2021 ජුලි 10 වන සෙනසුරාදා

ලංකා ගුවන් විදුලියේ මුල්ම බණ දේශනා කළ පැළෑණේ ශ්‍රී වජිරඤාණ නායක මාහිමි

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 190

පින්වත්නි,

අපි අද මේ දේශනා කරන්නට කල්පනා කරන්නේ අපේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු පුණ්‍ය ක්‍රියා වස්තු තුනෙන් පළමුවන පුණ්‍ය ක්‍රියා වස්තුව ගැනයි. ඒ පුණ්‍ය ක්‍රියා වස්තු දේශනා කළා. මහණෙනි, මේ ලෝකයේ පුණ්‍ය ක්‍රියා වස්තු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද කියලා කිව්වොත් - දානය, සීලය සහ භාවනාවයි

ලංකා ගුවන් විදුලියේ මුල්ම ධර්මදේශනාව කළ පැළෑණේ වජිරඤාණ නායක මාහිමි මේ ආකාරයෙන් තම දේශනය (1928 අප්‍රේල් 28 වැනිදා) කරන්න ඇතැයි අනුමාන කළ හැකිය. මේ ධර්ම දේශනයේ කොටසක් අප උපුටා ගත්තේ ලංකා බෞද්ධ මණ්ඩලය මගින් 1957 දී පළකළ ජයන්ති සඟරාවෙනි. එහි දානය මැයෙන් වජිරඤාණ නායක මාහිමියන් සිදුකළ ගුවන් විදුලි දේශනයක් ඇතුළත් ලිපියකිනි.

19 වැනි සියවසේ අග භාගයේ ලංකාවේ පන්සල්වල ධර්මදේශනා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කොට හිරු උදාව තෙක් පැය තුනක් දේශනා කර ඇත. කිසියම් මාතෘකාවක් යටතේ පැයක් ධර්මදේශනා කිරීමේ අභිනව ක්‍රමය ආරම්භ කරන ලද්දේ පැළෑණේ වජිරඤාණ නායක මාහිමියන් බව ඩේවිඩ් කරුණාරත්නයන් විසින් 1955 වසරේ ලියන ලද ශ්‍රී වජ්‍රඥාණ චරිතය කෘතියේ සඳහන් වෙයි. එවකට සිටි ශ්‍රේෂ්ඨ ධර්ම කථිකයාණන් හා විශිෂ්ට පඬිවරයාණන් වූ විද්‍යෝදය පරිවේනාධිපති මහගොඩ ශ්‍රී ඥානෙශ්වර නායක හිමියන් පැළෑණේට නම් බණ කීමේ පැලෑන අසු වී තියෙනවායැ ප්‍රසාද පූර්වකව ප්‍රකාශ කළ බවත්, වජ්‍රඥාන තැන බණ කීමට මහා බ්‍රහ්මයා විසින් එවා ඇති කෙනෙකැයි! කියූ බවද එම ග්‍රන්ථයේ සඳහන් වෙයි.

වජිරඤාණ මාහිමිගේ ධර්ම දේශනා කොතරම් ජනප්‍රිය වූවාද යත් එම දේශනා විවිධ ආගමිකයන්ගේ පවා ප්‍රසාදයට ලක්විය. 1955 ඔක්තෝබර් 01 වැනිදා සිංහල බෞද්ධයා පත්‍රයේ මාහිමියන්ගේ ධර්මදේශනා ගැන එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ ඩේවිඩ් කරුණාරත්නයන් එවැනි අවස්ථාවක් මෙසේ දක්වයි.

මාතර ප්‍රදේශයේ සමාදාන විනිශ්චයකාර ධුරයක් දරන එක්තරා මුස්ලිම් නීතිඥයෙක් විය. ඔහු හොඳ වර්ගයේ ගුවන් විදුලි යන්ත්‍රයක් මිලයට ගෙන මුලින්ම ඇසූයේ මේ මාහිමියන් වහන්සේගේ ධර්ම දේශනයකි. එයින් අතිශය පැහැදීමට හා සෑහීමට පත් මුස්ලිම් භක්තික මහතා ගුවන් විදුලි යන්ත්‍රයට ගෙවූ මුළු මුදලම ඔබවහන්සේගේ එක බණින් මට ලැබිණ නාහිමියන්ට ලියා යැවූහ.

මෙවැනි ලියුම් රාශියක් ගුවන් විදුලි කාර්යාලයට ලැබුණ බව වරක් ඩී.එම්. කොළඹගේ මහතාද කියා තිබුණි.

පැළෑණේ දොන් අන්ද්‍රස් තුඩාවේ පණ්ඩිත ගුණවර්ධන මුහන්දිරම් හා දෝන ගිමරා සේරසිංහ ළමාතැනීට දාව 1878 නොවැම්බර් 05 වැනි සඳුදා වැලිගම පැළෑණේ මුහන්දිරම් වලව්වේ කණිෂ්ඨ දරුවා ලෙස උපත ලැබූ දොන් ආරොන් පණ්ඩිත ගුණවර්ධන කුඩා කල සිටම ආගම දහමට නැඹුරු විය. මේ දරුවා කුඩා කල සිට පැවිද්ද කෙරෙහි යොමු වූ ආකාරය ගැන 1955 වසරේ ඩේවිඩ් කරුණාරත්න විසින් ලියන ලද ශ්‍රී වජ්‍රඥාන චරිතය නම් කෘතියේ මෙසේ සඳහන් කරයි.

නිතෙර දෙවේලේ බුදුන් වැඳීමට පන්සල් ගිය තුඩාවේ කුල පාලිකාව සමඟ තනි නොතනියට පමණක් නොව මල් පූජා කිරීමට ගිය කුඩා දරුවා එක් දවසක් විහාරංගනයේ බෝධි වෘක්ෂය දෙස බොහෝ වේලාවක් බලා සිටියේ අම්මේ අපේ බුදුහාමුදුරුවනුත් බෝධිය දෙස බලා සිටියේ මෙහෙමදැයි ස්වකීය මාතාවන්ගෙන් ප්‍රශ්න කළේය. පස් හැවිරිදි සුරතල් පුතුගේ අහිංසක කතාව ඇසූ තුඩාවේ ළමාතැනී, පුතේ නුඹත් බුදුබවම පතන්නැයි හිස අග ගෑවාය. (පිටුව - 21)

තම කනිටු පුතාගේ සසර පුරුද්ද තේරුම් ගත් මුහන්දිරම් තුමා ඔහු වේරගම්පිට රේවත හිමියන්ට භාර දුන්නේය. 1893 ජූනි 20 වැනිදා කඹුරුගමුවේ දේවගිරි විහාරයේදී පැළෑණේ වජිරඥාණ නමින් මේ බුද්ධ පුත්‍රයා වේරගම්පිට සිරි රේවත මාහිමියන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා ගත්හ. 1897 දී විද්‍යෝදය පිරිවෙනේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන් යටතේ ත්‍රිපිටක ධර්මය හැදෑරෑ පැළෑණේ හිමියන් හැම වර්ෂයකම මුල්තැන දිනා 1900 දී පිරිවෙනේ විශිෂ්ට ශිෂ්‍යයා ලෙස ස්‍යම රාජ ත්‍යාගය දිනා ගත්හ. කොළඹ පැමිණ ශිෂ්‍ය ජීවිතය නිම වූ මේ තරුණ භික්ෂූන් වහන්සේ දැනට වසර 117 කට පමණ පෙර බම්බලපිටියේ වජිරාරාමය පිහිටා ඇති ස්ථානයෙහි කුඩා අසපුවක් කොටගෙන ධර්ම ශාස්ත්‍රදානයෙහි නිරත වන්නට පටන් ගත් බව ඩේවිඩ් කරුණාරත්නයෝ පවසා තිබූහ.

පැළෑණේ හිමියන් චතුර ධර්ම දේශකයාණන් වහන්සේ රට හඳුනා ගත්තේ ගුවන් විදුලිය හරහාය. පැයක් ධර්ම දේශනා කිරීමේ අභිනව ක්‍රමය හඳුන්වා දුන් පැළෑණේ හිමියන් ගැන පැහැදුණු ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ ධර්ම කථිකයා වූ විද්‍යෝදය පරිවේණාධිපති මහගොඩ ශ්‍රී ඥානේශ්වර නායක හාමුදුරුවන් පවසා ඇත්තේ පැළෑණේට නම් බණ කීමේ පැලෑන අසු වී තිබෙනවා කියා බව කියනු ලැබේ.

වයස අවුරුදු 16දී පැලෑණේ මාහිමිපාණන්ගේ ඇසුට ගිය පියදස්සි හිමියන් සතියකට වරක් දෙකක් වජිරාරාමයට ගොස් සිදත් සඟරාව, බුත්සරණය, ගුත්තිලය හා අභිධර්මාර්ථ සංග්‍රහය අසා දැනගත් අයුරු දිනමිණ වෙසක් කලාපයකට ලියා තිබුණි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තමන් වහන්සේ ඉන් අස් වී වයස අවුරුදු 19 දී මාහිමිපාණන් වෙත පැවිදිව වසර 21 කල්ගෙවූ කාලයේ තම ආචාර්යපාදයන්ගෙන් බොහෝ දේ දැනගත් බවද එහි සඳහන් කර තිබුණාහ.

මාහිමිපාණන් නොයෙක් ධර්ම ශාස්ත්‍ර විෂයයන් ගැන සුහද ලෙස සාකච්ඡාවෙන් කළේ හිරු බැස ගියාට පසුවය. නිතරම පාහේ රෝගීව සිටි උන්වහන්සේගේ කයට වැඩි පාසුවක්, සිතට ප්‍රබෝධයක් ලැබුණේ රාත්‍රී කාලයේය. එහෙයින්ම බොහෝ ධර්ම ශාස්ත්‍රීය ලිපි ලේඛනාදිය ලිව්වේ මහ රූය. නොයෙක් දෑ ගැන සාකච්ඡා කැරගෙන යද්දී ඇතැම් දිනෙක උන්වහන්සේගේ යටගියාව එළියට එයි.

අහිංසක විනෝදයට තුඩුදෙන හාස්‍ය (humour) කීමෙහි දක්ෂතාවයක් උන්වහන්සේ තුළ නිසඟයෙන්ම පිහිටියේය. උන්වහන්සේ රෝගීව සිටියදී දෙපා ඉදිමී තිබෙනු දුටු තරුණ පැවිද්දෙකු නායක හාමුදුරුවන්ගේ දෙපා ඉදිමිලානේ දැයි කීහ. අනේ අයුෂ්මතුනි, මගේ දෙපා ඉදිමුණු එක හොඳයි ඔලුව ඉදිමෙන්නේ නැතිව යි කියා තමනුත් සිනා සී අනුනදු හිනැස්සූහ.

පැළෑණේ නා හිමි ජීවිතයේ රසමුසු තැන් ගැන ගුන්නෑපාන වජිරඤාණ ස්ථවිරයන් වහන්සේ විසින් අපූරු ලිපියක් 1955 සැප්තැම්බර් 25 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයට ලියා තිබූහ. මෙය 1935දී පමණ වූ සිද්ධියකි.

ඒ කාලයේ මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ ලියුම් කවරයක බහා මට මුදල් පතක් එවූ විට ඒ ලියුම තැපැල්කාරයා වජිරාරාමයට දී වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ කඩා බලා වැරදීමකින් ලියුම කැඩූ බව කියා මහළු මිනිසකු අත ඒ ලියුම මා වෙත එවා එයට තරහා නොගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියහ. පසුදින තැපැල්කාරයාට කතාකොට නායක හාමුදුරුවන්ට ලැබෙන ලියුමක් දෙකක් මට බාරදෙන ලෙස කියා, උන්වහන්සේගේ නමින් තිබුණ ලියුමක් හා සඟරාවක් රුගෙන මම වජිරාරාමයට ගියෙමි. නායක ස්වාමීන් වහන්සේ නමින් තිබුණ ලියුමක් හා සඟරාවක් බැරිවීමකින් කැඩූ බව කියා අමනාප නොවී භාරගන්නා ලෙස උන්වහන්සේගෙන් යටහත් පහත් ලෙස මම ඉල්ලා සිටියෙමි.

ගිරා හොටක් වැනි ක්‍රමයෙන් ඉහළට නැගී ගිය මහා පෞරුෂත්වයක් පළකරන දිගැති නැහැය හකුළුවා මා දෙස බලා ඔහේ බම්බලපිටියෙන් යනවාද මම යන්නද? කියා එකවරටම උන්වහන්සේ මගෙන් විමසූහ.

නායක හාමුදුරුවෝ නම් රටේ කවුරුත් දන්නවා. කොහේ වැඩියත් කවුරුත් සළකාවි. මට යන්ට තැනකුත් නෑ. නායක හාමුදුරුවෝ කැමැත්තක් කරන්න යැයි අවිනීතයකු මෙන් මම පහත් ස්වරයෙන් සැළකර සිටියෙමි.

වාසනා ගුණයේ මූර්තියක් බඳු නායක ස්වාමීන් මවාගත් අකාරුණිකත්වය වහාම බැහැර කොට කුඩා දරුවකු මෙන් මගේ අත අල්ලාගෙන, ඔහේ මොකද කියන්නේ කියලා බලන්ට මම එසේ කීවේ යැයි කියා මා සිත සැනසූහ. වඩාත් මගේ භක්තිය හා ගෞරවය දැඩි විය.

ගුන්නෑපානේ වජිරඤාණ හිමියන් කොළඹ යුගයේ කවියකු ලෙසද ප්‍රකටව සිටි අතර, උන්වහන්සේ ප්‍රකට කවියකු වූ කපිල ඊ. සෙනෙවිරත්නගේ වැඩිමහල් සොහොයුරාය.

මහගත්කරු ඩබ්ලිව්.ඒ. සිල්වා පාලි භාෂාව ඉගෙන ගැනීමට පැළෑණේ හිමියන් 1909 දී පමණ එදා වැඩ සිටි වැල්ලවත්තේ සුවිශුද්ධාරාමයට ගොස් ඇත. මේ පිළිබඳව සිල්වා මහතාණන් විසින් 1956 වසරේ නොවැම්බර් 25 වැනි ඉරිදි සිළුමිණ පත්‍රයට ලියූ මා වියරණ උගත් සැටි ලිපියෙන් පවසා තිබුණි.

මේ පාලි ඉගෙනීමට පසුව තිබෙද්දී අපි සිංහල ටිකක් ඉගෙන ගනිමු යනුවෙන් හාමුදුරුවෝ මට කීහ.

එවිට මුලින්ම නවකතාව වූ සිරියලතා මා ලියා තිබූ නිසා මට කියමන මදිකමක් හැටියට දැනිණි. සිංහල ගත්කරුවෙක්මි යන අභිමානයෙන් මත්ව සිටි මට සිංහල ටිකක් ඉගෙන ගනිමු යනුවෙන් කළ මේ යෝජනාව තදින් සිතට වැදුණු පහරක් විය. මගේ සිරියලතාව හාමුදුරුවන් විසින් කියවන්නට යෙදුණේද නැද්ද යන්න මම නොදනිමි. එයින් පිටපත් නම් හාමුදුරුවන් කරන මේ යෝජනාව මහ පුදුමයක් විය.

පොතක් කියවන්න කමක් නැහැ. මේ එන්නා වගේ සතියකට දෙවරක් එන්න. මම සෑහෙන වුවදෙස් ටිකක් දෙන්නම්.

මේ කතාවෙන් පසු පාලි සත්ත මහ සාගරේ පිහිනීම තිබියදී සතියකට දෙවරක් වජිරාරාමය වෙත යමින් එම හාමුදුරුවන්ගේ වුවදෙස්වලට ඇහුම්කන් දුන්නෙමි. මේ වුවදෙස් මට ලැබුණේ ඒ දවස්වල පුවත්පත්වල පළ වූ ඇතැම් වියතුන්ගේ ලිපිවල වැරදි තැන් නිවරුදි කොට පෙන්වා දීම කරණ කොටගෙනය.

පළමුවැනි දවසේ පටන්ගත් පළමුවැනි දේශනාවෙන්ම සිය බස් ලොවේ මා සිටින තැන කොතරම් පහත්ද යන්න මටම ප්‍රත්‍යක්ෂ විය. දෙතුන් සතියක් ගත වනවිට මගේ අහංකාරය කොහේද කියා වත් නැති විය.

මාතරට පමණක් සීමාව තිබූ ශ්‍රී ධර්මරක්ෂිත වංශාඛ්‍ය අමරපුර නිකාය පැළෑණේ නායක හිමියන් නිසාම දිවයින පුරා පැතිර ගිය බව ඩේවිඩ් කරුණාරත්නයෝ පවසති. ගරු නාරක කඹුරුගමුවේ මහානාම, දෙණිපිටියේ සුමනසිරි, කොග්ගල රෝහණ, මඩියේ පඤ්ඤාසීහ, කොටහේනේ පියදස්සි, පඹුරණ මෙත්තෙය්‍ය, පත්‍රකලාවේදී චාල්ස් අභයගුණරත්න, අම්පිටියේ රාහුල, වල්ගම සුගතනන්ද, පන්විල විපස්සි, ඌරුගමුවේ සේනානන්ද, නාඔටුන්නේ ගුණසිරි, කස්සප (දොස්තර කැසියස් පෙරේරා), කොළඹ අනුරුද්ධ, බෝපේ විනීත ආදී සම්භාවනීය ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් බිහිකළ පැළෑණේ නායක මාහිමියන් වහන්සේ විසින් බෞද්ධ ළමයා නම් සඟරාවද, ලක්බුදු සසුන බෞද්ධ පත්‍රිකාවද අරඹමින් කළ ශාසන සේවාව අමරණීය ලියැවී ඇත. උන්වහන්සේ ඇරඹි වජිරාරාම දහම් පාසලට පැමිණි ශිෂ්‍යයන් අතර ඩඩ්ලි සේනානානයක, බර්නාඩ් සොයිසා හා රොබට් සේනානායක පසුව කැපී පෙනුණ චරිතය.

1955 සැප්තැම්බර් 21 වැනි බුද දින දාවල් 10.58ට අපවත් වී වදාළ අවස්ථාව ශ්‍රී වජ්‍රඥාන චරිතයේ මෙසේ සඳහන් වෙයි.

උන්වහන්සේ අපවත් වී වදාළ ගිලන් යහන වටා මහා සංඝයා වහන්සේ පිරිත් සජ්ඣායනා කරමින් සිටියදීම ස්වකීය ශිෂ්‍යයන් වන වජිරාරාම වාසී නාරද, මඩිහේ පඤ්ඤාසීහ, අම්පිටියේ රාහුල, පියදස්සි, දෙනිපිටියේ සුමනසිරි, සේනානන්ද හා සුගතානන්ද යන ස්වාමීන් වහන්සේලාත් දිස්ත්‍රික් විනිශ්චයකාර තැන්පත් වී.ටී. පණ්ඩිත ගුණවර්ධන මහතා ප්‍රධාන ඥාති පිරිසක්, වජිරාරාම දායක දායිකාවනුත් උන්වහන්සේ අපවත් වන මොහොතෙහි අවසන් යහන වටා සිටියහ. සැප්තැම්බර් මස 25 වැනි ඉරු දින දහවල් 2.15ට වජිරාරාමයෙන් පිටත් වූ ශ්‍රී දේහය රුගත් සැතැපුම් සතරක් පමණ දික් වූ ආදාහන පෙරහැර අපරාභාග 4ට පමණ නිදහස් චතුරශ්‍රයට ළඟා විය. මාහිමි ආදාහනයට ලක්ෂ පහක් පමණ මහා ජනකාය නිදහස් චතුරශ්‍රයට රාශිභූත වූහ.
1955.09.26 ලංකාදීප පත්‍රයෙහි මුල් පිටුවේ කළු අකුරින් පළ වූ පරිදි,

අර්ධ ශත වර්ෂයකට අධික කාලයක් ආගමයේ හා භාෂාවේ නාමයෙන් සේවයට කැපවුණු, මහාශබ්දික අධිශීල තපෝ ගුණයෙන් හෙබි ධර්ම භාණ්ඩාගාරිකයක් වූ පැළෑණේ වජිරඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය නිදහස් චතුරශ්‍රයේ ඉදිවුණු චිතකයෙන් බුර බුරා නැගුණු අග්නි ජාලාවෙන් වෙලී ගිය අතිශය සංවේග ජනක දර්ශනයක් එදා දක්නට ලැබුණේය.

පැළෑණේ හාමුදුරුවෝ නමින් එච්.එම්. කුඩලිගම කවියා ලියූ එක් කවියකින් මේ ලිපිය අවසන් කරමි.

ළපැටි වැඩිහිටි වියත් සියලු ජනතා සිහළ              දූපත
මදුර බණ දෙසා නැළ වූ මහා දම් දැරියාව             පූජිත
ගැඹුරු කටහඬ පැළෑණේ හාමුදුරුවන්ගේ සරල    ලාලිත
තවම අහසේ රැඳී ඇත හැඩගසනු සඳහා බොදුනු   ජීවිත