2021 ජුනි 12 වන සෙනසුරාදා

ගුටිකාලා හරි කරන්න හදන කාබනික පොහොර විප්ලවය

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 79

රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික වගාවට ඇතුළත් වීමේ තීරණය හේතුවෙන් නිර්මාණය වූ සමාජ දේශපාලන සංවාද උණුසුම් වෙමින් පවතී. ගතවූ දෙසතියක පමණ කාලය තුළ ඒ බව මනාව දිස්වන ප්‍රකාශ සහ සිදුවීම් කිහිපයක්ම අපට අසන්නට දකින්නට ලැබුණි. එම නිසා ඒවාද පදනම් කරගෙන වර්තමාන පොහොර අර්බුදය පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය අඟහරුවාදා (8) ජනාධිපති කාර්යාලයේදී පැවසුවේය. රසායනික පොහොර භාවිතාව තහනම් කර කාබනික වගාවට එළඹීම පිළිබඳ දැඩි මතයක එළඹ සිටින ජනාධිපතිගේ මෙම කතාව සුවිශේෂී විය.

අමාරුකම් තිබෙනවා. කරන්න බැරි දෙයක් නෙවෙයි. ලෝකයම පිළිගත්ත ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි යා යුතු තැන මෙතන. මේක දුෂ්කර වුණත් ඇනුම් බැනුම් අහගෙන හරි අපි මේක ජනතාවට කියලා දෙන්න ඕනෑ. මේක මගේ හදිසි තීරණයක් නෙවෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිවම කියලා තියෙනවා. අයවැයේදී කිව්වා අපි මෙතැනට යන්නේ කියලා. අපි තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙවෙයි ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නෑ. ගහලා එලෙව්වත් ගුටිකාලා හරි වැඩේ කරන්න ඕනෑ.

ආණ්ඩුවේ අභ්‍යන්තරයේද තැනින් තැන පොහොර තීරණය පිළිබඳ විවේචනය එල්ල වෙමින් ඇති පසුබිමක ජනපතිගේ මෙම කතාව ඒවාට එක්තරා ආකාරයේ පිළිතුරකි. මෙම ගැටලුව දෙස දේශපාලනිකව බලන විට ජනපතිගේ මෙම තීරණය සඳහා පූර්ණ සහාය පළ කරන්නා කෘෂිකර්ම අමාත්‍යවරයා බව පෙනෙන්නට තිබුණි. එහෙත් පසුගියදා සිදුවූ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ඉල්ලා අස්වීම පොහොර තීරණ පිළිබඳ සමාජ ආන්දෝලනය වර්ධනය කළේය. මීට පෙරද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතේ සිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඉල්ලා අස් වී තිබුණි. ඒවාට හේතුව අමාත්‍යංශයේ ඇතිවූ අභ්‍යන්තර අර්බුද බව කියැවුණි. ඒ නිසාවෙන්ම මෙවර ඉල්ලා අස්වීම පොහොර අර්බුදය බව බොහෝ දෙනෙක් අර්ථකථනය කළහ.

ලේකම්වරයා තම ඉල්ලා අස්වීම සම්බන්ධව නිල ප්‍රකාශයක් නොකළේය. එහෙත් එය පොහොර අර්බුදයේ නිසාවෙන් සිදුවූවක් බව තහවුරු කරන්නට විවිධ පාර්ශ්ව කටයුතු කරනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය අඟහරුවාදා (6) කියා සිටියේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදුවූවක් බවයි.

එතුමා ඇවිල්ලා හමුවුණා. එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත ඉවත්වෙන්න ඕන වෙයි කියලා කිව්වා. මේ පොහොර අර්බුදයක් හෝ වෙනත් කිසිදු හේතුවක් නෙවෙයි. එතුමාටම කතාකරලා අහන්න පුළුවන් ඉවත්වුණ හේතුව. නමුත් අපි වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුලපතිතුමා එතැනට ගේනවා. අපි කාබනික වගාවට යන්න යන්නේ. කාබනික පොහොර නිෂ්පාදනය කරන්න හදන්නේ. ඒ නිසා මේ සම්බන්ධව දැනුම තියෙන පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍යයි.*
මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී  සඳහන් කර සිටියේ කාබනික කෘෂිකර්මය පිළිබඳ දැනුමැති පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍යව ඇති බවත් දැනට සිටින සියලුදෙනා රසායනික පොහොර සමඟ කටයුතු කළ පිරිසක් බවත්ය. අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම එසේ වූ නමුත් ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව දිගින් දිගටම මතුවන ආන්දෝලනාත්මක ප්‍රකාශ තවමත් නතර වී නොමැත.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පොහොර තීරණය පිළිබඳ මෙම සතියේ නිවේදනයක් නිකුත් කළේය. ආණ්ඩුව අදූරදර්ශී ලෙස රසායනික පොහොර තහනම් කිරීම මඟින් රට තුළ ආහාර හිඟයක් ඇතිවීම සහ එය බිහිසුණු සාගතයක් දක්වා වර්ධනය වීම වැළැක්විය නොහැකි බව ඔහු එහි සඳහන් කර තිබුණි. කාබනික පොහොර භාවිතය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට කිසිදු විරෝධයක් නැති බවත්, එහෙත් ආණ්ඩුව විසින් හදිසියේ ගනු ලැබූ තීරණයෙන් මෙරට ජන ජීවිතවලට එල්ලවන මරු පහරෙහි තරම වැඩි කලක් යෑමට පෙර ආණ්ඩුවට අත්විඳීමට සිදුවනු ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර තිබුණි. තවද කාබනික පොහොර ආනයනය කිරීම මඟින් මෙරට කසළ කන්දක් බවට පත් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබේද යන්න බරපතළ ගැටලුවක් මතුවන බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මේ අතර පොහොර හිඟයක් පිළිබඳ මාධ්‍ය වාර්තාද ගෙවුණු සතියේ පළවීම විශේෂිත කරුණක් වූයේය. මෙම කන්නයට සෑහෙන තරම් පොහොර තොග ලංකාවට ගෙන්වා ඇතැයි ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා දිගින් දිගටම පවසා සිටියද ප්‍රදේශ ගණනක පොහොර නොමැති වීම නිසා ගොවීන් පීඩාවට පත්වන අයුරු මාධ්‍ය වාර්තා කළේය. මෙවර වගා කන්නය සඳහා ගොවීන්හට අවශ්‍ය රසායනික පොහොර ලබාදීමේ වැඩසටහන යටතේ කැප්පෙටිපොළ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් හෙවණකුඹුර ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේදී දැඩි අපහසුතාවයට පත්ව සිටි අයුරු දැකගන්නට ලැබුණි. එසේම ගලේවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර අලෙවි කරන බවට ලද තොරතුරක් මත පසුගිය දිනෙක අලුයම 1 සිට විශාල පිරිසක් එම ස්ථානයට රුස්ව සිදුවූ කලබලයක්ද වාර්තා විය. මේ අතර තිස්සමහාරාම නගර මධ්‍යයේ පිහිටි කෘෂි රසායනික අලෙවිසලක රජය මගින් 1500ක මිලකට ගොවීන්ට ලබාදෙන පොහොර රුපියල් 3500කට අලෙවි කරමින් සිටියදී තිස්සමහාරාම පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ ආදී සිදුවීම් රුසක් දිවයින පුරා වාර්තා වූ නමුත් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ මෙරට පොහොර හිඟයක් නොමැති බවයි. ඉකුත් බදාදා (8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අලුත්ගමගේ මහතා කියා සිටියේ, දැනටත් මෙට්‍රික් ටොන් 40,000ක් තියෙනවා. මේ තීන්දුවත් එක්ක පොහොර හැංගුවා. වැඩි මිලට විකුණුවා. එළවළු සඳහා පොහොර දෙන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් යනුවෙනි. මෙහිදී පොහොර අර්බුදය හේතුකොටගෙන පාර්ලිමේන්තුවද තරමක් උණුසුම් විය. ආණ්ඩුවේ ඩොලර් හිඟය පිරිමසා ගැනීමට පිරිමසා ගැනීමට රසායනික පොහොර තහනම ගෙනා බව විපක්ෂය චෝදනා කළේය. එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලා සිටියේ මෙම තීරණය දේශපාලනීකරණය නොකරන ලෙසයි.
මේ අතර කාබනික පොහොර ගෙන්වීමේදී මතුවන විද්‍යාත්මක ගැටලු පිළිබඳවත් ගෙවුණු සතියේ තවත් සංවාද කිහිපයක් දක්නට ලැබුණි. එහිදී ඇතැමෙක් ඉදිරිපත් කළ චෝදනාව වූයේ විදෙස් රටවල නාගරික අපද්‍රව්‍යවලින් නිපදවන කාබනික පොහොර ලංකාවට ගෙන ඒමෙන් දැඩි අවදානම් තත්ත්වයක් අවදානමක් මතුවන බවයි. ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම දේශගුණ වටපිටාව සහ ශ්‍රමය ඕනෑතරම් තිබෙන බව ඔවුන් මෙහිදී පෙන්වා දුන්නේය. විදෙස් රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම හරහා ලංකාවේ දැනට නොපෙනී පවතින සතුන්ට සහ ශාකවලට හානි කරන දිලීර සහ බැක්ටීරියා මෙරටට පැමිණිය හැකි බවද මෙහිදී කියැවුණි.

කෙසේ නමුත් කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ දැනටමත් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇති බවයි. මේ අතර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දී තිබුණි. එසේම කාබනික පොහොර භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට මුද්‍රිත උපදෙස් මාලාවක් ගොවීන්ට ලබාදීමටද තීරණ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. එසේම ඒ සඳහා ක්‍ෂේත්‍රයේ විද්වතුන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී මෙරට ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ලබාදීමට හැකි බවත් ඔහු අවධාරණය කර තිබුණි.

මේ සියල්ල අතරේ පොහොර පිළිබඳ කතිකාව තවදුරටත් වර්ධනය වන බව පෙනී ගියේය. පොදුවේ ගත් කළ කිසිවෙක් මෙම තීරණයට මුළුමනින්ම සිය විරෝධය පළ නොකරන බව පෙනෙන්නට තිබුණි. බොහෝ දෙනකු ප්‍රශ්න කළේ මෙහි ප්‍රායෝගික බවයි. කෙසේ නමුත් ජනපති මෙය අභියෝගයක් ලෙස භාරගෙන හිටියේය. කෙසේ හෝ ශ්‍රී ලංකාව මුළුමනින්ම කාබනික පොහොර භාවිත කරන රටක් බවට පත් කිරීමේ සැලසුම ජනාපති අත්නොහරින බව පෙනී ගියේය. ජනපතිට ඒ සඳහා හොඳ අභිප්‍රේරණයක්ද පසුගිය සතියේ ලැබී තිබුණි. රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ප්‍රසාදය පළකිරීම සමඟය. ලෝක ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වැනි සමුළුවේ කෘෂිපරිසර විද්‍යාව පිළිබඳ සැසියේදී එය සිදුව ඇති බව වාර්තා විය.

කෙසේ නමුත් පොහොර අර්බුදය සම්බන්ධව එකින් එක මතුවන අභියෝගයන් සුළුපටු නොවන බව අවසානයේ කිවයුතුය. ජය ගැනීමට හැකි වුවොත් ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන පොහොර විප්ලවයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව නම් ප්‍රත්‍යක්ෂය. එහෙත් මෙම සටන පරාජය වුවහොත් සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය. දැනට අපට කළ හැකි එකම දෙය උපේක්ෂාවෙන් මෙම තීරණය දෙස බලා සිටීමයි. මේ පිළිබඳ විනිශ්චයක් දෙන්නට තවම කල් වැඩිය.

 චමිඳු නිසල් ද සිල්වා

 

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00