2021 මැයි 15 වන සෙනසුරාදා

කොවිඩ් මැද අසරණ වෙන ගොවියෝ

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 62

ගොවි ජනතාව මෙරට පැවැත්මේ එක වැදගත් අංශයකි. ඔවුහු වෙහෙස වී නිපදවති. මුළු ලෝකයම දැවැන්ත අර්බුදයකය. කොවිඩ්-19 වෛරසය අණසක පතුරවමින් සිටී. ශ‍්‍රී ලංකාව අවදානම් කලාපයක බව නොරහසකි. පළාත් අතර සංචරණය තහනම් කර තිබේ. රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාලවල පැමිණීම සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල නිවෙසේ සිට රාජකාරි කරන්නට නියම කර ඇත.

ගොවිතැනෙහි නිරත කිසිවකුට නිවෙසේ සිට වගාව මෙහෙයවන්නට හැකියාවක් නැත. මෙරට ගොවියන් අතරින් ඉතාම සුළු පිරිසකට තාක්ෂණය භාවිත කර ජලය හෝ පොහොර යෙදවිය හැකිය. එය මහා පරිමාණයෙන් කරන විශාල ආයෝජනයක් සහිත ව්‍යාපෘතිවලට බව දැක්විය යුතුය. ගොවිතැන පමණක් නොව නෙලාගන්නා ලද අස්වැන්න විකුණා ගැනීම ද ප‍්‍රශ්නයක් වී තිබේ. රට පුරා තැනින් තැත මතුවෙන කොවිඩ් පොකුරු හා වරින් වර ගන්නා තීරණ නිසි මිලක් ලබාගැනීමට ද බාධා කරන බව වාර්තා වෙයි.

අලෙවි මධ්‍යස්ථාන වැසේ

ආසාදිතයන් බහුලවීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය සතියේ දින කිහිපයක් තාවකාලිකව වසා දමන ලදී. එහෙත් ගොවියන්ගේ සහ වෙළෙඳුන්ගේ මැසිවිලි අවසානයක් නොවීය. බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන අයවලුන් හැර අවට ගොවියන්ගේ නිෂ්පාදනවලට පමණක් අලෙවි මධ්‍යස්ථානය වරින් වර විවෘත කළේය. අස්වනු නෙලාගත් ගොවීන් ඒවාට පටවාගත් වෑන් සහ අත් ට‍්‍රුක්ටර්වලින් මග දෙපස වෙළෙඳාම ආරම්භ කරනු දැකගත හැකිවිය. එය ඉතා කනගාටුදායක අවස්ථාවකි. එහෙත් වෙනත් කළ හැකි යමක් නොවූ බව පැහැදිලිය. මීටරයක දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම වැනි මූලික කරුණු පවා ආර්ථික මධ්‍යස්ථානවලට එන යන කිසිවකු සැලකිල්ලකින් අනුගමනය නොකළ අතර එය අවදානමකි. අවවාද නිකුත් කරන පමණක් නොව ආරක්ෂක අංශ යොදවා පාලනය කරන පසුබිම තුළ පවා සමහර පිරිස් ඒවා නොතැකීම ඉදිරියේ අලෙවි මධ්‍යස්ථාන වසා දැමීම හැර අනෙක් පිළිවෙළක් නොතිබුණි.

රජය පසුගිය මැයි 10දා මධ්‍යම රාත‍්‍රියේ සිට පළාත් අතර සංචරණය තහනම් කළේය. එය ව්‍යාප්තිය වළකන පියවරකි. පසුව මැයි 12 රාත‍්‍රී 11.00 සිට පසුවදා පෙරවරු 4.00 තෙක් අත්‍යවශ්‍ය හේතු මත හැර ගමනාගමනය තහනම් කරන තීරණයක් ගෙන තිබේ. පළාත් සංචරණය නතර කරන අවස්ථාවේ දී පමණක් නොව රාත‍්‍රී කාලයේ ගමන් බිමන් තහනම් කර ඇති අවස්ථාවේ දී පවා ගොවිතැනට හා ගොවියන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළ දක්වා ප‍්‍රවාහනයට අවසරය දී තිබේ. නමුත් එම අවසරය තුළ පවා ඉතා සංකීර්ණ තත්ත්ව ඇතිවෙයි. අතරමැදියෝ ගොවියන්ගේ නිෂ්පාදන ඉතා අඩු මිලට කොල්ලකමින් සිටිති. නගර වහන අවදානමක් ඇති බව හුවා දක්වා ඉක්මනින් තොග එකතු කරගෙන අඩු මිලක් ගොවියාට ගෙවන බව වාර්තා වෙයි. අනෙක ගැනුම්කරුවෝ සීමාසහිත වන විට තරගකාරී ස්වභාවය පහත වැටේ. තොග එකතු කරන්නන් කිහිප දෙනාට තමන්ගේ අස්වැන්න විකුණා ලැබෙන දෙයක් ගැනීම හැර විකල්පයක් නැත. 

පළමු රැල්ල අවස්ථාවේ දී ගොවි ගැටලු

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී රට ලොක්ඩවුන් කරන අවස්ථාවේදීද ගොවි ජනතාවට ගැටලු මතුවිය. අලෙවි මධ්‍යස්ථාන වසා දැමූ අතර ගොවියෝ සිය නිෂ්පාදන විනාශ වීම ගැන විරෝධතා මතු කළහ. රජය එම අවස්ථාවේ දී වහාම එළවළු හා පළතුරු මිල දී ගැනීමේ තාවකාලික වැඩපිළිවෙළක් ඇරඹීය. දිසාපති හා උප දිසාපතිවරුන්ට බලය ලබා දී මුදල් නිදහස් කරන ලද අතර පසුගිය අවුරුද්දේ අප්‍රේල් එකොළොස් වැනිදා නුවරඑළිය, අනුරාධපුරය, දඹුල්ල ඇතුළු ප‍්‍රදේශවල ගොවියන්ගෙන් මිල දී ගෙන රට පුරා බෙදාහරින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලද බව මතක් කළ යුතුය. වගා බිම්වල විනාශ වෙමින් තිබුණු වට්ටක්කා තොග මිල දී ගැනීමට පියවර ගත් ආකාරය පැසසුම් කටයුතුය. ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව අපනයනය සඳහා කොමඩු මිල දී ගැනීමට තවත් ව්‍යවසායකයෙක් ඉදිරිපත් විය. එක දිනයක දී ස්ථාන තුනකින් පමණක් එළවළු කිලෝග‍්‍රෑම් 904,010 ක් මිල දී ගෙන වාර්තාවක් සනිටුහන් කරන ලද බව කෘෂිකර්ම දෙපාර්මේන්තු වාර්තා දක්වයි.

අද පවතින වාතාවරණය තුළ පවා ආයතනික මට්ටමින් මැදිහත්වීමක් යෝජනා කළ යුතුය. වසංගත තත්ත්වය හෙට හෝ අනිද්දා සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇතැයි තක්සේරු කළ නොහැකිය. දැන් වෛරසය ප‍්‍රභේද ගණනාවකි. සාමාන්‍ය තත්ත්ව අභිබවා ගොස් ඇත. එන්නත එක විසඳුමකි. ලොව පුරා සියලුම දෙනාට එන්නත ලබාදෙන්නට අවුරුදු දහයක්වත් ගත විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. සමහරවිට වසරක් පාසා එන්නත් කරන තරමට තත්ත්වය දිගට ඇදෙන්නට ඉඩ තිබේ. 

එවැනි පසුබිමක් තුළ කෘෂිකර්මයෙහි නිරත පිරිසගේ ගැටලු දෙස වෙනම අවධානය යොමුකිරීම අවශ්‍යය. ගොවියන්ට අන්තර්ජාල සබඳතා අඩුය. කෙළින්ම පාරිභෝගිකයා වෙත සැපයිය හැකි ඇප් භාවිත නොකෙරේ. අතරමැදියෝ බහුලය. මේවා සමාලෝචනය කර ගොවි නිෂ්පාදන මිල දී ගැනීම අරමුණු කරගෙන ස්ථිරසාර වැඩපිළිවෙළක් ඇරඹිය යුතුය. කාවකාලික පිළියම්වලින් අවශ්‍ය විසඳුම නිර්මාණය නොවේ. දැනට වාර්තා වන පරිදි ගොවියන්ට අපහසුතා මතුව තිබේ. කෙසෙල් වගා කරන ලද ගොවියෝ ඒවා පොළට ගෙන එන ලද නමුත් වෙළෙන්ඳෝ නැත. තක්කාලි, වැටකොළු, මෑකරල්, කරවිල වැනි පහතරට එළවළු නෙලා ගත් පිරිස් ඒවා විකුණා ගත නොහැකිවය. උඩරට ප‍්‍රදේශවලට ද ගැටලු ඇත. ගොවියන් අසලට ගොස් නිෂ්පාදන මිල දී ගෙන වෙළෙඳපොළ වෙත යැවෙන යාන්ත‍්‍රණයක් සකස් කළ හැකි අතර පෞද්ගලික අංශය නිසි පරිදි සංවිධානය කිරීමට නිලධාරීන් පියවර ගතහොත් ඉතා ප‍්‍රයෝජනවත්ය.   

පාරිභෝගිකයන්ට ද අවාසි 

ගොවියන්ගෙන් මිල දී ගන්නා දෙයට ලැබෙන මිල අඩු බවට මැසිවිලි නැගේ. නමුත් වෙළෙඳපොළේ දී එළවළු හා පළතුරු හිඟය. ගස්ලබු විකුණා ගත නොහැකි නමුත් නගරයේ කිලෝව එකසිය විස්සක සිට ඉහළටය. කෙසෙල් මිල ද වෙනදාට වඩා ඉහළය. මෙරට වැවෙන ගස්ලබු, කෙසෙල්, අඹ, අන්නාසි හා අලිපේර වැනි දේ වෙළෙඳපොළට ලැබෙන්නේ සීමිත ප‍්‍රමාණයකි. එහෙයින් මිල වැඩි වී තිබේ. නමුත් ආනයනික පළතුරුවල හිඟයක් නැත. වෙනදාටත් වඩා තොග වෙළෙඳසල්වල තිබේ. විනිමය වැය කර ආනයනය කරන පළතුරුවලට පාරිභෝගිකයන් නැඹුරු වන අතර එයින් මෙරට ගොවියන්ට ලැබෙන වාසිය කුමක්ද? ගොවියෝ වගා කරන්නේ තමන් සතු ධනයෙන් නොවේ. වාර්තා දක්වන පරිදි වාණිජ බැංකුවලින් ණය ගෙන ඇත. කන්නයේ අස්වැන්න විකිණීමෙන් පසු ණය ගෙවාගත නොහැකි වුවහොත් ඉදිරි කන්නයේ වගාව සඳහා ණය ගැනීමේ අවස්ථාව අහිමි වෙයි. පසුව අතරමැදි පොලීකරුවන්ට ගොදුරු වන බව පෙන්වා දිය යුතුය. 

රජයේ අලෙවි ජාලය එළවළු හා පළතුරු ගැන අවධානයක් නැත. එළවළු හා පළතුරු මිල දී ගැනීමේදී හා ඒවා වෙළෙඳසල දක්වා ප‍්‍රවාහනයේ දී අතරමැදි කාර්යභාරයක් තිබේ. එය සංකීර්ණය. රජයේ වෙළෙඳසල්, එනම් ලක් සතොස සහ සමූපකාරය එම වගකීම බාරගැනීමට සූදානම් නැත. සිදුවන නාස්තිය අලාභයට හේතුවක් බව කල්පනා කරන බව පෙනේ. හදිසි වාතාවරණය ඉදිරියේ වෙනස් යෝජනා ක‍්‍රම ගැන කල්පනා නොකරන්නේ ඇයි? මිල දී ගෙන ආරක්ෂිත කූඩවල බහා පිරිසුදුව පාරිභෝගිකයා අතට පත් කළ හැකිය. පෞද්ගලික අංශයේ අලෙවිසල් ගණනාවක් සාර්ථකව එම අභියෝගය ජයගෙන තිබේ. සමහර සුපිරි වෙළෙඳසල් තෝරාගත් ගොවීන් සඳහා අස්වනු මිල දී ගැනීමේ ඉදිරි ගිවිසුම් පවා අත්සන් කර තිබේ. ගොවියන්ගේ නිෂ්පාදන මිල දී ගෙන නගරවල පිහිටි රජයේ අලෙවිසල්වලට බෙදාහරින අලුත් ජාලයක් ඇරඹිය නොහැකි ඇයි? පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි ගොවීන් කෙළින්ම පොළකට පැමිණ ද්‍රව්‍ය විකුණන්නට කැමැතිය. පොළ ක‍්‍රමය වැඩිදියුණු කළ හැකි ආකාරය ගැන ද සැලකිල්ල යොමුකිරීම වැදගත්ය. පවතින තර්ජනාත්මක පසුබිම පහවන තෙක් අලුත් විසඳුම් අවශ්‍යය. 

විදේශ අත්දැකීම්

එළවළු, පළතුරු, ධීවර හා සත්ත්ව නිෂ්පාදන සම්බන්ධයෙන් ආසියාවේ රටවල් ගණනාවක් අද වන විට සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ පා සිටී. ඉන්දියාව, බංගලාදේශය, මැලේසියාව, කාම්බෝජය ඇතුළු රටවල තත්ත්වය නරකය. බංගලාදේශයේ ගොවියන් කිරි ලීටර් ලක්ෂ ගණනින් ඉවතට හෙලන ලද අවස්ථා වාර්තා වී තිබේ. කොවිඩ් තර්ජනය සමඟ කිරි එකතුකරන්නන් නොඑන විට වෙන කළ හැකි යමක් නැති බව එරට කිරි ගොවීහු මැසිවිලි නගති. ඉන්දියාවේ අමුල් කිරි සමාගම ද ඉල්ලුම සපයා ගත නොහැකි තැනකය. කුඩා කිරි ගොවීහු මිලියන හැත්තෑ තුනක් ඉන්දියාවේ කිරි නිෂ්පාදනයෙහි යෙදෙති. වැඩි කොටසක් නැවුම් කිරි වශයෙන් අලෙවි කෙරේ. නමුත් රට පුරා ප‍්‍රශ්න ඇතිවන විට දින ගණනාවකින් කිරි එකතු නොකෙරේ. මෙම රටවල් දෙකම ගොවියන්ට සහන ප‍්‍රකාශයට පත් කර ඇත. බංගලාදේශයෙහි එළවළු වගා කරන ගොවියන්ට හා සත්ක්ව පාලනයෙහි නිරත පිරිසට විශේෂ සහන ප‍්‍රකාශයට පත් කර තිබේ. ඉන්දියාව ගොවියන්ගේ ඉදිරි කන්නයේ වගා ගැන ද සැලකිල්ල යොමු කර ඇත. බීජ සැපයුම ස්ථිරසාරව පවත්වා ගැනීමට සම්පූර්ණ අවධානය යොමු කර තිබේ. ඉදිරි කන්න තුනකට අවශ්‍ය බීජ ගබඩා කරන සැලසුම් සකස් කර ඇත. 

කාම්බෝජය හා මැලේසියාවේ ද ගැටලු පවතින බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. මැලේසියාව නැවත වතාවක් රට ලොක්ඩවුන් කරන තීරණයකය. එහිදී ගොවියන්ගේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්නට ඉඩ දී තිබේ. වෙළෙඳපොළට භාණ්ඩ ප‍්‍රවාහනය හා ගොවියන්ට අවශ්‍ය සම්පූර්ණ අවශ්‍යතා ලබා දෙන පියවර ගෙන ඇත. ආසියාවේ සෑම රටක්ම පාහේ ගොවියන්ට අඩු පොලියට ණය දෙන වැඩපිළිවෙළ අරඹා ඇති බව අනාවරණය වන වැදගත් කරුණකි. ගොවියන්ට සහන ණය දෙන සේ රජය නියම කරන නමුත් ශ‍්‍රී ලංකාවේ බැංකු එයට සූදානම් නැත. පැරණි හිඟ ණය සහ අසාදු ලේඛනයේ නම සඳහන් වීම ගැන තීරණයක් ගත නොහැකිව සිටී. මේවා ගැන වගකිවයුතු අංශ මැදිහත්ව කල්පනා කළ යුතුය. සියලු පැති සමාලෝචනය කර ගොවියන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීම වැදගත්ය.  

 ගාමිණී සරත් ගොඩකන්ද