2021 ජුලි 10 වන සෙනසුරාදා

රටේ ලෙඩ වැඩිකරන සෞඛ්‍ය සේවයේ වර්ජන

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 184

කොවිඩ් වසංගත සමයේ සුව විරුවන් ලෙස ජනතාව ඉහළින් ඔසවා තැබූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිළිබඳ ගෙවුණු සතියේ මහජනතාව දැඩිව කලකිරුණි. ඊට හේතුව වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරියේ නියුතු පිරිසක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස වර්ජනය තෝරා ගැනීමයි. රට තුළ දැඩි වසංගතයක් පවතින මොහොතක සිදුවූ මෙම වර්ජන කල දුටු කල වළ ඉහ ගැනීමක් හා සමාන බව පෙනී ගියේය. ලක්ෂ සංඛ්‍යාත රෝගීන් අපහසුතාවට පත්වූ අතර අවසානයේ රෝගී ජීවිත බිල්ලට තබා සුව විරුවෝ සිය ඉල්ලීම් දිනා ගත්හ. කෙසේ නමුත් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ජනතාවට පැහැදිලි අවබෝධයක් නොවුණි. එම නිසාම රෝගීන්ට මරු පෙන්වා ක්‍රියාත්මක වූ සුව විරු වර්ජන රුල්ල පිළිබඳ අප සැකෙවින් මෙම සටහන ලියා තබමු.

ගෙවුණු සතියේ පළමුව පැමිණියේ හෙද වැඩ වර්ජනයයි. ඉල්ලීම් හතක් මූලික කොටගෙන එම වර්ජනය ක්‍රියාත්මක විය. එහෙත් එහි සැබෑ හේතුව වූයේ කොවිඩ් සමයේ වෛද්‍යවරුන් වෙත ලැබුණු වරප්‍රසාද හෙද සේවය වෙත ලබාගැනීම බව රටට රහසක් නොවුණි. ජූලි පළමුවැනිදා සහ දෙවැනිදා ඔවුහු මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වූහ. දහස් සංඛ්‍යාත රෝගීන් එයින් අපහසුතාවට පත්වූ අතර රෝහල් කටයුතු රුසක් බිඳ වැටුණි. මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ විශේෂත්වය වූයේ වෙනදාට පසමිතුරු සියලුම හෙද වෘත්තීය සමිති එක්ව එය සංවිධානය කිරීමය. එම නිසාවෙන් තත්ත්වය බරපතළ විය. කෙසේ නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය වෘත්තීය සමිතිවලට පසුව වඩාත් ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති පැවතියේ හෙද වෘත්තීය සමිති අතරය. එනිසාම ඔවුන්ට ආණ්ඩුව කන්දුන්නේය. ආරම්භයේ සාකච්ඡා සඳහා ඉහළම තැනින් අවස්ථාව හිමිවිය.

ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය  සමඟ ජූලි 02 දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේය. එහිදී හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජය සමයේ අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, අත්හිටුවා ඇති iii ශ්‍රේණියෙන් ii ශ්‍රේණියට උසස්වීම වසර පහක් ලෙස හා ii ශ්‍රේණියෙන් i ශ්‍රේණියට වසර හතෙන් උසස් කිරීම, රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම, දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක) කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමුකිරීම, ආදී යන කරුණු 5ට ජනාධිපතිවරයා විසඳුම් ලබා දුන්නේය. ඊට අමතරව රුපියල් දස දහසේ දීමනාව සහ 2014.12.24 දින මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් එකඟතාව පළකර ඇති බවද කියැවුණි. මෙම එකඟතාව අනුව දෙවැනිදා හෙද වර්ජනය අත්හිටුවීමට අදාළ පාර්ශ්ව තීරණය කළේය.

සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලිය. වෛද්‍ය සංගම් පෙනය පුප්පන්නේ නැතිවම සිය ඉල්ලීම් දිනාගත් අතර හෙද සංගම් යාන්තම් පෙනය ඔසවා සිය ඉල්ලීම් දිනා ගත්තේය. මෙම සුවවිරුවන් දෙපිරිසම සිය ඉල්ලීම් සිතූසේ දිනාගැනීමට භාවිතා කළේ කොවිඩ් වසංගත තත්ත්වයයි. ආණ්ඩුවටද මෙම ඉල්ලීම් කැමැත්තෙන් ලබා දුන්නා නොවේ. රටේ වර්තමාන තත්ත්වය හමුවේ ආණ්ඩුවට එම ඉල්ලීම් නොදී බැරි විය. කෙසේ නමුත් නිසි ක්‍රමවේදයකින් තොරව ගැටලුවලට විසඳුම් ලබාදීමේ ප්‍රතිඵලය භයානක විය. සුපුරුදු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විෂමතා පදනම් කරගත් අර්බුද නැවත ආරම්භ විය. එය අදක ඊයෙක සිට පැමිණ අර්බුදයක් නොවූ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුවවිරුවන් වීමට පෙර සිටම පැවත ආ අර්බුදයක් විය.

එමනිසාම හෙද වර්ජන නිමාවුවත් සුවවිරුවන්ගේ වර්ජන රුල්ලේ අවසානය නොවුණි. තමන්ද සේවාවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව මීළඟට පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයි. ඔවුන් කියා සිටියේ අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය වෘත්තීය ක්‍රියාමාර්ගයට ගිය පිරිසට පමණක් විසඳුම් ලබාදෙන්න උත්සාහ දරන බවයි. එමනිසා තමන්ද වර්ජනය කරන බව ඔවුහු පැවසූහ. සඳුදා වනවිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙද සේවාව, පරිපූරක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවා කියන තුනටම අදාළ වෙන විදිහට නිකුත් කෙරෙන්නේ නැත්නම් විරෝධතා පුළුල් කරන බවටද ඔවුහු තර්ජනාත්මකව පැවසූහ. ඒ අනුව ජූලි 3 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් සිය වර්ජනය ආරම්භ කළහ. නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක විය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 14ක පිරිස් මීට එක්වූහ. මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම, එම්.ආර්. ස්කෑන් සිදුකිරීම ඇතුළු සේවාවන් රුසකට බාධා එල්ල වී තිබුණි. නැවත රෝහල් සේවා බිඳවැටුණු අතර රෝගීහු දැඩි අපහසුතාවන්ට පත්වූහ.

කෙසේ නමුත් මෙම වෘත්තීය සමිතිවල බහුතරය ආණ්ඩු හිතවාදී නොවීය. එම නිසාම මෙම වර්ජන තරමක් දික්ඇදිණි. එහෙත් රටේ තත්ත්වය හමුවේ මීට විසඳුම් ලබා නොදී සිටීමට ආණ්ඩුවට නොහැකි විය. වසංගතය මර්දනය කෙරෙහි මෙම වෘත්තිකයන්ගේ දායක්ත්වයද අත්‍යවශ්‍ය විය. මේ අතර අපූරු සිදුවීම් වාර්තාව විය. වෛද්‍යවරුන්ට සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාම වෙනුවෙන් ට්‍රොලි පවා තල්ලු කරන්නට වූහ. තවත් අමතර රාජකාරි රුසක් ඔවුහු සිදුකළහ. මෙය අගය කළයුතුය යහපත් වැඩක් විය. නමුත් ඒ පිටුපසත් වෘත්තීය ගැටුම්වලට සෙවණැලි තිබුණි. කෙසේ නමුත් රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්වීම වළක්වා ගැනීම කිසිවකුට නොහැකි විය.

ඒ අනුව අවසානයේ සෞඛ්‍ය අමාත්‍යාංශ සාකච්ඡාවකින් ඔවුනට යම් ප්‍රතිඵලයක් අත්කර ගැනීමට හැකිවිය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව වර්ජනයේ නිරතව සිටි වෘත්තීය සමිති ජූලි 6 වැනිදා කියා සිටියහ. ලබන සඳුදා වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් “කැබිනට් පත්‍රිකාවක්” ඉදිරිපත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් පොරොන්දු වී ඇති බව කියැවුණි. කෙසේ නමුත් වර්ජන අතහැරීම තාවකාලිකව සිදුකරනු ලැබූවක් බවත් ඉදිරියේදී සිය ඉල්ලීම් ඉටු නොවුණහොත් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුහු පැවසූහ. මේ අනුව මෙම ගැටලු සහගත සෞඛ්‍ය අර්බුදය තවදුරටත් දික් ඇදෙන බව පෙනී ගියේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය තවත් කතාවකට මුල පිරුවේය. පිළිගත් ප‍්‍රතිපත්ති සහ ක‍්‍රමවේදයන් මත නොසිට හෙද වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු කළහොත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය බව ඔවුහු පැවසූහ. ජාතික වැටුප් ප‍්‍රතිපත්තිය හා පිළිගත් ක‍්‍රමවේද අනුගමනය නොකරමින් හෙද වැටුප් ප‍්‍රශ්නය සෘජුව කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට උත්සාහ කිරීම තුළින් මුළු රාජ්‍ය සේවයම අර්බුදකාරී තත්ත්වයකට ඇද දමන බව ඔවුහු කියා සිටියෝය. මෙම ප්‍රකාශයත් සමග වර්ජන රුල්ල චක්‍රාකාරයෙන් නැවතත් පැමිණීමේ අවදානමක් ඇති බව පෙනී යයි.

මෙහිදී ඉල්ලීම්වල සාධාරණ අසාධාරණ බව විනිශ්චය කිරීමට අප සූදානම් නැත. එහෙත් හෙද ඉල්ලීම් ලබාදීමට පොරොන්දු වීමෙන් ආණ්ඩුවට සිදුවී ඇත්තේ කොටි වලිගය අල්ලා ගැනීමට සමාන දෙයක් බව පෙනී යයි. වර්ජන රුල්ලේ තර්ජනයෙන් නිදහස් වන්නට නම් ආණ්ඩුව හෙද සංගම්වලට දුන් පොරොන්දු ඉල්ලා අස්කර ගතයුතුය. එහෙත් එසේ කළහොත් ඔවුන් නැවත නියත වශයෙන්ම වර්ජනයකට යනු ඇත. එසේ නොකළහොත් වෛද්‍යවරු වර්ජනය කරනු ඇත. යම් හෙයකින් හෙද සේවයට ඉල්ලීම් ලබාදෙන්නේ නම් පරිපූරක වෛද්‍ය සේවාවන්ට ඉල්ලීම් ලබාදීම අනිවාර්ය වී තිබේ. එහෙත් එසේ වුවහොත් වෛද්‍යවරුන් තවත් වෘත්තීයයන්ද එකතුකරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග කරා යාමට පැහැදිලි ඉඩක් තිබේ.

අවසාන වශයෙන් කිවයුත්තේ සියල්ලෙන්ම පීඩාවට පත්වෙන්නේ රෝගීන් බවයි. එතෙක් මෙතෙක් පැවති ආණ්ඩු මීට වගකිවයුතු බව සැක නැත. එසේම රෝගීන් ප්‍රාණ ඇපයට තබාගැනීමෙන් තම ඉල්ලීම් දිනාගන්නට උත්සහා කරන්නෝ විරුවන් නොවන බව පැහැදිලිවම කිව යුතුය. කෙසේ නමුත් සෞඛ්‍ය සේවාව තුළ පැන නැගී ඇති වර්ජන රුල්ල පාලනය කර ජනතාවගේ මරණ බිය නැතිකොට රෝගී අයිතීන් තහවුරු කළ යුත්තේ ආණ්ඩුව විසිනි.

 චමිඳු නිසල් ද සිල්වා