කොවිඩ් වසංගතය හමුවේ රෝගය පාලනය ව්‍යාප්තිය හා නිවාරණය වෙනුවෙන් ඇවැසි සෑම පියවරක්ම රජය ප්රමුඛ සෞඛ්‍ය අංශ වෙතින් ගනු ලබමින් සිටියි. දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති පසුබිමක මහජනතාවගේ සෞඛ්‍ය මට්ටම නගා සිටුවීම අරමුණු කොටගෙන සියලුම සුරාසල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. එවැනි නීති ක්‍රියාත්මකව තිබියදී සංචරණ සීමා යටතේ ගෙවුණු දින කිහිපයක තුළදී මෙරට නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු පෙරීම ඉතිහාසයේ නොවුණු ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා විය.
කොවිඩ් -19 නිසා නිරෝධායනයට යොමුකළ ඇතැම් නිවෙස් අදාළ කාලසීමාව අවසන් වුවද ආණ්ඩුවේ නිරෝධායන දැන්වීම් අලවා තබාගෙන ඒ යටතේ කසිප්පු පෙරීමටත් තවත් නිවාසවල මුළුතැන්ගෙයි ආහාර පිසීමට අමතරව කසිප්පු පෙරීම සිදුකළ බවත් අනාවරණය වී තිබේ. නිවෙස්හි අලවන නිරෝධායන දැන්වීමට මුවා වී මාසයක් පුරාවට හොර කසිප්පු පෙරෑ සිදුවීමක් පයාගල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙළිදරව් වී තිබිණි.
පොලීසියේ දෛනික සංඛ්‍යාලේඛන මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා විශ්ලේෂණයකින් අනාවරණය වී තිබුණේ සංචරණ සීමා සමයේ රටේ කසිප්පු පෙරීමේ ප්‍රවණතාව 75%න් වර්ධනය වී තිබෙන බවය. එමෙන්ම කසිප්පු නිෂ්පාදනය සඳහා භාවිතයට ගන්නා ගෝඩා නිෂ්පාදනය 100%කටත් වඩා සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවද එම වාර්තා පෙන්වා දෙයි. සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමත් සමඟ සුරාසල් වසා තැබීමට නියෝග කෙරිණ. මේත් සමඟ ගෘහස්ත වශයෙන් කසිප්පු පෙරීම බහුල වශයෙන් සිදුව ඇති බව වාර්තා වන අතර මේ කාලය තුළදී විවෘතව තිබෙන සිල්ලර වෙළෙඳසල්වලින් අසීමිත ලෙස සීනි අලෙවි වී තිබෙන බවද පැවසේ. ඊට හේතුවක් වන්නේ හොර කසිප්පු නිෂ්පාදනය සඳහා අධිකව සීනි භාවිතා කිරීමය. මේ අතර සිදුකළ වැටලීම්වලදී හෙළිවී ඇත්තේ කසිප්පු හෝ එවැනි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පිළිබඳව අන්තර්ජාලයේ දක්නට ලැබෙන දර්ශන හා තොරතුරු නැරඹීම හරහා බොහෝ පිරිස් කසිප්පු පෙරීමට යොමුවී සිටි බවය. නාගරික තට්ටු නිවාසවල පදිංචි ඇතැම් පුද්ගලයන් මේ සඳහා පෙළඹී ඇතැයිද වාර්තා වන්නේ එවැනි පසුබිමකය.
මැයි මස 29 සිට ජූනි 05 වැනිදා දක්වා අත්අඩංගුවට පත්ව ඇති කසිප්පු ප්‍රමාණය ලීටර් 13,943ක් බවද මැයි මස 21-28 දක්වා සතියක් තුළ අත්අඩංගුවට පත්ව තිබෙන කසිප්පු ප්‍රමාණය ලීටර් 8209ක් ලෙසද වාර්තා කෙරේ. මේ අතර මැයි 29 සිට ජූනි 05 දක්වා ගෝඩා ලීටර් 12,609ක්ද මැයි 21-28 අතර දින හතකදී ගෝඩා ලීටර් 5917ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පසුව අධිකරණය වෙත පමුණුවනු ලැබූ නඩු ප්‍රමාණය 5381කි. ඒ අනුව එම කාලසීමාවේදී කසිප්පු නඩු 1093න් පමණ ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ.
එවැනි වැටලීම් අතර මීගමුව මහ හුණුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූයේ සුවිසල් නිවෙසක් තුළ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පිළිබඳවය. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ කෝටිපති බේකරි නිෂ්පාදකයකු විසින් බවටද හෙළිදරව් වී ඇත. මෙහිදී රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා කසිප්පු ස්ප්‍රීතු බෝතල් 90ක් ගෝඩා බෝතල් 2171ක් සහ පෙරුම් උපකරණ සහිතව සැකකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී ගෑස් ළිප් භාවිතයෙන් කසිප්පු පෙරමින් සිට ඇති අතර මෙම කෝටිපති ව්‍යාපාරිකයා සිය බේකරි නිෂ්පාදන ව්‍යාපාරය මුවාවෙන් මහා පරිමාණ කසිප්පු ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු ව්‍යාපාරිකයාගේ තරුණ පුත්‍රයකු බව පොලීසිය පවසයි. මීගමුව කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ඒත්තුකාල සංචාරක පොලීසියේ නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකර තිබුණි.
සුරාබදු නිලධාරීන් 50 දෙනකුගේ කණ්ඩායමක් එක්ව යාන්ත්‍රික බෝට්ටු දෙකක් යොදා වෙන්නප්පුවේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී කසිප්පු ස්කාගාර 4ක් වටලා රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ගෝඩා කසිප්පු හා ආශ්රිත උපකරණ රුසක් අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත. මෙම වැටලීම වෙන්නප්පුව බෝලවත්ත යාංඔය හා කොච්චිකඩේ මහඔය ආශ්‍රිතව සිදුකර ඇත. වැටලීම අතරතුර සැකකරුවන් පලාගොස් ඇතත් ඒ සඳහා භාවිතයට ගන්නා ගෝඩා බැරල් 38ක් ස්ප්‍රීතු බෝතල් 50ක් ගෝඩා ලීටර් 7600ක් ඇතුළු උපකරණ රුසක් භාරයට ගෙන ඇත. මෙහි ස්කාගාර තුනක් ගිං ඔය ඉවුර ආශ්‍රිතව පවත්වාගෙන ගොස් තිබිණි. කජු ලෙලි හා දර භාවිතයෙන් සිදුකර තිබෙන ජාවාරම නිසා ලංකාවේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන ගිං පොල් ශාකයට විශාල හානියක් සිදුව ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.
මේ අතර ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවාස දෙකක මුළුතැන්ගෙය තුළ පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාර දෙකක් වැටලීමට සමත්ව තිබේ. එම වැටලීම ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ සිදුකර ඇති අතර එහිදී රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා මත්පැන් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී කසිප්පු මිලිලීටර් 7500ක් ගෝඩා මිලිලීටර් 20,000ක් ගෑස් ටැංකි, දඟර ඇතුළු උපකරණ රුසක් භාරයට ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම වැටලීම මහජනතාව ලබාදුන් තොරතුරු අනුව සිදුකළ එකක් බවය. දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පසුගියදා සිදුකළ වැටලීමකදී නිවාස තුනක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වටලා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා මත්පැන් තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම් වලහන්දූව, හබරාදූව හා පිලාන ප්‍රදේශවලදී සිදුකර තිබෙන බවත් කසිප්පු මිලිලීටර් 61150ක් හා ගෝඩා මිලිලීටර් 520,000ක් සමඟ උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවත් වාර්තා කළේය.
සැකකරුවන් පාපොච්චාරණය කර ඇත්තේ බලපත්‍රලාභී මත්පැන් අලෙවිසල් වසා තිබෙන නිසා ගාල්ල හබරාදූව අවට මත්පැන්වලට වැඩි ඉල්ලුමක් ඇති බවය. එබැවින් කසිප්පු වැඩිමිලට විකිණීම සඳහා සූදානම් වූ බව කියා ඇත.
මේ අතර දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ තවත් වැටලීමකදී අගුණකොළපැලැස්ස නිවසක මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ පහකට අධික වටිනා කසිප්පු අත්අඩංගුවට ගෙන ඇත. සංචරණ සීමා යටතේ සුරාසල් වසා තිබෙන පසුබිමක අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම කසිප්පු නිෂ්පාදනය කළ බව සැකකරුවන් කියා ඇත. මෙහිදී කසිප්පු මිලිලීටර් 31200ක් සමග ගෝඩා මිලිලීටර් 360000ක් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිකුණාමලය සුරාබදු නිලධාරීන් විසින් සාම්පල්තිව් කලපුව ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාර තුනක් වටලා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා මත්පැන් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මෙහිදී කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර් 12000ක් හා ගෝඩා මිලිලීටර් 16,00,000ක් හා දඟර ඇතුළු උපකරණ රුසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වැටලීම ප්‍රදේශයේ මහජනතාව විසින් ලබාදුන් තොරතුරු අනුව ක්‍රියාත්මක කර ඇත.
දීප ව්‍යාප්තව සංචරණ සීමාවන් පනවා තිබීම නිසා සුරාබදු බලපත්‍ර ලත් සියලුම ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබිණ. එම නියෝගය කඩකරමින් මත්පැන් සිල්ලරට අලෙවි කළ කඩුගන්නාව සුරාබදු බලපත්‍ර ලත් හෝටලයක් වැටලීමට දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් කාර්යාංශය සමත්ව තිබුණි.
මෙවැනි පසුබිමක ආරක්ෂිත හා සුරක්ෂිත පළමු මට්ටමේ හෝටල (Safe and secure level 1 Hotels) තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන්ට එම කාලසීමාව තුළදී මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදී තිබේ. සංචාරක අමාත්‍යංශයේ ඉල්ලීම අනුව එම පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී. මේ අතර (Online) මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සුරක්ෂිත සීමා යටතේ ක්‍රියාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර