2021 මැයි 15 වන සෙනසුරාදා

හිත පිස්සු වට්ටන සයිබර් ගේමින්

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 79

පරිගණක ක්‍රීඩා හේතුවෙන් ළමා පරපුරේ සහ තාරුණ්‍යයේ මනසක සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව මෑත කාලයේ හෝ විශාල සංවාදයක් නිර්මාණය වී තිබේ. වසංගත සමයේ නිවාස ගතවූ ළමයින් හා තරුණයන් පරිගණක ක්‍රීඩාවලට දැඩි ලෙස නැඹුරුවීමද ඊට හේතුවක් ලෙස කියැවේ. කෙසේ නමුත් මෙම මතය විවාදාත්මකය. මේ වනවිටත් ඒ සම්බන්ධ විවාදය පුළුල් ලෙස ලෝකය තුළ තුළ සිදුවෙමින් පවතී. එම නිසාම පරිගණක ක්‍රීඩා, වීඩියෝ ගේමින්, මොබයිල් ගේමින් ආදී නම්වලින් හඳුන්වන ක්‍රීඩාවන් හරහා මානසික සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව පුළුල්ව විමසා බැලීමට අපිද උත්සාහ කළෙමු.

මෙම සංවාදයට පූර්විකාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ ඇති ගේමින් ලෝකය පිළිබඳ සැකෙවින් හෝ අප පළමුව කියවා ගත යුතුය. මෑතකාලීන ශ්‍රී ලංකාවේ වර්තමානයේ පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතාම වේගවත් වර්ධනයක් දක්නට ලැබේ. ඊට ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ යූ ටියුබ් සහ ෆේස්බුක් සමාජ ජාල තුළ පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම විශේෂිතවූ අංග හඳුන්වා දී තිබීමයි. ඒ අනුව සිය ගණනක් ළමයින් සහ තරුණයන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වෙමින් සිටිති. ඒ අනුව කාලය පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව පහන් වනතුරු Gaming Live Streams සමඟ නිදිවරන පාසල් දරුවන් දහස් ගණක් මේ දිනවල සමජ මාධ්‍යයේ දැකගත හැකිය. ප්‍රධාන වශයෙන්ම මෙරට තුළ දරුවන්ගේ සහ තරුණගේ ආකර්ෂණ දිනාගත් වීඩියෝ ක්‍රීඩා දෙකකි. පළමුවැන්න PUBG වන අතර දෙවැන්න COD ය. මෙම ක්‍රීඩාවලට දැඩිව ඇබැහිවූවන් දහස් ගණක් මෙරට සිටිති.

මෙම ක්‍රීඩාවන් බොහොමයක් වර්තමානයේ සාමූහික ක්‍රීඩා කිරීමේ අවකාශ හිමිව තිබේ. එනිසාම පෙරකී ක්‍රීඩා දෙක ප්‍රමුකව පරිගණක ක්‍රීඩා රුසක් වෙනුවෙන් වෙනම උප සංස්කෘතියක් නිර්මාණය වී තිබේ. මෙම කීඩා හරහා හඳුනාගත් මිතුරන්ගේ සුහදහමු මෙන්ම සයිබර් ඉවෙන්ට් පසුගිය කාලයේ දැකගත හැකි විය. ගේමින් සමාජද විවිධ ස්ථරවලට බෙදී යන බව පැහැදිලිය. ඉතා මිල අධික සුපිරි ගේම් ක්‍රීඩාකරන පිරිස් වෙනම සිය සමූහ පවත්වාගෙන යයි. එසේම ඒ වාගේ ප්‍රවීණත්වය මත ඔවුන් අලුතින් පැමිණෙන පිරිස්වලට පුහුණු සැසි පවා පවත්වයි. ඒ කෙසේ වෙතත් මෙම කණ්ඩායම් අතර ද මිතුරැකම් සේම සතුරුකම් ද වෙති. ඒවා ප්‍රකට වන අවස්ථා රැසක් සයිබර් ගේමින් අවකාශයේ දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක මට්ටමේද තත්ත්වය මෙයයි.

කාලීන ගේමින් සමාජ පසුතලය පිළිබඳ දළ අවබෝධයක් ඇති බැවින් දැන් අප සලකා බැලිය යුත්තේ ගේමින් සහ මානසික සෞඛ්‍යය අතර පවතින සබඳතාවයි. මීට වසර දෙකකට පමණ ඉහතදී ලෝක සෞඛ්‍ය සංවිධානය සුවිශේෂී තීරණයකට එළඹුණි. වීඩියෝ ගේම් ක්‍රීඩා කිරීම තුළින් ඇතිවන මානසික කැළඹිලි සහගත තත්ත්වය මානසික රෝගයක් ලෙස නම් කිරීමට ඔවුහු තීරණය කළහ. මෙම තීරණයත් සමඟ රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයේ 11 වැනි සංස්කරණය අනුව (ICD 11) මෙම තත්ත්වයද රෝගයක් ලෙස සැලකීමට නියමිතය. කෙසේ නමුත් එය ක්‍රියාත්මක වන්නේ 2022 වසරෙන් පසුය. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස දෛනික කටයුතු වලින් ඈත් වී පරිගණක ක්‍රීඩාවලට ක්‍රීඩාවලට ඇබ්බැහි වීම, ක්‍රීඩා නොකර දීමට බැරි වීම, කාලය පිළිබඳ හැඟීම නැතිවීම ආදියයි.

කෙසේ නමුත් මෙම තීරණය විරෝධය පළකර පිරිසද සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ පරිගණක ක්‍රීඩාම හේතුව කොටගෙන මානසික රෝග ඇති වෙතැයි පැවසීම අසාධාරණ බවයි. එසේම පරිගණක ක්‍රීඩා හේතුවෙන් මානසික රෝගී තත්වයක් ඇති වේ නම් එය මේ වනවිටත් විශාල වශයෙන් දැක ගැනීමට ලැබිය යුතු බව ඔවුහු කියා සිටිති. ලෝකයේ ප්‍රමුඛතම පරිගණක ක්‍රීඩා නිෂ්පාදකයන්ගේ ප්‍රධාන සංවිධානය වන එන්ටර්ටේට්මන් සොෆ්ට්වෙයාර් ඇසෝෂියේශන් (Entertainment Software Association (ESA)) ඉදිරිපත් කරන්නේද මෙම මතයි. ඔවුන් තම නිල වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය වහාම අවලංගු කළ යුතු බවද පවසා තිබේ.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ විවිධ රටවල් ගණනාවක් ඇසුරින් සහ ජන කණ්ඩායම් රැසක් අතර සිදුකළ පර්යේෂණ මඟින් ලැබුණු තොරතුරු අනුව පරිගණක ක්‍රීඩා හේතු කොටගෙන මානසික රෝග තත්ත්වයක් ඇති වෙතැයි නිවේදනය කළ බවයි. එසේම පරිගණක ක්‍රීඩාවල නිරත වෙන සියලුදෙනා මෙම වර්ගීකරණය යටතේ මානසික රෝගීන් ලෙස නොසැළකෙන බවත්, මේ අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණක් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් ලෝක සෞඛ්‍යය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සයිබර් ගේමින් හරහා මනසට සිදුවන බලපෑම සම්බන්ධව මේ වනවිටත් පරීක්ෂණ වාර්තා රැසක් නිකුත් වී තිබේ. මූලික වශයෙන්ම මෙම ඇබ්බැහිවීම මත්ද්‍රව්‍ය සහ සූදුවට ඇතිවන ඇබ්බැහි වීමට සමාන බව ඒ අනුව කියැවේ. මෙහි උපරිම අවස්ථාවට ළං වනවිට සමාජ සම්බන්ධතා ප්‍රතික්ෂේප කිරීම, හුදකලා බව ප්‍රිය කිරීම, ආවේගශීලී බව සහ ප්‍රචණ්ඩත්වයට දැඩි නැඹුරුවීම ආදිය චරිත ලක්ෂණ කැපී පෙනෙන බව සඳහන් වෙයි. එපමණක් නොව තම පෞද්ගලික සනීපාරක්ෂාව පවා නොසලකා හැරීමට ඇතමුන් පෙළඹෙන බවද කියවේ. මෙහි දී සිදු වන්නේ යථාර්ථයෙන් මිදී තමන් ආශක්ත වූ වීඩියෝ ක්‍රීඩාව සිය යථාර්ථය බවට පත්කරගෙන ජීවත්වීමට උත්සාහ දැරීමකි. ස්වභාවයෙන්ම පරිගණක ක්‍රීඩා නිපදවන්නේ ඇබ්බැහි වීමට අවශ්‍ය සාධක සපුරා ගනිමින් බව මේ වනවිටත් හෙළිදරව් වී තිබේ.

මේ අතර මානසික සෞඛ්‍යයට සේම කායික සෞඛ්‍යයටත් ගේමින් ඇබ්බැහිය නිසා උපරිම අවස්ථාවේදී සිදුවන හානි රැසකි. ඒවා පිළිබඳවද අප සැකෙවින් හෝ සොයා බැලිය යුතුය. විශේෂඥ මතයට අනුව වීඩියෝ ගේමින්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් පැනනගින සෞඛ්‍ය ගැටලු කිහිපයකි. ඇස් වියළී වියැකීම, රක්තහීනතාවය, විජලනය, කොඳු ඇට පෙළ වක්වීම, අධික හිසරදය සහ නින්ද නොයාම ඉන් කිහිපයකි. මීට අමතරව පරිවෘත්තීය ක්‍රියාවලියේ ඇතිවන ගැටලු සහ හෘද ස්පන්දනය ඉහළ යාම නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු මෙහිදී බරපතළ තත්ත්වයේ ලා සැලකෙයි. එසේම පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ වේගවත් පුහුණුව සමග සෞඛ්‍ය ගැටලුද එලෙසම වේගයෙන් වැඩි දියුණුවනු ඇතැයි විශේෂඥයෝ මත පළකරති.
මේ සියල්ලටම අමතරව ශ්‍රී ලංකාව වැනි රටවල ගේමින් උප සංස්කෘතිය හේතුවෙන් පාසල් දරුවන් කායික වෙහෙස වී කරන ක්‍රීඩාවලින් ක්‍රීඩාවලින් වේගයෙන් ඈත්වෙමින් සිටින බව පෙනී යයි. පාසල විවේක කාලයේ කෙළිදෙලෙන් දුව පැන ඇවිද යන දරුවන් දැන් අඩු වී ඇති බව ගුරුවරු පවා කියති. එසේම විනෝදාස්වාදය සඳහා ක්‍රික,ට් අත්පන්දු, පාපන්දු එල්ලේ වැනි ක්‍රීඩාවල නිරතවන තරුණයන් ගම්මානවල තබා නගරයේවත් අද දැකගැනීම විරලය. මෙය අනාගතයේදී මතුවන විශාල සෞඛ්‍යය ගැටලුවක පෙර නිමිති බව පැහැදිලිය. තරගකාරී අධ්‍යාපනය හමුවේ විනෝදාස්වාදය සඳහා ඇති හොඳම විකල්පය වීඩියෝ ගේමින් වී තිබේ. එක් පසකින් අධ්‍යාපනයේ පවතින අර්බුද මැද දරුවන්ගේ මෙම ළැදියාව දෙමව්පියන්ද දෙමව්පියන්ද ප්‍රශ්න නොකරන බව පෙනී යයි. කෙසේ නමුත් මෙය බරපතළ තත්ත්වයකි.

පරිගණක ක්‍රීඩා හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට පිළියම් සෙවීමට වර්තමානයේදී ක්‍රීඩා නිෂ්පාදයන් තුළද උනන්දුවක් ඇති බව පෙනී යයි. කෙසේ නමුත් අතිශය තරගකාරී වාණිජ අරමුණු වලින් පිරි මෙම ක්ෂේත්‍රය තුළ අරමුණු සාක්ෂාත් කර ගැනීම පහසු නැති බව කිවයුතුය. එහෙත් ඇතැම් ලොවපුරා රටවල් සහ ප්‍රාන්ත විවිධ පරිගණක ක්‍රීඩාවන් මේ වනවිටත් තහනම් කොට තිබේ. චීනය, ඇෆ්ගනිස්තානය, ජෝර්දානය, ඊශ්‍රායලය, ඉරාකය ආදී රටවල දැනටමත් පබ්ජී මොබයිල් නම් ක්‍රීඩාව තහනම් කර තිබේ. එසේම GTA නම් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවද ඇතැම් රටවල විවිධ වාරණයන්ට යටත් කොට තිබේ. බොහෝ විට මෙම වාරණයන්ට සහ තහනම් කිරීම්වලට හේතු වී ඇත්තේ එම ක්‍රීඩා තුළ පවතින ප්‍රචණ්ඩත්වයයි.

කොතරම් ගැටලු තිබුණද පරිගණක ක්‍රීඩාවන් නුදුරේදීම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේද අංගයක් වනු ඇති බව දැනගන්නට ලැබේ. එමනිසාම මෙම ක්ෂේත්‍රය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම නොව අවබෝධයෙන් යුතුව එහි නියැලීම අතිශයින්ම වැදගත්ය. බලධාරීන් මෙන්ම දෙමව්පියන්ද මේවාට අවශ්‍ය නියාමනයන් සැකසීම වෙනුවෙන් පෙළ ගැසිය යුතුව තිබේ. අලුත් වන ලෝකයට අප අනුගත විය යුතු නමුත් ඒ අනුගත වීම අපගේ විනාශය කරගත යුතු නැති බව සිහි තබාගැනීම වැදගත්ය.

 චමිඳු නිසල්