම සහනය ලැබුණා. එහෙත් මෙහිදී අප සාකච්ඡා කළ යුත්තේ එදා සිට අද දක්වා පුරා අවුරුදු පහළොවකට (15) අධික කාලයක් දුප්පත්ව සිටියේ ඇයිද යන්නයි. එයට හේතු වූ කරුණු සොයා බලා දුප්පත්කම නැතිකර ගැනීමට කටයුතු කළා නම් එය මෙම සහනය ලබාගැනීමට වඩා වැදගත් යැයි අපට සිතෙනවා. අද අපේ රට පවතින්නේ විදේශ විනිමය හිඟකම නිසා ආර්ථික වශයෙන් ඉතාම අමාරු තත්ත්වයකයි. මෙවැනි සහනයක් ලැබුණා නම් අපේ අපනයනවලින් ලොකු ආදායමක් ලබාගත හැකි වෙනවා. එහෙත් එය නොසලකා හැරීම බරපතළ කාරණයක් බවයි පෙනී යන්නේ. මෙම සහනය තිබුණා නම් අපට තීරු බදු නොමැතිව යුරෝපා හවුලේ රටවල්වලට අපනයනය කළ හැකි වෙනවා. එය විශාල සහනයක්. අපට බදු වැටුණොත් සෙසු රටවල් සමඟ මිල තරගයකට යොමුවෙන්න සිදුවෙනවා. එවිට යුරෝපා වෙළෙඳපොළේදී අපට අවාසියක් සිදුවිය හැකියි. එම තත්ත්වය නැතිකර ගන්න බැරි වුණොත් අපේ අපනයන ආදායම අඩු වේවි.
ඇඟලුම් ඇතුළු භාණ්ඩ 7500ක් මෙම වෙළෙඳපොළේදී ජී.එස්.පී. සහනය ලබාගැනීමට සුදුසුකම් ලබනවා. යුරෝපා වෙළෙඳපොළට ඉදිරිපත් වන භාණ්ඩවලට දැඩි තරගකාරීත්වයක් පවතිනවා. ප්‍රමිතිය මෙන්ම මිලද බලපානවා. මිල වැඩි නම් ප්‍රමිතිය නිසාම අලෙවි කර ගන්න බැරි වෙනවා. අපේ ඇඟලුම්වල ප්‍රමිතිය හොඳ වුවද මිල සමඟ තරග කළ නොහැකි වුවහොත් යහපත් ප්‍රතිඵල ලබාගන්න බැහැ. අලෙවිය අඩු වෙනවා.
යුරෝපා සංගමය අපට එකවරම මෙම සහනය කප්පාදු කළේ නැති බව පැවසිය යුතුයි. මේ පිළිබඳ ස්වකීය මතය දැනුම් දීලා ප්‍රතිචාර අපේක්ෂා කළා. පිළිතුරු දෙන්න කියලා පැවසුවා. මෙම කොන්දේසි වන්නේ යහපාලනය ගොඩනගා මානව අයිතිවාසිකම් සංවර්ධනය කළ යුතුය යන්නයි. ශ්‍රී ලංකාව එයට පිළිතුරු බැන්දේ නැහැ. තවත් අවස්ථාවක් දුන්නා. ඒත් එයට ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. ඒ නිසා මේ වන විට ජී.එස්.පී.+ සහනය අපට අහිමිව ගොස් තිබෙනවා.
2019 වසරේදී අපේ රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා. එයින් අදහස් කළේ රට යම් ආර්ථික දියුණුවක පවතින බවයි. ඒ පිළිබඳ අපේ ඇතැම් දේශපාලනඥයන් උද්දාමයට පත්ව කතා කළා. එහෙත් 2020 වන විට එම තත්ත්වය නැතිවී ගොස් යළි පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා. වසරක් පමණ කාලයයි එම තත්ත්වය තිබුණේ. එහෙත් 2020 දී යළිත් මුල් තත්ත්වයට ආවා. ඉහළ මැදි ආදායම් ලබන රටක්ව තිබුණා නම් ජී.එස්.පී.+ පිළිබඳ අපේ රට සලකා බලන්නේ නැහැ. එහෙත් එය යළි පහළ ගිය නිසා ජී.එස්.පී. වලට සලකා බැලීමට නැවත අප සුදුසුකම් ලැබුවා. එහෙත් අප එයින් නිසි ප්‍රතිඵල ලබාගන්නේ නැහැ. එය අවාසනාවක්.
අද පවතින ආර්ථික තත්ත්වය අනුව අපට මෙවැනි සහන අවශ්‍යම මොහොතක්. තවද අපේ රට කොවිඩ්-19 වසංගතයෙන්ද බැට කන රටක්. ඒ නිසා මේ අවස්ථාවේදී ජී.එස්.පී.+ සහනය අපට තිබුණා නම් ඉතාම වැදගත් කියලයි මට හිතෙන්නේ. සහනය අවශ්‍යම කාලයක එය නොලැබී ගොස් තිබෙනවා. ඒ පිළිබඳ වගකිවයුත්තන් අවබෝධයෙන් කට්යුතු කළ යුතුයි.
යසවර්ධන රුද්රිගූ