2021 ජුනි 12 වන සෙනසුරාදා

තෙල් සංස්ථාවත් විකුණනවාද?

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 100

තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කරන්නේ යැයි පසුගිය සතියේ ආණ්ඩුවට  දැවැන්ත චෝදනාවක් එල්ලවිය. ඇතැම් ඛනිජ තෙල් වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලකයන් කිහිපදෙනෙක් මෙම චෝදනාව ඉදිරිපත් කළෝය. මීට හේතුව වූයේ පසුගියදා නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය ලැබීමයි. එම නිසාම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමඟ අපි ඉදිකිරීමට බලාපොරොත්තු වන නව ඛනිජ තෙල් පිරිපහදුව පිළිබඳ සංවාදයක නිරත වීමු. මෙම ලිපිය පිළියෙළ වන්නේ එම සංවාද ඇසුරෙනි.

ගෙවුණු වසර පනස් දෙකටම ශ්‍රී ලංකාව තුළ අලුතින් තෙල් පිරිපහදුවක් ඉදිවී නොමැත. එම නිසා මෙරටට වසරකට පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදන ගෙන ඒම සඳහා ඩොලර් මිලියන තුන්සියයක් අතිරේකව වැයකෙරේ. 1983 සිටම විවිධ ආණ්ඩු විසින් තවත් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට උත්සාහ කර ඇත්තේ මෙවන් තත්ත්වයක් තුළය. එහෙත් එම සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේ මෙම ව්‍යාපෘතිය අති දැවැන්ත එකක් වීම නිසාවෙනි. දේශීය අවශ්‍යතාවය පිරිමැසෙන නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි හැටදහසක් වැයවෙතැයි අපේක්ෂා කෙරේ. මෙය වරාය නගරය ඉදිකිරීමට ගිය මුදල මෙන් දෙගුණයකි. එම නිසාම මෙතරම් දැවැන්ත මුදලක් ලංකාව වෙනුවෙන් ආයෝජනය කරන්නට හෝ ණයක් ලබාදෙන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

ඉදිකිරීම් මෙහෙයුම්කර පැවරීමේ ක්‍රමවේදයට (BOT) මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට රටක් ලෙස අප බලාපොරොත්තු වන්නේ මෙවන් තත්ත්වයක් මතය. මෙහිදී සිදුවන්නේ ආයෝජකයා ලංකාවට පැමිණ තෙල් පිරිපහදුවක් ඉදිකර එහි නිෂ්පාදන තෙල් සංස්ථාවට අලෙවිකර තමා ආයෝජනයට වැයකළ මුදල ආවරණය කරගත් පසුව පිරිපහදුව තෙල් සංස්ථාවටම පවරා මෙරටින් පිටව යාමයි. මෙහිදී ආයෝජකයාට යම් කාලයක් ලංකාව තුළ තෙල් පිරිපහදුවක් පවත්වාගෙන යාමට සිදුවෙයි. එහෙත් ලංකාවේ වර්තමාන නීතිය අනුව මෙරට තුළ තෙල් පිරිපහදුවක් පවත්වාගෙන යා හැක්කේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණි. එසේ හෙයින් BOT ක්‍රමයට තෙල් පිරිපහදුව ඉදිකිරීමට මත්තෙන් පවතින නීතිය සංශෝධනය කළ යුතුවේ. ඒ අනුව පසුගිය පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත්තේ ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීම වෙනුවෙන්ය.

මෙය ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියක් මෙන්ම තරගකාරී ලංසු කැඳවීමකින් සිදුකරන ඓතිහාසික ව්‍යාපෘතියකි. මෑත ඉතිහාසය ප්‍රකට කවුරුත් දන්නා හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලි බලාගාරය ආදී දැවැන්ත ව්‍යාපෘති කිසිවක් තරගකාරී ලංසු කැඳවීම යටතේ සිදුවූ ව්‍යාපෘති නොවේ. එම නිසාවෙන්ම මෙම ව්‍යාපෘතිය මෙරට තරගකාරී ලංසු කැඳවීම ඔස්සේ සිදුකරන දැවැන්තම ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය. මේ සඳහා වර්තමානයේ ඇති සූදානම සැලකූ විට ඉඩම් අත්පත් කරගැනීම ආදිය දැනටමත් සිදුවෙමින් පවතියි. එසේම ශක්‍යතා අධ්‍යයනයක්ද සිදුකෙරෙමින් පවතියි. ඒ ඉදිරිය ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිත අතර ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කිරීමට නියමිතය.

සෑම දෙයක්ම කඩාකප්පල් කරන තේ කෝප්පයේ කිඹුලන් දකින පුද්ගලයෝ මේ රට තුළ සිටිති. මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් යුතුව අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරියේ ඔවුන් විසින්ය. තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය නොකරන බවත් පෞද්ගලිකකරණයට ඉඩ නොතබන බවත් ජාතිය ඉදිරියේ මේ වනවිටත් අප ප්‍රතිඥා ලබාදී තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ විශ්‍රාමික සේවකයෙකු තමා ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයා යැයි කියමින් මාධ්‍යයට විවිධ ප්‍රචාර නිකුත් කරමින් සිටියි. මෙම ප්‍රකාශවලට මාධ්‍ය තුළද යම් ඉඩක් ලැබීම හේතු කොටගෙන අවාසනාවන්ත ලෙස යම් ව්‍යාකූල තත්ත්වයක් පසුගිය දිනවලදී ඇති විය.

මෙම තත්ත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණද පසුගියදා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කරන බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන් කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන තුනක් වැය නොවන බවයි. බැරල් 65000 ක පමණ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට වැයවන්නේ ඩොලර් බිලියනක් පමණ බවත් එම නිසා මෙම ව්‍යාපෘතිය පිටුපස ගසාකෑමක් ඇති බවත් ඔවුන් කියා සිටී සිටියේය. මීට පිළිතුරක් ලෙස කියා සිටිය යුත්තේ ජවිපෙ පුරුද්ද හැමදේකටම විරුද්ධවීම නමුත් මේ අවස්ථාවේදී විරුද්ධවීමට අවශ්‍ය අධ්‍යයනවත් ඔවුන් හරිහැටි සිදුකර නොමැති බවයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනය තවමත් සිදුවෙමින් පවතී. දැනට අපට ඇත්තේ ඒ සම්බන්ධ යම් අදහසක් පමණි.

සාමාන්‍යයෙන් ලෝකයේ තෙල් බැරලයක් පිරිපහදු කිරීම සඳහා ඩොලර් විසිපන්දහසක් වැය වේ. ඒ අනුව බැරල් ලක්ෂයක නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 2.5 ක් වැය වේ. එසේම මීට සමගාමීව දැනට පවතින පිරිපහදුවේද විශේෂිත නවීකරණයන් දෙකක් සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඒ අනුව යුරෝ දෙක ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය වන තෙල් යුරෝ හය ප්‍රමිතිය දක්වා ඉහළ නැංවීමට නියමිතය. තවද එහි ධාරිතාවයද බැරල් තිස්අට දහසේ සිට බැරල් හතළිස් පන්දහස දක්වා ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම නවීකරණයන් සඳහා ඩොලර් මිලියන තුන්සියයක් පමණ වැයවෙතැයි දැනට අපේක්ෂා කෙරෙයි.

මේවාට අමතරව වරායේ සිට තෙල් පිරිපහදුව දක්වා නල පද්ධතියක් ස්ථාපිත කිරීමටද පිරිපහදු කරන තෙල් ගබඩා කිරීමට ටැංකි පද්ධතියක් සකස් කිරීමටද ඩොලර් මිලියන දෙසීයක් පමණ වැයවනු ඇත. දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන තුනක් මෙම ව්‍යාපෘතියට වැයවෙතැයි වැය වෙතැයි අප අපේක්ෂා කරන්නේ මෙවන් තත්ත්වයක් මතය. කෙසේ නමුත් මේ පිළිබඳ නිශ්චිත ඉලක්කම් ප්‍රකාශයට පත් කිරීමට හැකි වන්නේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලැබීමෙන් අනතුරුවයි. එම නිසාවෙන් ව්‍යාපෘතිය පිළිබඳ ජවිපෙ පැහැදිලි කිරීම තමන්ගේ දන්නාකම පෙන්වීමට ගොස් නොදන්නාකම ප්‍රදර්ශනය කළ අවස්ථාවක් යැයි සැලකිය හැකිය.

මෙම ව්‍යාපෘතිය තුළින් රටක් ලෙස අපට අත්වන වාසි සම්බන්ධව වෙන වෙනම සලකා බැලිය යුතුය. අපි මෙහිදී ඒ හා සම්බන්ධව සරල කරුණු කිහිපයක් පමණක් මතු කරමු. මෙම ව්‍යාපෘතිය හරහා පළමුව ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන ඩොලර් බිලියන තුනක ආයෝජනය රට තුළට ගලා එනු ඇත. දෙවනුව තෙල් ආනයනය කිරීම සඳහා වැයකරන මුදලින් අවම වශයෙන් ඩොලර් මිලියන 350ක් පමණ රටට ඉතිරිවනු ඇත. තෙවනුව මෙරට නිෂ්පාදනය වන ඛනිජ තෙල්වල ප්‍රමිතිය යූරෝ 6 දක්වා ඉහළ යාමෙන් පරිසරයටත් රථවාහනවලටත් විශාල වාසියක් සැලසෙනු නොවනුමානය. එසේම මෙම ව්‍යාපෘතිය හරහා අවම වශයෙන් රුකියා අවස්ථා 2000ක් නිර්මාණය වෙතැයි අපේක්ෂා කෙරෙයි. තවද මේ හරහා රට තුළ බලශක්ති සුරක්ෂිතතාව නිර්මාණය වනු ඇත. ලෝක වෙළඳපොළෙන් තෙල් මිලදී ගැනීමේදී වැයවන රක්ෂණ ගාස්තු, නැව් ගාස්තු ආදිය අවම වීම හේතුවෙන් මෙම සමස්ත ක්‍රියාදාමයේ වාසිය අවසානයේ රටේ ජනතාව සතුවේ. අනුව මෙරට ඉන්ධන මිල ගණන්ද මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අවම වෙතැයි අපේක්ෂා කෙරෙයි.

මේ වනවිට තෙල් සංස්ථාව සතු තෙල් පිරිපහදුවේ ජීව කාලය අවසන් වෙමින් පවතී. එම නිසා තෙල් සංස්ථා සේවකයන්ගේ රුකියා සුරක්ෂිතභාවය සම්බන්ධවද ගැටලු නිර්මාණය වී තිබේ. එහෙත් මෙම ව්‍යාපෘතිය හරහා තෙල් සංස්ථාවට නවීන තාක්ෂණය ලැබීමත් නවීන තෙල් පිරිපහදුවක් ලැබීමත් හේතුකොටගෙන තෙල් සංස්ථා සේවකයන්ගේ රුකියා සුරක්ෂිත වෙයි. එසේම තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන ආයතනයක් නොව ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය වීමට මේ හරහා අවකාශය සැලසෙයි. එම නිසාවෙන්ම සියලු පාර්ශව මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහායවීම රටට ඉටුකරන යුතුකමකි.

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා