
- ප්‍රවීණ පරිවර්තක කුමාර සිරිවර්ධන
කුමාර සිරවෙර්ධන පුවත්පත් කලාවේදියෙක්, ප්‍රවීණ පරිවර්තකයෙක් සහ නවකතා රචකයෙක් ලෙසද නමක් දිනාගත් සාහිත්‍යවේදියෙකි. ඔහුගේ පරිවර්තන සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙන්ම ගොඩගේ සාහිත්‍ය සම්මානයද හිමිව තිබේ. පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වූ ඔහුගේ පරිවර්තන වන යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් සහ ආදම්ගේ පාරාදීසය යන කෘති පසුගියදා ගම්පහ මුදුන්ගොඩ කෙහෙලි ප්‍රකාශන ලෙස නිකුත් විය. මේ ඒ පිළිබඳව කුමාර සමඟ කළ කතාබහකි.
ඔබේ අලුත්ම සාහිත්‍ය කටයුතු ගැන අපට විස්තර කරන්න...
ලොවපුරා වැම්පයර් ත්‍රිත්වය යනුවෙන් ප්‍රකට වූ අමෙරිකානු ලේඛක ජස්ටින් ක්‍රොනින්ගේ “ද පැසේජ්” “ද ට්වෙල්ව්” හා “ද සිටි ඔෆ් මිරර්ස්” කෘති අතර පළමුවැන්න “ද පැසේජ්” හි සිංහල පරිවර්තනය “වැම්පයර් වයිරස් “ යන නමින් ළඟදීම නිකුත් වේවි. ශිව ත්‍රිත්වය ලියා ජනප්‍රියත්වය ලැබූ අමිෂ් ත්‍රිපතිගේ රාම, සීතා සහ රාවණ නවකතා ත්‍රිත්වයේත් පරිවර්තන කටයුතු නිම කළා. ඒවාද ළඟදීම පාඨකයන් අතරට පැමිණේවි. කොරෝනා වසංගත තත්ත්වය බොහෝ කටයුතු කෙරේ බලපෑවා. මෑතකදී මගේ පරිවර්තන කෘති දෙකක නැවත මුද්‍රණයන් නිකුත්වූවා. ජේ.හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලියූ “ට්‍රුවල්ස් ඔන් ෆුට් තෲ දි අයිලන්ඩ් ඔෆ් සිලෝන්” - යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් සහ කැරොලයින් කෝනර්ගේ “සිලෝන් - ද පැරඩයිස් ඔෆ් ආදම් “සිලෝන් - ආදම්ගේ පාරාදීසය යන නම්වලින්. එම කෘතීන් හොඳ පාඨක අවධානයක් ලබාගත්තා.
ලංකාව ගැන ලියැවුණු මෙවැනි පැරණි කෘති තවමත් පාඨකයන් ප්‍රිය කිරීමේ හේතුව ඔබ දකින්නේ කෙසේද?
අප රටේ ඓතිහාසික තොරතුරු දැනගැනීමේ උනන්දුව සහ කුතුහලය ඔවුන්ගේ සිත්හි ඇති නිසා කියායි. මෙරට ඉපිද මෙරට ආණ්ඩුකාර පදවියට පත් ලන්දේසි ජාතිකයකු ගැන ඔබ අසා තිබෙනවාද? 1765 – 1785 අතර කාලයේ ආණ්ඩුකාර තනතුර දැරෑ විලියම් පැල්ක් මෙරට උපන් අයෙක්. “යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්” පරිවර්තන කෘතියට පදනම් වූ මුල් කෘතිය ලියූ ලන්දේසි ජාතික හාෆ්නර් මෙරටට පැමිණෙන්නේ එම වකවානුවේ. යාපනයේ සිට කොළඹට පා ගමනින් එද්දී ඔහු පසු කළ ප්‍රදේශ, ගංගා, වනාන්තර, ගම්මාන හා වැසියන් ගැන විස්තර එහි ඇතුළත්. එකල කන්ද උඩරට පාලනය කළ සිංහල රජු අධිරාජයකු තරම් බලවත් බව හාෆ්නර් පවසනවා.
යටත් විජිත පාලන සමයේ ලාංකේය ජන ජීවිතය සහ සමාජය ගැන කරොලයින් කෝනර් ගේ “සිලෝන් - ආදම්ගේ පාරාදීසය” කෘතියෙන් විස්තර කෙරෙනවා. එහි ඇය සිංහල මිනිසුන්ගේ දුර්වලතා දැඩිව විවේචනය කරනවා. ඇත්තම කීවොත් අදත් අපේ මිනිසුන් අතර එම දුර්වලතා දකින්න පුළුවනි.
අපට පේන විදිහට ඔබේ පරිවර්තන ක්ෂේත්‍රය පුළුල් වපසරියක විහිදී යනවා. නවකතා පමණක් නොවෙයි ඉතිහාස කතා, රහස් පරීක්ෂක කතා, යොවුන් කතා, ලංකාව ගැන පැරණි කෘති වගේ... මේ සෑම ක්ෂේත්‍රයක්ම ඔබ අධ්‍යයනය කරනවාද පරිවර්තනය කිරීමට පෙර?
ජනමාධ්‍යවේදීන් වශයෙන් අපට එක් ක්ෂේත්‍රයකට කොටු වී සිටින්නට බැහැ නේද? උසස් අධ්‍යාපනය ලබද්දී ඉතිහාසය මගේ ප්‍රියතම විෂයය වූවා. මේ සමකාලීනව පවා මම පුළුල්ව බෞද්ධ මනෝ විද්‍යාව විෂයය හදාරනවා. සාමාන්‍යයෙන් පොතක් පරිවර්තනය කිරීමට පෙර එහි පසුබිම ගැන උනන්දුවීම, අවශ්‍ය අධ්‍යයනයන් කිරීම මගේ පුරුද්දක්. එය පරිවර්තන කටයුත්ත පහසු කරවනවා. අපගේ පෞද්ගලික දැනුම ගබඩාවද පුරවනවා.
අද බොහෝ විට වැඩි ජනප්‍රියතාවක් හිමිකරගෙන ඇත්තේ විශිෂ්ට පරිවර්තන කෘතිවලට වඩා ත්‍රාසය පිරුණු සරල කතාවලට බව පේනවා. ඒ ගැන ඔබට නිරීක්ෂණය වුණාද?
ඔව්. නමුත් එහි වරදක් මා දකින්නේ නැහැ. අප පොත පතට නැඹුරු වන කාලයේත් ත්‍රාසය සහිත සරල කතා තිබුණා. ලෝක සාහිත්‍යය විවිධ ශානරවලින් යුත් පොතපතින් ගහණයි. එනිසාම අප ඒ පොතපතද කියවූවා. මට මෙහිදී සිහි වන්නේ ලෙබනන - අමෙරිකානු කවියකු වූ ඛලීල් ජිබ්රාන්ගේ කතා පිංචක් දවසක් අතරමගදී කවියන් දෙදෙනකු මුණගැහෙනවා. “මම මහා කාව්‍යයක් ලියුවා” එක් කවියෙක් පවසනවා. මම ලියුවේ පුංචි කවියක්. පුංචි ළමයින්ට” අනෙක් කවියා කියනවා. ඊළඟට ජිබ්රාන් මෙහෙම කියනවා. ‘එම මහා කාව්‍යය මකුළු දැල් බැඳුණු පුස්තකාල පොත් රාක්කවල ඇති අතර අනෙක් පුංචි කවිය අදත් කුඩා ළමෝ නිතර මුමුණති’. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ “නානත්ථ කායා - නානත්ථ සංඥා” කියායි. රසඥතාවත් විවිධයි. පුද්ගලානුබද්ධයි. සාපේක්ෂයි.
අද තරුණ පෙළ විශාල වශයෙන් පරිවර්තනය කිරීමට එළඹ සිටිනවා. පරිවර්තනය ස්වතන්ත්‍ර කෘති ලියනවට වඩා පහසු වැඩක්ද?
පරිවර්තන කාර්යය පිටපත් කර ලිවීම වගේ වගේ පහසු කාර්යයක් කියා සමහර අය සිතනවා. එමෙන්ම තවත් අය සිතන්නේ එය නිර්මාණාත්මක කාර්යයක් නොවේය කියායි. ඒ අදහස් දෙකම වැරදි සහගතයි. පරිවර්තන කාර්යය පහසු නැහැ. සමහර ස්වතන්ත්‍ර කෘතීන් ලියනවාට වඩා බොහෝ අපහසුයි. සාර්ථක ස්වතන්ත්‍ර කෘතියක් සැම විටෙකම පාහේ ලියැවෙන්නේ හොඳ අධ්‍යයනයකට පසුවයි. පරිවර්තන කටයුත්තේ නියැලෙද්දී නිතර අපට පෙනී යන දෙයක් තමයි මුල් ලේඛකයන් ඒවා ලියා ඇත්තේ නිසි අධ්‍යයනයන්ගෙන් පසුව බව. එනිසාම අපට පරිවර්තන කටයුත්තේදී එම අධ්‍යයනයන් ගැන සොයා බලන්නට සිදුවෙනවා. තරුණ පෙළ පරිවර්තන කාර්යයට එළඹීම හොඳයි. ඔවුන් නිසි අධ්‍යයනයකින් යුතුව එම කටයුත්තට එළඹීම වඩාත් හොඳයි.
නවක පරිවර්තකයන් හදිස්සියෙන් පොත් පරිවර්තනය කරන බවයි අපට පේන්නේ... ඒ ගැන කිව්වොත්?
ලේඛන කලාවේදී වේවා අනෙක් ඕනෑම කටයුත්තකදී වේවා සතත අභ්‍යාසය, කැපවීම වගේ දේවල් අත්‍යවශ්‍යයි. දැන ගියොත් කොහේද නොදැන ගියොත් කොහේද යන්න නිතර කියවෙනවානෙ. රිය පදවන විට මඟ දිගට විවිධ සංඥා පුවරු තිබෙනවා. ‘අධික වේගය මරු කැඳවයි’ කියාත් සමහර පුවරු තිබෙනවා. ඒවා අනුගමනය කිරීම පුද්ගලානුබද්ධයි. බිම හොඳින් සකසා පොහොර යොදා වැපිරුවොත් හොඳ අස්වනු ලැබේවි. කොහොමටත් වපුරන ආකාරයට තමයි අස්වනු ලැබෙන්නේ. තමන් කරන කියන දෙයට අවංක නම් වඩාත් හොඳ ප්‍රතිඵල නිසැකයි.
කුසුම්සිරි