2021 ජුනි 05 වන සෙනසුරාදා

එකදිනකදී අසූදාහකට එන්නත!

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 81

කොවිඩ් තත්ත්වයත් සමඟ ගෙවීගිය පසුගිය සතිය ඉතාම තීරණාත්මක දින කිහිපයක් විය. නිරෝධායන නීතිය ක්‍රියාත්මක වන රටක පිළිගත් ඇතැමුන් බාල් නටා මේ සියලු නීති විහිළුවට ගත් දින කිහිපයක් විය. මෙහි ප්‍රධානම සිද්ධිය වන්නේ චන්දිමාල් ජයසිංහ විසින් පවත්වනු ලැබූ උපන්දින සාදයය. එය කෙතරම් කතාබහට ලක්වූවාද යත් ඊට අදාළ සියලුදෙනා අත්අඩංගුවට ගන්නා තෙක් සියල්ලම ඊට විරෝධය පෑහ. (එම කතාව මෙහි වෙනම පළවෙයි)

එහෙත් චන්දිමාල්ට ක්‍රියාත්මක වුණු නීතිය පොලීසිය තුළ කේක් කපා තම උපන්දිනය සැමරෑ කුරුණෑගල නගරාධිපතිවරයාට ක්‍රියාත්මක වුණේ නැත. පොලීසියෙන්ම කේක් ලබාදී පොලීසිය තුළම කේක් කැපූ නගරාධිපතිවරයාගේ සාදයේ සිටි සහකාර පොලිස් අධිකාරීවරයා වෙනත් තැනකට මාරුකර හැරියත් නගරාධිපතිවරයාට අබඇටයක හානියක් වුණේ නැත. නගරාධිපතිවරයා එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු වුවත් ඔහු නිවසේ නිරෝධායනය සඳහා යොදවා ඒ කතාව පියුමිත් ගිලෙන නැවත් හරහා යට ගසනු ලැබීය. එහෙත් පොඩි මිනිහාට නීතිය ක්‍රියාත්මක වන රටක, කැරම් බෝඩ් ඔලුවේ තබාගෙන දුවවන රටක කුරුණෑගල නගරාධිපතිවරයාට තවමත් නීතිය ක්‍රියාත්මක වන්නේ ඉබිගමනේය. එය කෙතරම් අවාසනාවක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

මේ අතර සංචරණ සීමා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි කිරීමට පොලීසිය තීන්දු කළේය. විශේෂයෙන් ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් මත වාහන පරීක්ෂාව දැඩි කෙරිණි. ඒ අනුව කොළඹට රුකියාවට එන අයකු තම සේවා ප්‍රධානියාගේ ලියුමක් අනිවාර්යයෙන් රැගෙන ආ යුතු බවට නියෝගයක් පැනවිණි. එසේම ස්ටිකර් ක්‍රමයක්ද ආරම්භ කළ අතර කොළඹට ඇතුළු වන වාහන එක් තැනකින් පරීක්ෂා කළ විට එම ස්ථානයෙන් රවුම් හැඩැති ස්ටිකරයක් අලවන අතර ඉන්පසුව එම ස්ටිකරය ඇති වාහන නැවත පරීක්ෂා නොකිරීමට පොලීසිය එම ක්‍රමය හඳුන්වා දුන්නේය. කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ සංචරණ සීමා පවතින කාලය තුළද කොළඹ නගරයකට දිනකට වාහන 80,000කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු වී ඇති බවය.

මේ අතර 07 වැනිදා රට විවෘත කිරීමට තීරණය කර තිබුණේය. ඒ සඳහා සියල්ල සූදානම් කරමින් සිටින අවස්ථාවේ සෞඛ්‍ය අංශ විසින් ඉල්ලා සිටියේ තවත් සතියක් දෙකක් මේ සංචරණ සීමා වැඩිකරන ලෙසය. එහෙත් ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබානොදුන්නත් රජය හදිසියේම සංචරණ සීමා කාලය තවත් සතියකින් දීර්ඝ කළේය. ඒ 14 වැනිදා දක්වාය. එහෙත් සෞඛ්‍ය අංශවල දැඩි ඉල්ලීම මත මෙම කාලය තවත් දින හතකින් කල්යනු ඇතැයි සඳහන් වේ. එහෙත් එය තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන නිසා එය නිශ්චිත නැත. එය සිදුවනවාද නොවනවාද යන්න ඇත්තේ ජනතාව අතේය.

මේ අතර එන්නත්කරණය ඉතාම සාර්ථක අයුරින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ දැඩි වෙහෙසක් ගෙන තිබුණි. එක් දිනක් තුළ එන්නත් 80,000කට අධික සංඛ්‍යාවක් ලබාදීමටද එහිදී හැකිවිය. විශේෂයෙන් සිනොෆාම් එන්නත මෙහිදී වැඩි වශයෙන් ලබාදුන් අතර ස්පුට්නික් එන්නත ලබාදීමටද සෞඛ්‍ය අංශ දැඩි ලෙස ක්‍රියාත්මක වී තිබුණි.

එහෙත් දැන් සියලු දෙනාටම ඇතිව තිබෙන ගැටලුව වී ඇත්තේ ඇස්ට්‍රා සෙනෙකා දෙවැනි එන්නත ලබාගැනීම ගැනය. එය හැමදෙනාටම ගැටලුවක් වී ඇති අතරම එය සොයා ගැනීමට නොහැකිව රජය පවා අසරණ වී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් යම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි තත්ත්වයක් වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ලොවේ රටවල් ගණනාවක් සඳහා පරිත්‍යාගයක් ලෙස ලබාදීමට යන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ නමද ඇතුළු කර තිබීම හේතුවෙනි. එයින් ලක්ෂ පහක් මෙරටට ලබාදීමට තීරණය කර ඇත. එය ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් තීරණය එළඹෙන සතියේ ලැබෙනු ඇත.

කෙසේ වෙතත් මෙම එන්නත්කරණය සිදුවන ආකාරය ගැන ආණ්ඩුවට විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ලකර තිබුණේය. එන්නත් මිලදී ගැනීම වෙනුවට එන්නත් ආධාර වශයෙන් ලබාගන්නා තැනට රජය පත්වී ඇති බව විපක්ෂයේ චෝදනාවයි. ආධාර වශයෙන් ලැබෙන මුදල් යොදාගෙන එන්නත් මිලදී ගැනීම වෙනුවට ආධාර වශයෙන් ලබාගැනීම හරහා රටේ ජනතාවගේ ජීවිත අවදානමේ හෙළා ඇති බවට විපක්ෂය මෙහිදී චෝදනා කරන්නට විය. එහෙත් ආණ්ඩුව පවසන්නේ එවැනි කිසිදු අදහසක් නැති බවත් එන්නත් ලබාගැනීමට තිබෙන තැනක් විපක්ෂයට පැවසිය හැකි දැයි අසන බවත්ය.

මේ අතර පසුගිය සතිය තුළ කෝවිඩ් රෝගීන් වාර්තා වීම දැඩිලෙස ඉහළ ගියේය. විශේෂයෙන් දවස් කිහිපයක් 3000 සීමාව ඉක්මවා රෝගීන් වාර්තා වුණු අතර මරණ සංඛ්‍යාවද ඉහළ ගියේය. මේ වනවිට මරණ සංඛ්‍යාව රජය විසින් ලබාදෙන්නේ මරණ සිදුවූ දිනය වාර්තා වූ ලේඛනයකට අනුවය. ඒ හරහා දිනක මරණ සංඛ්‍යාව පහළ බව පෙනෙයි. එහෙත් කාටත් නොතේරෙන දෙය නම් දිනක මරණ සංඛ්‍යාව නොව මේ රටේ මිනිසුන් 30-40ක් මැරුණු බවට දිනපතා වාර්තා ලැබෙනවා නම් ඒ අවදානම ගැන අවධානය යොමු නොකිරීමය. දිනපතා ලැබෙන වාර්තා අනුව මරණ සංඛ්‍යාව එකක් දෙකක් වුවත් අවසානයේ සමස්තයක් ලෙස මියගොස් ඇත්තේ මේ රටේම මිනිස්සු බව කිසිවකුට හිතන්නේ නැත. ඒ නිසා ජනතාව තේරුම් ගත යුත්තේ දිනකට මැරෙන සංඛ්‍යාව නොව මැරෙන සමස්ථ ප්‍රමාණය ගැන බව කිවයුතුමය.

එසේම රෝගීන් වර්ධනයද එලෙසමය. නිසි ලෙස පී.සී.ආර්. සිදුකර නිසිලෙස ප්‍රථිපල ලැබෙනවා නම් සැබෑ රෝගීන් ප්‍රමණය වාර්තා වනු ඇත. එහෙත් පී.සී.ආර්. ප්‍රතිඵල ලැබීමට කාලය ගතවන බව දැන දැනම පී.සී.ආර්. ගොඩ ගසා, වාර්තා ලැබීමට ප්‍රමාද වීමත් සමඟ බොහෝ දෙනා චෝදනා කරන්නේ ප්‍රතිඵල ප්‍රමාද බවය. එය පහළ සේවකයන් කිව්වත් වෛදවරුන් පවසන්නේ නැත. පී.සී.ආර්. කිරීම පමණක් ප්‍රමාණවත් නැත. සැබැවින්ම මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ පී.සී.ආර්.වලට වඩා ඇන්ටිජන්ය. ඒ බව ජනාධිපතිවරයා පවා දන්වා ඇත. එහෙත් එක් පිරිසක් එයට ඉඩ දෙන්නේ නැත. මේ අතර කොළඹ රුකියාව සඳහා දිනපතා පැමිණෙන අය අහඹු ලෙස පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකිරීමටද තීරණය කර ඇත. සැබවින්ම එය අත්‍යවශ්‍යම සහ නිවැරදිම තීරණයක් බව දැන්විය යුතුමය.

කෙසේ වෙතත් මෙම සංචාරණ සීමා කාලයේ බොහෝ දෙනා කතාවට ලක්වූ අනෙක් පුද්ගලයා වන්නේ මොරටුව නගරාධිපති සමන් ලාල්ය. ඒ එන්නත්කරණය සම්බන්ධයෙන් ඇඟිලි ගැසීමට ගොස්ය. කෙසේ වෙතත් අවසානයේ නගරාධිපති එන්නත් උපදෙස් දෙන්නට ගොස් ඇතුළේ කූරු ගනින්නට වුණේය. පසුගියාදා නැවත නඩුව කැඳවූ අවස්ථාවේ නගරාධිපතිවරයා 11 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. ඔහු කළ දෙය ගැන කිසිවකු හොඳ කියන්නේ නැත. අගය කරන්නේ නැත. මොන වරදක් තිබුණත් එය විසඳීමට පොලිසියට හැකියාව තිබියදී ඊට මැදිහත් වී හිතුවක්කාරී වී දඟලන්නට ගොස් නගරාධිපති ඇදගෙන නෑවේ කට නිසාය. එය කාටකාටත් හොඳ පාඩම්ය. එහෙත් එක ප්‍රශ්නයක් ඇත. මොරටුව නගරාධිපතිට ඇති නීතිය තවම කුරුණෑගල නගරාධිපතිට ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්නය.

නිරෝධායනයෙන් කෙළවර වූ චන්දිමාල්ගේ ෂැංග්‍රිලා සාදය

නිරෝධායනය නීතිය තඹයකට මායිම් නොකළ රෑපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පැවත්වූහ. ඉතාම රහසිගතව සංවිධානය කෙරුණු මෙම සාදය ෂැංග්‍රිලා හෝටලයේ ඉහළ මාලයේ එක් කාමරයකට සීමා වුණේය. කෙසේ වෙතත් මෙම සාදය බාහිර කිසිවකු හෝ දැන නොසිටි අතර සාදයේ තොරතුරු හෙළිවුණේ මුහුණු පොත හරහාය. දැනටමත් එම උපන්දින සාදය පැවැත්වෙන බවත් වහාම ගොස් බලන ලෙසත් සාදය පැවැත්වෙන මොහොතේම මුහුණු පොතේ තැබූ සටහනකින් ප්‍රසිද්ධ කෙරිණි. එහෙත් රාත්‍රියේ කිසිම සොයාබැලීමක් ක්‍රියාත්මක වුණේ නැත.

දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මුහුණු පොත හරහා ප්‍රශ්න කිරීමත් සමඟ පොලීසියෙත් ආණ්ඩුවේත් ඉහළ අය දැනුවත් වීම මත සාදය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ විය. අවසානයේ චන්දිමාල් ජයසිංහත් නිරෑපණ ශිල්පි පියුමි හංසමාලිත් කොටුව පොලීසියට කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. ඒ අනුව හෙළිවුණේ මෙම සාදය සඳහා පුද්ගලයන් 25 දෙනකු පමණ සහභාගි වී ඇති බවත් එය ෂැංග්‍රිලා හෝටලයේ කාමරයක පවත්වා ඇති බවත්ය. එහෙත් සිද්ධිය පිළිබඳව හරියටම කරුණු දැනගැනීම සඳහා පොලීසිය සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමටද තීරණය කළේය.

අවසානයේ නිරෝධායනය නීති කඩකරමින් සාදයක් පැවැත්වීමේ චෝදනාව මත චන්දිමාල් ජයසිංහත් පියුමි හංසමාලිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී මහේස්ත්‍රාත්වරයා දෙදෙනාටම ඇප ලබාදුන්නේය. එහි විශේෂත්වය වුණේ එම මහේස්ත්‍රාත්වරයා සම්බන්ධ වුණේ වීඩියෝ තාක්ෂණය හරහා වීමය. කෙසේ වෙතත් ඇප ලබාගත් පියුමිත්, චන්දිමාලුත් උසාවියෙන් එළියට පැමිණ ජීප් රථයක නැගී උසාවිය අසලින්ම යූ ටර්න් ගසා ගියේ මාධ්‍යට කිසිදු උත්තරයක් ලබා නොදමිනි.

මේ දෙදෙනාට ඇප ලබාදීමත් නිරෝධායනය නොකිරීමත් සම්බන්ධයෙන් ඒ වනවිටත් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවෙන්නට විය. ඒ වනවිටත් රට වටේ නිරෝධායනය නීති කඩකළ සාමාන්‍ය වැසියන් අත්අඩංගුවට ගත් ආකාරය, ඔවුන්ට මහපාරේ දුන් දඬුවම්, නිරෝධායනය කළ ආකාරය සමඟ සසඳන විට පියුමිත්, චන්දිමාලුත් මෙලෙස ගෙදර ගියේ කෙසේද යන්න හැමදෙනාම ප්‍රශ්න කළහ. සමාජ මාධ්‍ය කෙතරම් ප්‍රබලද යත් පියුමි සහ චන්දිමාල් ගිය වාහනය උසාවිය ඉදිරියේ සුදු ඉරමත යූ ටර්න් ගසා රටේ රථවාහන නීතිය කඩකළ සිද්ධියක්ද මෙහිදි කරළියට ගෙන එනු ලැබීය. මෙය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා හා සමාන සිද්ධියක් විය.

එදිනම රාත්‍රියේ හිරු රූපවාහිණී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාහි විය. එහිදී නිවේදකයා ලෙස සහභාගි වුණු චමුදිත විසින් දිගින් දිගටම විමසා සිටියේ මෙලෙස රටේ නීති දෙකක් ක්‍රියාත්මක වන්නේ කෙසේද කියාය. පියුමි, චන්දිමාල් නිවසට යන්නත් අහිංසක දුප්පත් මිනිසුන් අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමත් කෙලෙස සිදුවන්නේද යන්න ඔහු දිගින් දිගට ප්‍රශ්න කළේය. ඇත්තටම අජිත් රෝහණ මහතා අසරණ විය.

කෙසේ වෙතත් එදා අජිත් රෝහණ ඇඟ බේරාගත්තත් ඊට පහුවැනිදා සාදයට සම්බන්ධ වුණු තවත් හය දෙනෙකු පොලිසියට කැඳවා තිබුණේය. ඒ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්ද සිටියාය. මේ සියලු දෙනාම කැඳවා අධිකරණයට ඉදිරිපත් කළේ එම නඩුවේ තවත් දිර්ඝයක් ලෙසටය. මෙහිදී පොලීසිය විසින් වරද නිවැරදි කරගැනීම සඳහා සියලුදෙනාම නිරෝධායනය සඳහා යොමු කීරීමට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් මහේස්ත්‍රාත්වරයාගේ මතය වුණේ එය අධිකරණයට තීන්දු කළ නොහැකි දෙයක් බවත් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ තීරණය මත කළයුතු දෙයක් බවත්ය. ඒ අනුව ඔවුන්ටද ඇප ලබාදෙනු ලැබීය.

ඊට පසුව පිරිස කොටුව පොලීසිය වෙත කැඳවාගෙන යනු ලැබූ අතර ඒ අවස්ථාවේ පියුමි හංසමාලිටත් චන්දිමාල්ටත් කොටුව පොලීසියට එන ලෙසට දැනුම් දී තිබිණි. පියුමි කියූ පරිදි එම ස්ථානයට ගියාය. එසේ යනවිටත් පොලීසිය පිරිස නිරෝධායනය සඳහා රැගෙන යාමට බසයක් සූදානම් කර තිබුණි. එහෙත් ඔවුන් රැගෙන යන්නේ කොහේද කියා දැන සිටියේ නැත. ඔවුන් රැගෙන යන ස්ථානය තීරණය කර තිබූ හමුදාපතිවරයා දැනුම් දුන්නේ වහාම පිරිස පස්සර ප්‍රදේශයේ නිරෝධායනය මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලෙසය. ඒ අනුව පිරිස නොසිතූ මොහොතක බසයට ගොඩකර නිරෝධායනය මධ්‍යාස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් කෙරිණි. එය සියලු දෙනාගේම දැඩි විරෝධය එල්ලවුණු අවස්ථාවක් විය. එනම් තමන් කැමති නිරෝධායනය තැනකට යන්න අවස්ථාවක් නොදී මෙලෙස රැගෙන යාම පිළිබඳ එම විරෝධය එල්ල විය.

මෙසේ රැගෙන යන අතරවාරයේ මුහුණු පොත හරහා සජීවීව එකතුවුණු පියුමි හංසමාලි නිවේදක චමුදිතට දැඩි ලෙස බැණ වැදුණේය. චමුදිත විසින් අජිත් රෝහණ අමාරුවේ දමා මේ තත්ත්වය උදාකළ බව ඇය දිගින් දිගටම පැවසුවාය. මේ අතර ඇගේ වීඩියෝවට ඔලුව දැමූ තරුණයෙක් අසා සිටියේ ජැක්සන්ගේ දුව කෝ? කියාය. එහෙත් ඒ කතාව එතනින් දුර ඇදුණේ නැත. පිරිසගේ කරදර ඝෝෂා මැද බසය ඉදිරියට ඇදෙන්නට විය.

මේ අතර බසය මඳ දුරක් ඇදෙන විට බස්රථය භාරව සිටි ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ නීතිය හා සාමය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. ඔහු දැනුම් දුන්නේ වහාම බස් රථය නැවත හරහාගෙන පැමිණෙන ලෙසය. එහෙත් එම ප්‍රධානියා දැනුම් දුන්නේ මෙය ඉහළින් ලැබුණු නියෝගයක් නිසා තමන්ට එය කළ නොහැකි බවය. වහාම එම නිලධාරියා මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් දේශබන්දු තෙන්නකොන් මහතාට දැනුම් දුන්නේය. තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නේය. කෙසේ වෙතත් අවසානයේ මෙය ජනාධිපතිවරයාගේ කනට යනතෙක්ම දුර ගියේය. ජනාධිපතිවරයාගේ නියෝගය වුණේ කිසිම ආකාරයකින් බස්‍ රථය හරවා නොයවා අදාල නිරෝධනයට රැගෙන යන ලෙස කියාය. ඒ අනුව අවසානයේ බස් රථය පස්සර බලා පිටත් විය.

එහෙත්  සරත් වීරසේකර අමාත්‍යවරයාගේ  මහජන ආරක්ෂක අමාත්‍යාංශය පසුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ අමාත්‍යවරයා බස් රථය නැවැත්වීමට හෝ නැවත හැරවීමට කිසිදු නියෝගයක් ලබා නොදුන් බවය. 

සිදුවීම් පෙළගැස්ම එලෙස සිදුවුණත් බොහෝ දෙනා සඳහන් කරන්නේ සාදයට සහභාගි වූ ප්‍රබලයන්ගේ දරුවන්, මිත්‍රයන් පිරිසක් අත්අඩංගුවට නොගත් බව කියාය. ඒ අතර ජැක්සන් ඇන්තනි මහතාගේ දුව මාධවී ඇන්තනිට පවා චෝදනා එල්ලවිය. එහෙත් ඇය ඒ මොහොතේ අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. කෙසේ වෙතත් දැනගන්න ලැබුණු පරිදි මේ ලිපිය ලියන මොහොත වනවිට මාධවීට ඇන්තනීටද පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබිණි. පසුව සවස අැය අත්අඩංගුවට ෙගන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ අතර චන්දිමාල්ගේ සහෝදරිය හා මවද සිටියේය. එම හත්දෙනාට ඇප ලබාදුන් අතර ඔවුන්ගෙන් හයදෙනෙකු පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙතද චන්දිමාල්ගේ මව නිවසේද නිරෝධායනය කිරීමටද තීන්දු කළේය.

කෙසේ වෙතත් මේ අතර තවත් ජනප්‍රිය නිරෑපිකාවකගේ නමක්ද කියවිණි. ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ස්ටෝරිවල රාත්‍රියේ මෝටර් රථයකින් ගමන් ගන්නා වීඩියෝවක් පවා දමා තිබූ අතර එහෙත් ඇය පසුව එය ඉවත් කරගෙන තිබුණි. එහෙත් පුදුමය නම් ඇය තවමත් පොලීසියට පැමිණ නොතිබීමය. මේ වනවිට මෙම සාදයට සහභාගි වීමේ වරදට අත්අඩංගුවට ගත් පිරිස 13 දෙනෙකි.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. පියුමිට සහ චන්දිමාල්ට නීතිය ක්‍රියාත්මක වුණත් එය සිදුවුණේ ඉතාම මන්දගාමී ආකාරයකටය. ඒ සියල්ල සිදුවූයේද මුහුණු පොතේ මග පෙන්වීම් මතය. පුදුමය නම් මේ අය මහ රූ කෙලෙස හෝටලය වෙත පැමිණියේද? එම හෝටලයේ සාදයක් පැවත්වුණේ කෙසේද? ත්‍රස්තවාදී ප්‍රහාරයකට පවා ලක්ව ඇති ෂැංග්‍රිලා හෝටලය තුළ මෙලෙස නීතියෙන් පිට සාදයක් පවත්වන තෙක් එහි කළමනාකරුවන් දන්නේ නැතිද? මෙරට බුද්ධි අංශ දැනුවත් නැද්ද? යන්නය. ඒ නිසා ඇත්තටම ප්‍රශ්නය ඇත්තේ පියුමි, චන්දිමාල් සාදය පැවැත්වීමට වඩා එලෙස සාදයක් පැවැත්වීමට ඇති බලය ඉඩකඩ කෙලෙස ලැබුණේද යන්න කියාය. ඒ සම්බන්ධයෙන් මේ වනවිට හෝටලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔවුන්ගේ ප්‍රකාශ මත ඉදිරියේ ඇත්ත හෙළිවනු ඇත.

I ගයාන් ගාල්ලගේ
සේයරූ I සුමුදු හේවාපතිරණ

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00