2021 මැයි 15 වන සෙනසුරාදා

භීතිය නීතිය කරගත් පාතාල කෙරුමෝ

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 652

මෙරට පාතාලයේ නම ගිය පිරිස් බොහෝය. නම ගියේ පිං අතේ වැඩ කර නොව මිනීමරාය. එක්කෝ කප්පම්ගෙනය. නැත්නම් කුඩු විකුණාය. ඒ නිසා පාතාලයෝ අපරාධකාරයන් මිස පාරමීදම් පුරන්නෝ නොවෙති. කෙසේ වෙතත් මෙකී පාතාලයන් පසුපස ඇති අඳුරු කතා බොහෝය. ඔවුන් පාතාලයකු වන තැනට පත්කළේ දරිද්‍රතාවයත්, නූගත්කමත් සහ සමාජයෙන් සිදුවූ අසාධාරණයත් බව ඕනෑම පාතාලයෙක් පසුපස පෙනෙන්නට ඇති දෙයකි. කෙසේ වෙතත් ඒ ගැන වෙනම කතා කළ යුතුය. ඒ නිසා ඒ කතාව පසෙකින් තබා මේ කියන්නට යන්නේ මෙරට පාතාලයේ නම ගිය දෙදෙනෙකුගේ අවසන් ගමන් ගැනය. ඒ වෙනත් කවුරුත් නොව රටම හොල්ලා සිටි කොස්ගොඩ තාරක සහ ඌරුජුවා ගැනය. මේ දෙදෙනා ගැන වෙන වෙනම කතා කළ යුතු නිසා මේ කතාව ආරම්භ කරන්නේ කොස්ගොඩ තාරකගෙනි.

ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක උපන්නේ 1987දීය. පාතාලයේ බොහෝ නම් ගිය පවුල් පසුබිමක සහ සමාජයක හැදී වැඩුණු කොස්ගොඩ තාරක පාතාලයට අත්පොත් තබන්නේ තම ඥාතියකු වන එවකට පාතාලයේ නැගී ආ කොස්ගොඩ සුජී සමගය. කොස්ගොඩ සුජී ඒ වනවිට සිටියේ කොස්ගොඩ නඳුන් නමැති පාතාල නායකයාගේ කල්ලියේය. ඒ අනුව තාරක පළමු අපරාධය ලෙස සිදුකරන්නේ 2005 වසරේදී ලක්ෂ 17ක වෑන් රථයක් මංකොල්ලකෑමත් සමඟය. ඒ වනවිට ඔහුට වයස අවුරුදු 19ක් පමණි. එම සිද්ධියෙන් පසුව තාරක කොස්ගොඩ සුජී සමඟ මංකොල්ලකෑම් කිහිපයකට සහභාගි වූ අතර එතැනින් පසුව තාරක වෙනුවෙන් පාතාල පොත්වල ඇති පිටු අතර පරිච්ඡේද පිටින් වෙන්වන්නට විය.
එහෙත් කොස්ගොඩ තාරක සහ කොස්ගොඩ සුජී අතර ඇයිහොඳැයිය වැඩි කාලයක් පැවතුණේ නැත. ඒ පාතාලයේ හැටිය. කොස්ගොඩ එස්.ටී.එෆ්. නඳුන් තම පාතාල කණ්ඩායම් අතහැර යුරෝපයට පැනයාමත් සමඟ සියලුදෙනා වෙනුවෙන් නායකත්වය ගත්තේ කොස්ගොඩ සුජීය. එහෙත් තම ඥාතියකු මෙන්ම මිතුරකු වූ කොස්ගොඩ තාරක සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට එතරම් විශ්වාසයක් තිබුණේ නැත. මේ නිසා දෙදෙනාගේ ඇයිහොඳැයිය ඉතාමත් කෙටි කාලයකින් නයි මුගටි ගැටුමක් දක්වා දුරදිග යන්නට විය. ඒ වනවිටත් පාතාල මර්දන කටයුතු ලංකාව පුරා ආරම්භ කර තිබූ නිසා කොස්ගොඩ සුජීද රහසිගතව ඩුබායි රාජ්‍යයට පැන ගියේ ජීවිතය බේරාගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් සුජී තම කණ්ඩායම අත් නොහැරි අතර ඔවුන්ට නායකත්වය දෙමින් කුලී මිනීමැරුම් කප්පම් ගැනීම් ඝාතන කිරීම් කුඩු ආනයනය කිරීම් සියල්ල ඩුබායි රාජ්‍යයේ සිට සුපුරුදු පරිදි කරගෙන ගියේය.

තාරක දකුණේ අපරාධ වැලක සැකකරුවෙක්

 

කොස්ගොඩ තාරක තම විශ්වාසවන්තම සගයා මෙන්ම විශ්වාසවන්තම මිත්‍රයා කර ගත්තේ සුජීගෙන් වෙන්වූ කොස්ගොඩ ලොක්කාය. මේ සම්බන්ධයට සුජීට එතරම් කැමැත්තක් නොතිබිණි. මේ නිසාම සුජීගේ කණ්ඩායම කොස්ගොඩ තාරක පසුපස එකදිගට පන්නන්නට විය. 2012 වසරේදී උකස් භාණ්ඩ මිලදී ගන්නා යුවළකට අයත් නිවෙසක් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී කොල්ල කෑවේය. එසේම ඊට දින කිහිපයකට පසුව ඔහු කොට්ටාව ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සමඟ පොලිසියට කොටු විය. එලෙස බන්ධනාගාර ගතවීම තාරකට තම අපරාධ සඳහා විශාල තෝතැන්නක් වූ අතර පාතාලයේ අනු පමණක් නොව මුළු හෝඩියම බන්ධනාගාරයේදී තාරකට කියවා ගැනීමට අවස්ථාව උදාවිය. 
බන්ධනාගාරයෙන් එළියට පැමිණි තාරක තම පෙම්වතියත් සමඟ කොළඹට පැමිණියේය. එලෙස කොළඹට පැමිණ කොළඹ ප්‍රදේශයේ බැංකු සහ ලීසිං ආයතන කොල්ලකන්නට පටන් ගත්තේය. එසේම 2011 වර්ෂයේදී කොස්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් මංකොල්ල කෑමේ චෝදනාවද තාරකට එල්ල වී තිබුණේය. කොළඹට පැමිණි තාරක පාතාල ලෝකයට අකුරු කියමින් සිටි බොහෝ දෙනා තම මිතුරන් බවට ක්‍රමිකව හරවා ගත්තේය.

මේ අතර කොස්ගොඩ සුජී තාරකගේ පලිය ගතයුතු නිසා ඔහුගේ කල්ලිය තාරක පසුපස පන්නවමින් තාරක ඝාතනය කිරීමට කුරුමානම් අල්ලන්නට විය. එහිදී තාරක සුජීට ඔත්තු දෙන සහ සුජී සමඟ මිතුරුදම් පුරන කිහිප දෙනෙකුට වෙඩි තබා තුවාල කරන්නට විය. 2017 වර්ෂයේදී කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ එකම දින තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ උත්සාහයක් කොස්ගොඩ තාරක ඉදිරියේ සටහන් විය. ඒ සුජීගේ මිත්‍රයන්ය. අවසානයේ සුජී කොස්ගොඩ තාරකට රිදවීමේ අරමුණින් දැවැන්ත ප්‍රහාරයක් සූදානම් කළ අතර ඒ අනුව පළමු ප්‍රහාරය ලෙස තාරකගේ හොඳම මිතුරා වන කොස්ගොඩ ලොක්කා වෙඩි තබා ඝාතනය කළේය. තාරකට එය දරාගැනීමට නොහැකි සිද්ධියකි. මේ නිසා තාරක 2018 වසරේ නොවැම්බර් මාසයේ එක් දිනෙක කොස්ගොඩ සුජීගේ මාමා කෙනෙකු වන හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජා සහ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනා නිවෙසට පැන වෙඩි තබා ඝාතනය කළේය. මෙය සුජීගේ මාලිගාවට පැන මාලිගාවේ හිමිකරුවන් ඝාතනය කිරීම හා සමාන වේදනාවකි. එය කොතරම් සුජීට දැනුණේද යත් ඔහු දුරකතනයෙන් අමතා ඔහුගේ කල්ලියේ සියලු දෙනාට බැණවැදුණේ තමන්ගේ මාමා ඝාතනය වනතෙක් තමන්ට බලා සිටිමට සිදුවීම බරපතළ ලැජ්ජාවක් බවය. මේ නිසා හැකි ඉක්මණින් ප්‍රති ප්‍රහාරයක් එල්ල කළ යුතු බව කොස්ගොඩ සුජී තම කල්ලියට දැනුම් දුන්නේය. 
ඒ අනුව කොස්ගොඩ තාරකගේ මාමා කෙනෙකු ඝාතනය කිරීම සඳහා සුජීලා සූදානම් වූහ. තම දරුවන් දෙදෙනා සමඟ පාසල් යන අතරවාරයේ මහමගදී සුජීගේ කල්ලිය විසින් ලෙයට ලෙයක් ගැනීමේ සුපුරුදු පරමාර්ථයෙන් සිදුකෙරුණු ප්‍රහාරයේදී දරුවන් දෙදෙනාත් එකී මාමාත් ජීවිත බේරාගත්තේ වාසනාවකටය.

කාලයක් ඩුබායි ඉඳන් අපරාධ මෙහෙයවලා

 

එම සිදුවීමත් සමඟ කොස්ගොඩ තාරකගේ ගමනාන්තය වූයේ වේයන්ගොඩ ප්‍රදේශයයි. ඒ ප්‍රදේශයේ පාතාල නායකයකු මෙන්ම කුඩු ව්‍යාපාරිකයකු වූ වේයන්ගොඩ චාමර සමඟ ඔහු එකට ජීවත් වන්නට විය. මේ අතර චාමරට තර්ජනය කිරීමේ සිද්ධියක් සමඟ දේවප්‍රිය නැමැති අයකු සමඟ ගැටුමක් හටගෙන තිබුණි. එම ගැටුමේ ප්‍රතිඵලය ලෙස දේශප්‍රිය ඝාතන කොන්ත්‍රාත්තුව චාමර, කොස්ගොඩ තාරකට ලබාදෙනු ලැබීය. කොස්ගොඩ තාරක කොස්ගොඩ දිල්ශාන් සහ චාමරගේ සහෝදරයකු ඇතුළු පිරිස ගොස් දේවප්‍රිය ඝාතනය කළහ. එම ඝාතනයෙන් නොනැවතුණු චාමර සහ කොස්ගොඩ තාරක ඊළඟ මෙහෙයුම ලෙස සූදානම් වූයේ මාතර නිලේකා ජුවලරි ආයතනය මංකොල්ලකෑම සඳහාය. කොස්ගොඩ තාරක චාමර ඇතුළු පිරිස මාතරට ගොස් එම මංකොල්ලය සිදුකළ අතර එහිදී පොලිස් කොස්තාපල් (69532) වීරසිංහ වෙඩි කා මිය ගියේය. එම සිද්ධියෙන් පසුව තාරක කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොටුවන අතර චාමර අසල නිවෙසක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් චාමර අවසානයේ සැඟවූ ආයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි පහරින් ඊට දින කිහිපයකට පසු මිය ගියේය. ඒ 2018 ජූනි 22 සහ 23 යන දෙදින තුළය. 

එතැනින් පසුව පොලිසිය විසින් තාරක අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කරන අතර කිහිප වතාවක්ම තාරක බන්ධනාගාරයේ සිට අපරාධ රුසක් මෙහෙයවන්නට විය. ඒ කොස්ගොඩ සුජීට එරෙහිවය. සුජීගේ හොඳම ගෝලයා බවට පත්වූයේ රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ වෙඩික්කරු වූ පොඩි ලැසීය. පොඩි ලැසීද බන්ධනාගාරයේ සිටිමින් කොස්ගොඩ තාරකට එරෙහිව ක්‍රියාකරන්නට වූ අතර ඒ සියලු මෙහෙයුම් මෙහෙයවූයේ කරන්දෙණියේ හිතහොඳ දොස්තර ඝාතනයේ සැකකරුවන් වූ රනා, රාජු සහ සුද්දා යන අය විසින්ය. 

සමයං ගුරාගේ අඩිපාරේ ගිය පාතාල ගෝලයෙක්

 

මේ අතර කොස්ගොඩ තාරකට චෝදනා එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැනය. ඒ සඳහා එල්.ටී.ටී.ඊ.ය සමඟ පිඹුරු පත් සැකසූ බවට චෝදනා එල්ල වූ අතර දිනක් බන්ධනාගාරය තුළදී කෑ ගසා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඝාතනය කරන බවද ඔහු එහිදී කියා සිටියේය. එහෙත් කමල් ගුණරත්න මහතා විසින් තීන්දු කළේ දරුණු ඝනයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමටය. එම ස්ථානයේ තාරක, පොඩි ලැසී, කංජිපානි ඉම්රාන්, පොට්ට නව්ෆර්, වෙලේ සුදා, ඌරු ජුවා ඇතුළු කණ්ඩායම එකට සිටි අතර ඔවුහු ආහාර වර්ජනයක්ද එහිදී ආරම්භ කළහ. පසුව කොස්ගොඩ තාරක රහස් පොලිස් භාරයට ගනු ලබන්නේ ජනාධිපති කුමන්ත්‍රණ ඝාතන සිද්ධියටය. එහිදී අනුරාධපුරයේ සිට ටී.56 ගිනි අවි සහ ටී. 81 වර්ගයේ ගිනි අවි 72ක් කොළඹට ප්‍රවාහනය කිරීමේ චෝදනාවද එල්ල විය. එම ගිනි අවිවලින් ගිනි අවි 14ක් බොරලැස්ගමුව ප්‍රදේශයේ කඩයක සඟවා තිබියදී සොයාගැනීමට හැකිවිය. එම ගිනි අවි කොස්ගොඩ තාරකගේ හොඳම ගෝලයා වූ අමිල විසින් නිරෝධායන ඇඳිරි නීතිය පැවති කාලයේ කොළඹට ගෙනැවිත් බව අනාවරණය විය. 

වසර ගණනාවක් බන්ධනාගාරයේත් රහස් පොලීසියේත් සිටි කොස්ගොඩ තාරක පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදෙනු ලබන්නේ ඔවුන් විසින් සිදුකරන විමර්ශනයකට අනුව බව පොලිසිය පවසයි. එහිදී තාරක විසින් කොස්ගොඩ ප්‍රදේශයේ වළදමා තිබූ ටී.56 ගිනි අවි 4ක් සොයාදෙනු ලබන අතර තවත් සුවිශේෂී ගිනි අවියක් මීරිගම ප්‍රදේශයේ සඟවා තිබෙන බව දන්වා තිබිණි. ඒ ස්නයිපර් ගිනි අවියක් ගැනයි. පසුව එය සොයා ගැනීමට තාරක සමඟ පිරිස් ගියේය. එහෙත් එහිදී පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මෙරට දකුණේ නමගිය පාතාලයකු මෙන්ම රටේම අපරාධ රැසකට සම්බන්ධ කොස්ගොඩ තාරක අවසන් ගමන් ගියේය. 

කප්පම් අරන් මිනීමැරැම් සිදුකර කඩුවෙල හෙල්ලූ ඌරුජුවා

 

කොස්ගොඩ තාරක මියයාමට පෙර ඊට දින දෙකකදී තවත් නමගිය අපරාධකාරයකු පොලිස් වෙඩි පහරින් මිය ගියේය. ඔහු මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ඌරු ජුවා නම් විය. 1994 උපන් ඌරු ජුවා පාතාලයට අත්පොත් තබන්නේ ඉතාමත් කුඩා වයසේදීය. ඒ හංවැල්ල ප්‍රදේශයෙනි. කළුතර එතනමඬල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය රනාලේ සමයංගේ හොඳම ගෝලයකු වූ ඌරු ජුවා ඝාතන කිහිපයකට සම්බන්ධ වූ අයකු ලෙස පොලිස් පොත්වල සටහන් වී ඇත. සමයං ඝාතනය වීමෙන් පසුව කඩුවෙල සහ හංවැල්ල ප්‍රදේශ තම රජදහන කරගත් ඌරු ජුවා තම ගෝලයන් ලවා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම සිදුකළේය. දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් නිතර කප්පම් ලබාගත් ඌරු ජුවා සිය මෙහෙයුම් බන්ධනාගාරයේ සිට සිදුකරගෙන ගියේය. 

වැලිකඩ බන්ධනාගාරයේ සිට රටේ නැති මිනීමැරුම් කප්පම් ගැනීම් සිදුකළ ඌරුජුවා අවසානයේ දැඩි රැකවල් මැද බූස්ස බන්ධනාගාරයට යවන්නේ පාතාල කටයුතුවලට තිත තබමිනි. එහෙත් පසුගියදා නිදහස්ව පැමිණි ඌරුජුවා බෝට්ටුවකින් ඉන්දියාවට පනින සූදානමක තොරතුරකට අනුව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු පොලීසිය අවසානයේ කඩුවෙල ප්‍රදේශයේ සැඟවූ ආයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි පහරින් මිය ගියේය. 
පාතාලයේ රජවරුද නායකයෝද නැත. එන යන බොහෝ දෙනා නමක් පමණක් ඉතුරුකර අපරාධ රැල්ලකට මුලපුරා අවසන් ගමන් යති. එම නාමාවලියේ අය මරදානේ චොප්පේගේ සිට පාතාලයේ ගෝඩ් ෆාදර් වූ නාවල නිහාල් දක්වාත් පසුගියදා මියගිය කොස්ගොඩ තාරක දක්වාත් සිටිති. එහෙත් මේ සියලු පුද්ගලයන් පසුපස ඇති දේශපාලන සම්බන්ධතා ගනුදෙනු උදව් කිසිවිටෙක එළියට එන්නේ නැත. ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී යන අතර විශේෂයෙන් මෙවැනි පාතාලයන් ඝාතනය කිරීමත් සමඟ ඒ සියල්ල අළු වී යනු ඇත. දැන් ඇති එකම ප්‍රශ්නය නම් පාතාලයට කිරි පෙවූ බොහෝ දෙනා යහතින් සිටියදී පාතාලයන් මියයාම පාතාලයට නියම තිත තැබීමක් දැයි යන්නය. ඉදිරියටත් පාතාලයන් බිහි නොවෙතැයි ඔවුන්ට කිරි පෙවූවන් ඉන්නා භූමියක අප කෙසේ විශ්වාස කරම්ද?

මේ අතර පොලිස් වෙඩිතැබීම් වලින් සිදුවූ මෙම මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් මඟින් සිය අප්‍රසාදය පළකර ඇත. පොලිසිය භාරයේ සිටින සැකකරුවන් මේ ආකාරයෙන් ඝාතනය වීම කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක් බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. විශේෂයෙන් මෙම සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඔවුන්ට එල්ල වී ඇති මරණ තර්ජන සහ ජීවිත අවදානම සම්බන්ධයෙන් මුලසිට දැනුවත් කර තිබියදී මෙලෙස ඝාතනය වීම ගැටලු සහගත බව ඔවුහු පෙන්වා දෙති.

 ගයාන් ගාල්ලගේ