2021 ජුනි 19 වන සෙනසුරාදා

අල්ලන්න - දකින්න බැරි බිට්කොයින් මුදල් යුගයක්!

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:01 85

ස්පර්ශ කළ නොහැකි ඩිජිටල් මුදල් අනාගතයේ බිහිවන සංකීර්ණ ආර්ථිකයක එක වැදගත් කොටසක් විය හැකිය. දැනටමත් ලෝකයේ සමාගම් ගණනාවක් විවිධ නම් වලින් අන්තර්ජාලයේ හුවමාරුවන ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය කර තිබේ. ඇත්තටම මෙවැනි මුදල් අතින් අල්ලා, දෑසින් දකින්නට පුළුවන්කමක් නැත. ඒවා ගිණුම්වල නිර්මාණය වී තිබේ. ගැනුම්කරුවෝ ඉල්ලුම් කරති. වෙන්දේසි කෙරේ. වෙන්දේසියක දී වටිනාකම ඉහළ නැගෙන අතර නොපෙනෙන මුදල් ගිණුම් අයිතිකරුවෝ පොහොසත් වෙති. අවශ්‍ය අවස්ථාවක විකුණා දැමීමටද තවත් අවස්ථාවක අවශ්‍ය තරම් රැස් කරන්නටද හැකිය. 2008 වසරේදී නොදන්නා පුද්ගලයකු හෝ කණ්ඩායමක් බිට්කොයින් නිපදවා ඇත. ලෝකයේ කිසිම මහ බැංකුවක හෝ පරිපාලකයකුගේ සම්බන්ධයකින් තොරව එය ලොවපුරා හුවමාරු වෙමින් තිබේ. විවෘත මූලාශ‍්‍ර මෘදුකාංගයක් එයට භාවිතාකරන අතර රහස් මුරපදයකින් ගිණුම් පවත්වාගෙන යන බව දැක්වෙයි.

ධනය රුස්කරන පිරිස් අතර වේගයෙන් ප‍්‍රචලිත නමුත් ඩිජිටල් මුදල් තවමත් ස්වෛරී රාජ්‍යයන්හි ගනුදෙනුවලට සම්බන්ධ වී නැත. එහෙත් එල් සැල්වදෝරය පළමු වතාවට එය පිළිගන්නා බව ප‍්‍රකාශ කර තිබේ. එරට ජනාධිපති නයිබ් බුකෙලේ සඳහන් කරන පරිදි අවශ්‍ය කරන නීතිමය ව්‍යුහය සකස් කිරීමේ යෝජනා එරට කොංග‍්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කර ඇත. නෛතික කටයුතු අවසන් වීමෙන් පසු අ‌ෙමරිකානු ඩොලරය හා සමානව බිට්කොන් ඩිජිටල් මුදල්වලටද එරට ටෙන්ඩර් ගනුදෙනුවලට සම්බන්ධවිය හැකි බව දැක්වෙයි. මෙය වාර්තාගත තීන්දුවකි. ගනුදෙනුවලට විවෘත කිරීමෙන් පසු එල්සැල්වදෝර්හි ආර්ථික සමාජ තත්ත්වය වර්ධනය වී එහි ප‍්‍රතිලාභ ජනතාවට, ව්‍යාපාරවලට හා රජයට හිමිවනු ඇතැයි රාජ්‍ය ප‍්‍රධානීන් තක්සේරු කර තිබේ. 

එල්සැල්වදෝරය දැනට කාසි හුවමාරුව මත පමණක් වැඩි විශ්වාසයක් තබා ඇති රටකි. එරට ජනතාවගෙන් සියයට හැත්තෑවකට බැංකු ගිණුමක් නැති බව ප‍්‍රකාශ වෙයි. චෙක් පත් හෝ ක්‍රෙඩිට් කාඩ් ගැන සඳහන් කිරීම පවා අවශ්‍ය නැති බව පෙනේ. විදේශ රටවල රුකියා කරන පිරිසට පවා සිය නිවෙසට මුදල් එවන බැංකු ගිණුම් භාවිත කරන්නේ සියයට විස්සකටත් අඩු ප‍්‍රතිශතයකින්ය. අතින් අල්ලා හුවමාරු කරන මුදල හැරුණු කොට වෙනත් දේ ගැන එපමණ තැකීමක් නැති සමාජයකි. 

ඩිජිටල් මුදල් ව්‍යවහාරය ගැන කල්පනා නොකරන සමාජයක බිට්කොයින් ගනුදෙනු ඇරඹීම සඳහා අන්තර්ජාල ගනුදෙනු කරන එක්තරා කණ්ඩායමක් අලුතින් හඳුනාගැනීමට එල්සැල්වදෝර පාලකයෝ බලාපොරොත්තු වෙති. එය පහසුකරන වේගවත් අන්තර්ජාල සැපයුමක් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගැනේ. පසුගිය මාර්තු මාසයේදී එරට සමාගමක් ජංගම දුරකථනවල භාවිත කරන ගෙවීම් මෘදුකාංගයක් හඳුන්වා දුන් අතර එය ඉතාම වේගයෙන් ව්‍යාප්ත වූ අතර දැන් එරට අංක එකට පත්ව ඇති ජංගම මෘදුකාංගයයි. කෙසේ වෙතත් එරට නීති ක්ෂේත‍්‍රයේ ඉහළම පිරිසක් මෙම ඩිජිටල් ගනුදෙනු හඳුන්වා දීමට එරෙහිය. අධිකරණ ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව දක්වා තිබේ.

එල්සැල්වදෝරය මධ්‍යම අ‌ෙමරිකානු කලාපයේ රටකි. පැසිපික් සාගරයට එක් පැත්තකින් මායිම් වී පිහිටා ඇති අතර හොණ්ඩුරාස් රාජ්‍ය හා ගෝතමාලාව අනෙක් පැතිවලින් පිහිටා ඇත. ජනගහනය හැට අට ලක්ෂයක් පමණ වෙයි. ස්පාඤ්ඤය, මැක්සිකෝව හා ඇමරිකාවට යටත්ව තිබී  පසුව නිදහස ලබා ඇත. ඒක පුද්ගල ආදායම අතින් ලෝකයේ මැදි ආදායම් රටක මට්ටමක පවතී. අ‌ෙමරිකානු ඩොලර් රට තුළ භාවිත කරන අතර බිට්කොයින්ද ව්‍යවහාර මුදල් වශයෙන් පිළිගැනීම විශේෂත්වයකි.  පසුගිය දශක දෙක තුළ තනි ඉලක්කමක සංවර්ධන වේගයක් පැවති එරටදරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස සමස්ත ජනගහනයෙන් සියයට තිස් හතකි. දුප්පත් අයවලුන්ගේ වත්කම මෙන් පහළොස් ගුණයක ධනයක් සියයට දහයක් පමණ වන පොහොසත් පිරිසට අයත් බව අන්තර්ජාල වාර්තා අනාවරණය කරයි. 

ලෝක ප‍්‍රජාව උණුසුම් කරන සංකල්පයක් බවට පත්ව ඇති ඩිජිටල් මුදල් භාවිතය අරඹෙන්නේ 1983 දි පමණ කාලයේදීය. ඩිජි කෑෂ් නමැති සමාගමක් පළමු පියවර තබා ඇති නමුත් පසුව බංකොලොත් වී තිබේ. ක‍්‍රමයෙන්, සෙමෙන් ව්‍යාප්ත වූ සංකල්පය 1996 වනවිට ඊ ගෝල්ඩ් යනුවෙන් අලුත් බහුලව භාවිතා වූ තැනකට පත්ව ඇති බව දැක්වෙයි. දැන් සමාගම් විශාල ප‍්‍රමාණයක් විවිධ නම් වලින් ගනුදෙනුකරුවන් වෙත ළඟා වී තිබේ. බිට්කොයින් ඉතාම ප‍්‍රචලිතය. ලයිට්කොයින්, බිට්කොයින් කෑෂ්, පියර් කොයින්, ග‍්‍රිඩ් කොයින් යනාදී වශයෙන් තවත් නම් සඳහන් කරන්නට හැකියාවක් තිබේ. ලෝකයේ මහ බැංකු ඩිජිටල් මුදල් අනුමත නොකරන නමුත් සමහර බැංකු විශාල වශයෙන් ඒවා හුවමාර කරන බව අනාවරණය වෙයි. දැනට වර්ධනය වී ඇති වටිනාකම අනුව සලකන විට මෙම ඩිජිටල් මුදල පුළුල් චිත‍්‍රයක් මවා පෙන්වයි. ශ‍්‍රී ලංකාවේ රුපියල්වලින් සලකා බැලුවහොත්  බිට්කොයින් එකක වටිනාකම හැත්තෑ නම ලක්ෂ හැට දහස ඉක්මවන බව කියැවෙයි. කෙසේ නමුත් ඉල්ලුම අනුව මෙම වටිනාකම රඳා පවතී. ගැනුම්කරුවන්ට සිය වත්කම ගැන සිහින දැකිය හැකි නමුත් හදිසි අවස්ථාවක දී ඒවා සියල්ල අහිමිවන අවදානමක්ද ඇති බව විචාරකයෝ දක්වති.

විදේශ මුදල් හුවමාරුව හා විනිමය සංචිත ගැන කතා කරන වර්තමානයේ භාවිතය ඉතා ඉක්මනින් ඩිජිටල් මුදල්වලට වෙනස් වෙන්නට ඉඩ තිබේ. එල්සැල්වදෝරයට පසු ලෝකයේ තවත් රටවල් ස්පර්ශ කළ නොහැකි මුදල් ගනුදෙනුවලට නැඹුරු වුවහොත් මවිත විය යුතු නැත. එල්සැල්වදෝරයේ ජනයා දුප්පත්ය. රට තුළ භාවිත වන බැංකු ගිණුම් සංඛ්‍යාව සීමිතය. මිනිසුන් අතට ලැබෙන කාසි කෙරෙහි විශ්වාසයෙන් පසුවෙති. අනාගතය ගැන කල්පනා කරන එරට ජනාධිපතිවරයා බිට්කොයින් පිළිගැනීමට සූදානම්ය. එමගින් ඇතිවිය හැකි පරිවර්තනය දෙන අවධානය යොමු කිරීම වැදගත්ය. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
 මිලින්ද මොරගොඩ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00