2021 ජුනි 12 වන සෙනසුරාදා

ගිනිගත් නැවෙන් ප්ලාස්ටික් කැට බ්ලියන 70ක් මුහුදට!

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 102

නැවේ තිබුණු බහාලුම් අතර විශේෂයෙන් නයිට්‍රික් අම්ලය, සෝඩියම් මෙතොක්සයිඩ්, කෝස්ටික් සෝඩා, එතනෝල් ආදී අන්තරායකාරී බහාලුම් 82ක් තිබුණා. නයිට්‍රික් ඇසිඩ් බහලුමේ හටගත් කාන්දුවක් තමයි නැවේ ගින්නට හේතු වුණේ. ඒ වගේම නැවේ ඉන්ධන ගින්නෙන් විනාශ නොවී තිබෙනවා නම් ඉතාම ආරක්ෂාකාරී ලෙස වෙනත් නෞකාවකට බැහැර කර ඉවත් කරන්න කියලා අපි නෞකා සමාගමට දැනුම්දීලා තිබෙනවා. ඒ ගැන විමසිල්ලෙන් අපි බලා සිටිනවා.

එසේ පවසන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුරයි.
ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ජන ජීවිතයේද ප්‍රධාන තේමාවක් බවට ගිනිගත් නැවේ පරිසර හානිය පත්ව ඇත. දිනපතා ප්‍රවෘත්තිවලින් විකාශය වන්නේ බස්නාහිර මුහුදු කලාපය විනාශ වී ඇති අන්දමයි. තවමත් දිනපතා නැවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ගිනිගෙන කර වූ කොටස් මුහුදු වෙරළට ගොඩ ගසයි. ඒ අතරට මියගිය මසුන්, කැස්බෑවන් සහ ඩොල්පින් මසුන්ද වේ. රසායන ද්‍රව්‍ය 42ක් සහිත කන්ටේනර් ඇතුළු බහලුම් 1486ක් මෙම නැවේ තිබුණි.

මධ්‍යම පරිසර අධිකාරිය රටේ පරිසරය සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතනයයි. මුහුදේ ගිලීයමින් පවතින නැවේ හානිකර අපද්‍රව්‍ය ගොඩගසන්නේ ලංකා ගොඩබිමටයි. අපි මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දරට කතා කළේ මේ සම්බන්ධව ගෙන ඇත්තේ කුමන ක්‍රියාමාර්ගයක් දැයි දැන ගැනීමටය. රට ඇතුළට වගේම ගොඩබිමට එන අපද්‍රව්‍ය සම්බන්ධව අපි කටයුතු කරමින් යනවා. වෙරළ කලාපයට ගසාගෙන එන අපද්‍රව්‍ය රැස්කරලා ආරක්ෂාකාරී ලෙස ගබඩා කිරීම තමයි දැනට සිදුවන්නේ. පාවෙන අපද්‍රව්‍යයන් එකතු කිරීමට කටයුතු කරනවා. පසුව මේ අපද්‍රව්‍ය තොගය ගැන අධ්‍යයනය කරලා ඒවා කළමනාකරණය කළ යුත්තේ කුමන ක්‍රමවේදයටද යන්න ගැන තීරණය කරනවා. දැනට ඒවා විනාශ කළ යුත්තේ හෝ ඉවත් කළ යුත්තේ කුමන ආකාරයටදැයි තීරණයක් ගෙන නැහැ.*

මේ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදුවූ හානිය තක්සේරු කිරීමේ මූලික කටයුතුවලට අදාළ සාකච්ඡා පසුගිය 6 දින ආරම්භ වූ බවයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ඔහු පැවසුවේය. නෞකාව ගිනි ගැනීමෙන් පරිසරයට සිදුව ඇති හානිය අතිවිශාල බැවින් ඒ සියලු හානි පිළිබඳව සම්පූර්ණයෙන්ම සොයාබලා පූර්ණ වන්දි වාර්තාවක් පිළියෙළ කිරීමට බලාපොරොත්තු වන බවද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

නැවෙහි ඉන්ධන ටැංකිවල තෙල් තිබේ නම් තෙල් සාගරයට ඉදිරියේදී කාන්දු වීමේ ඉඩකඩක් පවතී. තවමත් තෙල් ඉවත් කර ගැනීමේ කටයුතු ආරම්භ කළ බවට වාර්තාවක් නැත. තෙල් විසිරුණහොත් දික්ඕවිට, මීගමුව, කැපුම්ගොඩ දක්වා තෙල් විසිරිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසන්නේ තෙල් කාන්දුවට පෙර සූදානමක් ලෙස තෙල් දියකර හැරීමේ රසායනික රැගත් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් මේ වනවිට කොළඹ මුහුදු සීමාවට පැමිණ තිබෙන බවයි.

මේ වනවිට සාගර පරිසරයට නෞකාවෙන් එතරම් අවදානමක් නැති බවට කතාවක්ද නිර්මාණය කර තිබේ. නමුත් පරිසරවේදීන් පවසන්නේ සාගර සහ මුහුදු පද්ධතිවලින් ජෛවගෝලයට වන බලපෑම ඉතා විශාල බවයි. සමුද්‍ර දූෂණය හේතුවෙන් සමස්ත පරිසර පද්ධතියම පමණක් නොව ගොඩබිම ජීවීන්ටද හානිකර වටපිටාවක් නිර්මාණය වේ.‍

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ අප සමඟ පැවසුවේ නැවෙන් පිට වූ රසායනික ද්‍රව්‍යවලින් හා ප්ලාස්ටික් කැටවලින් වන බලපෑම දීර්ඝ කාලයක් පුරා පැවතිය හැකි බවයි. මේ නැවෙන් ප්ලාස්ටික් හැදීමට ගන්නා බෝල සහිත කි.ග්‍රෑ. 25 බෑග් 14960 මුහුදට වැටී තිබෙනවා. ආසන්න වශයෙන් කුඩා ප්ලාස්ටික් කැට බිලියන 70ක්. මේ ප්ලාස්ටික් කොපමණ වෙරළෙන් ඉවත් කළත් නැවත රළ ඔස්සේ එනවා. සාගරයේ පාවෙමින් තිබෙනවා. ඒවා මුහුදු ජීවීන් ආහාරයට ගැනීමෙන් මරණයට පත් වෙනවා. ඒ වගේම රසායන ද්‍රව්‍ය මුලින්ම කුඩා මාළුන්ට බලපානවා. කුඩා මාළු ආහාරයට ගන්නා බලයා වගේ ලොකු මාළුන්ට ඊටපසු බලපානවා. මේ ආකාරයට රසායනිකවල බලපෑම අවුරුදු 10-15ක් පැවතිය හැකියි. ආහාරදාම වල ක්‍රියාකාරීත්වය ඔස්සේ.

පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට වර්තමානයේ ලෝකය පුරා සමුද්‍ර ජීවීන්ට ඇති විශාලම තර්ජනය වන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්ය. ජලයේ ශ්වසනය කරන හැම සත්වයෙකුගේම ශ්වසන පද්ධති අවහිර කිරීමට ක්ෂුද්‍ර ප්ලාස්ටික් හේතුවේ. නැවේ මෙම ප්ලාස්ටික් කැට මෙට්‍රික් ටොන් 78ක් තිබී ඇත. මේ වනවිට එම ප්ලාස්ටික් කැට දකුණේ අහංගම වෙරළ දක්වාත් වයඹින් කල්පිටිය දක්වාත් හමුවේ. සුළං ධාරාවලින් මේවා ප්‍රවාහනය කෙරෙන අතර ඉදිරි දිනවලදී බටහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ තිබේ. මියගිය මසුන්ගේ කරමල් අස්සේ තිබුණු ප්ලාස්ටික් කැට පැහැදිලිව දැකගත හැකිව තිබේ. නෞකාව ගිනිබත් වීම නිසා දිනකට ධීවර කර්මාන්තයට අහිමිවන ආදායම මිලියන 80ක් බව පැවසේ. රජය වෙරළ පිරිසිදු කිරීමට මෙතෙක් වැයකළ මුදල රු. මිලියන 200කට ආසන්නය. ආරංචි වන ආකාරයට එය තවත් මාස කිහිපයක් කරන්නට සිදුවන වැඩකි.

නෞකා අනතුරින් දින දෙකකට පෙර පටන්ම බස්නාහිර, මීගමුව, ජාඇල අවට මුහුදු වෙරළට මියගිය මසුන් ගොඩගැසූ බවට වාර්තා විය. ඉන් සතියක් ඉක්ම යනවිට කැස්බෑ මළ සිරුරුද වෙරළට ගොඩගසා තිබුණි. පසුගිය 6 වැනිදා වනවිට මියගිය කැස්බෑවුන් 6 දෙනකුගේ සිරුරු හා ඩොල්පින් සිරුරක්ද ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල, අහුන්ගල්ල, බේරුවල වෙරළවලට ගොඩගසා තිබුණි. මෙම සිරුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රැගෙන ගොස් ඇති අතර ඒවායේ පටක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට යැවීමට නියමිත බව පැවසුණි.

මෙවර ලෝක පරිසර දිනය මෙන්ම ලෝක සාගර දිනයද පරිසර විනාශය හමුවේ ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මේ අතර දිනපතා එකතු කරන නැවේ අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් 40කට අධික සංඛ්‍යාවක්ද පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ පවතී....

 කුසුම්සිරි විජයවර්ධන