2021 ජුනි 05 වන සෙනසුරාදා

නොමැකෙන නමක් තබා වියෝවූ සමිත හාමුදුරුවෝ

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 126

රට ජාතිය වෙනුවෙන් කැප වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වූ බද්දේගම සමිත හිමියෝ පසුගියදා අපවත් වී වදාළහ. දකුණුලක දේශපාලනයේ මෙන්ම ලාංකීය දේශපාලන කරළියේ ප්‍රබල නමක් රැන්දූ බද්දේගම සමිත හිමියන් පිළිබඳ පුණ්‍යානුමෝදනා පූර්වක කෙටි මතකාවර්ජනයකට අපි සැරසෙමු. සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුලු යන බුදුවදන සිහිපත් කරමින් පසුගිය මැයි මස 30 වැනි දින මාතර පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත් වූහ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුවපත්ව සිටි නමුත් කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඇතිවූ උග්‍ර පෙනහලු ආසාදනයක් බද්දේගම සමිත හිමියන්ගේ නික්මයාමට හේතුව ලෙස කියැවුණි.

බද්දේගම ප්‍රදේශයේ එකදහස් නවසිය පනස් දෙක වසරේ ජනවාරි මස සිව්වැනි දින උපන් කුල කුමරකු මෙරට බුදු සසුන බැබල වූ මහා පඬිරුවනක් වන ගණේගම සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස දහතුන් හැවිරිදි වියේදී බද්දේගම සමිත නමින් සසුන්ගත වූහ. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න භික්ෂුවක් ලෙස හැදී වැඩුණු බද්දේගම සමිත හිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය සම්පූර්ණ කළහ. එසේම උන්වහන්සේ එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ ආගමික අධ්‍යාපනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද දිනාගත් වියත් හිමි නමක් වූහ. 

ලාංකීය භික්ෂු දේශපාලනයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කළ බද්දේගම සමිත හිමියෝ 2001 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූහ. ඒ වූ කලී වියතුන් පවසන පරිදි ලාංකීය භික්ෂු මන්ත්‍රී දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලනයේ භික්ෂු භූමිකාව සම්බන්ධවද සුවිශේෂී අවස්ථාවකි. කෙසේ නමුත් බද්දේගම සමිත හිමියන්ගේ දේශපාලන ආගමනය හිටිහැටියේ සිදුවූවක් නොවේ. ඒ සම්බන්ධව ඇති ඉතිහාස කතන්දර රැසක් උන්වහන්සේගේ අපවත් වීමත් සමග එකිනෙක කරළියට එමින් තිබේ. බද්දේගම සමිත හිමියන් යනු මෙරට සරසවි ශිෂ්‍ය දේශපාලනයේද සදා නොමැකෙන නාමයකි.

ඒ වූ කලී ලාංකීය දේශපාලනයේ පෙරළිකාර 1978 වර්ෂයයි. බද්දේගම සමිත හිමියන්ද මෙම වකවානුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් වූහ. 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දැවන්ත ශිෂ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. අලුත් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට විරුද්ධව ශිෂ්‍ය ප්‍රජාව විරෝධතා ක්‍රියාත්මක කරමින් සිටීම මීට හේතුව විය. මේ සමයේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාමාංශික ශිෂ්‍ය සටන් ව්‍යාපාරයට ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය. සමිත හිමියෝ ලංකා සමසමාජ පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක් වූහ.

1978 වසරේ මාර්තු 16 වැනිදා ලාංකීය ශිෂ්‍ය දේශපාලනයේ මෙන්ම බද්දේගම සමිත හිමියන්ගේද ජීවිතයේ සුවිශේෂී දිනයක් විය. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දහස් ගණනින් එකතුවෙමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය තුළ උද්ඝෝෂණය කරමින් සිටියේය. මේ දින කැලණියේ මැර කණ්ඩායමක් යොදවා එවක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක් විසින් සරසවි සිසුන්ට විරුද්ධව ප්‍රහාරයක් දියත් කළේය. කඩු මුගුරු රැගෙන පැමිණි මැරයන්ගේ ප්‍රහාර හමුවේ සිසුහු ප්‍රතිප්‍රහාර දියත් කළහ. මෙම ගැටුම අතරේ මැර කණ්ඩායමේ සිටි එක් අයෙක් දැඩි තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර පසුව ඔහු මරණයට පත් වූ බව වාර්තා විය.

රාජ්‍ය අනුග්‍රහය ලද මැර කණ්ඩායමේ මියගිය පුද්ගලයාගේ මරණයට සැකපිට බද්දේගම සමිත හිමියෝ අත්අඩංගුවට ගනු ලැබූහ. එය වූ කලී මෙරට ප්‍රගතිශීලී මෙන්ම සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය කම්පනයට පත්කළ සිදුවීමක් පමණක් නොවූ අතර තත්කාලීන සමාජ දේශපාලනය තුළද සුවිශේෂී කතිකාවක් නිර්මාණය කළේය. කෙසේ නමුත් සිරබත් කමින් දුෂ්කර කාලයක් ගතකළ බද්දේගම සමිත හිමියෝ අවසානයේදී නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. අනතුරුව උන්වහන්සේ විදේශ ගතවූහ. එම යුගය සහ මේ සිදුවීම් පෙළ පිළිබඳව මතකාවර්ජන රුසක් සමිත හිමියන්ගේ වියෝවත් සමඟ මේ වනවිට එකිනෙක එළි දකිමින් තිබේ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ දයාපාල තිරාණගම ආදීන් තැබූ සටහන් එයින් සුවිශේෂී කොට දැක්විය හැකිය. මේ සියල්ල හරහා හෙළිවනුයේ බද්දේගම සමිත හිමියන් යනු තවත් එක් ජාතිකවාදී දේශපාලන භික්ෂුවක් නොවන බවයි.

කලක් විදේශගතව සිටි බද්දේගම සමිත හිමියන් මෙරටට පැමිණ නැවත සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ අනූව දශකයේ මුල් භාගයේදීය. ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයට උන්වහන්සේ අවතීර්ණ වූහ. බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරයට පත්වූ උන්වහන්සේ පසුව 1997 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූහ. මානවවාදී දේශපාලනයක නිරත වූ බද්දේගම සමිත හිමියන් ක්‍රමයෙන් දකුණු පළාත තුළ ප්‍රබල දේශපාලන චරිතයක් බවට පත්වූහ. ඒ අනුව 2001 වසරේදී ලාංකීය භික්ෂු දේශපාලන කතිකාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් බද්දේගම සමිත හිමියෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූහ.

2004 වර්ෂයේදී වර්ෂයේදී පාර්ලිමේන්තු අසුන අහිමි වුවද බද්දේගම සමිත හිමියෝ සිය දේශපාලන ගමන අත් නොහැරියහ. ඒ අනුව උන් වහන්සේ අවසාන වතාවට දකුණු පළාත් සභාව විසුරුවන අවස්ථාව වන තෙක්ම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියහ. එසේම බද්දේගම සමිත හිමියන් අපවත්වන අවස්ථාව වනවිට ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියහ. ජනවාර්ගික සමගිය ආගමික සහජීවනය ආදීය පිළිබඳව බද්දේගම සමිත හිමියන්ට තිබුණේ ඉතා ප්‍රගතිශීලී මතවාදයකි. ලංකා සමසමාජ පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ උන්වහන්සේ ජාති ආගම් කුලගෝත්‍ර නොතකමින් සියලුදෙනාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි බවයි.

බද්දේගම සමිත හිමියන්ගේ සාමාජීය මෙහෙවර පිළිබඳ සඳහන් කිරීමට අප්‍රමාණ නිදසුන් ඇතත් 2004 සුනාමි ව්‍යසනය සහ දෙදහස් 2019 පාස්කු ප්‍රහාරය අපි ඊට නිදසුන් කොට සිහිපත් කරමු. සුනාමි ව්‍යසනය අවස්ථාවේදී විපතට පත්වූ මහජනතාවට පිහිටවීම උදෙසා බද්දේගම සමිත හිමියන් ඉටුකළ මෙහෙය ඓතිහාසිකය. දකුණු පළාත තුළ විශාල පිරිසකට උන්වහන්සේ ශක්ති පමණින් පිළිසරණක් විය. එසේම පසුගිය පාස්කු ප්‍රහාරය සිදු වූ මොහොතේදී පනහකට අධික භික්ෂු පිරිසක් සමඟ කටුවාපිටිය දෙව්මැදුර වෙත ගිය බද්දේගම සමිත හිමියන් ආගමික සහජීවනය පිළිබඳව ලොවටම කියාදුන්නේ සුවිසල් පාඩමකි. සමිත හිමියන්ගේ අපවත්වීම ඇසූ සැණින් කම්පාවට පත් වූ කාදිනල්තුමන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සමිත හිමියන් පිළිබඳ සුවිශේෂී ගුණ කථනයක් සිදුකළේ එබැවිණි.

බද්දේගම සමිත හිමියන්ගේ සමාජීය දේශපාලන භූමිකාව වර්තමාන දේශපාලන භික්ෂූන්ට කදිම උදාහරණයක් යැයි අවසානයේ අපි සටහන් කොට තබමු. ආගම ජාතිය පමණක් කරපින්නා ගෙන කරන දේශපාලනය වෙනුවට මානවවාදී දේශපාලනයක නිරත වූ බද්දේගම සමිත හිමියන්ගේ නික්ම යාම දකුණු ලකට මෙන්ම මෙරට සමස්ත භික්ෂු දේශපාලනයටම සුවිසල් පාඩුවකි. එම නිසාම මෙම කෙටිසටහන උන්වහන්සේ නාමයට පූජා වේවායි අපි පතමු.

 චමිඳු නිසල් ද සිල්වා