2021 ජුනි 05 වන සෙනසුරාදා

මිහිතලය රකින දුම්රියේ දිගු ගමන්

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:01 11

පරිසරය ගැන තවදුරටත් අවධානය යොමු කරන්නට ජගත් ප‍්‍රජාව සූදානම්ය. ගෝලීය උණුසුම අවම කරන පියවර වෙනුවෙන් නිතිපතා අවධානයක සිටී. බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් පොසිල ඉන්ධන දහනය කිරීම ප‍්‍රශ්නයක් බව පූර්ව කර්මාන්ත යුගයේ පවා සාකච්ඡා කර ඇත. වාහනවලින් සහ කම්හල්වලින් නිකුත්වන අහිතකර වායු ජීවයේ පැවැත්මට අහිතකර බව පෙනීගිය කරුණකි. එහෙත් කාර්මික විප්ලවය තුළ සිදු වූ පරිවර්තනය නතර වූයේ නැත. මනුෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන් මහා පරිමානයෙන් නිපදවන විට බලශක්ති භාවිතය දිනෙන් දින ඉහළ ගියේය. ගල් අඟුරු සහ ඛනිජ තෙල් භාවිතය නරක ප‍්‍රතිඵල ඇති කරන නමුත් වෙනත් විකල්ප සීමිත රාමුවක පසුවිය.

කර්මාන්ත යුගයේදී සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් සෙල්සියස් අංශක එකකින් පමණ උණුසුම වැඩිවන ප‍්‍රවණතාවයක් තිබුණි. අහිතකර වායු විමෝචනය ඕසෝන ස්ථරයට බලපෑමක් කෙරේ. වායු ගෝලයට ඉහළින්  ඕසෝන ස්ථරයක් පිහිටා ඇත. එය කෙලින්ම සූර්ය තාපය මහ පොළවට පතිතවීම වළකයි. දශක ගණනකට කලින් පැවැති තත්ත්වයට වඩා පසුබිම වෙනස් වී තිබේ. කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අහිතකර වායු නිකුත් වෙන අතර ඒවා සියල්ල මනුෂ්‍ය ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයකි. කාර්මිකරණය සමග සිදුවන බලපෑම් ගැන සොයබලන ලද පර්යේෂකයෝ මහපොළව ආරක්ෂා කරගත හැකි ක‍්‍රම ගැන කල්පනා කළහ. පර්යේෂණ පැවැත්වූහ. හරිත බලශක්ති ක‍්‍රම කෙරෙහි යොමු කළහ. පුනර්ජණනීය විදුලිය උත්පාදනය එහි එක පැත්තකි. සූර්ය තාපය විදුලිය වශයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට දැන් මහත් පරිශ‍්‍රමයකය. ලෝකයේ සියළුම රටවල් පාහේ පැරිස් සම්මුතියට අත්සන් තබා තිබේ. එහි අරමුණ ගෝලීය උණුසුම ඉහළ යන ප‍්‍රතිශතය පාලනය කිරීම සඳහා සාමුහික ප‍්‍රයත්නයක නිරතවීමය.  

ගුවන් යානා, විශේෂයෙන් අධික ඉන්ධන පුළුස්සන ජෙට් යානවලින් වායුගෝලයට සිදුවන බලපෑම තරමක් බරපතළ බව ප‍්‍රකාශ වෙයි. සමහර ගුවන් සමාගම් ඉන්ධන භාවිතය අවම කරන තාක්ෂණිකක ක‍්‍රම අනුගමනය කරන්ට පටන්ගෙන ඇත. කොවිඩ් -19 වෛරසයේ තර්ජනය ඉතාම තියුණු නමුත් සංචරණය අඩුවීම ඉන්ධන භාවිතය අවම කර තිබේ. ලෝකයේ බොරතෙල් නිපදවන ප‍්‍රධාන රටවල් හතක තෙල් නිෂ්පාදනය පසුගිය වසරේ දී සියයට අටකින් අඩුකර ඇති බව අනාවරණය වන කරුණකි. කොවිඩ් වසංගතය පළමුවරට පැතිරෙන කාලයේ දී බොරතෙල් මිල බිංදුවට වැටුණ අතර එයට හේතු වූයේ විශාල රටවල් ප‍්‍රමාණයක් ලොක්ඩවුන් කර ප‍්‍රවාහනය හා කර්මාන්ත නිපැයුම් අඩපණවීමය. නමුත් දෙවැනි හා තෙවැනි රුළිවලදී එක්තතා මට්ටමකින් ආර්ථික කටයුතු අඛණ්ඩව සිදුවෙයි. කොවිඩ් තර්ජනයෙන් ගැලවෙන දිනයක් එළැඹෙන විට ලෝකයේ පොසිල බලශක්ති භාවිතා කිරීම සෑහෙන දුරට පාලනය වනු ඇතැයි සැලකේ. 

ඉක්මනින් ගුවනින් යන ගමන වෙනුවට රාත‍්‍රී කාලයේ දුම්රියෙන් ගමන් කරන ප‍්‍රවණතාවයකට යුරෝපා රටවල ජනතාව නැඹුරුවී ඇත. යුරෝ රටවල් 2021 දුම්රිය අවුරුද්ද යනුවෙන් නම් කර තිබේ. අහිතකර වායු නිකුත්වන ගුවන් යානා වෙනුවට කිලෝමීටරයකට අඩුම වායු දූෂණයක් සිදුවන දුම්රිය වෙනුවන් මගීහු පෙළ ගැසෙමින් සිටිති. සමහරවිට නුදුරු කාලයේ දී විදුලිය දුම්රිය සේවා ව්‍යාප්ත වනු ඇත. දැන් පියවර අනුව රාත‍්‍රී දුම්රිය සේවා අරඹා තිබේ. රාත‍්‍රියේ නිදන මැදිරියකට ගොඩවෙන මගියකු දේශසීමා පසුකර වෙනත් රටක දී අවදිවන තරමට ගමනාගමනය වෙනසකය. 

ජර්මනිය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය හා ඔස්ටි‍්‍රයාව රාත‍්‍රි දුම්රිය සේවා අරඹන පියවරක් අනුගමනය කරයි. වියානා නගරයේ සිට මියුනිච් නුවරය එක දිගට නොනවත්වා ධාවනය වන අතර පැරිස්, සුරිච් හා ඇම්ස්ටඩ‍්‍රෑම් යා කෙරෙන ජර්මනියේ කොලොග්නේ නගරයේ සිටද රාත‍්‍රී දුම්රිය සේවා වසර 2023 සිට ඇරඹෙන ලකුණු පහළ වී තිබේ. මේවායේ දහස් ගණනින් මගීන්ට ඉඩකඩ සැපයේ. සම්පූර්ණ පහසුකම් සහිත නිදන මැදිරි අමුණා තිබේ. ගුවන් යානයක පහසුව ඇති කරන අතර මගීන්ට අපහසුතාවයක් නොවන පරිදි ගමනාන්තය තෙක් රුගෙන යන නවීන තාක්ෂණය සහිතය. මෙම රටවල් යා කෙරෙන රාත‍්‍රී දුම්රිය සේවා අරඹන්නට සැලසුම් සකස් කරන බලධාරීහු 2024 දී පමණ කාලයේදී බර්ලින්, බ‍්‍රසල්ස්, රෝමය හා ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරය තෙක් නිදන මැදිරි දුම්රිය ව්‍යාප්ත කරන්නට අදහස් කරන බව දක්වයි. බි‍්‍රතාන්‍ය රජය මෙම ව්‍යාපෘතියෙ වනුවෙන් පවුම් මිලියන 150 ක් ආයෝජනය කරන තීරණයක් ගෙනන ඇත. 

අසූ ගණන්වලදී දුම්රියෙන් ගමන් බිමන් යල් පැන ගිය මෝස්තරයක් සේ සැලකීය. බොයිං හා එයාර් බස් වැනි දැවැන්ත ගුවන් යානා අඩු මිලට ප‍්‍රවේශ පත‍්‍ර සහිතව වේගවත් ගමන එයට හේතුවකි. කරදරයකින් තොරව රටවල් අතර එහා මෙහා යන්නට ගුවන තෝරාගත් මගීන් ගෙන් සැලකිය යුතු පිරිසක් කාලගුණ විපර්යාස ගැන අවධානය යොමු කර ඇත. ඔවුන්ගේ සිහිනය අනාගත පරපුර වෙනුවෙන් සුවබර ලෝකයක් ඉතිරි කිරීමයි. මගීන් ගේ ආකල්ප වේයෙන් වෙනස් වෙමින් පවතී. ස්වීඩනයේ ගමන් බිමන් කරන ක‍්‍රම අතර පස්වැනි තැනට දුර දුම්රිය ගමන පත්ව තිබේ. එය සෑහෙන පරිවර්තනයකි. වාර්තා අනාවරණය කරන පරිදි ජර්මනියෙන් ගමන් අරඹන මගීන් මිලියන 151ක පිරිසක් දුර 2019 වසරේදී දුර ගමන් දුම්රිය සේවාවලට කැමැත්ත දක්වා තිබීම විශේෂත්වයක් සේ සැලකේ. 

වසර 2050 වනවිට ගුවන් ගමන් සෑහෙන ප‍්‍රමාණයකින් අඩු කළහොත් වායුගෝලය තුලිත කරන පියවරක් වනු ඇතැයි විද්වත් මතය වී ඇත. සැප පහසුවෙන් ගමන් කළ හැකි රාත‍්‍රී නිදන දුම්රිය සේවා එයට පසුබිමක් නිර්මාණය කරයි. දියුණු වෙන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට ද අලුතින් හිතන්නට යමක් ඇත. අධික වාහන තදබදය අවම කරන අතර මගී පහසුව සලකා දුම්රිය සේවා ප‍්‍රචලිත කිරීම සුදුසුය. ප‍්‍රධාන නගරාන්තර අතර නිදන මැදිරි සහිත රාත‍්‍රී දුම්රිය ඇරඹීම සුදුසුය. අනෙක ඉක්මනින් විදුලි දුම්රිය යෝජනා ක‍්‍රම ගැන අවධානය යොමු කළ යුතුය. රාජ්‍ය ආයෝජනය ප‍්‍රමාණවත් නොවන පසුබිම තුළ පුද්ගලික අංශයටද ඉඩදිය හැකිය. අලුත් අදහස් සමග අලුත් ආර්ථික රාමුවක් සකස්වනු ඇත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

 මිලින්ද මොරගොඩ