2021 ජුලි 10 වන සෙනසුරාදා

කළු කඩේට ගිය ඩොලර් එක

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 143

මේ වනවිට ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 202 ඉක්මවා පහළ ගොස් ඇත. වෙනත් වචනවලින් කිවහොත් අමෙරිකානු ඩොලරයක් මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 202කට වැඩියෙන් ගෙවීමට සිදුව තිබේ. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙම වසර අවසන් වනවිට රුපියලේ විදේශ අගය 225 දක්වා පහළ බසිනු ඇති බවය. දැනට වසර දෙකකට පමණ පෙර රුපියලේ විදේශ අගය 160 ආසන්නයේ තිබූ අතර මේ වනවිට 200 ඉක්මවා ගොස් තිබේ. 

මෙලෙස රුපියල බාල්දුවීම නිසා රටේ ආර්ථිකය විශාල ලෙස අහිතකර බලපෑමකට ලක්ව තිබේ. අප ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඉහළ යාම මෙන්ම, රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල වැඩිවීමෙන් රට අභ්‍යන්තරයේ භාණ්ඩ මිල ඉහළ යාමේ අර්බුදයක් ඇතිව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් උද්ධමනය හෙවත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ වේගය වැඩි වී තිබේ. මේ වනවිට රටේ උද්ධමන ප්‍රතිශතය 6.1 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී උද්ධමනය තවත් වැඩිවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු හඟවති.

එසේම විදේශ සඳහා ගෙවිය යුතු ණය මුදලද, ශ්‍රී ලංකා රුපියල් විදේශ අගය අනුව ගණනය කිරීමේ හේතුවෙන් ඉදිරියේදී විශාල ලෙස තවත් ඉහළයාමේ අර්බුදයක් මතුව ඇත. මේ වනවිට අප ගෙවිය යුතු විදේශ ණය ඩොලර් බිලියන 32 වන අතර අනාගතයේදී මෙම ණය ගෙවන අවස්ථාව වනවිට තවත් වැඩිපුර ගෙවීමට සිදුවීම නොවැළැක්විය හැක්කකි. ඉදිරියේදී ලබාගන්නා ණයවලටද මේ හේතුවෙන් වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. විදේශ සමග ගනුදෙනු කිරීමේදී අමෙරිකානු ඩොලරය ප්‍රධාන මුදල් ඒකකය ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන නිසා අප ණය ගෙවිය යුත්තේ ඩොලර්වලිනි. මෙම ඩොලර් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රුපියල් වැයකළ යුතු අතර එහි අගය දුර්වල වූ විට වැඩියෙන් ගෙවන්නට සිදුවෙයි.

අනිත් අතට මේ වනවිට අප සතුව තිබෙන විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4ට අඩු වී තිබෙන අතර මෙම ශේෂය මාස තුනක මිලදී ගැනීම් සඳහා පමණක් ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙලෙස විදේශ සංචිත ශ්‍රී ලංකා මහ බැංකුවේ රඳවාගෙන ඇත්තේ යුද්ධයක් හෝ ස්වභාවික ආපදා අවස්ථාවක් ඇති වුවහොත් අපට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදේශ සංචිත තරකර ගන්නා ලෙස අපට උපදෙස් දෙන්නේ රටේ ආර්ථික ස්ථාවර භාවය සලකා ගෙනය. මේ වනවිට රජය උත්සාහ ගනිමින් සිටිනුයේ විදේශ ණය ලබාගෙන එම ඩොලර්වලින් විදේශ සංචිත වැඩිදියුණු කර ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් සඳහා ආධාර දෙනවිට විශේෂයෙන් සලකා බලනු ලබන කාරණයක් වන්නේ එම රටේ විදේශ සංචිතවල ප්‍රමාණය කොපමණද යන්නය. මේ වනවිට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධතා නැවැත්වීමට විවිධ හේතු දක්වමින් සිටින්නේ මූල්‍ය අරමුදල කියන පරිදි විදේශ සංචිත ගොඩනගා ගැනීමට අපොහොසත්වීම නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතහැරීම නිසා එම අරමුදල සහන පදනමෙන් ලබාදෙන ණය ප්‍රදාන සහ ආධාර අපට අහිමිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ වෙනත් රටවලින් සහ ඒ රටවල මූල්‍ය ආයතනවලින් වැඩි මිලට ණය ලබාගැනීමටය. ඒ හේතුවෙන් අපේ ණය අර්බුදය තවත් උග්‍ර වෙනවා ඇත.

මේ වනවිට අපේ රටේ ඩොලර් හිඟකම නිසා ජාත්‍යන්තර ගනුදෙනුවලදී අර්බුද හටගෙන තිබේ. එම තත්ත්වය විසඳීම සඳහා වර්තමාන රජය බලයට පත්වූ වහාම ඇතැම් ආනයන තහනම් කිරීමට සහ සමහර ඒවා අකර්මණ්‍ය කිරීමට පියවර ගෙන ඇත. එයට එක් උදාහරණයක් පවසතොත් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම බොහෝ ආනයන තහනම් කිරීම නිසා විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තහනම් කිරීම හේතුවෙන් රට තුළ විශාල ජීවන අර්බුදයක් උද්ගතව ඇත. රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මේ වනවිට විශාල ගැටලුවකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එසේම මේ නුදුරු දිනවලදී ජංගම දුරකතන, ශීතකරණ, පරිගණක හා රෑපවාහිනී යන්ත්‍ර ආනයනය තහනම් කරන්නට පියවර ගනු ඇති බව ප්‍රචාරය විය. ඒ සියල්ල සිදුකර ඇත්තේ ඩොලරය පිටරටවලට ඇදියාම වැළැක්වීම සඳහාය. අද රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව තවදුරටත් ඩොලර් වියදම් කිරීමට රජයට අපහසු වී තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රටට ඇදී එන ඩොලර් ප්‍රමාණය අඩුවීම මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවක් වී ඇත. විදේශවල රුකියා කළ ශ්‍රමිකයන් මෙරටට පැමිණීම නිසා විදේශ ප්‍රේෂණ හෙවත් ඔවුන්ගෙන් ලැබුණු ඩොලර් ප්‍රමාණය අවම වී තිබේ. එසේම මෙරටට විදේශ සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම අඩුවීම නිසා රටට ඩොලර් ලැබෙන මාර්ග අවහිර වී ගියේය. එසේම රටට බලාපොරොත්තු වන විදේශ ආයෝජනද පහළ යාම හේතුවෙන් ඩොලර් රටට පැමිණියේ නැත. අද වනවිට බොහෝ ආයෝජකයන් පුරුදුව ඇත්තේ ආයෝජනය කිරීමට ඩොලර් රැගෙන නොපැමිණ මෙරට බැංකුවලින් හා වෙනත් ක්‍රමවලින් මුදල් ලබාගෙන ස්වකීය ආයෝජනවලට වැය කිරීමය. ඒ නිසා අතීතයේ මෙන් අතදිග හැර මුදල් වැයකරන ආයෝජකයන් අඩු වී තිබේ. ලොව දියුණු රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන් අඩුවීම නිසා පැමිණෙන සෙසු සංචාරකයන් මෙරට තුළ විශාල ලෙස මුදල් වැය කිරීමට පෙළඹෙන්නේ නැත. ඒ නිසා සංචාරකයන් පැමිණීම පසුගිය සමයේ ඉහළ නැංගා යැයි කියා අපට එතරම් වාසියක් ලැබුණේ නැත. පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවට වඩා වැදගත් වන්නේ ඔවුන් මෙරටට පැමිණ වැයකරන ඩොලර් ප්‍රමාණයයි. එය අවම වූ විට අපට ඩොලර් ලැබීම අඩුවෙනවා ඇත.

රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා රජය මේ වනවිට පියවර කිහිපයක් ගනිමින් පවතී. ඉන් එකක් වන්නේ විදේශවලට යන අය සඳහා ඩොලර් නිකුත් කිරීම සීමා කිරීමය. විදේශ සංචාර සඳහා යන අය අපේ වාණිජ බැංකුවලට රුපියල් ගෙවා ඩොලර් ලබාගනී. තමන් යන රට අනුව සහ ගතකරන කාලය අනුව වීසා පරිදි ඩොලර් නිකුත් කිරීම වෙනස් වෙයි. මේ වනවිට රජය මෙලෙස විදේශ සංචාරවලට යන අයට ඩොලර් නිකුත් කිරීම සීමාකර ඇත.

2021 ජූලි මස 02දා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අංක 2234/49 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඩොලර් පිළිබඳ විවිධ සීමා කිරීම් සිදුකර තිබේ. වෙනත් රටක තාවකාලික නේවාසික වීසා යටතේ ශ්‍රී ලංකාව හැර යන අය සඳහා විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 10,000ක් හෝ වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන උපරිමයක් දක්වා තහනම් කර තිබේ. රට තුළ පවතින විදේශ මුදල් සංචිත ආරක්ෂා කිරීම උදෙසා විදේශ විනිමය පනත ප්‍රකාරව මේ නියමයන් පනවා තිබේ.

එසේම මේ නිවේදනය මගින් රටේ නිත්‍ය වාසික තත්ත්වය හෝ පුරවැසිභාවය ලබා ගැනීමට කෙනෙකුට හැකියාව ලබාදෙන වීසා වර්ගයකට අයත්වන තාවකාලික නේවාසික වීසා ලබාගෙන ඇති ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියකු වෙනුවෙන් කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම් අමෙරිකානු ඩොලර් 20,000කට හෝ වෙනත් ඕනෑම නම් කළ විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක උපරිමය දක්වා මෙම සීමාව බල පැවැත්වේ.
මෙය රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම උදෙසා රට තුළ පවතින මුදල් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව ගැසට් කළ බව මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව කියයි.

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය අනුව මෙම නිගමනයන් පනවා ඇති අතර, ජූලි 2 දින සිට මාස 6ක් සඳහා මෙම නියෝග වලංගු වේ. මෙම ගැසට් නිවේදනය අනුව අයදුම්කරු හා පවුලේ අය සඳහා මුදල් ත්‍යාග ලෙස හෝ අරමුදල් ආපුස සියරටවලට යැවීම වළකාලීම සඳහා කොන්දේසි 9ක් මෙමගින් ඉදිරිපත් කර තිබේ.
මෙම රෙගුලාසි පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ ස්ථීර සංක්‍රමිකයන්ට හැර ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන්ට රජය අලුතින් පැනවූ මෙම රෙගුලාසි බලනොපාන බවය.

රට තුළ පවතින විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය පනත මගින් පසුගියදා පැනවූ අත්හිටු වීම් හා සීමා කිරීම් පිළිබඳ ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් කලබලයට පත්ව ඇති බවක් පෙනෙනවා. එහෙත් ඒ නියමයන් පිටරට සේවය කරන කිසිදු ශ්‍රී ලාංකිකයකුට බල නොපාන බව අවධාරණය කරනවා.
ඔහු තවදුරටත් මෙසේද කියයි.

2021 ජූලිවලදී අපට විදේශීය ස්වෛරී බැඳුම්කරයක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක් පියවීමට තිබෙනවා. එයින් ඩොලර් මිලියන 300 පමණ ශ්‍රී ලාංකිකයන් සතු වෙනවා. මේ ණය පියවීම නිසා ශ්‍රී ලංකාවෙන් පිටරටට ශුද්ධ විනිමය ඇදීයාම අමෙරිකානු ඩොලර් මිලියන 700කට සීමා වෙනවා. දැනට පනවා ඇති විනිමය රෙගුලාසි අනුව තවත් ඩොලර් මිලියන 500ක විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලට ගෙන විදේශ සංචිත වර්ධනය කර ගැනීමට අදහස් කරනවා. දැනටමත් සිදුකර ඇති ආනයන සීමාවන් නිසා අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ ආනයන අඩුවෙලා තියෙනවා. එය අපට මේ අවස්ථාවේ විශාල සහනයක්.

දැනට පවතින රුපියලේ විදේශ අගය වර්ෂය අවසාන වනවිට තවදුරටත් දුර්වල වන බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු හඟවා තිබීම හේතුවෙන් මේ වනවිට අමෙරිකානු ඩොලරය සඳහා කළු කඩ මිලක් නිර්මාණය වී ඇති බවට පසුගිය සතියේ අනතුරු හැඟවිණි. මේ වනවිට පිටත කළුකඩවල අමෙරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියල් 222-225 අතර මිල ගණන්වලට අලෙවි වන බව දැනගන්නට ඇත.

කොළඹ චැතැම් වීදියේ ඇතැම් මුදල් හුවමාරු ස්ථානවල මෙම මිලට ඩොලරය අලෙවි වන අතර අනාතගයේදී මෙයට වඩා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවටද අනතුරු හැඟවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ වාණිජ බැංකු ඩොලරයට ගෙවීමට නියම කර ඇත්තේ රුපියල් 200-202 පමණ මිලකි. එහෙත් මෙලෙස වැඩි මිලට අලෙවි වන්නේ වාණිජ බැංකු මගින් විදේශ ගතවන අයට නිකුත් කරන ඩොලර් ප්‍රමාණය පසුගියදා සීමා කිරීමය. එයට අමතර වශයෙන් වාණිජ බැංකුවල පවතින ඩොලර් හිඟයද මෙයට හේතු වී තිබේ. මෙලෙස වැඩි මිල ගෙවා ලබාගන්නා ඩොලර් විදේශවලට යාම නිසා රටේ ඩොලර් හිඟය උග්‍රවනු ඇත.

අනාගතයේදී රුපියල තවදුරටත් බාල්දු වී අමෙරිකානු ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් මෙලෙස කළු කඩ මිලට ඩොලර් අලෙවි කරන බව දැනගන්නට තිබේ. මෙලෙස වැඩි මිලට විකිණීමෙන් මෙම මූල්‍ය මාරු මධ්‍යස්ථාන විශාල ආදායමක් ලබන අතර මෙය කිසිදු වෙහෙසක් නොගෙන ලෙහෙසියෙන් සිදුකරන ව්‍යාපාරයක් බවට අද වනවිට පත්ව ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙය නීති විරෝධී ක්‍රියාවක් වන අතර එලෙස කටයුතු කරන්නේ නම් රජය මෙම මධ්‍යස්ථාන සඳහා නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවය.

 යසවර්ධන රුද්රිගු