2021 මැයි 22 වන සෙනසුරාදා

දුප්පත් රටවල බෙල්ල මිරිකන එන්නත් බිස්නස් එක

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

කොව්ඩ්-19 වෛරසය ගැන ලෝකය පුරා මහත් භීතියක් පවතින අවස්ථාවකි. පළමු වටයෙන් පසු අස්වැසිල්ලක් අත්පත්වනු ඇතැයි කල්පනා කළ නමුත් එය සත්‍යයක් නොවේ. දෙවැනි හා තෙවැනි රැළි නැගී ලෝකය කළඹා ඇත. දිනපතා දහස් ගණනින් ජීවිතක්ෂයට පත්වෙති. ආසාදිතයන් වාර්තා නොවන තැනක් නැත. වසර දෙක තුනකට කලින් අත්වැල් අල්ලාගෙන සැහැල්ලුවෙන් ගත කළ කාලය සිහිපත් කළ යුතුය. නැවත එවැනි තැනකට ආපසු ගමන් කළ හැකි ද යන්න සැක සහිතය.

කොවිඩ් වළක්වා ගැනීම සඳහා එන්නතක් සොයාගැනීම වෛද්‍ය පර්යේෂණ ඉතිහාසයේ සන්ධිස්ථානයකි. එය මහත් ගැලවීමක් වනු ඇතැයි විශ්වාස කළේය. එහෙත් වෛරසය අනෙක් ප‍්‍රභේද දක්වා දියුණුවෙමින් පවතින බව වාර්තා වෙයි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, දකුණු අප‍්‍රිකාව, බ‍්‍රසීලය හා ඉන්දියාව වැනි රටවල එකිනෙකට වෙනස් විශේෂ අනාවරණය වී ඇත. ඒවා මැඩ පැවැත්වීම දුෂ්කර බව දැක්වෙන අතර සමහරවිට වසරක් පාසා එන්නත් ගන්නට සිදුවිය හැකි බව ප‍්‍රකාශ වෙමින් තිබේ.

• වූහාන් ප‍්‍රාන්තයේ සිට ෂී ෂෙල්ස් දූපත් දක්වා

කොවිඩ් ව්‍යාප්තිය හඳුනාගන්නේ චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන්ය. එන්නත සොයාගත් පසු ඉලක්ක ජනගහනයට සම්පූර්ණ එන්නත් මාත‍්‍රා ලබාදිය හැකි වූ පළමු රට ෂී ෂෙල්ස් බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි. නමුත් නැවත වතාවක්ද එහි වැසියෝ ආසාදනය වී ඇති බව ද කියැවෙයි. කොවිඩ් චීන වෛරසයක් සේ හඳුන්වන ලද කාලයක් තිබුණි. චීනය මෙම වෛරසය ලෝකය පුරා පතුරවන ලද බව එක්තරා පදනම් විරහිත චෝදනාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය වෛරසයේ මුල සොයා විශේෂ පරීක්ෂණයක් කළේය. වෙනත් රටකින් ආනයනය කළ මස් තොගයක මෙම වෛරස් තැවැරී තිබුණ බව දැනට ප‍්‍රකාශ වී තිබේ. 

එන්නත සොයා ගැනීමෙන් පසු සම්පූර්ණ පාලනයකට යා හැකිවනු ඇති බවට තිබුණ විශ්වාසය පවා අභියෝගයකට ලක්ව ඇත. ආසාදනයෙන් වළක්වා ගැනීම හැර අනෙක් පියවරක් නැති තැනට පත්ව තිබේ. නිසි සෞඛ්‍ය පුරැදු අවශ්‍යය. සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත්ය. ශ‍්‍රී ලංකාව පළමු, දෙවැනි හා දැන් උත්සන්න වී ඇති තුන්වන රැල්ලෙන් පීඩාවට පත්ව සිටී. පළමු අවස්ථාව ඉතා සාර්ථකව පාලනය කරගත හැකි වූ නමුත් දෙවැනි හා තෙවැනි රැළිවලදී ජනතාවගේ ක‍්‍රියාකාරීත්වය පාලනය කරන පියවර පහසු වුයේ නැත. ආර්ථිකය අඩාල කර නොගෙන සෞඛ්‍ය ගැන තීරණ ගැනීම දුෂ්කරය. රට වසා දමන ලෙස එක කොටසක් තද මතයක සිටී. 
තවත් පාර්ශ්වයක් සංචරණ සීමා පනවන ලද වහා සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිවීම, අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීමේ අපහසුතා සහ රාජකාරි කටයුතුවලට බාධා සිදුවීම ගැන මැසිවිලි නැගීය. දෙපැත්තක් තිබේ. ආණ්ඩුවලට පමණක් වගකීම ඉසිලිය නොහැකි තරමට කාර්ය සංකීර්ණ තැනකට පත්ව ඇත. සියලු දෙනාම වගකීමකින් කටයුතු කළ යුතුව ඇත. 

ලෝකයේ නොයෙක් තැන්වලින් අනාවරණය වන කණගාටුදායකක සිද්ධි, එන්නත ලබාගැනීමේ දුෂ්කරතා, බලවත් රටවල් සිය වාසිය වෙනුවෙන් හරවාගෙන ඇති ආකාරය, ඖෂධ සමාගම් ක‍්‍රියාත්මක වන ආකාරය සහ දුප්පත් රටවල් අසරණ වී ඇති තරම වටහා ගත යුතු අතර එය පරෙස්සම විය යුතු තරම ගැන තවත් වටයකින් පාඩමක් උගන්වා තිබේ.

• මුදල් ගෙවා ගන්නත් බැරි කොවිඩ් එන්නත

කොවිඩ් වළක්වා ගැනීමට නම් එන්නත අවශ්‍යය. එන්නත නිපදවන වේගය ප‍්‍රමාණවත් නැත. චීනයේ සයිනොෆාම්, රැසියාවේ ස්පුට්නික් සහ ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා විශාල වශයෙන් නිපදවන එන්නත් අතර තිබේ. ඇමරිකාවේ ෆයිසර් බයෝටෙක්, අමෙරිකාවේ මඩොනා සහ ෆයිසර් සහ ෆයිසර්  සමාගම් ද එන්නත් නිපදවීම අරඹා ඇත. තවත් රටවල් ගණනාවක් සුළු වශයෙන් නිපදවන බව අනාවරණය වෙයි. සිංගප්පූරැව පවා එන්නතක් සොයාගෙන ඇති අතර එහි සායනික පරීක්ෂා සිදුවෙයි. ඉන්දියාවේ භාරත් සමාගමද තවත් එන්නතක් නිපදවමින් සිටී. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක ප‍්‍රතිඵලයකි. ඉන්දියානු සමාගමක් වන සීරම් ඉන්ස්ටිටියුට් එය වානිජ වශයෙන් නිෂ්පාදනය කරන අයිතිය ලබාගෙන තිබේ. එම ආයතනයේ යටිතල පහසුකම් දියුණු කරනු සඳහා මිලින්ද සහ ගේට් පදනම ඇතුළු ලෝක ප‍්‍රකට දානපතියෝ ආධාර කළහ. ඉන්දියාවට එන්නත් නිපදවන හැකියාව තිබේ. ලෝකයේ දැනට නිපදවන එන්නත් වලින් සියයට හැටක් හදන්නේ ඉන්දියන් කම්හල්වලය. ඖෂධ ගැන පර් යේෂණ කරන විද්‍යාගාරවල හදන බෙහෙත් එන්නතක අසුරා වෙළඳපොළට නිෂ්පාදනය කරන නමුත් සීරම් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව එහි නිරත විය යුතුය. හොඳම උදාහරණය ඉන්දියාවට එන්නත් නොලැබීමය. 

ඉන්දියාවේ ජනයා, විශේෂයෙන් දේශපාලනඥයෝ සීරම් ඉන්සිටිටියුට් හි අයිතිකරැවන්ට බලපෑම් කළහ. ජනතාව මහ මඟ මැරී වැටෙන බව ප‍්‍රකාශ වන පසුබිමක බලා සිටිය හැකිද? එහෙත් ඉල්ලන තරමින් බෙදන්නට නොහැක. කලින් මුදල් ගෙවා තිබුණ රටවල්වල ඇනවුම් සැපැයිය යුතුය. සමහර අමුද්‍රව්‍ය එන්නේ ඇමරිකාවෙන් හා බ්‍රිතාන්‍යෙයන්. ඒවා සපයන ප‍්‍රමාණය සීමාසහිතය. සෑම එන්නත් තොගයකටම කොමිස් මුදල් ගෙවිය යුතුව තිබේ. එයින් පරිබාහිරව තීරණ ගැනීමට නොහැක. එවැනි පසුබිමක දී ශ‍්‍රී රාම් ප‍්‍රධානියා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගිය අතර එරට පුවත්පත්වලට කියා සිටියේ පීඩනය දරාගත නොහැකි බවය. වහාම එන්නත් ගෙනැවිත් රටවැසි සියලුම දෙනාට ලබා දෙන සේ බලකරන දේශපාලන මතධාරීන් මෙකී අභ්‍යන්තරය ගැන කල්පනා කරන්නේ නැත. එන්නත ඇනවුම්කර වහා ලබාගත හැකිනම් ඉන්දියානුවෝ එරට අගමැතිවරයාට ගෙදර යන සේ බලකරන්නේ නැත. ඉන්දියාව ලෝකයේ බලවත්ම ආර්ථිකයන් සහිත රටවල් ලැයිස්තුවේ පස්වැනි තැන සිටී.

• පේටන්ඩ් අයිතිය අත්හරින්නට සූදානමක් නැත

ජාත්‍යන්තර ඖෂධ සමාගම් කොවිඩ් එන්නතට පේටන්ඩ් අයිතිය ලබාගෙන තිබේ. අත්හරින්නට සූදානමක් නැත. ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව සහ බ‍්‍රසීලය වැනි රටවල් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී මෙම ලෝක ව්‍යසනය ඉදිරියේ තාවකාලිකව වසර දෙකකට එම එන්නතෙහි පේටන්ඩ් අයිතිය අහෝසි කරන සේ ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉල්ලා සිටියේය. එහෙත් දීර්ඝ සාකච්ඡා වට ගණනාවකට පසු එය ප‍්‍රතික්ෂේප වී ඇත. සිවිල් සංවිධාන හා නීතිවේදීහු ද එම අදහසට පෙනී සිටියහ. නමුත් විශාල ධනයක් වැයකර අලුතින් සොයාගත් ප‍්‍රතිකාරය නොමිලේ වෙනත් නිෂ්පාදකයකුට පවරන්නට කිසිම සමාගමක් කැමති වූයේ නැත. ඇමරිකාවේ මොඩෙනා එන්නත පමණක් කොවිඩ් තත්ත්වය පාලනය කිරීමෙන් පසු එහි සියලු අයිතිය අත්හරින බව ප‍්‍රකාශ කළේය. අනෙක් සමාගම් නිල ප‍්‍රකාශයක් නිකුත් කර නැත. චීනය සොයාගත් එන්නත අන්තර්ගතය හෙළි නොකරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානයටද ප‍්‍රශ්නයක් වී තිබේ. 

අවසරය ලැබුණහොත් රටවල් අසූවක එන්නත් නිපදවන සමාගම් දහසකට පමණ එකවර නිෂ්පාදනය කරන හැකියාව ලැබේ. තමන්ට කැමති සමාගමකින් අවසර ගෙන ජනතාව ඉක්මනින් නික්ෂේපනය කළ හැකිය. ශ‍්‍රී ලංකාවට පවා එවැනි පියවරකට යා හැකිය. නමුත් අවසර රහිත රාමුව සියල්ල වෙනස් කර තිබේ. සමහර රටවල් නිපදවන එන්නත් තොග කලින් මුදල් ගෙවා වෙන් කරගෙන ඇත. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් සිය ජනගහනයටත් වඩා එන්නත් මිල දී ගෙන තිබේ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් නිපදවන ලද එන්නත මිල දී ගෙන ඇති අතර ඒවා භාවිත කරන්නේ නැත. හේතුව එයට වඩා ප‍්‍රතිඵල සහිත බව හිතන වෙනත්  විශේෂ භාවිත කිරීමය. දියුණු රටවල් ආරක්ෂා වන අතරවාරයේ නොදියුණු හා දියුණුවෙමින් පවතින රටවල් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ඉතාම දිළිඳු තැනකය. මෙම එන්නත් වෙනත් රටකට තෑගි කිරීම පවා ගැටලුසහගත බව දැක්වෙයි. ප‍්‍රති අපනයනය වලංගු නැති බවටට ගිවිසුම් අත්සන් කර තිබේ. ඇමරිකාව හදිසි පියවරක් වශයෙන් ඔවුන් භාරයේ තිබු ඉන්දියානු එන්නත් තොගයක් ඉන්දියාවටම ආපසු ප‍්‍රදානය කරන ලද අතර ඇමරිකානු ජානාධිපතිවරයා ඒ සඳහා ඔහුට ඇති විශේෂ පනතකින් ආවරණය ලබාගත් බව සඳහන්ය. 

අලුත් වාර්තා අනුව ඉකුත් අප්‍රේල් තිස් වැනිදා වනවිට ලෝකය පුරා ජනයා වෙත එන්නත් මාත‍්‍රා බිලියන 1.1 ක් නික්ෂේපනය කර ඇත. ලෝකයේ රටවල් එකසිය හැත්තෑ හතරකි. අවාසනාවකට ලෝකයේ රටවල් විසි හතක් මෙතෙක් භාවිත කර ඇති සම්පූර්ණ එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණයෙන් තුනෙන් එකක් එනම් 36.7 ක් අත්පත් කරගෙන තිබේ. ධනවත් හා බලවත් රටවල සෑම විනාඩියකටම වරක් පුරවැසියකු එන්නත් කෙරේ. දුප්පත් රටවල් හැට හතක ජනගහනයෙන් සියයට අනූවකට මෙම ගෙවී යන වසර තුළ කිසිම ආකාරයකින් කොවිඩ් එන්නතක් ලැබෙන්නේ නැත. එය ඉතා ඛේදනීය තත්ත්වයකි. වර්ගීකරණය අනුව ධනවත් යැයි දක්වන ජන කොටස සමස්ත ලෝක ජනගහනයෙන් සියයට දහ හතරකි. මෙම කොටස මෙතෙක් නිපදවන ලද කොවිඩ් එන්නත් ප‍්‍රමාණයෙන් සියයට පනස් පහක් අයිතිකරගෙන තිබේ. දුප්පතුන් මහමග වැටී මියයන කාලයක පොහොසතුන් ආරක්ෂිතව තමන්ගේ වැඩක් බලාගෙන සිටින රාමුවක් නිර්මාණය වී තිබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

• පේටන්ඩ් අයිතිය අනෙක් පැත්තක්ද සලකා බැලිය යුතුය

පේටන්ඩ් අයිතිය තාවකාලිකව අත්හරින්නට එන්නත් සොයාගත් කිසිම සූදානමක් නැත. එයට හේතු ගණනාවක් සමාගම් ඉදිරිපත් කරති. පර් යේෂණ සඳහා වියදම් කරන ලද අති විශාල ධනය පළමු කාරණයයි. මෙම එන්නත නිදහසේ නිපදවන අයිතිය ප‍්‍රකාශයට පත් කළහොත් එය තවත් නරක පූර්වාදර්ශයක් විය හැකි බව කියැවෙයි. අනාගතයේ දී ඖෂධ නිපදවන පර් යේෂණවලට ඇති උන්දුව අඩුවෙයි. වැර වෑයමෙන් නිපදවා නොමිලේ ලෝකයට බෙදන්නට සිදුවුවහොත් සමාගම් අධෛර්යයට පත්වීමට ඉඩ තිබේ. සමාගම් තුන්සියයක් තුන්සිය පනහක් අතර ප‍්‍රමාණයක් කොවිඩ් එන්නත් ගැන පරීක්ෂණ කළේය. සාර්ථක වූයේ සීමිත ප‍්‍රමාණයකි. ඒවාට ගෙවන ලද මුදල් රහසිගතය. මානව වර්ගයා වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් බවද අමතක කළ යුතු නැත. ඖෂධ නිෂ්පාදන සමාගම් සාධාරණ නැති බව පිළිගත යුතුය. කළු සල්ලි එනම් නීති විරෝධී මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අංක එකට පත්ව තිබේ. අවි ආයුධ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් අතරට ඖෂධ ජාවාරමත් එකතුවීම ලෝකයේ අවාසනාවන්ත සිද්ධි අතර එකකි. සමහර ඖෂධ සමාගම්වල හැසිරීම ගැන ප‍්‍රශ්න තිබේ. අධිකරණවලින් වාර්තාගත දඩ නියම කරන ලද අවස්ථා ගණනාවකි. බෙහෙත් පෙත්තක් ගන්නට වත්කමක් නැති ඉතා අහිංසක දිළිඳු ජනතාව වැඳ වැටෙන නමුත් නොමිලේ දෙන්නට සූදානමක් නැත. එකිනෙකට වෙනස් ගිවිසුම් හා නීති උපක‍්‍රම වලින් ඖෂධ නිපදවන රටවල්, පර්යේෂකයන්, නිෂ්පාදකයන්, සහ අලෙවිකරැවන් ගැට ගැසී සිටී. ඒවා මුදල් උපයන මාර්ග වී ඇත. 

මෙයට පිළියමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දුප්පත් රටවල් ගැන අවධානය යොමු කර ඇත. කොවැක්ස් යනුවෙන් ප‍්‍රතිපත්තියක් හඳුන්වා දී තිබේ. ධනවත් රටවල සහ දානපති සංවිධානවල මූල්‍ය ආධාර එකතු කරගෙන ඇත. එම මුදල් වියදම් කර දුප්පත් හා මැදි ආදායම් රටවල ජනී ජනයාට එන්නත් සාධාරණව බෙදාදෙන රාමුවක් නිර්මාණය කර ඇත. මිලියන සීයක් එන්නත් පළමු වටයේදී බෙදාදෙන ඉලක්කයක් තිබුණි. එහෙත් තවමත් බෙදා දී ඇත්තේ මිලියන 38.5 ක් පමණකි. කොවැක්ස් සහන යටතේ ඝානා රාජ්‍යයට ඉකුත් පෙබරවාරි 24 වැනිදා පළමුවෙන්ම එන්නත් ලක්ෂ හයක් යවා තිබේ. රටවල් අනූ දෙකක ලැයිස්තුවක් අත තබාගෙන සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර නීති, ඖෂධ සමාගම්වල බලය හා පේටන්ඩ් අයිතිය ඉදිරියේ අසරණ වී ඇති බව පෙනේ. කොවැක්ස් පිළිවෙළ අනුව මුළු ලෝකයේම භාවිත විය හැකි එන්නත්වලින් සියයට විස්සක් ප‍්‍රදානයක් වශයෙන් කරන්නට සැලසුම් කර තිබේ. එහෙත් එම ඉලක්ක කවදා සාර්ථක කරගත හැකිදැයි ප‍්‍රශ්නයකි.

 ගාමිණී සරත් ගොඩකන්ද