වෙනදා කතරගමට පැමිණෙන බැතිමතුන් දැන් නැත. ඒ අතරේ කොරෝනා වසංගතයත් සංචරණ සීමාත් සමඟ කතරගම තිස්සමහාරාම ප‍්‍රදේශවලට අයත් වනගත ප‍්‍රදේශ රැසක මහා වනය වන බලධාරීන්ගේද සහයෝගය ඇතිව විනාශ වෙමින් පැවතීම කනගාටුවකි.
මේ වනවිට කතරගම කොච්චිපතාන සිතුල්පව්ව මාර්ගයටත් වැඩිහිටිකන්ද රක්ෂිතයටත් අයත් වන ප‍්‍රදේශයේ අක්කර 300කට වැඩි ප‍්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් කපා පුළුස්සා දමා වටිනා බුරුත ඇතුළු ගස් ඉරා එමඟින් නිවාස ඉදිකරමින් තිබේ.
වන විනාශය සිදුකළ පුද්ගලයන් අල්ලා ගැනීමේ වැටලීමක් පසුගිය 27 දින යුද හමුදාව සහ වන සංරක්ෂණ නිලධාරීන් එක්ව සිදුකළ අතර එහිදී වටිනා බුරුත ගස් කපා නිවසක් ඉදිකරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන්ට හැකිවිය.
වැඩිහිටිකන්ද පිටුපස වල්ලි කන්දට මායිම්ව ඇති රක්ෂිත සීමාවේ ගස් කපා දමා වනය ගිනි තබා ඇති අයුරු කාටත් දැකගත හැකිය. කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 55ක් ද මෙම ඉඩම් මංකොල්ලකරුවෝ අත්පත් කරගෙන සිටිති. දේවාලයේ පූජාවෙන් පසුව බැතිමතුන් වෙත ලබාදෙන තින්නෝරු සපයන ඉඩමද අල්ලාගෙන ව්‍යාජ බලපත‍්‍ර සාදවා පිටස්තර පුද්ගලයන්ට ඉඩම් විකුණා ඇති අතර මේ වනවිටත් මෙම ඉඩම තුළ ස්ථිර නිවාස සාදවා ගෙන පිරිස් පදිංචිව සිටිති. කතරගම දේවාලයට අයත් තින්නෝරු ඇති භූමිය කොළඹ ප‍්‍රදේශයේ ව්‍යපාරිකයන් ගමේ පිරිස් අල්ලාගෙන ව්‍යාජ බලපත‍්‍ර සාදවා තිබෙන බව පැවසේ.
මේ සම්බන්ධව තින්නෝරු කර්මාන්තයේ පාරම්පරිකව නියලෙන එස්. කන්දයියා පැවසුවේ ඇසළ මංගල්‍යයට වසර 03ක සිට බැතිමතුන් එන්නේ නැති අතර එනිසා දැන් දේවාලයේ ඉඩම් කොළඹ අය අල්ලාගෙන වැසිකිළි සහ ගෙවල් හදලා තිබෙන බවයි. &මේ තින්නෝරු තියෙන්නේ අක්කර 50 ක් තරම් භූමියක. අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා වසර ගණනාවක් පුරා මේ ඉඩම් නිදහස් කරන්න කියලා නමුත් එසේ වන්නේ නැහැ කන්දයියා වැඩිදුරටත් කීවේය.
යාල ජාතික උද්‍යාන සීමාවේ ඇති විදුලි වැටවල් ආශ‍්‍රිතවද දැව ජාවාරම් සිදුවේ. කළුවර, බුරුත වැනි ගස් රාත්‍රී කපා විදුලි වැට සීමාවෙන් ඉවත් කර රාත්‍රී කාලයේ කතරගම ලීමෝල් වෙත රැගෙන යාම නිතර සිදුවන්නකි. සෙල්ලකතරගම අවට දියවරගම, කොහොඹ දිගන, ලුණුගම්වෙහෙර වන සීමා මේ වනවිට දිනපතාම එළිකරමින් හේන් කරන මුවාවෙන් එළිකර තාවකාලිකව නිවාස තනා පිටස්තර පුද්ගලයන්ට විකිණිමද සිදුවේ.
වනාන්තර ඉඩම් සම්බන්ධව වගකීමක් ඇති රජයේ නිලධාරීන්ද මෙම ඉඩම් එළිකරන පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවත් ආරංචිය. ළඳු කැලෑ බැකෝ යන්ත‍්‍ර දමා එළි කිරීමට ඉඩ ලබාදීමද අඛණ්ඩව සිදුවන කාර්යයකි.
මේ වනවිට දැවැන්ත ලෙස කතරගම මැණික් ගඟෙත් හංගුන්ආර තුළත් වැලි ගොඩ දැමීම නිසා ඉවුරු කඩා යමින් දැවැන්ත හානියක් සිදුවේ. මෙයට අමතරව ගොඩ වැලි ජාවාරම්ද සෙල්ල කතරගම පුරාම වන අශ‍්‍රිතව සිදුවෙමින් පවතී. මේ වනවිටත් කතරගම සිට සෙල්ල කතරගම කොහොඹ දිගන විදුලි වැට අවසන් වන සීමාවේ වැලි ගොඩ ගසා රාත්‍රී කාලයේදී ප‍්‍රවාහනය කිරීමද නිතර සිදුවෙමින් පවතී.
කතරගම හා තිස්සමහාරම වැව් සහ ඇළවල් ආශ්‍රිත සංරක්ෂිත සීමා තුළ නවාතැන් පොළවල් ඉදිකර අවසන් වී තිබේ. කතරගම පුරා ඇත්තේ වල් වැදුණු නීතියකි. වනයේ මුව, ගෝන, වල් ඌරු ආදී වනසතුන්ටද උගුල්වලට වෙඩි උණ්ඩයට බිලිවී බොජුන් වේල රස කිරීමට සිදුව තිබේ. අධික මිල ගණන්වලට රජයේ ඉඩම් අල්ලාගෙන විකිණීම කලක පටන් සිදුවන ජාවාරමකි. වැඩසිටිකන්දට එම නම ලැබී ඇත්තේ කඳ සුරිඳු එහි වැඩ සිටි බව සැලකෙන නිසාය. කෙසේ වුවත් දෙවියන් පවා නොතකන මුදලට කෑදර මිනිසුන් වනපෙත වනසා දමනන්නේ කිසිදු ලජ්ජාවකින් නොවේ. පරිසරය සුරුකීම වචනවලට සීමාකර මෙම පරිසරක විනාශයන් වනතෙක් පරිසර අමාත්‍යංශයද බලා සිටින බවක් පෙනේ.
පසුබිම් පුවත් සහ සේයාරූ: කතරගම කේ.ඩී. දේවප්‍රිය
කුසුම්සිරි විජයවර්ධන