2021 ජුනි 19 වන සෙනසුරාදා

ජනතාව මතට කඩා වැටුණු තෙල් මිල මරාලය

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 192

ඉන්ධන මිල ඉතා විශාල ලෙස වැඩි කිරීම පිළිබඳ මේ දිනවල සමාජයේ විවිධ අංශ මගින් සාකච්ඡා කෙරෙමින් පවතී. මෙලෙස හිටි අඩියේ විශාල ලෙස සෑම වර්ගයකටම ඉන්ධන මිල වැඩි වීම සාමාන්‍ය මහජනතාවට මෙන්ම විවිධ ව්‍යාපාරික අංශවලට ඉතාම අහිතකර ලෙස බලපාන බව අනාවරණය වෙයි. බොහෝ දෙනා පවසන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින මිල සමඟ සංසන්දනය කිරීමේදී මෙම මිල ඉහළ දැමීම ඉතාම අසාධාරණ බවය. 

ලෝක වෙළෙඳපොළේ මේ වනවිට අමුතෙල් බැරලයක මිල පවතින්නේ අමෙරිකානු ඩොලර් 70ක මට්ටමකය. එසේ වුවද 1970 දශකයේ බොර තෙල් බැරලය අමෙරිකානු ඩොලර් 100-120 පමණ ප්‍රමාණයට පැවතියද රටේ තෙල් අලෙවිකරන මිල මේ තරම් වැඩිවී තිබුණේ නැත. එහෙත් අද වනවිට මෙලෙස විශාල වශයෙන් ඉහළ නැගීම ගැටලු සහගත වී ඇත. ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අද අලෙවිවන තෙල් මිල වෙනස ගැන සලකා බලන මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ මෙලෙස තෙල් මිල ඉහළ නැංවීමට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමට වඩා වෙනත් පරිබාහිර හේතු ගණනාවක ඇති බවය. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවායැයි හුවාදක්වමින් ආණ්ඩුව තමන්ට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මෙම අවස්ථාව කුප්‍රකට ලෙස යොදාගෙන ඇතැයි චෝදනා කෙරේ.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ තෙල් මිල වැඩි කිරීමේදී ක්‍රම දෙකකට පිරිවැය ගණන් බලන බවයි. ඉන් ප්‍රධාන කාරණය වන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිලය.

දෙවන කාරණය වන්නේ වක්‍ර පිරිවැය හෙවත් පොදු කාර්ය පිරිවැයයි. මෙම පොදු පිරිවැයට හේතු ගණනාවක් බලපායි. තෙල් ආනයන පිරිවැය, එනම් නැව් ගාස්තු සහ ප්‍රවාහන පිරිවැය පිරිපහදු කර බෙදාහැරීමට යන වියදම ආයතනික පිරිවැය හෙවත් ගොඩනැගිලි, යටිතල පහසුකම්, ඇමැතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමේ පිරිවැය මෙන්ම ආණ්ඩුව අයකරන බද්දද මෙයට ඇතුළත්ය. අද පවතින බදු ක්‍රමය අනුව පැට්‍රල් ලීටරයකින් රුපියල් 54ක බද්දක්ද ඩීසල් ලීටරයකින් රුපියල් 40ක පමණ බද්දක්ද අය කෙරේ. 

අපේ රටේ දිනකට පෙට්‍රල් ලීටර් හාරලක්ෂ විසිපන් දහසක් - පනස් දහසක් පමණ ප්‍රමාණයක් අලෙවි වේ. මේ අනුව ආණ්ඩුව ලබන ආදායම් ප්‍රමාණය ගණනය කළ හැකිය. කෙතරම් ලාභයක් ලැබුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනුයේ තමන් අලාභ විඳින බවය. මෙලෙස මැසිවිලි නැගීමට හේතුවක් තිබිය යුතුය. එය බොහෝ දෙනා නොදන්නා රහසකි. එයට හේතුව වන්නේ මේ මුළු බදු ආදායම සෘජුව මහා භාණ්ඩාගාරයට යාමය. එම මුදල් රජය ලබාගෙන තම මුදල් අවශ්‍යතාවලට යොදවන්නේය. ඒ නිසා සංස්ථාව හැමදාම පාඩුවට දුවයි. එසේම රාජ්‍ය අංශවලට විශාල ලෙස ණයට දීම නිසා ලැබිය යුතු ආදායමද නොලැබේ. මෙම තත්ත්වය නැතිකරලීම සඳහා සුදුසුම විකල්පය වනුයේ රජය තනිවම ලබන විශාල බදු ආදායමෙන් කොටසක් හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දීම බව මැදහත් ආර්ථික විශ්ලේෂකයෝ පවසති. 

මෙම ව්‍යාපාරයම සිදුකරන ලංකා ඉන්දියානු තෙල් සමාගම විශාල ලෙස ලාබ ලබයි. එහෙත් තෙල් සංස්ථාව නිතරම දුවන්නේ පාඩු පිටය. සංස්ථාවේ අනවශ්‍ය පිරිවැය මෙම පාඩුවට ප්‍රධාන හේතුව වී තිබේ. උදාහරණයක් ලෙස කිවහොත් ලංකා ඉන්දියානු තෙල් සමාගමට කොළඹ ඇත්තේ එකම කාර්යාලයක් නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යාල රුසක් ඇත. එසේම දරාගත නොහැකි කාර්ය මණ්ඩලයක්ද නඩත්තු කිරීමට සිදුව තිබේ. මේ බොහෝ අය දේශපාලන පත්වීම්ලාභියෝ වෙති. සෑම ඇමැතිවරයෙක්ම තම ආධාරකරුවන්ට හා හිතවතුන්ට පත්වීම් දීම සඳහා සංස්ථාව පාවිච්චි කරන බව රහසක් නොවේ. එදා සිට අද දක්වා වූ සෑම ආණ්ඩුවක්ම මෙයට වගකිව යුතුවෙයි. 

අනෙක් හේතුව නම් සේවකයන්ට ගෙවන ඉතා විශාල වැටුප්ය. ඉහළ මෙන්ම පහළ සේවකයෝද විශාල වැටුපක් ලැබීමට වාසනාවන්තයෝ වෙති. ඉන්දියානු තෙල් සමාගම සමාන්තර සේවකයන්ට ගෙවන වැටුපට වඩා සංස්ථා සේවකයන්ට ගෙවන වැටුප ඉතාම ඉහළය. මේ හැර සංස්ථාවේ සිදුවන වංචා දූෂණ සහ අකාර්යක්ෂමතාවද වැය පක්ෂය ඉහළ යාමට බලපායි. මැදහත් විශ්ලේෂකයන් පවසන්නේ සංස්ථාවේ කළමනාකරණ විධිමත් කර එහි සිටින අතිරික්ත සේවකයන් අඩු කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවය. එවැනි අභ්‍යන්තර වැඩකටයුතු ප්‍රතිසංවිධානය කරනවා වෙනුවට සංස්ථාව පාඩු ලබන බව කියා මිල වැඩිකිරීම නොකළ යුතු බවටද අවධාරණය කෙරේ.

පසුගියදා පැවැති ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුවේදී සාකච්ඡාවට භාජනය වී ඇති කරුණ වූයේ තෙල් සංස්ථාවට මේ වනවිට බොරතෙල් මිල ඉහළයාම නිසා සිදුව ඇති පාඩුව රුපියල් කෝටි තිස්තුන් දහසකට අධික බවය. ඒබව අමාත්‍ය උදය ගම්මන්පිලද පසුගියදා ප්‍රකාශ කළේය. මෙම පාඩුව පියවා ගැනීම සඳහා තෙල් මිල වැඩිකිරීම හැර සංස්ථාවේ අනවශ්‍ය වියදම අවම කිරීමේ ක්‍රියා පිළිවෙළක් ගැන අවධානය යොමුකර නැති අතර පහසුම ක්‍රමය ලෙස විකුණුම් මිල වැඩිකිරීමට තීරණය කර තිබේ. විචාරකයන් පවසන්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන නිෂ්පාදනය නොකරන අතර එයින් සිදු කෙරෙන්නේ ඉන්ධන මිලට ගෙන ලාභයක් තබා ගෙන අලෙවි කිරීම බවයි. මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නොව සරල ක්‍රමවේදයකි. එසේනම් මෙහිදී පාඩුවක් සිදුවීමට හේතුවක් නොපෙනේ. ඉන්දියානු තෙල් සමාගම මෙම ක්‍රියාවලියම සිදුකර විශාල ලාභයක් ලබයි. එසේනම් එම ව්‍යාපාරයම කරන සංස්ථාව පාඩු ලබන්නේ මෙම ක්‍රියාවලියේ කොහේ හෝ සිදුවන කාන්දුවක් හෝ අපතේ යාමක් නිසා බව පෙනේ. එසේ නම් මෙහිදී සිදුවිය යුත්තේ වරද නිවැරදි කිරීම මිස මිල ඉහළ දැමීම නොවේ.

පසුගිය වසරේ මුලදී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බැරලය අමෙරිකානු ඩොලර් 26 දක්වා පහළ වැටුණද අලෙවි මිල අඩු නොකළ රජය එයින් අතිවිශාල ලාභයක් ලබාගෙන තිබේ. ඒ අවස්ථාවේදී වගකිව යුත්තන් ප්‍රකාශ කළේ මෙම අතිරික්ත ලාභයෙන් වෙනම ස්ථායීකරණ අරමුදලක් ගොඩනගා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවන අවස්ථාවලදී මිල වැඩිනොකර ජනතාවට සහනයක් සැලසීමට කටයුතු යොදාගන්නා බවය. එහෙත් එම අරමුදලට සිදුවූයේ කුමක්ද යන්න දන්නා කෙනෙකු නැත. දැන් සිදුවන්නේ එය අමතක කර දමා තෙල් මිල අසීමාන්තිකව වැඩිකිරීමට කටයුතු කිරීමය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත වරද පටවන අය කින කරුණක් නම් තෙල් මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ යනවිට ඒ අනුව ක්‍රමයෙන් මිල වැඩිකිරීම ටිකින් ටික කළ යුතුව තිබුණු බවය. එවැනි ක්‍රියාමාර්ගයක් ගන්තා නම් එකවරම ජනතාවගේ ඇඟට නොදැනී මිල වැඩිවන බව ඔවුහු කියති. එය සිදු නොකර නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමනය කරමින් සිට එකවරම අවදිවී මිල වැඩිකිරීම නිසා ජනතාව විශාල අමාරුවක වැටී ඇතැයි ඔවුහු චෝදනා කරති. 
එසේම අද තෙල් මිල ඉහල යාමට තවත් ප්‍රබලම හේතුවක්වී ඇත්තේ විශාල ලෙස රුපියල අවප්‍රමාණ වීමය. මේ වනවිට අමෙරිකානු ඩොලරයක වටිනාකමට ශ්‍රී ලංකා රුපියල් 200කට වැඩි මුදලක් ගෙවිය යුතු තැනට පත්ව තිබේ. ඒ අනුව බොර තෙල් සඳහා මුදල් ගෙවීමේදී විශාල රුපියල් ප්‍රමාණයක් ගෙවිය යුතුය. මෙයද තෙල් මිල වැඩි කිරීමට හේතුවී ඇත.

තෙල් මිල ඉහළ නැංවීමට හේතු ඉදිරිපත් කරමින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයද නිවේදනයක් නිකුත්කර ඇත. ඒ ලියවිල්ලෙන් පැවසෙනුයේ තෙල් මිල ඉහළ දැමුවේ බැංකු වසා දැමීමට සිදුවිම වැළැක්වීම බවය. එසේම රුපියල අවප්‍රමාණවීම වැළැක්වීමද, ආයෝජන දිරිමත් කිරීමද දේශීය නිෂ්පාදන දිරිමත් කිරීමද මෙහි අභිලාෂ බව සඳහන්වේ. එහෙත් තෙල් මිල හා මෙම කරුණු අතර සම්බන්ධය කුමක්ද යන්න පොදු ජනතාවට මෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති අයටද වටහා ගැනීම දුෂ්කර වෙයි. දිවයිනේ ප්‍රකට ආර්ථික හා සංඛ්‍යා විද්‍යා දේශකයකු ලියුම්කරු සමඟ පැවසුවේ මෙම ජනාධිපතිගේ නිවේදනයේ හරබර වචන රාශියක් ඇති නමුත් එයින් අදහස් කරන දේ තමන්ටද නොවැටහෙන බවය. ඔහු පවසන්නේ මෙය සාමාන්‍ය ජනතාව රුවටීමට යොදාගත් වචන හරඹයක් බවය.

පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති සමයේ මංගල සමරවීර මුදල් ඇමැතිවරයාව සිටින විට 2017-2018දී ඉන්ධන මිල තීරණය කිරීමේ මිල සූත්‍රයක් තැනූ අතර එහි තෙල් මිල තීරණය කිරීම සඳහා ප්‍රධාන සාධක හතරක් සලකා බැලිණි. ඒවා නම්,

01 ලෝක වෙළෙඳපොලේ තෙල් බැරලයක මිල

02 ඩොලරයේ අගය අනුව ශ්‍රී ලංකා රුපියලේ ක්ෂය වීම

03 පරිපාලන හා නඩත්තු වියදම

04 බදු ප්‍රතිශතය

මේ අනුව මෙරට ඉන්ධන මිල සකස් කෙරිණි. මෙහි දුර්වලතාවයක් වූයේ මෙම සාධක අනුව මාසිකව මෙරට ඉන්ධන මිල ප්‍රකාශ කිරීමය. ඒ නිසා මසක් පාසා ඉන්ධන මිල උච්ඡාවචනය වීම ගැන විවේචන එල්ල විය. එය අසාර්ථක බවට දැනට ආණ්ඩු බලය හිමිකර ගෙන ඇති එකල විපක්ෂය චෝදනා කිරීම නිසා එය දිගටම ක්‍රියාත්මක කිරීමට අපහසුවිය. මංගල සමරවීර මහතා පසුගියදා මාධ්‍යවලට ප්‍රකාශ කළේ තම මිල සූත්‍රය පැවතුණා නම් මේ වනවිට පැට්‍රල් ලීටරයක මිල රුපියල් 115ක මට්ටමේ පැවතිය හැකි බවය. ඉන්ධන මිල අඩුකරන බව පොරොන්දුවී බලයට පැමිණි රජය මිල වැඩිකිරීම ගැන ඔහු චෝදනා කළේය. සාමාන්‍ය මහජනතාවගේ මතය වනුයේ මුලින් පැවැති ඉන්ධන මිල සූත්‍රය අනුව මාස 6කට වරක් ඉන්ධන මිල ප්‍රකාශ කළා නම් මෙලෙස එකවරම ජනාතවට දැඩි බලපෑමක් ඇති නොවන බවය.

කෙසේ වුවද ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව වැඩි දෙනාගේ අදහස වන අතර එය ආණ්ඩු සමඟ මාරුවන ප්‍රතිපත්තියක් නොවිය යුතු බව ඔවුන්ගේ අදහසය.

 යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00