
මේ වන විට රටට මුහුණපාන්නට සිදුව ඇති විදේශ විනිමය අර්බුදය සමනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුව තිබේ. අපේ රටේ 1977 දී ආරම්භ කළ විවෘත ආර්ථික ක්‍රමය සෑම රජයක් විසින්ම අවභාවිත කරනු ලැබීම නිසා වසරෙන් වසර විනිමය නාස්තිය ඉහළ යාම හේතුවෙන් ගෙවුම් ශේෂ අර්බුදයක් පැන නැගී අද වන විට එහි උච්ඡතම අවස්ථාවට පැමිණ තිබේ. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ආණ්ඩුවලට විවිධ අවස්ථාවල ආනයන සම්බාධක පැනවීමට සිදුව තිබේ. අනාදිමත් කාලයක සිට අනුගමනය කළ අවිධිමත් ආනයන අපනයන ක්‍රමය මෙයට හේතු වී ඇති අතර, මෙම තත්ත්වය නීති රීති පනවා එකවරම මර්දනය කිරීමට යනවා නම් එය සාර්ථක නොවනවා ඇත. එසේම එහි අතුරුඵලයක් වශයෙන් රටේ මහජනතාව විශාල හිරිහැරයකට පාත්‍රවීම වැළැක්විය නොහැකිය. අද දක්වා පනවා ඇති ඇතැම් ආනයන රෙගුලාසි නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව පෙනෙන්නට තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැති වශයෙන් පසුගිය අප්‍රේල් මස 23 දින ආනයන අපනයන පාලන රෙගුලාසි 2021 අංක 05 මගින් ආනයනික භාණ්ඩ රුසක් පිළිබඳ සීමා පනවා තිබේ. මෙම රෙගුලාසි මගින් 2020 අගෝස්තු 17 දින අංක 2189/4 දරණ ගැසට්ටුව මගින් පනවා තිබූ රෙගුලාසි සංශෝධනය කර තිබේ.
ඒ අනුව මගීන් ප්‍රවාහනය සහ බඩු ප්‍රවාහනය හැරුණුවිට සෙසු සියලුම වාහන ආනයනය කිරීම තහනම් කර ඇති අතර, වසර තුනකට වැඩියෙන් පැරණි වෙනස් කළ වාහනද ආනයනය තහනම් කර තිබේ. මෙම තත්ත්වය නිසා රට තුළ වාහන වෙළෙඳපොළ බිඳවැටී ඇති අතර ඒ හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ එම ආයතනවල රුකියා කර ජීවත් වන දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවන මාර්ග අහිමි වී ඇත. වාහන ආනයනකරුවන් මෙයට පෙර කිහිප වතාවක් අදාළ අමාත්‍යවරුන් සහ මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළද තවමත් යථා තත්ත්වයට පත් වී නොමැත. වාහන ආනයනකරුවන්ට සහනයක් දීම ගැන කතා කළද ඒ ගැන ස්ථිර විසඳුමක් දීම දිනෙන් දින ප්‍රමාද කිරීම නිසා මෙම ගැටලුව තවමත් විසඳී නැත.
පසුගිය ජූලි මස 2 වැනිදා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017 අංක 12 දරණ විදේශ විනිමය අංක 12 පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසිවලට තවත් සංශෝධන ගණනාවක් සිදුකර තිබේ. විදේශවල සිටින අය විසින් පවුලේ අය සඳහා පරිත්‍යාග වශයෙන් කරන ජංගම සහ ස්ථාවර සියලු පැවරීම් තහනම් කර තිබේ. ප්‍රාග්ධන හුවමාරු ගිණුම්වලින් කරන ගෙවීම් අමෙරිකානු ඩොලර් 10,000 දක්වා සීමා කර තිබේ. විගමන ප්‍රදානවල වටිනාකම ඩොලර් 30,000ට සීමා කර ඇති අතර මෙරට උපයන මුදල් සේවක අර්ථසාධක අරමුදලද ඇතුළුව පිටරට යැවීම අමෙරිකානු ඩොලර් 30,000 දක්වා සීමා කර තිබේ. තාවකාලික නේවාසික වීසා මත මෙරට සිටින අයට විදේශවලට යැවිය හැකි උපරිම මුදල අමෙරිකානු ඩොලර් 10,000 දක්වා සීමා කර ඇත. එසේම ආයෝජකයන්ට තම ඉපැයීම් පිටරටට යැවීමටද විවිධ පැතිවලින් සීමා කිරීම් කර තිබේ.
මේ හැර මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ආනයන සඳහා වාණිජ බැංකුවලින් නිකුත් කරන ණයවර ලිපි සඳහාද විවිධ සීමාකිරීම් පනවා ඇත. විදේශවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී වාණිජ බැංකු ඇපවීම වෙනුවට එහි මුළු වටිනාකම මුදලින් ලබාගත යුතු බවටද කොන්දේසි පනවා ඇත. මෙතෙක් කල් සිදුවූයේ වටිනාකමෙන් කොටසක් ගෙවා ඉතිරි මුදලට වාණිජ බැංකු ඇප වී ණයවර ලිපි විවෘත කර එම භාණ්ඩ මෙරටට පැමිණි පසු සම්පූර්ණ මුදලම ලබාගැනීමය. මෙය ආනයනකරුවන්ට විශාල සහනයක් වූ අතර එමගින් දීර්ඝ කාලයක් විශාල මුදලක් යට කිරීමට සිදුවීමෙන් වැළකී සිටිය හැකිව තිබුණි. එහෙත් මෙම නව රෙගුලාසි නිසා දැනටමත් ඇතැම් පෞද්ගලික බැංකු ණයවර ලිපි නිකුත් කිරීම මුළුමනින්ම නවතා ඇති අතර සමහර රාජ්‍ය බැංකු පමණක් යම් යම් සීමා කිරීම්වලට යටත්ව මෙම පහසුකම් සලසන බව පෙනෙන්නට තිබේ. මේ පිළිබඳ තීරණ ගැනීමට බැංකුවල පාලක මණ්ඩලවලට නිදහස දී තිබෙන බවද පැවසේ. මේ නිසා ඒකීයභාවය නැතිව ගොස් ඇත.
ඒ හැර ජංගම දුරකතන, ශීතකරණ, රෑපවාහිනී, වායු සමීකරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, ඇතැම් ගණක යන්ත්‍ර ආදිය ආනයනය කිරීමට සීමා පනවා තිබේ. මෙම භාණ්ඩ කිසිසේත් සුඛෝපභෝගී භාණ්ඩ නොවන අතර රටේ සාමාන්‍ය කටයුතුවලට යොදාගන්නා ඒවා වෙයි. ජංගම දුරකතන සහ රෑපවාහිනී ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද යොදාගන්නා මෙවලම් බවට මේ වන විට පත්ව ඇති අතර මේවා ආනයනය සීමා කිරීම නිසා විශාල අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුව ඇත. දැනටමත් රට තුළ ඇති භාණ්ඩවල මිල ඉහළ නගිමින් පවතින අතර, මේ කිසිදු භාණ්ඩයක මිල සීමා කර නොමැති නිසා හිතු හිතූ මිල ගණන්වලට අලෙවි කිරීම සිදුවන බව වෙළෙඳපොළ ගවේෂණයකදී හෙළි වී තිබේ.
රජයට නිසියාකාර ආනයන ප්‍රතිපත්තියක් නොමැති අතර විටින් විට මෙම රෙගුලාසි වෙනස් කරන බවද පෙනී ගොස් තිබේ. ටයිල් සහ නානකාමර උපාංග ආනයනය පිළිබඳ මුලින් පැනවූ තහනම පසුව සංශෝධනය කිරීමට රජයට සිදුවීම හොඳම උදාහරණයකි. මෙම තත්ත්වය මත ව්‍යාපාරිකයන්ද සාමාන්‍ය පාරිභෝගිකයන්ද අපහසුතාවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. මේ පිළිබඳ යම් ප්‍රමිතියක් ඇතිකර ගැනීම නොපමාව කළ යුතු බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් දැනට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ දැනට සිදුකර ඇති සීමා කිරීම රජය ගත් තාවකාලික පියවරක් බවයි. රට හොඳ තත්ත්වයට පත්වූ විට මෙය ක්‍රමයෙන් ලිහිල් කරන බව ඔහු කියයි.
කෙනකුට මුලින් ආදායම් මාර්ග තුන හතරක් තිබුණත් එයින් එකක් හෝ නැති වුවහොත් එයට ගැලපෙන පරිදි ජීවන රටාව වෙනස් කරගන්න වෙනවා. ඒ වගේම ඇතැම් ආනයන සීමා කිරීමටත් අපට තාවකාලිකව සිදුවෙනවා. එයට ගැලපෙන පරිදි ජනතාව හැඩගැසිය යුතුයි. මේ වන විට අපට ඩොලර් ලැබෙන හැම පැත්තක්ම ආවරණය වෙලයි තියෙන්නේ. ඒ නිසා එම අඩුව පිරිමසා ගැනීමට ආනයන සඳහා ඩොලර් පිටතට ගලාගෙන යාම නැවැත්විය යුතු වෙනවා. අපට මේ වන විට සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ ආදී මාර්ගවලින් විදේශ විනිමය ලැබීම අවම වෙලා තියෙනවා. සමහර එවා බින්දුවටම බැහැලා තියෙනවා. ඒ තත්ත්වයට මුහුණදීම සඳහා තාවකාලික පියවරක් වශයෙන් ඇතැම් භාණ්ඩ ආනයනය දුර්වල කර තිබෙනවා. ජනතාවට එකවරම මෙය දැනුණත් ක්‍රමයෙන් මෙයට හැඩගැසෙන්න හැකිවේවි. ජනතාවද මෙහිදී යම් කැප කිරීමක් කරාවි යැයි රජය බලාපොරොත්තු වෙනවා.
ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක
ආණ්ඩුව මෙලෙස ආනයන තහනම කිරීමට සහ සීමා කිරීමකට යොමුව ඇත්තේ අපේ විදේශ වත්කම් පිළිබඳ දැනට පැන නැගී ඇති ගැටලුවට යම් විසඳුමක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් බව පැවසිය යුතුයි. මෙහිදී ඇතැම් සුවිශේෂ භාණ්ඩවලට ණයවර ලිපි (LC) විවෘත කිරීම පිළිබඳ විධාන දක්වා තිබෙනවා. මෙම නියෝග ඍජුව සහ වක්‍ර ලෙස නිකුත් කර ඇති බව පෙනෙනවා. එය වාණිජ බැංකු මගින් මෙන්ම ආනයන හා අපනයන පාලක මගින් සිදු කෙරෙනවා. මෙහිදී බැංකුවලට යම් ස්වයං වාරණයක් ඇතිකර ගැනීමට ඉඩ දී තිබෙන බව දැකගත හැකියි.
මෙලෙස ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම තුළින් වාණිජ බැංකුවලට යම් ආදායමක් අහිමි වෙනවා. එසේ වුවද මේ අවස්ථාවේ පැන නැගී ඇති විදේශ විනිමය ගැටලුවට මෙය පිළියමක් වෙනවා. එහෙත් මෙම ප්‍රතිකර්මය දිගටම පවත්වාගෙන යන්න බැහැ. මෙය කෙටිකාලීනයි. බැංකුවල ප්‍රසාරණයට බාධාවක් වෙනවා. ඒ නිසා තත්ත්වය සමනය වූ පසු සාමාන්‍ය තත්ත්වයට පත්විය යුතුයි. ආනයන සීමාව නිසා මෙරටට එන භාණ්ඩ අඩු වූ විට දේශීය භාණ්ඩවල මිල ඉහළ යාම නොවැළැක්විය හැකියි. එසේම රටේ ඇති භාණ්ඩවලද මිල ඉහළ යනවා. වාහන ආනයන තහනම මෙයට ආසන්නතම උදාහරණයයි.
දැනට දැඩි ලෙස ආනයන සීමා පැනවීමට හේතු වූ සාධක සහ එයින් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳ කරුණු දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ අද මෙලෙස දැඩි සම්බාධක පැනවීමට හේතු වූ කරුණු කාරණා පිළිබඳව වර්තමාන රජය පමණක් නොව මෙයට පෙර පැවැති ආණ්ඩුද වගකිව යුතු බවයි. නිදහස ලැබූ දා සිට කිසිදු කළමනාකරණයක් නොමැතිව ආනයන හැසිරවීම සහ විධිමත්ව අපනයන වර්ධනය කිරීමට කටයුතු නොකිරීම මෙයට හේතු වූ බව ස්වාමින් වහන්සේ කියති.
මේ පිළිබඳ කරුණු දැක්වීමේදී පැතිකඩ කිහිපයක් පිළිබඳ සොයා බලා මේ තත්ත්වයට තුඩු දුන් හේතු හඳුනාගත යුතු වෙනවා. එයින් ආර්ථිකයට සිදුවන අයහපත හා මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග හඳුනාගත යුතුයි. රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවූ විට මුදල් අච්චු ගහන්න පුළුවන්. එහෙත් විදේශ විනිමය ගැටලුවට ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමට අපට බැහැ.
පසුගිය කාලයේ විදේශ විනිමය උපයන මාර්ග වර්ධනය කිරීමට කටයුතු කළේ නැහැ. ඒ ගැන ගත් උත්සාහය අවමයි. එසේම විදේශ විනිමය පිටරටවලට ඇදී යාම වළකා ගැනීමටද කටයුතු කළේ නැහැ. නීතිවිරෝධී ලෙස විශාල මුදල් සම්භාරයක් පිටරටට ඇදී යනවා. මේවා ඇතැම් විට දේශපාලන මාර්ග විය හැකියි. අපේ රටට ඇති හැකියාව අනුව සංචාරක ව්‍යාපාරය, ඇඟලුම්, සාම්ප්‍රදායික අපනයන, තේ, කුළුබඩු ආදිය පිළිබඳ උනන්දු වූයේ නැහැ. වෙනත් රටවල් නව අපනයන භාණ්ඩ හඳුන්වා දෙනවා. එහෙත් අපි නව අපනයන තබා, තිබෙන ඒවා වර්ධනය කරගන්නෙත් නැහැ. විදේශ ආයෝජන පිළිබඳ උනන්දුවක් නැහැ. ලැබෙන ආයෝජනත් යන්න හරිනවා. දේශපාලනය, නිලධාරීන්, සාමාන්‍ය ජනතාව හා දෘෂ්ටිමය මතවාද අපේ ආයෝජනවලට අහිතකරව බලපානවා. සාමාන්‍ය ජනතාවත් මෙහි වගකීම බාරගත යුතුයි. විදේශ ආයෝජනවලට එරෙහිව පෙළපාලි යනවා. සංස්කෘතිමය හා ආගමික කරුණු පටලවාගෙන ආයෝජනවලට බාධා කරනවා. උදාහරණයක් ලෙස පැවසුවොත් පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ඩී.ආර්. විජයවර්ධන මාවත දෙපස කැසිනෝ කලාපයක් තනන්න හැදුවත් ආගමික මුවාවෙන් ජනතාව පොළඹවා එය නැවැත්වුවා. පිටරට අය මෙරටට පැමිණ ඉගෙනීම් කරනවාට එරෙහි වෙනවා. සංස්කෘතියට හානි වෙනවා, නිදහස් අධ්‍යාපනයට බාධා වෙනවා කියලා. විදේශිකයන් අපේ ඉඩම් වගා කිරීමටද විරුද්ධයි. ඒත් මේ කිසිම කෙනෙක් ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග රුකියාවලට ගොස් වධ හිංසා විඳිනවාට එරෙහිව කතා කරන්නේ නැහැ. උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා.
අපේ තේ ඉඩම් ජනසතු කරලා විනාශ කළා. පොල් ඉඩම් කැබලි කරලා විනාශ කරනවා. රබර් අපනයනය පිළිබඳ උනන්දුව අඩුයි. කොතරම් නීති තිබුණත් ජනතාව විදේශ විනිමය හොරෙන් පිටරට යවනවා.
ඉහළ ඉල්ලුමක් ඇති ජංගම දුරකතන, ශීතකරණ, කොම්පියුටර්, ටයර්, ටියුබ්, වායු සමීකරණ, ටයිල් සහ නානකාමර උපාංග ආදී කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකිරීම නිසා ඒවා ආනයනය කරන්නට සිදුව තිබෙනවා. ඒ අතර හදිසි තීරණ මත ඒවා ආනයනය තහනම් කිරීම නිසා ජනතාව අපහසුතාවට පත්වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරට නිෂ්පාදනය කරනවා නම් විදේශ විනිමය නාස්ති වෙන්නේ නැහැ. ඒත් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම්කර ආනයනය තහනම් කරනවා. අද සිදුව ඇත්තේ ඒ දෙයයි.
කෙසේ වුවද අද රජයට ජනතාව පීඩාවට පත් කරමින් ආනයන තහනම් කරන්නට සිදුව ඇත්තේ අතීතයේ සිටම සැලසුමකින් තොරව නිදැල්ලේ කටයුතු කිරීම නිසා බව පෙන්වා දිය යුතුයි. අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් නිසා අප විශාල පරිහානියකට පත්වෙමින් යනවා.
යසවර්ධන රුද්රිගූ