2021 මැයි 08 වන සෙනසුරාදා

අපේ රටෙන් පැන්නූ අපේ පුරාවස්තු

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 152

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ගැන පසුගියදා ජාතික කෞතුකාගාරයේදී පිටරටවල තිබෙන අපේ සංස්කෘතික දේපල ගැන කළ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

“සෑම රටකම තිබෙන පුරාවස්තු වෙනත් රටවලට සම්මිශ්‍රණය වෙනවා. ශ්‍රී මහා බෝධියත් මේ රටට ගෙනාවේ ඉන්දියාවෙන්. නමුත් කාලෙකට පස්සේ අපේ තිබෙන පුරාවස්තු අපි කැමැත්තෙන් දෙන්නෙ නැතිව පිටරටවලට බලෙන් අරන් ගියා. ඒක පුරාවස්තු කොල්ලයක් කියන්න පුළුවන්. ඒ තත්ත්වය බොහෝදුරට ඇතිවුණේ 15 වැනි සියවසෙන් පසු අපේ රටට බටහිර යටත්විජිත පාලනය පැමිණි පසුයි. ඒ කාලේ එතෙක් පැවති සංස්කෘතික වස්තු හුවමාරුවට වෙනස්ව බලහත්කාරයෙන් පුරාවස්තු රැගෙන යාමක් සිදුවුණා.

15-16 සියවස් වනවිට බටහිර යුරෝපයේ චින්තන පෙරළියක් ඇතිවුණා. ආගමික බිය නැතිව ගොස් පල්ලිය ප්‍රශ්න කිරීමට පටන්ගත්තා. ඊට පසු ‍ඓතිහාසික දේවල් රසවිඳීමට ඒවා අගය කිරීමට පටන් ගත්තා. ඒ කාලයේ යටත්විජිත රටවල්වල කලා කෘති ඒ රටවලට රැගෙන යාමට පටන් ගත්තා. යුරෝපීය ජාතීන් වන පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතිකයන් ලංකාව, ඉන්දියාව වගේ රටවල පුරාවස්තු නිර්මාණ දැකලා පුදුම වුණා. ලංකාව, ඉන්දියාව වගේ රටවල්වල මේ තරම් දියුණු සංස්කෘතියක් පැවැති බව ඔවුන් කවමදාවත් සිතුවේ නැහැ. ඔවුන් මේ රටවල්වල සංස්කෘතික භාණ්ඩ එකතු කරන්න, ඒවා අගය කරන්න පටන් ගත්තා.

ඒ අතරම තවත් කොටසක් අපිව දැක්කේ ම්ලේච්ව වනචාරී පිරිසක් හැටියට. මානව විද්‍යාව කියන විෂයය ගොඩනැගුණේම යුරෝපීයයන් ඉහළ බවත් ආසියාතික අපි පහත් බවත් ස්ථාපිත කිරීමටයි. මේක එකිනෙකට පටහැනි ප්‍රවණතා දෙකක්.
අපේ වටිනා සංස්කෘතික දේපල යුරෝපීය රටවලට ඇදීයාමට ඔය කරුණු හේතු වුණා. දළ වශයෙන් රටවල් 27ක පමණ ලංකාවේ සංස්කෘතික දේපල තිබෙනවා. ඒ අතරින් රටවල් 15ක් යුරෝපීය රටවල්. ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවලත් අපේ පුරාණ දේවල් තිබෙනවා.

ලංකාව මුලින්ම ආක්‍රමණය කළ යුරෝපීයයන් පෘතුගීසීන් වුණත් පෘතුගාලයේ කෞතුකාගාරවල අපේ පුරාවස්තු නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ අපේ පුරාවස්තු මෙහිදීම විනාශ කර දැමීම මිස එවා මව්රටට රැගෙන ගොස් රසවිදීමට නොවේ. වර්ෂ 1658දී ලන්දේසීන් අපේ මුහුදුබඩ පළාත් යටත් කරගත්තා. ඕලන්දයේ කෞතුකාගාරවල අපේ පුරාවස්තු රාශියක් තිබෙනවා. ඒ කාලයේම ඔවුන් ඒවා කොල්ලකාගෙන අරන් ගියා. ලන්දේසීන් 1765දී මහනුවර ආක්‍රමණය කළා. එහිදී ඔවුන් උඩරට රාජ මාලිගය ආශ්‍රිතව පැවති කාලතුවක්කු, ආභරණ, කඩු වගේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ හමුදා විසින් අත්පත් කර ගත්තා. ඊටපසු පහතරට ප්‍රදේශවල විහාර හා පෞද්ගලික අයිතිය යටතේ පැවති භාණ්ඩත් ඔවුන් එකතු කරගෙන තිබෙනවා. නමුත් අපේ උරුම ද්‍රව්‍ය වැඩිපුරම ප්‍රමාණයක් පිටරටට රැගෙන ගියේ 1796දී මේ රට මුහුදුබඩ පළාත් අත්පත් කරගෙන වර්ෂ 1815 දී දිවයිනම පාලනයට ඈඳාගත් ඉංග්‍රීසින් විසිනුයි. මේ නිසා ඔවුන්ට පහසු වුණා අපේ උරුමයන් ලබාගැනීමට. ඉංග්‍රීසි ජාතිකයන්ට ශාස්ත්‍රීය දේවල් කෙරෙහි ඇල්මක් පැවතුණා. ඒවා තමන්ගේ ගෙවල්වල තබාගැනීමට ඔවුන්ට කැමැත්තක් තිබුණා. මේ නිසා අපේ සංස්කෘතික වස්තු එංගලන්තයට නැවේ පටවා යැව්වා.

ඕලන්දය හා එංගලන්තය හැරුණුවිට පුරාවස්තු වැඩිම ප්‍රමාණයක් තිබෙන රට තමයි ජර්මනිය. අපි කවදාවත් ජර්මනියට යටත් වෙලා හිටියේ නැහැ. නමුත් ජර්මනිය වැදගත් ශාස්ත්‍රීය ප්‍රබෝධයක් පැවැති රටක්. ඔවුන්ට ලොකු උනන්දුවක් තිබුණා පෙරදිග ගැන. ඒ නිසා ඔවුන් ඉංග්‍රීසින් හෝ වෙනස් ජාතීන් හරහා අපේ පුරාවස්තු තම රටට ගෙන්වා ගත්තා.

ලංකාවේ පැවති සමාජ ආර්ථක පසුබිමත් අපේ පුරාවස්තු අහිමිවීමට බලපෑවා. ඉංග්‍රීසින් උඩරට රාජධානියත් තම පාලනයට ඈඳාගත් පසු රටපුරාම මාර්ග පද්ධතියක් ඇති කළා. ඒකත් බලපෑවා අපේ පුරාවස්තු අහිමි වීමට.

ඉංග්‍රීසීන් පැවසුවා ග්‍රී වික්‍රම රාජසිංහ රජු විශාල දේපල ප්‍රමාණයක් රටේ හංගලා තිබෙන බව. ඒ දේපල සෙවීමට පැරණි වලව්වල, පන්සලක් ගා‍ණේ ඔවුන් ඇවිද්දා. පන්සල් විශාල ප්‍රමාණයක් ඔවුන් කොල්ලකෑවා. බදුල්ලේ බෝගොඩ විහාරය එහෙම සම්පූර්ණයෙන් කෙල්ලකාපු තැනක්. උඩරට සිංහාසනය, කඩුව හා ඔටුන්න පවා ඔවුන් රුගෙන ගියා. පසුව ඒවා නැවත ලංකාවට ලබාදුන්නා.

1832න් පසු වතුවගාවට මහ කැලෑ එළිකිරීමට පටන් ගත්තා. මේ නිසා එතෙක් ගමන් කිරීමට දුෂ්කරව පැවති ස්ථනවලට පවා පිවිසීමට ඉංග්‍රීසීන්ට හැකියාව ලැබුණා. පැරණි වැව් සමහරක් ප්‍රතිසංස්කරණය වුණා. ප්‍රතිමා විශාල ප්‍රමාණයක් අපට අහිමි වුණා. ඒ අතරිනුත් වැඩි ප්‍රමාණයක් අහිමි වුණේ මහනුවර යුගයට අයත් ලාබ ලෝකඩවලින් තැනූ ප්‍රතිමායි. කැණීම්වලින් හමුවූ අනුරාධපුර, පොළොන්නරු යුගයට අයත් ප්‍රතිමා විශාල ප්‍රමාණයක් ඔවුන් තම රටවලට ගෙනගොස් නැති බවයි පේන්නේ. විශාල කාසි තොගයක් ඔවුන් රැගෙන ගොස් තිබෙනවා. පොළොන්නරු, දඹදෙණි කාලවලට අයත් කාසි විශාල තොගයක් බ්‍රිතාන්‍යයේ තිබෙනවා. ඇත්දළ කැටයම් විශාල එකතුවක් යුරෝපීය කෞතුකාගාරවල දැකගත හැකියි. ඒක අපේ රටේ තිබෙන ඇත්දළ කැටයම් එකතුවට වඩා වැඩියි. කුඩා මංජුසා, ධාතු කරඬු, ප්‍රතිමා වගේ කැටයම් රාශියක් ලන්ඩන් කෞතුකාගාරය ඇතුළු යුරෝපීය කෞතුකාගාරවල තිබෙනවා. කිරිච්චි, කඩු, කාලතුවක්කු වගේ යුද උපකරණ එංගලන්තයේ කෞතුකාගාරවල තිබෙනවා.
තවත් අපේ උරුමයක් තමයි වෙස්මුහුණු. ජර්මනියේ මියුනිච් කෞතුකාගාරයේ අපේ වෙස්මුහුණු ලොකු එකතුවක් දැකගත හැකියි. පුස්කොළ පොත් 3000 කට අධිකව බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තිබෙනවා. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් හියු නෙවිල් එකතු කරපු ඒවා. එදිනෙදා ජනජීවිතයට අදාළ කෘෂි උපකරණ, උදලු, කැති, ධීවර උපකරණ සහ ගෘහ උපකරණ මේ එකතු අතර දකින්න ලැබෙනවා.

1930 දක්වා ඉංග්‍රීසීන් කළ කැණීම්වලදී හමුවූ ප්‍රාග් ඓතිහාසික මෙවලම් සහ හිස්කබල් ඔවුන් රැගෙන ගියා. අපේ සම්භාව්‍ය කලාකෘති කිහිපයක්ම යුරෝපයේ තිබෙනවා. ඒ අතරින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙන අනුරාධපුරයට අයත් තාරා දේව්දුව ඉතා විශිෂ්ට ප්‍රතිමාවක්.

ඇමරිකාවේ බොස්ටන් කෞතුකාගාරයේ අපේ කලා නිර්මාණ රාශියක් තිබෙනවා. ඒකට හේතුව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි තම පුරාවස්තු එකතුව එම කෞතුකාගාරයට ලබා දුන් නිසයි. අපි මේ උරුමය ඒ රටවලම තිබීමට ඉඩහරිනවාද? මේක කෞතුකාගාර ක්ෂේත්‍රයේම තිබෙන ප්‍රශ්නයක්. ඒ රටවල්වල තිබෙන පුරාවස්තු ඔවුන්ට අයිති නැති බවට මතවාදයක් දැන් පැතිර තිබෙනවා. මේ නිසා සමහර කෞතුකාගාර ඒවා අයිති රටවලට ලබාදීමට කැමැත්තක් තිබෙනවා.

මේවා ආපසු ගෙන්වා ගැනීමට යම් හැකියාවක් මතුවී තිබෙනවා. නමුත් අවුරුදු 50කට ඉහතදී මේ රටින් අරන් ගිය ඒවා නැවත ඉල්ලන්නේ නැති බවට යුනෙස්කෝ සම්මුතිය අනුව අපි පොරොන්දු වී තිබෙනවා.

අපෙන් රැගෙන ගිය පුරාවස්තුවලින් 90%ක් ඒ රටවල්වල ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙනවා. අපේ රටේ දැනට තිබෙන පුරාවස්තු පවා රැකගැනීමට අපට අපහසු වී තිබෙනවා. දිනපතා පුරාවස්තු විනාශ කරපු නඩු 10කට වඩා මම අත්සන් කරනවා. කවුරුත් නොහිතපු තරම් දරුණු විදිහට අපේ පුරාවස්තු දිනපතා විනාශ වෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බවට පත්වන තෙක් මම දැන සිටියේ නෑ අපේ පුරාවස්තු මේ තරම් වේගයෙන් විනාශ වන බව.

අපි අපේ පුරාවස්තු විනාශය අවම කර ගැනීමට ප්‍රමුඛතාව දියයුතු බවයි මගේ හැඟීම. ඒ අතරම පුරාවස්තු පිටරටවලින් රැගෙන ඒම වෙනුවට නැවතන් ඒවායේ නීතිමය අයිතිය අපට බව අප තහවුරු කරගත යුතුයි. එවිට එම පුරාවස්තු අධ්‍යයනය කිරීමට, නැරඹීමට අපට හැකියාව ලැබෙනවා.

 කුසුම්සිරි විජයවර්ධන