පසුගිය සතියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකළ කතාව පිළිබඳ ප්‍රශංසාත්මක ඇගයුම් මෙන්ම දැඩි විවේචනද අසන්නට දකින්නට ලැබුණි. එම ප්‍රකාශවලින් බහුතරය ජනාධිපතිගේ කතාව පිළිබඳ තමන්ගේ පක්ෂ දේශපාලන මතවාද මත පිහිටා විවිධාකාර පුද්ගලයන් සිදුකළ ඒවාය. කෙසේ නමුත් ජනාධිපති ජාතිය අමතා කළ කතාව පිළිබඳ හරයාත්මක ඇගයුමක් සිදුනොවූ තරම්ය. ඒ උදෙසා යම් ප්‍රවේශයක් ලබාගැනීම මෙම ලිපියේ අපේක්ෂාවයි. මෙහිදී අප වැඩි අවධානයක් ලබාදෙන්නේ ජනපති සිය කතාවේ තමා ඇතුළු ආණ්ඩුව සිදුකළා යැයි කියූ දේ නොවේ. අනාගතයේ සිදුකරනවා යැයි කියූ දේටය. රටේ සංවර්ධනයේ සැබෑ අපේක්ෂාවන් ජනතාවට අවබෝධ වන්නේ ඒ තුළිනි. සාධාරණ විවේචන සහ අගය කිරීම් සිදුකළ හැක්කේද එම කරුණු තෝරා බේරාගත් පසුවය.
අප මෙහිදී අවධානය යොමුකරන්නේ ජනාධිපති කතාවේ ඇතුළත් වූ ප්‍රමුඛ ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධව පමණි. පළමු කෘෂිකර්මය පිළිබඳ ආණ්ඩුවේ පිළිබඳ අවධානය යොමුකරමු. මේ මොහොතේ ගොවි ජනතාව හමුවේ ඇති පොහොර අර්බුදය පිළිබඳවත් ජනපති දීර්ඝ වශයෙන් සිය කතාවේදී කතා කළේය. ජනාධිපතිගේ කාබනික පොහොර තීරණය හා එහි පසුබිම පිළිබඳව මේ වනවිටත් රට දැනුවත් නිසාවෙන් මෙම තීරණයේ අනාගතය පිළිබඳ කොටස මෙසේ උපුටා දක්වමු.
&පිටරටින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර ඉදිරි කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මෙරටට ගෙන්වා තිබුණා. මේ වනවිටත් වගා බිම් හෙක්ටයාර මිලියන 1 1/2 කට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් බෙදා දී අවසන්. ඒ සමගම කාබනික පොහොරත් මෙට්‍රික් ටොන් 8,000 ක් පමණ බෙදා දී තිබෙනවා. ඉදිරි මහ කන්නය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර සියල්ල ලබාදෙන බවට රජය සහතික වෙනවා. අපි මේ ප්‍රතිපත්තිමය තීරණය ගැනීමත් සමග රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යවසායකයන් හා සමාගම් විශාල වශයෙන් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා කාබනික පොහොර ආශ්‍රිතව ව්‍යවසායන් වර්ධනය කිරීමට ගනු ලබන පියවර පහදයි. එසේම ගොවීන්ට කාබනික පොහොර ලබාදීම පිළිබඳ සහතිකයක්ද ජනපති ලබාදෙයි. රසායනික පොහොර නොමැතිව ගොවිතැන දියුණු කරන්න බැහැ කියන මතය දරන අයටත් මේ තීරණය නිසා ලැබෙන දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිලාභ ඉදිරියේදී පැහැදිලිවනු ඇති බව ජනාධිපති පවසයි. මේ අනුව කාබනික පොහොර තීරණය තවදුරටත් ක්‍රියාත්මක වන බව පෙනීයයි. ඒ සමඟම කෘෂිකර්ම සම්බන්ධව ජනපති දැක්මද පැහැදිලි වෙයි.
මීට අමතරව නිවාස සහ ඉඩම් ගැටලු විසඳීම සම්බන්ධව රජය විසින් ගනු ලැබූ තීරණ පිළිබඳවද ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද ජනපති සිය කතාවේදී පැහැදිලි කරයි. ඒ අනුව විශාල පිරිසක් පැල්පත්වල ජීවත් වන බවත් සමහර පදිංචිකරුවන්ට තම ඉඩමට ඔප්පුවක් නැති නිසාවෙන් නිවසේ ඉදිරි සංවර්ධන කටයුතු කරගන්නට නොහැකිවී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙයි. මේ තත්ත්වය වෙනස්කොට සතුටින් ජීවත්වන පවුලක් යන තේමාව යටතේ මේ රටේ ජීවත් වන සෑම පවුලකටම ජීවත් වීමට සුදුසු නිවසක් ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති අවධානය කරයි.
2014ට පෙර අප විසින් සාර්ථකව කරගෙන ආ නිවාස සංවර්ධන ව්‍යාපෘති යළිත් වේගවත්ව ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබෙනවා. ඉදිරි වසර 4 තුළ නිවාස ලක්ෂ තුනක් රජය විසින් හා රාජ්‍ය හා පෞද්ගලික අංශයන් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හරහා ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර නාගරික නිවාස හැට දහසකුත්, ග්‍රාමීය නිවාස ලක්ෂ 2 කුත් ඉදිවෙනවා. වතු නිවාස හා කුලී නිවාස 40 දහසකුත් අපේ සැලැස්මට අයිති වෙනවා. මේ නිවාසවලින් නිවාස 20 දහසකට වඩා මේ වනවිටත් ඉදිවෙමින් තිබෙනවා. තවත් 10,000ක් පමණ මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා.
ජනපතිට අනුව මේ වනවිටත් අඩු ආදායම් ලාභීන් සඳහා මහල් නිවාස ඒකක 7000ක් පමණ ඉදි වෙමින් තිබේ. මැදි ආදායම්ලාභීන් සඳහා මහල් නිවාස ඒකක 3000ක වැඩ ආරම්භ වී තිබේ. එසේම ග්‍රාමීය නිවාස 14,000ක්, එක ගමකට එක ගෙයක් වැඩසටහන යටතේ ඉදිවෙමින් පවතියි. මීට අමතරව ඉඩම් සම්බන්ධවද ජනාධිපති ආණ්ඩුවේ ඉදිරි දැක්ම පැහැදිලි කරයි.
ග්‍රාමීය ජනතාව තුළ දිළිඳුකම පිටුදැකීමේ තවත් පියවරක් ලෙස ඉඩම් අහිමි පවුල්වලට වගා කළ හැකි ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මේ වනවිටත් පවුල් 20,000 කට වඩා අක්කරය බැගින් ඉඩම් ලබා දී තිබෙනවා. පාරම්පරිකව වසර ගණනාවක් පදිංචි වී සිටියත්, ඉඩම් අයිතිය අහිමි 100,000කට වැඩි පිරිසකට නීත්‍යානුකූල ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙනවා.
අධ්‍යාපන පිළිබඳ අනාගත අපේක්ෂාවන් රුසක්ද මෙහිදී හෙළිදරව් වෙයි. ජාතික පාසල් 373ට අමතරව පාසල් 1000 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම. වැඩිපුර සිසුන් 10,000 ක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීම ආදිය මේ වනවිටත් සිදුවෙමින් පවතින බව ජනාධිපති කියා සිටියි. ඊට අමතරව විශ්වවිද්‍යාලය පද්ධතියේ අනාගතය පිළිබඳ මෙහිදී ජනාධිපති දීර්ඝ පැහැදිලි කරයි.
යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල සිද්ධ වෛද්‍ය ඒකක, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කරනු ලබන අතර ප්‍රාසාංගික කලාව ප්‍රවර්ධනය සඳහා යාපනය විශ්වවිද්‍යාලය තුළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ප්‍රාසාංගික කලා පීඨය ස්ථාපනය කරනු ලබනවා. මැතිවරණ කාලය තුළ අප ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් ලංකාවේ සියලු ගුරු විද්‍යාපීඨ සියල්ල ඒකාබද්ධ කර ජාතික ගුරු පුහුණු විශ්වවිද්‍යාලයකුත්, සියලු රාජ්‍ය හෙද පාසල් ඒකාබද්ධ කොට, ජාතික හෙද විශ්වවිද්‍යාලයකුත් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. වැවිලි කර්මාන්තයට හා කෘෂි කර්මාන්තයට අදාළ දැනට ස්ථාපිත සියලු පර් යේෂණ ආයතන ඒකාබද්ධ කොට වැවිලි හා කෘෂිකර්මාන්තය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලයක් ගොඩනැඟීම සඳහා මේ වනවිටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්වවිද්‍යාල CITY UNIVERSITIES ගොඩ නැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.
මාර්ග සංවර්ධනයෙහි ලා ආණ්ඩුවේ අනාගත සැලසුම් රුසක් ජනාධිපති සිය කතාවේදී ඉදිරිපත් කරයි. අධිවේගී මාර්ගවල අනාගතය සහ නාගරික සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය අපේක්ෂාව මෙහිදී හෙළිදරවෙයි. එසේම 2024 වන විට කොළඹ සිට නුවරට මධ්‍යම අධිවේගී මාර්ගයේ යන්නට ජනතාවට අවස්ථාව ලැබෙන බව ජනපති සහතික වෙයි.
කැලණි පාලම ළඟ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයත් කැලණි පාලම ළඟ සිට වරාය නගරය දක්වා යන අධිවේගී මාර්ගයත් මේ වනවිට ඉදිකිරීම් ආරම්භ වී තිබෙනවා. 2023 දී මේවායේත් වැඩ අවසන් වෙනවා. මං තීරු හයක් ඇති නව කැලණි පාලම හා අනුබද්ධිත මංසංධිය මේ වසරේදී විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා මීට අමතරව රජය සැලසුම් කොට තිබෙන රටපුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ වැඩ පිළිවෙළේ කිලෝමීටර් 25 දහසක පමණ වැඩ මේ වනවිටත් නිමාවෙමින් තිබෙනවා. මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ නගරය තුළ ගුවන් පාලම් 5 කුත්, නුවර එක් ගුවන් පාලමකුත් ඉදිකරමින් පවතිනවා. මීට අමතරව ජනාකීර්ණ නගර ආවරණය වන පරිදි බහුවිධ රථගාල් සහිත ගොඩනැගිලි 9ක් ඉදිකිරීම ආරම්භ වී තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු පියවර අපි පසුගියදා ආරම්භ කළා. මේ අධිවේගී මාර්ගය 2023 අවසන් වනවිට සම්පූර්ණයෙන්ම ඉදිකොට අවසන් කරනවා.
මේ ආදී වූ තවත් ක්ෂේත්‍ර රුසක් පිළිබඳ ජනාධිපති සිය දීර්ඝ කතාවේදී සිය සංවර්ධනය අපේක්ෂාවන් පහදයි. මෙම තොරතුරු ජනතාව දැනගැනීමට අපේක්ෂා කළ තොරතුරුය. එහෙත් ඒවා නිරවුල්ව සමාජ ගතවූවාද යන්න ගැටලු සහගතය. සැබවින්ම ජනාධිපතිවරයකු ජාතිය අමතන විට රටක ජනතාව ප්‍රධන වශයෙන් අපේක්ෂා කරන්නේ රට හමුවේ ඇති වර්තමනා අභියෝගවලට විසඳුම්ය. පෙර කළ කී දෑ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීම් මෙවන් මොහොත ජනතාව ජනාධිපතිගෙන් අපේක්ෂා නොකරයි. එවන් දෑ පැවසීය යෑම හේතුවෙන් ජනපතිගේ කතාවේ සැබෑ අපේක්ෂා ඉටු නොවන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි.
චමිඳු නිසල් ද සිල්වා