2021 මැයි 15 වන සෙනසුරාදා

සහජීවනයෙන් රටේ ප්‍රශ්න විසඳාගමු

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 98

කරුගෙන් ජනපතිට ලිපියක්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සෞඛ්‍ය අර්බුදය ඇතුළු මාතෘභූමිය ඉදිරියේ ඇති අර්බුදවලට මුහුණදීම සඳහා සියලු දෙනා එකමුතුව වැඩ කළ යුතු බව ප්‍රකාශ කළේය.

සහජීවනයෙන් රටේ දැවෙන ප්‍රශ්න විසඳාගැනීමේ උදාර පරමාර්ථයෙන් මේ කරුණු බලධාරීන්ගේත් ජනතාවගේත් අවධානයට යොමු කරන බවද ඒ මහතා කීය.

කරු ජයසූරිය මහතා එහිදී පළ කළ අදහස් මෙසේය.

අද වනවිට අපගේ මාතෘභූමිය සංකීර්ණ වූ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එය අප සියලු දෙනාම පිළිගන්නා වූද සියලු දෙනාටම පොදු වන්නා වූද සත්‍යයක්. ලංකාවට අදාළව ගතහොත්, අද අප මුහුණදෙමින් සිටින මෙම අර්බුදය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක්ද අපට අනතුරු අඟවා තිබෙනවා. එහිදී ඇය පෙන්වා දී ඇති අනෙක් කරුණ වන්නේ මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදෙමින් සිටින බරපතළම ව්‍යසනය වන බවයි. එබැවින් කිසිවකුට හෝ මෙම ව්‍යසනය මගහැර යමින් රටේ අනාගතය පිළිබඳව කිසිවක්ම හෝ කළ නොහැකියි.

මේ ආකාරයේ අර්බුද මතු වූ අවස්ථාවලදී ලෝකයේ එක් එක් රටවල් ඒවාට මුහුණ දි ඇති ආකාරයෙහි පොදු ස්වභාවයක් දැකගත හැකියි. දෙවැනි ලෝක යුද්ධය පිළිබඳව සලකා බැලුවහොත්, සමස්ත ලෝකයම ඊට මුහුණ දුන්නේ එක්සත් වීමෙනුයි. එහිදී දේශපාලන පසමිතුරුකම් පිළිබඳව සලකා බැලුවේ නැත. පොදු සතුරාට එරෙහිව තම ආසන්න ප්‍රතිවාදියා සමඟ එක්සත් වෙමින් ඔවුන් එයට මුහුණ දුන්නා. එවකට අමෙරිකානු ජනාධිපති වූ ෆ්‍රෑන්ක්ලීන් රූස්වේල්ට්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්, සෝවියට් නායක ජෝෂප් ස්ටාර්ලින් සමඟ එක්ව අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. එය එසේ නොවුණානම්, අති භයංකර වූ ෆැසිස්ට්වාදය මුළු මහත් ලෝකයම ගිලගැනීමට ඉඩ තිබුණා. ඔවුන් ගත් ඒ පියවර නිසා පසු කලෙක ලෝකය පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව සාමකාමී වුණා. සමස්ත ලෝකවාසී ජනතාවගේ නිදහස හා ජීවිතයට ඇති අයිතිය බොහෝදුරට තහවුරු වුණා.

යුද්ධයට මුහුණදීමේදී පමණක් නොව යුද්ධයෙන් පසු නැවත එවැනි ව්‍යසනයක් ඇති නොවීම සඳහාද එම සියලු බලවේග එක්සත් වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකර ගැනීම සඳහා එදා විවිධ දේශපාලන මතවාදයන් හි පිහිටා සිටි බොහෝ රාජ්‍යයන් එක පෙළට සිටගැනීම ඒ සඳහා දැක්විය හැකි තවත් එක් උදාහරණයක්.

අද රටක් වශයෙන් ගත්විට අපද යොමුවිය යුතුව ඇත්තේ එවැනිම වූ ප්‍රවේශයකටයි. එහිදී විවිධ දේශපාලන මතවාද, බලය සඳහා වන අපේක්ෂාවන් කිසිවක් පෙරට ගත යුතු නැත. අන් සියල්ලටම පෙර අප හමුවේ ඇති මේ බිහිසුණු ව්‍යසනයෙන් රටත්, රටේ ජනතාවත් මුදාගත යුතුයි. ඒ සඳහා මුළු රටම එක්විය යුතුයි.

අප පසුගියදා මහනුවරදී ප්‍රථම වරට එකී ආයාචනය සිදු කළා. අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා බැහැදකිමින්ද උන්වහන්සේලා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළා. උන්වහන්සේලාගේ ආශිර්වාදයද ඒ සඳහා නොමඳව ලැබෙන බව අපට එහිදී පසක් වුණා. ඒ අනුව අප මේ රටේ ගරු ජනාධිපතිතුමාගෙන් හා සමස්ත ජනතාවගෙන්ම ඒ සඳහා පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. අප මෙම ආයාචනය සිදු කරන්නේ ඉතාමත්ම සද්භාවයෙනුයි. රට කෙරෙහි ආදරයක් ඇත්නම්, කල් නොයවා සියලු දේශපාලන බලවේග හා සියලුම ජන කොටස් එකට එක්ව අත්වැල් බැඳගනිමින් මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. එහිදී ජනාධිපතිතුමාගේ මිත්‍රත්වයේ දෑත් සියලු පාර්ශ්ව වෙත දිගු කළ යුතුයි. මෙය රටේ බහුතර ජනතාවගේ ද මතයයි. එසේ නොවුවහොත්, මේ රට ඇදවැටෙනු ඇත්තේ ඉතාමත්ම අඳුරු වූ ප්‍රපාතයකටයි.

ඇත්තවශයෙන්ම මෙම උත්සාහය කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා වන ප්‍රයත්නයට පමණක්ම සීමා නොකළ යුතුයි. රසායනික පොහොර එක්වරම තහනම් කිරීමට රජය ගත් තීරණය මෙන්ම කොළඹ වරාය නගරය නැතහොත් පෝට්සිටි ව්‍යාපෘතිය වැනි ජාතික වශයෙන් ඉතා වැදගත් වන්නා වූ කරුණු කාරණාවලට පවා රටක් ලෙස අප තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ පොදු සම්මුතියක පිහිටා සිටිමිනුයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පැහැදිලි ස්ථාවරය වන්නේ එයයි.
අප එවැනි ප්‍රවේශයකට යොමුවන්නේ නම්, එහිදී විශේෂයෙන්ම සලකා බැලිය යුතු කරුණු ගණනාවක් ද තිබෙනවා. 20 වැනි සංශෝධනයෙන් ඇතිවූ විධායකයට බලය පැවරීම හේතුවෙන් පාර්ලිමේන්තුව බෙලහීන වී තිබෙනවා. ජාතික වැදගත්කමින් යුත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුව තුළ අද කිසිම සාකච්ඡාවක් සිදුවන්නේ නැහැ. මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයක් ඇත්තේ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන අමෙරිකාව, එංගලන්තය, යුරෝපය ආදී රටවල සෑම වැදගත් දේශපාලන තීරණ ගනු ලබන්නේ විද්වතුන්ගේ උපදෙස් හා මගපෙන්වීම ද සැලකිල්ලට ගනිමින් ඒ ඒ රටවල මහජන නියෝජිත ආයතනයන් මගින්. ඒ සඳහා වන විශේෂ කමිටු හා කාරක සභා ක්‍රමවේදයන්ද පවතිනවා ලංකාවට අදාළව එවැනි ක්‍රියාමාර්ගයන්ට යොමුවන්නේ ආංශික අධීක්ෂණ කාරක සභා හරහායි. මෙය ලෝකය පිළිගත් ඉතා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්.

අපගේ ජනාධිපතිතුමා බොහෝ කාලයක් අමෙරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වෙමින් අත්දැකීම් ලබාගත් අයෙක්. අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ ක්‍රියාත්මක වන එවැනි කමිටු කොතරම් වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවාද, ඒ මගින් ගනු ලබන තීරණාත්මක තීන්දු තීරණ පිළිබඳව එතුමාට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමු. සමහරවිට අන් බොහෝ දෙනකුටම වඩා ඒ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ද එතුමාට ඇතැයි අප විශ්වාස කරනවා.

එසේ නම් අප යෝජනා කරන්නේ මහජන නියෝජිතත්වය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා හරහා ක්‍රියාත්මක කරවීමයි. 2015 ආරම්භ කළ සෑම අධීක්ෂණ කාරක සභාවක් තුළින්ම බලාපොරොත්තු වූ ප්‍රතිඵල සමහර සාමාජිකයන්ගේ උනන්දුව අඩු නිසා නොලැබුණත්, අධ්‍යාපන, අධිකරණ හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක වූ බව අප පිළිගත යුතුයි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ සංඛ්‍යාව 118 සිට 218 දක්වා සහ, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 70-108 දක්වා වැඩි කිරීමටත්, ත්‍රිපුද්ගල දූෂණ විරෝධී අධිකරණ දෙකක් පිහිටුවීමටත් මෙම ආංශික අධීක්ෂණ සභාවේ යෝජනා මත සිදු වුණා. එපමණක් නොව විනිශ්චයකාරවරුන්ගේද නීතිඥවරුන්ගේද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද අධිකරණ ලඝු ලේඛන නිලධාරීන්ගේද වැටුප් සැලකිය යුතු ආකාරයට වැඩි කරන ලද්දේ එම කාරක සභා මගින් සිදු කරන ලද යෝජනාවන් මතයි.

එහෙයින් කොවිඩ් ප්‍රශ්නයට විසඳුම් ලබාගැනීම සඳහා සෞඛ්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවක් පිහිටුවා එයට යොමු කිරීමෙන් විපක්ෂයට මෙන්ම දේශීය හා විදේශීය විද්වතුන්ටද සහභාගි වී එය පොදු ජාතික කටයුත්තක් වශයෙන් ක්‍රියාත්මක විය හැකිය. මෙය ඉතා කාලෝචිත පියවරක් වශයෙන් අපි දකිනවා. සති කිහිපයකින් මෙම කටයුතු ආරම්භ කළ හැකියි.

පෝට්සිටි යෝජනාව ද ජනාධිපතිතුමා හෝ රජය නම්‍යශීලී වන්නේ නම්. එය ඉතාමත්ම සුදුසු පිළිවෙතයි. දැනට ඇති ගැටලුවට සාමකාමී විසඳුම් වනුයේ සර්වපාක්ෂික අධීක්ෂණ කාරක සභාවක් පිහිටුවා දේශීය හා විදේශීය අදහස් මෙන්ම උපදෙස් ලබාගෙන මෙය අවසානයක් කරා ගෙන යාමයි. වෙළෙඳ කලාප ඇතිකිරීමට කිසිවකු විරුද්ධ වී නැත. ගැටලුව ඇත්තේ එයට පැවරෙන බලතල කුමක්ද, ඒවායේ පාලනය පැවරෙන ආයතන රටේ මූලික ව්‍යවස්ථාවට එකඟ වන්නේද, නැද්ද යන්න මතයි. විදේශගතව සිටින කීර්තිමත් ශ්‍රී ලාංකික නීතිවේදියකු වන මහාචාර්ය සූරි රත්නපාල මහතා වැනි විද්වතුන්ගේ හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ආයතනවල අදහස්වලටද කන් යොමුකිරීම මෙහිදී ඉතා වැදගත්.

රසායනික පොහොර හා රසායනික කෘමිනාශක සම්පූර්ණ වශයෙන් නැවැත්වීම සඳහා රජය ගත් තීරණයද අධීක්ෂණ කාරක සභාවක් සඳහා යොමුකිරීම ඉතා යෝග්‍ය බව අපගේ විශ්වාසයයි. මෙවැනි තීන්දු තීරණ ගත යුත්තේ ඊට අදාළ සෑම අංශයන් පිළිබඳවම ඉතාමත්ම ගැඹුරින් කරුණු කාරණා සොයා බලමිනි. පරිසරයේ ආරක්ෂාව, ජන ජීවිතයේ ආරක්ෂාව, රටේ ආහාර සුරක්ෂිතතාවය, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව මෙන්ම රටේ සමස්ත පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳවද එහිදී සලකා බැලිය යුතුයි. රටක් වශයෙන් අප බරපතළ තීන්දු තීරණ ගත යුත්තේ එවැනි සියලු කරුණු කාරණා ගැඹුරින් සමාලෝචනය කරමින්.

එහෙයින් මාස කිහිපයක් මෙම යෝජනාවන් අධීක්ෂණ කාරක සභාවන් හරහා දීර්ඝ අධ්‍යයනයකට ලක් කිරීමෙන් සුහදව හා යථාර්ථවාදීව මෙම ගැටලුවට විසඳුම් ලබාගත හැක. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් එකිනෙකාට පරිභව කරගැනීම වෙනුවට මෙවැනි සුහද ක්‍රමවේදයක් තුළ රටේ දැවෙන ප්‍රශ්න විසඳාගත හැකි බව අපගේ දැඩි මතයයි.