2021 මැයි 08 වන සෙනසුරාදා

ඔක්සිජන් ඕනෑ වුණොත් වෙන්න පුළුවන් දේ

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 8

කොවිඩ් දෙවැනි රැල්ලත් සමඟ ලොවපුරා ඔක්සිජන් පිළිබඳව විශේෂිත වූ කතාබහක් නිර්මාණය වී තිබේ. අප අසල්වැසි ඉන්දියාව මුහුණ දෙන ඔක්සිජන් හිඟය මේතාක් ඉතිහාසයේ අප නොදුටු ඛේදවාචකයෙකි. එම නිසාම ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම ඉහළ යනවිට මෙරටද ඔක්සිජන් සම්බන්ධව දැවැන්ත සංවාදයක් හටගෙන ඇත. එම නිසාම මෙම සටහනෙන් අප උත්සාහ කරනුයේ ඔක්සිජන් පිළිබඳ කතිකාව වඩාත් අර්ථපූර්ණ කිරීමටයි. නම සඳහන් කිරීමට අකමැති වූ ඔක්සිජන් සම්බන්ධ විෂයානුබද්ධ සුවිසල් දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරියක් හා අපි සම්මුඛ වීමු. මෙම සටහන ලියැවෙන්නේ ඒ ඇසුරිනි.

අපගේ ජීවයේ පැවැත්ම තහවුරු වී ඇත්තේ  ඔක්සිජන් හේතුවෙනි. ජීවියකු ලෙස අපගේ සිරුරේ සියලු පද්ධති සකස් වී ඇත්තේ සෛලවලින්ය. සෛලයක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය ජනනය වනුයේ ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන්‍ හරහාය. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සලකන විට වඩාත්ම වැඩි ඔක්සිජන් අවශ්‍යතාවයක් පවතින්නේ අපගේ මොළයට සහ හදවතටයි. ඔක්සිජන් නොමැති වූ විට මෙම ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙයි. එවිට මරණය අප කරා එළඹෙයි. සරලවම කිවහොත් ඉන්ධන නොමැති වූ විට වාහනයක ක්‍රියාකාරීත්වය නතර වන්නේ යම්සේද ඔක්සිජන් නොමැති වූ විට මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය නතර වෙයි.

අපේ පෙනහලුවල ඔක්සිජන් ධාරිතාවය ලීටර් 7.5 ක් පමණ වේ. එහෙත් හුස්මක් හරහා අප වාතය ලබාගන්නේ මිලිලීටර් 450ක් 500ක් පමණ ප්‍රමාණයකි. පෙනහළු මේ තරම් විශාල ඔක්සිජන් ධාරිතාවයක් අතිරික්තයක් ලෙස පවත්වාගෙන යන්නේ අප මහන්සි වී යම් කටයුත්තක් කරන විට ඊට අවශ්‍ය ශක්තිය ජනනය කිරීම වෙනුවෙනි. සරලව පැහැදිලි කරන්නේ නම් පෙනහළුවල කුඩා කාමරවල ඔක්සිජන් ගබඩා වී තිබේ. එම කාමරවල බිත්ති හරහා ඔක්සිජන් විසරණය වී රුධිර පද්ධතියට එකතු වේ. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී වෛරස ආසාදනය හේතුවෙන් පෙනහළු ඉදිමීමකට ලක්වේ. එවිට අප පෙර කී පෙනහැල්ලේ ඔක්සිජන් ගබඩා වී ඇති කාමර දියරයකින් පිරීයයි. සාමාන්‍ය ව්‍යවහාරය පරිදි නම් ඒ සෙමය. කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේදී මේ ආකාරයට පෙනහළු සියයට පනහක් පමණ පිරී යනවිට මිනිසෙකුට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බවට පරිවර්තනය වේ.

එවන් විටෙකදී අපි වැඩියෙන් වේගයෙන් හුස්ම ගැනීමට උත්සුක වෙමු. අනෙක් පසින් වැඩියෙන් ඔක්සිජන් ලබා ගැනීමට දරන උත්සාහය නිසා සිරුරේ ඔක්සිජන් අවශ්‍යතාවය තවත් ඉහළ යයි. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාව නූතනයේ විශ්වාස කරන්නේ මෙම තත්ත්වය එක්තරා උපරිම අවස්ථාවට පැමිණ පහව යනු ඇති බවය. කෘත්‍රිමව ඔක්සිජන් ලබාදී සිරුරේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් උත්සාහ කරන්නේ මෙම තත්ත්වය හේතුවෙනි. එහෙත් සාමාන්‍ය රෝගියකුට ඔක්සිජන් ලබාදෙන පරිමාවට සහ පීඩනයට වඩා වැඩි පීඩනයකින් සහ පරිමාවකින් කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ලබාදීම අවශ්‍ය වේ. ඒ අනුව මිනිත්තුවකට ඔක්සිජන් ලීටර් 60ක් කොවිඩ් රෝගියකුට ලබාදීම අවශ්‍ය වෙයි. සාමාන්‍ය රෝගියකුට මිනිත්තුවකට ඔක්සිජන් ලීටර් දෙකත් පහළොවත් අතර ප්‍රමාණයක් ලබාදීම රෝහල් තුළ සිදුවේ. ඒ අනුව රෝහල් තුළ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යාමට හේතුව පැහැදිලි වෙයි.

ඔක්සිජන් නිෂ්පාදනය සම්බන්ධව මේ දිනවල විශාල අවධානයක් යොමුව තිබේ. අප අවට වටපිටාවේ ඇති ඔක්සිජන් වෛද්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් නිෂ්පාදන වන්නේ කෙලෙසද යන්න සැබැවින්ම බොහෝ දෙනකුට ගැටලුවකි. අප අවට ඇති වාතයේ ඔක්සිජන් ඇත්තේ සියයට විසි එකකි. ඉතිරිය නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ් ජලවාෂ්ප වැනි දෑ වෙයි. එම නිසා රෝගියකුට ශ්වසනය ලබාදීමේදී වෛද්‍ය විද්‍යාත්මකව උත්සාහ කරනුයේ රෝගියාට මුළුමනින්ම ඔක්සිජන් ලබාදීමටය. ඒ අනුව ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් සිදුකරන්නේ වාතයේ තිබෙන නයිට්‍රජන් කාබන්ඩයොක්සයිඩ් ජලවාෂ්ප ආගන් ආදී දෑ ඉවත් කිරීමයි.

වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ දිනවල අප නිතර දකින ඔක්සිජන් සිලින්ඩර තුළ ඇත්තේ සියයට 99.5 හෝ සියයට 99.9 ක්ම පිරිසිදු ඔක්සිජන්ය. ඒ අනුව ඔක්සිජන් නිෂ්පාදනය වන්නේ ආසවන ක්‍රියාවලියක් මගිනි. එහිදී ඔක්සිජන් ද්‍රවයක් බවට පත්වන අතර නිශ්චිත උෂ්ණත්වයකදී සෙසු නයිට්‍රජන් වැනි දෑ එම ස්ථානයෙන් ඉවත්කොට ඔක්සිජන් වෙන්කර ගැනීම සිදුකරනු ලබයි. එසේ නමුත් එය භෞතික විද්‍යාත්මකව පැහැදිලි කළ යුතු දීර්ඝ ක්‍රියාවලියකි. මෙහිදී කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඔක්සිජන් මෙතරම් පිරිසිදු ලෙස නිෂ්පාදන නොකරයි.

මීළඟට අප නිරාකරණය කරගත යුත්තේ ඔක්සිජන් හිඟය නමින් නිරන්තර මාධ්‍යයේ කතාබහට ලක්වන කරුණයි. මෙය පුළුල් වපසරියක් තුළ සාකච්ඡා කළයුතු කරුණකි. කොවිඩ් රෝගියකුට මිනිත්තුවකට ඔක්සිජන් ලීටර 60ක් අවැසි බව අපි පෙර කීවෙමු. රෝගීන් දසදෙනකු පැමිණියහොත් මිනිත්තුවකට අවශ්‍ය වන ලීටර් ප්‍රමාණය හයසීයක් වෙයි. ඒ අනුව වෙනදාට පැය 24 පුරා භාවිතා කළ ඔක්සිජන් සිලින්ඩරයක් පැය කිහිපයක් තුළ අවසන් වීම රෝහල් තුළදී සිදුවෙයි. ඔක්සිජන් සිලින්ඩර භාවිතයට ගෙන අවසන් වූ විට ඒවා නැවත පිරවීමට අදාළ සමාගම් වෙත රැගෙන යා යුතු වෙයි. ඒවා බෑම පැටවීම ප්‍රවාහනය ඊට අවශ්‍ය ශ්‍රමය සොයාගැනීම ආදිය පහසු නැත. ඉන්දියාව වැනි රටවල ඔක්සිජන් හිඟයකට වඩා සිදුවී ඇත්තේ මෙම ක්‍රියාවලිය වේගවත්ව පවත්වාගෙන යාමට නොහැකි වීමයි.

දැනට මෙරට අවශ්‍යතාවය වෙනුවෙන් ඔක්සිජන් නිපදවන සමාගම් පවසන්නේ තමන් සතුව සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා සියයට 3.5ක් හෝ හතරක ප්‍රමාණයකට ඔක්සිජන් සංචිත ඇති බවය. එවන් ධාරිතාවක් ඕනෑම රටක් විසින් පවත්වා ගෙන යනු ලබයි. මෙම තත්ත්වය උදාහරණයක් සමග පැහැදිලි කරන්නේ නම් අපි නිවසක වේල් කිහිපයකට අවශ්‍ය සහල් පරිමාව තබා ගනිමු. එය සාමාන්‍ය තත්ත්වයකි. දිනක කෑමට නිවසට සිය දෙනකු පැමිණියහොත් අප කුමක් කරමුද? ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වනවිට එම ප්‍රමාණයට ඔක්සිජන් නිපදවීමට අදාළ සමාගම්වලට හැකි වුවත් එකී ක්‍රියාවලිය පවත්වාගෙන යාම පහසු නැත. ඉන්දියාවේ සිදුවූයේ මෙයයි. දිනකට එක්වතාවක් ඔක්සිජන් රැගෙන ඒමට ලොරියක් ගමන් කරන රෝහලකට පැය තුනෙන් තුනට ලොරි යවා ඔක්සිජන් රැගෙන ඒමට සිදුවූවොත් කුමක් සිදුවේද? ඉන්දියාවේ සිදුවෙමින් ඇත්තේ එයයි.

කොවිඩ් වසංගතය පුළුල්ව පැතිරයාම හේතුවෙන් රෝගීන් වාර්තාවීම වැඩි වුවහොත් අප හමුවේද මෙවන් අර්බුදයක් නිර්මාණය වීම අනපේක්ෂිත නොවේ. එය කිසිවකුට සරලව පාලනය කළ හැකි තත්ත්වයක්ද නොවේ. රට පුරා විවිධ ප්‍රදේශවල රෝහල්වල කොවිඩ් රෝගීහු සිටිති. මෙය විශාල ක්‍රියාවලියක් සේම විශාල පද්ධතියකි. ප්‍රවාහන පහසුකම් ඇති ප්‍රමාණය, සිලින්ඩර් ප්‍රමාණය, ශ්‍රමය, කාලය, ආරක්ෂාව ආදි සියල්ල ඒ කෙරෙහි බලපායි. එවන් තත්ත්වයකදී හැකිනම් කළ හැකි හොඳම දෙය රෝගීන් විසිරී සිටීම වළක්වාලමින් රෝගීන්ව මධ්‍යස්ථාන වෙත ගොනුකිරීමයි. එහෙත් වසංගත තත්ත්වයක් තුළ එය එලෙස සිදුකිරීම පහසු නොවේ. ඉතාලියේ කොවිඩ් මරණ වැඩිවීමට හේතුවූයේ රෝගීන් තැන තැන විසිරී සිටීමයි. එම නිසාවෙන් ඔවුනට රෝගීන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට නොහැකි විය.

අප පාඩම් උගත යුත්තේ ඉන්දියාව බ්‍රිතාන්‍ය වැනි රටවල් මෙම වසංගතයෙන් පීඩා විඳි ආකාරය දෙස බැලීමෙනි. රෝගීන් සියලුදෙනාටම සමව පහසුකම් සලසන්නට උත්සාහ කරන බ්‍රිතාන්‍ය වැනි රටවලද ඇතැම් රෝගීන්ව අතහැර දැමීමට වෛද්‍යවරුන්ට සිදුවිය. පසුගිය කාලයෙහි එවන් දෑ අප සිදු නොකරන බවට උදම් ඇනුවද මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් එවන් දෑ මෙරටද ඉබේම සිදුවනු ඇත. අපට වඩා දියුණු තාක්ෂණය මෙන්ම දහස් ගණනින් උපකරණ තිබෙන මෙම රටවල්වලටද ජීවත් කරවන්නේ කාවද යන්න තෝරා ගැනීමට සිදුවූවා නම් මෙය කොතරම් බරපතළ තත්ත්යක්ද? අප ඉතා අවබෝධයෙන් වැඩ කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවිධාන ව්‍යූහය ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණි. ඇත්තෙන්ම මෙරට සෞඛ්‍යයේ තොරතුරු නිශ්චිතව පරිගණක ගතකොට පවා නොමැත. සෞඛ්‍ය ප්‍රවාහන කටයුතු සිදුවන්නේද අපහසුතාවයන් රුසක් මැදය. එම නිසාම මේ සියල්ල යහමින් තිබූ අයටත් අත්වූ ඉරණම පිළිබඳව අප සැලකිලිමත් විය යුතුමය.

කොවිඩ් පළමු අදියරේදී අපි සාර්ථක වූයේ වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම හරහාය. ව්‍යාප්තිය අවම කර ගැනීම මෙම භයානක තත්ත්වයෙන් මිදීමට රටක් ලෙස අපට ඇති ප්‍රධානම මාර්ගයයි. පළමු අදියරේදී රජය එම කටයුත්ත සාර්ථකව සිදුකළේය. නමුත් මේ මොහොතේ උද්ගතව ඇති අවදානම සුළුපටු නොවේ. අප කිසිවෙක් අපටම දරාගත හැකි පරිමාව පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. රජයකට පුද්ගලයකුට හෝ කණ්ඩායමකට දෝෂාරෝපණය කිරීමෙන් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකියාව නොමැත. සියල්ලෝම වගකීම් සහගතව වැඩකළ යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා