2021 ජුනි 05 වන සෙනසුරාදා

රට වැහුවට කමක් නැහැ; මිනිසුන් බඩගින්නේ තබන්න එපා!

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 0

ජූනි මස 07 දින දක්වා රට වසා තැබීම නිසා මේ වනවිට ජනතාවට ජීවත්වීමේ ගැටලු රුසක් නිර්මාණය වී ඇති බව රටේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන ආරංචිවලින් පැහැදිලි වෙයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබෙන්නේ යෝජිත පරිදි ජූනි 07 වනදාද රට විවෘත නොකර කොවිඩ් 19 වසංගතය පාලනය වනතුරු එක දිගට තවදුරටත් රට වසා තබන ලෙසටය. එසේ වුවහොත් ජනතාවගේ ජීවන ගැටලු තව තවත් උග්‍ර වනු ඇති බව මේ වනවිට මුහුණපාන්නට සිදුව ඇති සිද්ධි අනුව පෙනේ. මහජනතාවගේ ගැටලු තව තවත් වැඩිවන්නේ රජයේ ඉහළ මට්ටමෙන් ගන්නා ඇතැම් තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන නිසාය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් පාලන ජනාධිපති කාර්යසාධන බලකා රුස්වීමේදී විවිධ යහපත් තීරණ ගන්නා බවක් අසන්නට දකින්නට ලැබේ. එහෙත් මෙම තීරණ පහළ මට්ටම දක්වා ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික දුෂ්කරතා මතු වී ඇත. මෙම රැස්වීම්වලදී ඇමැතිවරුන් සහ උසස් නිලධාරීන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන දේවල් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා ජනතාව විපතට පත්වී සිටිති.

ගම් මට්ටම දක්වා ජනතාව ජීවත්කරවීමේ ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාත්මක වේ නම් මාසයක් නොව මාස කිහිපයක් රට වසා තැබුවාට ප්‍රශ්නයක් ඇති නොවේ. එහෙත් ජනතාව විපතට පත්වේ නම් රට වසා තැබීම කෙටිකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් අයහපත් ප්‍රතිඵල ඇතිවීමට හේතුවෙනවා ඇත. මෙම ක්‍රියා පිළිවෙළේ ඇති අකාර්යක්ෂමතාව පිළිබඳ උදාහරණ කිහිපයක්ම මෑත කාලයේ සිදුවීම්වලින් උපුටා දැක්විය හැකිය. එම දුර්වලතා මග හරවා ගැනීමට වහ වහා කටයුතු කිරීම තීරණ ගන්නවාට වඩා වැදගත් බව පෙන්වා දිය යුතුය.

රට වසා තිබෙන කාලයේදී දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘත කිරීමට පියවර ගත්තේ ජනතාවට අත්‍යවශ්‍ය එළවළු ආදී ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහාය. මෙම මධ්‍යස්ථාන ඉදිරි දින කිහිපයක්ද විවෘත කරන බව නිවේදනය කර තිබේ. එහෙත් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමෙන් බලාපොරොත්තු ඉටුවී තිබේද යන්න සලකා බැලිය යුතුය. මේවා විවෘත කිරීමේ සැලසුම්වල කිසිදු ඒකීයභාවයක් නැත. මුල් දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි එළවළු ලොරි ආපසු හරවා යවා ඇත්තේ එය විවෘත නොකරන බව පවසමිනි. එහිදී එළවළු රුගෙන ආ ගොවීන් මග දෙපස අලෙවි කිරීමට සූදානම් වුවද පොලීසිය ඔවුන් එළවා දැමූ බවට වාර්තා විය.

ඊටපසු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර එළවළු තොග බාරගත්තද තොග වෙළෙඳුන් මිලට ගැනීමට නොපැමිණීම නිසා ගොවීහු අමාරුවේ වැටුණහ. ඇතැමුන්ට රෑ දෙකක් පමණ ලොරිවල සිටින්නට සිදුවූයේ මිලට ගන්නා අය නොපැමිණීම හේතුවෙනි. අනතුරුව දෙවැනි වතාවට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළවිට සිදුවූයේ මෙහි අනික් පැත්තය. ඉල්ලුම්කරුවන් වැඩියෙන් පැමිණීම නිසා මිල අසාධාරණ ලෙස ඉහළ නැංගේය. බෝංචි කිලෝවේ තොග මිල රුපියල් 260 දක්වාද කැරට්, ලීක්ස්, බීට් ආදියේ මිල රුපියල් 200 ඉක්මවා ඉහළ නැගුණි. මාළු මිරිස් කිලෝව රුපියල් 350ක් විය. පතෝල, වැටකොළු, පිපිඤ්ඤා, වට්ටක්කා, කැකිරි ආදී පහතරට එළවළු මිලද එයට සමගාමීව ඉහළ නැඟුණි. ඇතැම් මධ්‍යස්ථානවල උදෑසන ඉහළ ගොස් තිබුණු එළවළුවල මිල දහවල් වනවිට ක්‍රමයෙන් පහළ වැටුණු බවද වාර්තා විය. ගොවීන් මාධ්‍ය හමුවේ සතුටෙන් ප්‍රකාශ කළේ තමන්ට හොඳ මිලකට එළවළු අලෙවිකර ගත හැකිවූ බවය.

එහෙත් මෙලෙස ගොවියාට වාසි සහගත වූවා යැයි කී පමණින් සතුටුවිය හැකිද යන්න ගැටලුවකි. මෙලෙස ඉහළ මිලට තොග වෙළෙඳුන් ගන්නා එළවළු පාරිභෝගිකයාට අලෙවි වන්නේ එකට එකක් වැඩි මිලටය. අවස්ථාවාදී ඇතැම් සිල්ලර වෙළෙන්දෝ දුප්පත් ජනතාව හූරා තම මඩිය තරකර ගැනීමට අවස්ථාවාදී වෙති.

ආර්ථික මධ්‍යස්ථානවලින් තොග වෙළෙඳුන් ගෙනෙන එළවළු මේ දිනවල ජනතාව අතරට යන්නේ ජංගම වෙළෙඳුන් මගිනි. අලෙවි කිරීම සඳහා ජංගම සංචාරක වෙළෙන්දන්ට බලපත්‍ර නිකුත් කරනුයේ පොලිස් ස්ථානවලිනි. මෙම පොලිසිවලින් බලපත්‍ර ලබාගැනීමේදී විශාල හිරිහැර සිදුවන බව ජංගම වෙළෙන්දෝ පවසති. එයට එක හේතුවක් වනුයේ මෙම බලපත්‍ර ඇතැම් පොලිසිවලින් නිකුත් කරනු ලබන්නේ සිල්ලර වෙළෙඳ සල් පවත්වාගෙන යන වෙළෙඳුන්ට පමණක් වීමය. එයට අතිරේක වශයෙන් මේ පිළිබඳ උනන්දුවක් දක්වන අය පිළිබඳ සලකා බැලිල්ලක් සිදු නොවන බව දැනගන්නට තිබේ. මෙහිදී ප්‍රදේශයක සීමිත පිරිසකට පමණක් භාණ්ඩ අලෙවි කිරීමට අවසර දීම නිසා ඔවුන්ට වැඩි මිලට විකුණා පාරිභෝගිකයා සූරා ගැනීමට අවස්ථාව සැලසී තිබේ. එසේම ඇතැම් අයට බලපත්‍ර නොදෙන බවද කියති. මේ ලිපිය ලියන දිනය වනවිට ජංගම වෙළඳුන් බෝංචි 500, රුපියල් 200ද, කැරට් ග්‍රෑම් 500, රුපියල් 260, බීට්රූට් රුපියල් 200, ලීක්ස් 180, රාබු රුපියල් 120, පතෝල - වැටකොළු ග්‍රෑම් 500 රුපියල් 180, වට්ටක්කා රුපියල් 80 ආදී වශයෙන් ඉතාම ඉහළ මිලට අලෙවි කරන බව ලියුම්කරු එවැනි ජංගම රථ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළිදරව් කරගෙන ඇත.

කෙසෙල්වල මිලද ඉතාම ඉහළ නැග ඇත. මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 10 දක්වා මිල පහළ වැටී තිබෙන බවය. එහෙත් ජංගම රථවල ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 180ක් වන අතර සීනි කෙසෙල් කිලෝව රුපියල් 260 දක්වා ඉහළ මිල ගණන්වලට අලෙවි කෙරේ. කෝලිකුට්ටු කිලෝව රුපියල් 350කි. මේ අනුව අතරමැදියන් විශාල වශයෙන් ලාභ තබාගන්නා බවක් දක්නට ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ මේ තත්ත්වය කොරෝනා සමයේදී පමණක් නොව සාමාන්‍ය කාලවලදීද පැවැති බවය. කෘෂිභෝග නිෂ්පාදනයෙන් විශාල ලාභයක් ලබාගන්නේ අතරමැදියා වන අතර, නියම ගොවියාට කවදාවත් සාධාරණය ඉෂ්ට නොවන බව ඔහු කියයි.

එළවළු මිල පහළ වැටුණාම, ගොවියාට අලෙවි කරන්න බැරිව කාණුවලට හලා යන්න සිද්ධ වෙනවා. ආර්ථික මධ්‍යස්ථානවලින් හෝ විකුණාගන්න බැහැ. ගොවියා ලොරිවලට ගෙවලා ගෙනත් දින දෙක තුන ආර්ථික මධ්‍යස්ථානවල පදිංචිවෙලා ඉන්නවා. කුණු කොල්ලයටයි දෙන්න වෙන්නේ. උදාහරණයක් ලෙස කිව්වොත් පසුගිය සමයේ වට්ටක්කා කිලෝව රුපියල් 10ටවත් අලෙවිකරගන්න බැරුව කාණුවලට හලලා යන්න වුණා. ලොරි කුලියවත් ගන්න බැහැ. ගෙවල්වල කුණුවෙලා ගියා. ඒ වුණාට නගරයේ වට්ටක්කා කිලෝව රුපියල් 80යි. ඇයි මේ වෙනසට හේතුව? ගොවියාට වැඩකුත් නැහැ. පාරිභෝගිකයාට වැඩකුත් නැහැ. හම්බ කරන්නේ වෙන කෙනෙක්. වෙනත් එළළුළුත් එහෙමයි. කෙසෙල් වගේ දේවල් අලෙවිය අන්තිමට පහළ වැටෙනවා.

කොවිඩ් වසංගතය පවතින මේ දවස්වල පවතින තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම නිසා ගොවියා අමාරුවේ වැටුණා. එළවළු ගෙනා ලොරි ආපසු හරවා යැව්වා. ඒවා විවෘත කළත් නිසි කළමනාකරණයක් නැහැ. ආර්ථික මධ්‍යස්ථානයේ බලධරයන් එකක් කියනවා. වෙළෙඳ සංගම්වල නිලධාරීන් තව එකක් කියනවා. ද්‍රව්‍ය ගෙනෙන ගොවියන් අමාරුවේ වැටෙනවා. මිල පිළිබඳ කිසිම සාධාරණයක් නැහැ. මිල තීරණය කිරීමේ බලය ඇත්තේ ව්‍යාපාරිකයන් අතලොස්සකටයි. ආර්ථික මධ්‍යස්ථාන පාලනය කරන්නේ ඒ ගොල්ලෝ. ගේන බඩු කුණු කොල්ලෙට ගන්න ඉඩ දීලා ආණ්ඩුවේ අය බලාගෙන ඉන්නවා. පහුගිය දවස්වල බඩු බාන්නට නාට්ටාමිලා නැතිවීම හේතුවෙන් විශාල ගැටලුවක් ඇතිවුණා. වෙළඳුන් කියන්නේ ගෝනිවල කිලෝ 100 ගණනේ වගේ තියෙන නිසා නාට්ටාමිලා නැතුව බාන්න බැහැ කියලයි.

අපේ අදහස වන්නේ මෙම මිල සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවටයි. ඇයි ආණ්ඩුවට ක්‍රමවේදයක් ඇතිකරන්න බැරි මේ අලෙවි කරගන්න බැරි එළවළු රජය මගින් ජනතාවට සැපයීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට. මෙවැනි යාන්ත්‍රණයක් තිබෙනවා නම් පාරිභෝගිකයාටත් ගොවියාටත් සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා. පහුගිය දිනවල දවසක් දෙකක් කවුරු හරි ඇමැති කෙනෙක් ලකුණු දාගන්න හිතාගෙන එළවළු ටිකක් කොළඹ එව්වත් එතැනින් එහා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේකට සර්වකාලීනව සාර්ථක යාන්ත්‍රණයක් තිබිය යුතුයි. එහෙම නැතුව ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමෙන් වැඩක් නැහැ.

නැවේ ගිනි ගැනීම් නිසා ධීවරයාට විශාල ගැටලුවක් ඇතිවී තිබෙන අතර මත්ස්‍ය මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇත. රට වසා දැමීමේ කාලයට පෙර සිටම මාළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබුණා. තලපත් කිලෝව රුපියල් 1600ට ඉහළයි. කෙළවල්ලාත් කිලෝව රුපියල් 1500යි. කුඩා මාළුත් එයට සමගාමීව මිල ඉහළ ගිහින්. සාලයා කිලෝව රුපියල් 300ට වැඩියි. ලින්නා, පියාමැස්සා, සැමන් පරා, අල ගොඩුවා ආදී ඉතාම පහළ මිලකට තිබූ මසුන් කිලෝව රුපියල් 1000ට ආසන්න වන විදියට මිල ඉහළ නැංගා. දැන් රට වසා තැබීම නිසාද මේ මිල තවත් වැඩිවෙලා තියෙනවා. විශේෂයෙන් නැවේ සිද්ධිය නිසා මීගමුව දක්වාම මත්ස්‍ය මිල ගණන් අඩුවුණා. ප්ලාස්ටික් ආසාදනය නිසා ධීවරයන්ට මසුන් අලෙවි කරගන්න බැරුව අමාරුවේ වැටිලා. මේ තත්ත්වය මාස හය හතක් තියෙන බවයි කියන්නේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට තොග පැමිණ තිබුණද ඒවා මිලට ගැනීම සඳහා වෙළෙඳුන් වෙනදා මෙන් නොපැමිණි බව පසුගියදා ජනමාධ්‍ය ප්‍රදර්ශනය කළේය. මෙයට හේතුව මසුන් ප්ලාස්ටික් විෂවීමෙන් මියයාම සහ වෙනත් අහිතකර රසායන ඔවුන්ගේ සිරුරට එකතුවීම පිළිබඳ පැතිරෙන ආරංචි නිසා ජනතාව මසුන් ආහාරයට ගැනීමට රුචි නොකිරීම මෙලෙස අලෙවිය අවම වීමට ප්‍රධාන හේතුව බව පැවසේ. මේ වනවිට මීගමුව සිට පානදුර දක්වා මුහුදු ධීවර කටයුතු සඳහා තහනම් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට සපයන මසුන් ප්‍රමාණය අඩුව තිබීමද මිල ගණන් ඉහළ යාමට හේතුවී ඇත. මසුන් මිල ගණන් ඉහළයාම නිසා කුකුල් මස් සහ බිත්තරවල මිල ඉහළ ගොස් ඇති අතර මේ වනවිට කුකුළු මස් කිලෝව රුපියල් 600 ඉක්මවා ඉහළ ගොස් ඇති අතර රුපියල් 14-15ට තිබූ බිත්තර මිල රුපියල් 16-17 දක්වා ඉහළ නැග ඇත. කුකුළු ගොවීන් පවසනුයේ කුකුළු කෑම මිල ඉහළ යාම නිසා ඉදිරියේදී බිත්තර මිල තවත් ඉහළ යනු ඇති බවය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසන්නේ පවතින තත්ත්වය මත බේකරි නිෂ්පාදන අලෙවිය පහළ වැටී ඇති අතර, හෝටල් වසා ඇති නිසා හෝටල් මගින් කෙරෙන ඉල්ලුම නැවතී ඇති බවය. පාන් හා නිෂ්පාදනවලට පාවිච්චි කරන රසායන හා අමුද්‍රව්‍ය මිල ඉහළයාම නිසා වර්තමානයේ බේකරි හිමියා අමාරුවේ වැටී ඇති අතර වෙළෙඳාම පහළ වැටීම නිසා බොහෝ දෙනෙකුගේ ජීවන මාර්ග ඇහිරී ඇත. චූන් පාන් වෙළෙඳුන් ඇත්තේ මුළු බේකරිකරුවන්ගෙන් සියයට 15ක පමණ ප්‍රමාණයක් වන අතර ඉතිරි වැඩි කොටස අලෙවි කරගත නොහැකිව අමාරුවේ වැටී සිටින බවද ඔහු අවධාරණය කළේය. එසේම චූන් පාන් අලෙවිකරන අයට පවා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලට අනුගත වීම නිසා ඔවුන්ගේ ඇඳුම්, මාස්ක් සහ විෂබීජ නාශක ද්‍රව්‍යවලට වැය කිරීමට සිදුවීම හේතුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බවද ඔහු කීවේය. ඒ නිසා 7000කට අධික බේකරි නිෂ්පාදකයන්ට මෙම කාලය තුළ රජය යම් සහනයක් සැලසිය යුතු බවද ඔහු කියයි.

ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යවශ්‍ය ආහාර මළු ලක් සතොස සහ සමුපකාර සමිති මගින් බෙදාහැරීමේ ක්‍රමවේදයක් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන විසින් මේ දිනවල හඳුන්වාදීම නිසා දිළිඳු අඩු ආදායම්ලාභී ජනතාවට යම් සහනයක් සැලසෙන බව කිවයුතුය. රුපියල් 1000 සහ රුපියල් 5000 වටිනා අත්‍යවශ්‍ය ආහාර මළු හඳුන්වා දුන් අතර එයට අමතරව සහල් කිලෝ දෙකක්, පරිප්පු, පිටි සහ සීනි කිලෝව බැගින් අඩංගු රුපියල් 1000ක සහන මල්ලක්ද පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.
මෙම භාණ්ඩ මලු බෙදාහැරීමේදී ප්‍රමිතියෙන් හා බරින් අඩු ආහාර ද්‍රව්‍ය අඩංගු කර තිබූ බවට පසුගියදා චෝදනා එල්ල වූ අතර දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවටද පැවසේ. එසේම නොමිලයේ දෙන ආහාර මලු දේශපාලන බලපෑම් මත නුසුදුස්සන්ටද බෙදන බවට චෝදනා එල්ල වේ. මෙයට බලපෑම් එල්ලවීම නිසා රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් අතර ගැටුම්ද නිර්මාණය වී තිබේ.

කෙසේ වුවද රට වසා ඇති කාලයේ ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණයක් වගකිවයුත්තන් විසින් ඇතිකරනු ලැබීම අත්‍යවශ්‍ය බව බොහෝදෙනාගේ අදහසයි. එසේ නොවේ නම් මේ තත්ත්වය කළුකඩකාරයන්ගේ කරළ පැහීමක් වන අතර එ දා වේල කන්න නැති දිළිඳු ජනතාවට නිරාහාරව මිය යන්නට සිදුවනු ඇතැයි අනතුරු හැඟවේ.

 යසවර්ධන රුද්රිගු