2021 මැයි 08 වන සෙනසුරාදා

’’අක්කර පහ’’ ලියූ ජන කවියා මඩවල එස්. රත්නායක

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 511

ගුවන් විදුලියේ සරල ගී ගායක ලෙස ප්‍රකටව සිටි දේවානන්ද වෛද්‍යසේකරට දිනක් අලුතින් පටිගත කරන සරල ගී වැඩසටහනට ගීත දෙකක් ලියවා ගැනීම සඳහා තමා ඉගෙනීම ලැබූ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකුව සිටි කවියට දස්කම් පෑ මිතුරකු මතකයට ආවේය.

ඔහු නැවතී සිටි බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලේ පිහිටි කාමරයට දේවානන්ද ගියේය.

“මඩේ, මගේ සරල ගී වැඩසටහනට කියන්න ගී දෙකක් ලියාගන්න තකහනියෙම ආවේ.”

“අලුතින් ලියන්න වේලාවක් නෑ. මගේ අලුත්ම කවිපොත ඊයේ නිකුත් වුණේ. ඒකෙන් සුදුසු එකක් තෝරාගන්න.”

“මාර යුද්දෙ” නම් ඒ කවිපොතේ ලස්සන නිමාව මෙන්ම නැවුම් සුවඳද දේවානන්දගේ නැහැය සිසාරා ගියේය. එය සමන් මුද්‍රණයකි. එය පෙරළා බැලූ දේවානන්ද නාට්‍ය සංකල්පනා දෙකක් තෝරා ගත්තේය. ගීත දෙකටම තනු නිර්මාණය කළේ ඔහුය.

“නීල නුවන් මහනෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නා ලිය පරදවන
ටිකිරිලියා ටිකිරිලියා
කළෙත් අරන් ළිඳට ගියා....”

මේ ගීතය ගුවන් විදුලියෙන් හැටේ දශකයේ කොතරම් ජනප්‍රිය වී ද යත් “අසන්නන් කැමති ගීතයට” වැඩිම තැපැල්පත් ලැබුණු ගීතය වීලු. මඩවල විසින් ලියූ තවත් ගීතයක් තමා විසින්ම තනුවක් නිර්මාණය කර දේවානන්ද ගැයුවේ චන්ද්‍රාණි රුද්රිගෝ (ගුණවර්ධන) සමඟය.

“සඳ පායා සිනා සී
ඔබගෙ මුහුණේ උදා වී
රස පෑරෑ ගමේ
මනහාරී මාගේ
මනහාරී මගේ මැණිකේ....”

“මඩේ” නම් ආදරයෙන් හැඳින්වූ මඩවල එස්. රත්නායක ගමේ නිර්ව්‍යාජ ගැමි සුවඳ කවියට, ගීතයට, කෙටිකතාවට, නවකතාවට නැඟූ ගැමියෙකි.

මඩවල රත්නායක තමා ආභාසය සැපයූ ගැමි පරිසරය මෙසේ පවසා තිබුණි.

“මගේ ගී වල, බොහෝ සෙයින් ගැමි ගී වල ආභාසයත්, ගැමි ජීවන දර්ශනයත්, ගැබ් වී ඇති බව කවුරුත් වාගේ විශ්වාස කරන දෙයක්. ඒ ගැනත් යමක් කිව යුතුයි කියලා මට හිතෙනවා. කොළඹ ඉඳන් අහස දිගේ කෙළින් බැලුවොත් අපේ ගම හැතැප්ම විස්සකට විසිපහකට නොවැඩි දුරක්ය කියල මට හිතෙනව. ඒ වුණාට සමාජ මට්ටම ගැන හිතුවොත් ඉතාමත් නොදියුණු පළාතක්. මං පුංචි අවදියේ ගමට යන්න එන්න පාරක් තිබුණේ නෑ. සිංහල පාසල තිබුණේ අපේ ගමේ ඉඳල හැතැප්ම දෙකහමාරක් පමණ දුරින්. අපේ ගම පුරාණ ගමක්. රෑට පැල්වලින් එන පැල්කවි. ගොයම් පාගන කොට, එළිවෙනකල් කමත් කවි. ගමේ පන්සලේ වැඩ කෙරුණේ හතර පේරුවේ දායකයන්ගෙන්. මේ නිසා හැම පෝයකටම වාගේ මොකක් හරි පිංකමක්. එහෙම දාට මනමේ, සඳකිඳුරු වැනි නාඩගම් රඟ දක්වනවා. නැත්නම් ප්‍රසිද්ධ වෙස් කණ්ඩායමක් ගෙන්වල එළිවෙනකල් නැටුම් නටනවා.” මඩවල රත්නායකයන් කියා ඇත්තේ කුඩා කාලය බදා අල්ලාගෙනය.

රෑට පන්සලේ සොකරි නාඩගම පැටි කාලයේ අහපු හැටි ඔහුට මතකය. ගමේ වෙලේ, හේන්, දියකඩිති, ඇළදොළ, ළඳු කැලෑ, ඔහු දුටු ලස්සන දර්ශනය.

“මගේ ගීවලට ජනකවි ආර සහ ගැමි දර්ශන ඉබේම ඇතුළ වී ඇත්තේ මේ නිසා වෙන්න පුළුවන්.” මඩවල කියා ඇත.

1929 පෙබරවාරි 05 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙනි උඩකහ දකුණු කෝරළයේ මඩවල ග්‍රාමයේ උපත ලැබූ සිරිසේන රත්නායක 1935 අලව්ව හුම්බුළුව මිශ්‍ර පාඨශාලාවේදී අත්පොත් තැබුවේය. 1942 වසරේ කනිෂ්ඨ විභාගය සමත්ව කෑගල්ලේ බෞද්ධ මිශ්‍ර ඉංග්‍රීසි පාඨශාලාවට ඇතුළු වූ ඔහු වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයට ඇතුළත් වී ඇත. පාසල් වියේ එදා සිටි කොළඹ යුගයේ කවි හොරෙන් කියවූ ඔහු ඒවායේ ආභාසයෙන් කවි ලියා එකල තිබූ කවි සඟරාවලට යැවීය. ඒ අතර කෙටිකතා රචනය කළේය. 1949 වසරේ ගම්පොළ ටී.බී. පෙරමුණේතිලක (පසුව පත්‍ර කර්තෘවරයකු වූ) ප්‍රකාශයට පත් කළ “රුවන” සඟරාවේ කෑගලු විද්‍යාලයේ මඩවල රත්නායක නමින් කෙටිකතාවක් පළ වී තිබුණි. ඒ කෙටිකතාවේ නම “අතීතය”ය. ප්‍රේමකතාවකි.

පාසල් කාලයේම ඔහු ප්‍රේම කතාවක් ඇසුරෙන් “පෙම් අමා” නමින් 1946 වසරේ කවි පොතක් ලියා පළ කළේය. මේ පොත ලියන විට ඔහු දහසය හැවිරිදි පැඟිරෙක් විය. ඒ කාලයේම මඩවල පෙම්වතකු වී සිටි බව ඔහු විසින්ම ලියන ලද “පන්හිඳක ගැමි සුවඳ” කෘතියෙන් සනාථ වෙයි.

“සරසවි දේවියට පෙම්කවි ලියූ මා සත්‍ය වශයෙන්ම පෙම්වතකු වූවේ මඟුල් උත්සවයක් නිසාය. නන්දා අයිරංගනී දැන හඳුනාගැනීමට ලැබුණේ මෙහිදීය. ඈ රූමත්ය. ගැහැනියකගෙන් මා අපේක්ෂා කරන අහිංසක පෙනුම සම්පූර්ණයෙන්ම ඈ තුළින් දැකිය හැකිය. ඈ සිනාසෙන විට ඒ පෙනුම කිහිප ගුණයකින් වැඩි කෙරෙයි. ඈ සමඟ කතා කිරීමේ ආශාව වැස්සට පෙර අහසේ දැකිය හැකි විදුලි රේඛාවකින් මතුවන ආලෝකයක් මෙන් විය. වැඩි වේලාවක් යන්නට පෙර අකුණු ගසා ධාරාණිපාත වැස්සක් බවට පත්විය.”

වාර නිවාඩුවට දෙතුන් වරක් ඇගේ ගෙදර ගිය ඔහු ඈත සිට සිනාසුණා මිස ඈ ළඟට ගොස් ප්‍රිය සංවාදයක යෙදීමට ඔහුට ශක්තිය තිබී නැත. ඔවුන් දෙදෙනා පෙම්වතුන් වූයේ ලියුම් මගින් පමණි. හිටි හැටියේ ඇගෙන් එන පෙම්පත් එකවරම නැවතුණි. එක් ප්‍රේම කතාවක් නිම විය.

පසු කලෙක මඩවල ලියූ කෙටිකතා නවකතාවල වස්තු බීජ සපයා ඇති ප්‍රථම ප්‍රේමයේ ඇති වී නැති වී ගිය කෙටි අත්දැකීම් අභිබවා ඔහුගේ අලුත් නිර්මාණ බිහිවෙන්නට ඇතැයි අපට සිතේ. ඔහුගේ නිර්මාණවල නිබඳව දකින “සඳවතී හා සේන” තුළ ඔහුගේ ප්‍රථම ප්‍රේමයේ ඡායාව පෙනී නොපෙනී යයි. 

කුඩා කල සිට මඩවල රත්නායක සිහින මැව්වේ ලේඛකයකු හා පත්‍ර කලාවේදියකු වීමටය. “ලංකාදීප” පුවත්පතේ වාර්තාකරැවකු ලෙස පොල්ගොල්ල ප්‍රදේශයේ කටයුතු කරමින් පාසල් වියේම පත්‍ර කලාවට පිවිසි මඩවල රත්නායක කෙටිකතාකරුවෙක් ලෙස නමක් දිනා සිටියේය. 1950 වසරේ “ලංකාදීප” පුවත්පත මගින් සංවිධානය කළ ජගත් කෙටිකතා තරගයට කෑගලු විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස ඔහු විසින් ලියූ “පීතර මාමා” කෙටිකතාවට දෙවැනි ස්ථානය හිමිවිය. මේ තරගයෙන් මුල් තැන හිමිවූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය ගුණදාස අමරසේකරටය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය නිමල් කරැණාතිලක තෙවැනියා විය.

මඩවල විසින් ලියූ කවි හා කෙටිකතා තුළින් ඔහුගේ ප්‍රතිභාව රටම දැනගත්හ. 1952 දිනමිණ පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ සේවයට පැමිණි ඔහු එතැනින් ඉවත්ව ලංකාදීප කර්තෘ මණ්ඩලයටද එතැනින් ඉවත්ව 1954 ගුවන් විදුලියේ නිබන්ධ සම්පාදකයකු ලෙසද කටයුතු කළේය. මඩවලගේ කලාවේ ස්වර්ණමය යුගය ගුවන් විදුලියේ සිටි කාලය විය. ඒ ගැන මඩවල කියන කතාවයි මේ.

“කුඩම්මාගේ ගෙදර ගුවන් විදුලි යන්ත්‍රයට සවන් දෙන මට කෙටිකතා, නාට්‍ය, විචිත්‍රාංග, කවි වැනි වැඩසටහන් සඳහා පිටපත් සකස් කරන්න ආශාවක් පිළිසිඳ ගත්තා. ඒ වෑයම සාර්ථක වුණා. මා ගුවන් විදුලි ශිල්පියෙකු වූයේ පාසල් ශිෂ්‍යයකුව සිටි අවදියේ ඒ කාලේ “කවි මඩුව” වැඩසටහනට නිතර කවි ලීවා. මම අමරදේව හඳුනාගත්තේ “ලංකාදීපෙ” දී. මං ගුවන් විදුලියට 1955දී බැඳෙන කොට ඔහු ඉන්දියාවට ගිහින්. ඔන්න අමරදේව සිංහල අවුරුදු නිවාඩුවට ලංකාවට ආවා. ගුවන් විදුලියේ සංගීත අංශය භාර ඩන්ස්ටන් ද සිල්වාට උවමනා වුණා අමරදේව ගැන විශේෂ අවුරුදු වැඩසටහනක් කරවා ගන්න. එහිදී ගී ලිවීමේ ප්‍රශ්නය මතුවුණා.

“මඩේට බැරිද ගී දෙක තුනක් ලියා දෙන්ට.” ඩන්ස්ටන් යෝජනා කළා.

“හැබෑටම, ඔව් අපට එහෙම පිටින්ම අමතක වුණා.* අමරදේව කිව්වා.

“මං කවදාකවත් ගී ලියලා නෑනෙ.* මම අදිමදි කළා.

“පුරැදු වෙන්ටත් එක්ක ලියමු.* අමරදේව කිව්වා.

“අපි උත්සාහ කරල බලමු.* ඒ පාර කතා කළේ ඩන්ස්ටන්.

ඒ කාලයේ භාරතයේ සිටි අග්‍රගණ්‍ය සංගීතඥයකු වන පණ්ඩිත් ඩී.වී. පලුෂ්කාර් විසින් ගැයූ “කුමන මලිත රාමචන්ද්‍ර* ගීතය මගේ සිතට ආවා. ඒ ගීතයට සිංහල වචන යොදලා මම අමරදේවට දුන්නා.

“මේ තියෙන්නෙ.... මීට වඩා තව මොනවද?* අමරදේවගේ මුහුණේ මල් පිපිලා.

“නවක මලිත සීත සුළඟ
දේ රස මා පිනවා
මිහිරි ගීත අති උදාර
ශෝභන මේ මල් මදාර
ලබන මේ වසරේ
නවක මලිත.....
සිහල උළෙල මීරි කරති
මේ ගී මා ගයනා....*

මඩවල රත්නායක විසින් ලියූ මේ ගීතයෙන් ඇරඹූ ජන ගීත රචනා කලාව අමරදේවයන්ගේ මධුර ගායනයෙන් හා ස්වර රචනාවලින් ප්‍රභාව පූර්ණ ගීතාවලියක් බිහිවීමට පසුබිමක් විය. “රන්වන් කරල් සැලෙයි - සන්සුන් කමින් බරව සිල්ගත් සිතින් යුතු වූ කත සේ...* “බඹරෙකු ආවයි නිරිත දිගේයා - හද පෑරෑවයි මියුරැ රසේයා...* මින්දද හීසර වැදී සැලෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද....? ඇතුළු ගීත රැසකි.

මඩවල රත්නායකට ඕමාර් ඛයියාම් විසින් ලියූ “රූබයියාට්* ගැන මුලින්ම අසන්නට ලැබෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ඇසුර නිසාය. දිනක් සරච්චන්ද්‍රයන් සමඟ කතා කරමින් සිටින විට “රූබයියාට් ඔෆ් ඕමාර් ඛයියාම්* කෘතිය ගැන සඳහන් කොට “ඒ පොත කියවල තියෙනවද?* කියා ඇසුවේය.

“නෑ මං කියවලා නෑ. මං දැක්ක ඔය පොත අර කොටුවෙ රේල්වේ ස්ටේෂන් එක ඉස්සර තියෙන ආනන්ද භවන්වල. මට පුළුවන් අදම එතැනින් ගන්ට.* මඩවල කීවේය.

ඕමාර් ඛයියාම් නම් ලේඛකයා පර්සියානු බසින් ලියූ “රූබයියාට්* එම බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ ෆිට්ස් ජෙරාඩ්ගේ කෘතිය මඩවල විසින් සිංහලයට නැගී ගුණසේන සමාගමේ %ලිහිණි පොතක්^ ලෙස 1954දී නිකුත් විය. 1957 දී ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වූ “බුදු හිනාව* ද මුල්ම නවකතාව වූ “අක්කර පහ* ද පාඨක ලෝකයට එකතු විය.

“මගේ %අක්කර පහ^ නවකතාව බිහිවුණේ මගේ ලේඛන ජීවිතයට ආලෝකයක් ලබාදුන් කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ ඇම්.ජේ. පෙරේරා මහතාගේ බලකිරීම නිසාය. දිනක් පෙරේරා මහතා මා සමඟ කතා කරමින් සිටින විට කියා සිටියේ ගැමි ජන ජීවිතය පසුබිම් කොට ගොවි ජනපද ජීවිතය පසුබිම් කොට එහි පදිංචියට ගිය ගොවියන් අළලා නවකතාවක් ලිව්වොත් පාඨකයාට නැවුම් රසයක් ලැබෙන බවය. මම ඒ අභියෝගය භාර ගත්තෙමි* යැයි මඩවල කියා ඇත.

“එකල (1957) ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබූ වාරිමාර්ග දියුණු කිරීම සහ ඒ මගින් ලැබෙන ජලයෙන් වගා කිරීම සඳහා බෙදාදෙන ඉඩම්වල පදිංචියට ගිය මිනිපේ ජනපදයේ ගොවීන් පසුබිම් කරලා ප්‍රේම කතාවක් ඇතුළත් කරලා %ප්‍රචාරක කෘතියක්^ නොවන නවකතාවක් %අක්කර පහ^ නමින් ලිව්වා. ගමේ සිට නගරයේ ඉංග්‍රීසි ඉගෙනීමට යන සේනගේ චරිතයට මගේ ජීවිත අත්දැකීම් එකතු කළා. මා නගරයේ පාසල් බෝඩිමේ ගත කළ ජීවිතයත්, ගමේ සම්බන්ධතා එයට ඇතුළත් කළා. කුමාරි අක්කාගේ චරිතය ගොඩනැගුවේ මගේ අක්කාගේ චරිතය ඇසුරෙන්. නවකතාවේ හැටියට සේන කොළනියට ගිය පුවත ඇරෙන්නට සෙසු සිද්ධීන් සියලු දේ මට පුද්ගලික අත්දැකීම්. සඳවතීගේ චරිතය මා අලුතින්ම නිර්මාණය කළ චරිතයක්. සඳවතීගේ චරිතය මගේ කෙටිකතාවට වස්තුවිෂය වුවත් ඒ නමේ ඇති සුන්දරත්වය නිසා මිස එවැනි නමක් ඇති චරිතයක් අපේ ගමේ හිටියේ නැහැ.* මඩවල රත්නායක මට කීවේ 1977 වසරේ මා විසින් %නවයුගය& පත්‍රයට ලියූ &නිර්මාණයක පසුබිම* විශේෂාංගයට එක්වෙමිනි.

“අක්කර පහ* කී විට මඩවලත්, මඩවල කී විට “අක්කර පහත්* මතක් වෙන තරමට බද්ධ වී ඇත. 1960 වසරේ හොඳම නවකතාව ලෙස දොන් පේද්‍රික් සම්මානය දිනූ මේ නවකතාව ඇසුරෙන් 1971දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කළ චිත්‍රපටය විචාරක ප්‍රශංසාවට ලක්විය.

මඩවල රත්නායක සිත නැති බඹලොව, පානෙන් අඳුරට, හඳ පායා කන්ද කපා, අලුත ගෙනා මනමාලි, අම්බලන් පාළුවෝ, දවස් ගෙවී ගියා මෙසේ, නිල්මල්විල, අක්කයි මායි යන නවකතාද බුදු හිනාව, නොමළ මල්, වැහි වළාකුළු, පහන නිව්වා කටින් පිඹලා, මල් මෙන් කඩුපුල්, සුවඳ පිරැණු අනාගතයක්, උපන්දා සිට කරපු පව්, කුඩප්පා යන කෙටිකතා සංග්‍රහද, ටිකිරි ලියා, ගී සින්දු සාහිත්‍යය ගීත ප්‍රබන්ධ හීන හතක් මැද යන ගී හා ගීත සාහිත්‍යය ගැනද ග්‍රන්ථ ලීවේය.

මඩවල එස්. රත්නායකගේ පරිවර්තන කෘති අතර ඩැනියෙල් ඩෙෆෝගේ &රොබින්සන් ක_සෝ* 1956 පළවූ විශිෂ්ට පරිවර්තන කෘතියකි.

චිත්‍රපට ගීත රචනයටද මඩවල උපන් හපනෙක් විය. ඒ අතර පටාචාරා චිත්‍රපටයට රචනා කළ “තණ්හා ආශා ඔලොගු කරේ ලා* (ගායනය - අමරදේව) “බාලොලි- ලොලි-ලොලි*, “නොදැමුණු රළ පතරේ* (ගායනය - නන්දා මාලිනී) ගැටවරයෝ චිත්‍රපටයට රචනා කළ “ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් - ඔරැවක ගොඩ වී මා එනවා* (ගායනය - අමරදේව) හීන හතක් මැද - විමනක් සැදුනයි* (ගායනය - ලතා වල්පොල) යන ගීත සුවිශේෂිතය. 1965 සරසවි සම්මාන උළෙලේදී හොඳම ගීත රචනය වෙනුවෙන් “ගැටවරයෝ* චිත්‍රපටය සඳහා සරසවි සම්මානය දිනා ගත්තේය.

ගුවන් විදුලියේ සංගීත පාලක, ශ්‍රී ලංකා රෑපවාහිනියේ වර්තා හා විචිත්‍රාංග අංශයේ ප්‍රධානී, චීනයේ බෙයිජිං ගුවන් විදුලියේ සිංහල උපදේශක, සර්වෝදය ආයතනයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයේ ප්‍රධානී තනතුරු දැරූ මඩවල රත්නායක ලැබූ සම්මාන රැසකි. 
1963 වසරේ ලිලියන් සෝමලතා මෙනෙවිය සමඟ මඩවල විවාහ විය. ඔවුන්ට පුතුන් තිදෙනෙක්  සහ දියණියක් ද  වූහ. වැඩිමහල් පුතා තුෂාර රත්නායක භාරතයේ භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ වයලීන් විශාරදවරයෙකි. ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. දෙවැනි පුත් සුලෝචන පශු වෛද්‍යවරයෙකි. තෙවැනි පුත් පූර්ණක අමෙරිකාවේ වෙසෙයි. ඔහුගේ දියණිය නිපුණිකාය.

මට මඩවල රත්නායක මහතා මුලින්ම හමුවූයේ 1964 වසරේ ඔහු ගුවන් විදුලියෙන් මෙහෙය වූ “යෞවන සමාජය* වැඩසටහන සඳහා මගේ මිත්‍ර මියගිය කරුණාරත්න සපුතන්ත්‍රී මාර්ගයෙනි. එදා පාසල් සිසුවකු වූ මම මඩවල රත්නායක නම් යහපත් මනුෂ්‍යයා හඳුනා ගතිමි. ඔහුගේ නවකතා, කෙටිකතා පොත්වලට පිටකවර ඇඳ දීමෙන් මට දායකවීමට ලැබීම මගේ භාග්‍යයක් ලෙස සලකමි.

මේ උදාර, මානව හිතවාදී සත්පුරැෂයා ජනකවියා 1997 ජනවාරි 08 වැනිදා පිළිකා රෝගයෙන් මිය ගියේය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00