2021 මැයි 08 වන සෙනසුරාදා

කොවිඩ් මවන අලකලංචි!

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 19

කොවිඩ් වසංගතය මගින් රට තුළ ජනජීවිතය නොසිතූ විරූ ආගාධයකට ඇද වැටෙමින් තිබේ. කොවිඩ් හේතුවෙන් රට පුරා පවුල්පිටින් සිය සාමාන්‍ය ජීවන රටාව අහිමිව, බඩ රස්සාව අහිමිව, නිසි ප්‍රතිකාර නොමැතිකමින් අසරණව ගිය පිරිස බොහොමයකි. මේ වනවිටත් තත්ත්වය පාලනය කර ගැනීමේ ප්‍රායෝගික ගැටලු රුසක්ම මතුව හමාරය.

කොවිඩ් ආරක්ෂණ විධි හොඳින්ම අනුගමනය කළ අප දන්නා මහනුවර ප්‍රදේශයේ තරුණයකුට කොවිඩ් සෑදී තිබුණි. ඒ ඔහු සමඟ එකට එකම රියේ ගමන් කළ ළඟම මිතුරා ආසාදිතයෙක් වීමත් සමගිනි‍. රජයේ රෝහල්වල තදබදය නිසාම මහනුවර පෞද්ගලික රෝහලකින් පී.සීආර්. කර ගැනීමට ඔහුට සිදුවිය. ඒ ඉක්මනින් රෝගය ගැන හඳුනා ගන්නටය. 

පළමුව කළ ඇන්ටිජන් පරීක්ෂාවත් දෙවැනුව කළ පී.සී.ආර්. පරීක්ෂාවත් දෙකම ධන ප්‍රතිපල ලබාදුන් පසු ඔහු රෝගියකු ලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යැවිය යුතු විය. නමුත් නුවර ආසන්නයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ඒ සඳහා ඉඩකඩ ලැබී නැත. ඔහුට ඉඩ ලැබුණේ අම්පාරෙනි. ඒ තරම් දුරයාමේ ප්‍රායෝගික අපහසුව කී විට ඊළඟ තේරීම ලෙස ඔහුට ලැබී තිබුණේ පෞද්ගලිකව මුදල් ගෙවා හෝටලයක නැවතීමය. ඒ සඳහා යෝජනා වී තිබුණේ ගල්කිස්ස මහ හෝටලයයි. මේ අතර ඔහුගේ බිරිය සහ වැඩිමල් දරුවාද පොසිටිව් වූ අතර මේ අය නිරෝධායනය සඳහා යවන්නට ඉඩකඩ ලැබී තිබුණේ රටේ දෙතැනක වූ පූනානි සහ රඹුක්කන මධ්‍යස්ථාන දෙකටය. කුඩා පිරිමි දරුවා යාන්තම් 14 වැනි විය පසුකර තිබූ හෙයින් ඔහුට මව සමග සිටීමටද නොහැකි වූ අතර මුලින් ඔහුව තනිවම පූනානි යවන්නට සැලසුම් කර තිබුණි. ඒ අතර  පවුලේ අනෙකුත් පුංචි දරුවන් දෙදෙනා මව හෝ පියාද නැති නිවසේ සිටියේ තට්ට තනිවමය. පසුව සිදුකළ පරීක්ෂාවන් මගින් ඔවුන්ද පොසිටිව් බව වාර්තා වී තිබේ.ඔවුන් හට ඉඩකඩ ලැබී ඇත්තේ පැණිදෙනිය මධ්‍යස්ථානයේය. මේ සියල්ල සැලසුම් කළද තවමත් දින ගණනාවක් ගතවී ගොසිනුත් මේ අයට (පියාට හැර) ප්‍රවාහන පහසුකම් නැතිව මග බලාසිටින්නට සිදුව තිබේ. දැන් ඒ පවුල සී සී කඩව ගොසිනි. කොවිඩ් නිසා ඔවුන්ගේ ජීවිතය මහත් අවුලකට පත්ව තිබෙනවා පමණක් නොව මේ වනවිට අතේ ඉතිරි කරගත් සොච්චමද අහිමිව ගොසිනි. මේ සියලුදෙනාම මානසිකව ඇදවැටීමකට ලක්ව සිටිති. කොවිඩ් හේතුවෙන් රටපුරා මෙබඳු  අලකලංචි රැසකට ජනතාව දැනටමත් මුහුණ පා සිටිති. දැන් කොවිඩ් පැතිර යන වේගය අනුව මෙබඳු තදබල ප්‍රායෝගික ගැටලු රුසක්ම රට තුළ ඉස්මතු වෙමින් පවතින බව නොරහසකි.

කොවිඩ් සඳහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම නිරෝධායන මධ්‍යස්ථානද සියල්ලම පාහේ දැන් පිරී ගොසිනි. පී.සී.ආර්. පරීක්ෂණ ගොඩගැසිලාය. රෝගීන් හඳුනාගැනීම ආශ්‍රිතයන් හඳුනා ගැනීම මෙන්ම පොකුරැ හඳුනාගනිමින් ඔවුන්ට සෞඛ්‍යාධාර ලබාදීමට අඛණ්ඩව කැපවීම නිසා සෞඛ්‍ය සේවාවන්හි සියලුම සේවකයන් සිටින්නේ මේ වනවිට දැඩි කායික මානසික විඩාවකට පත්වය.

කොවිඩ් පාලනයෙන් මිදී යන බවට අනතුරු ඇඟවීම් නිකුත් වී තිබුණේ කලින්මය. නමුත් එවන් හදිසි තත්ත්වයක් සඳහා අවශ්‍ය සැලසුම් නොතිබූ බවට දැන් සෞඛ්‍ය අංශවලින්ම චෝදනා එල්ලවෙමින් තිබේ. තවමත් දරුණුම තත්ත්වයට මුහුණ දීම සඳහා සුදානම්ව ඇති බවක් පෙනෙන්නට නැතැයි විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

මේ වනවිට රෝහල්වල ඉඩකඩ මදි වී තිබේ. දැනටමත් නිවෙස්වල සිට ප්‍රතිකාර ගැනීමේ තත්ත්වය උදාවී තිබේ. දැඩිසත්කාර ඒකක පිරී ගොසිනි. ඇතැම් රෝහල්වල අවශ්‍ය පුහුණු කාර්ය මණ්ඩලය නැත. ප්‍රධාන වශයෙන්ම මේ සේවක හිඟය දැඩිසත්කාර ඒකක කෙරේ බලපා තිබේ. සාමාන්‍යයෙන් එක් අයි.සී.යූ. ඇඳකට පුහුණු නිලධාරින් 6 දෙනෙකු සේවයේ යෙදවිය යුතුව ඇතැයි වාර්තා වේ. නමුත් ඒ ධාරිතාව කිසිසේත්ම සැපිරීමට හැකියාව ලැබී නැත. පසුගියදා මාවනැල්ල රෝහලේදී වෛද්‍යවරයකුගේ සමීප ඥාතියෙක් කොවිඩ් හේතුවෙන් මියගියේ අයි.සී.යූ. ඇඳන් තිබුණද පුහුණු කාර්යය මණ්ඩලය නොසිටීම නිසාය.

රෝගීන් ප්‍රවාහනය සඳහා මේ වනවිට සුවසැරිය ගිලන් රථ පැය 24ම නොකඩවා සේවා සැපයූවද රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව එය දැනටමත් ප්‍රමාණවත් වී නැත. රෝගීන් ප්‍රවාහනය සඳහා මතුව ඇති ප්‍රායෝගික ගැටලුව සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට සාකච්ඡාවට ගෙන තිබේ. කොවිඩ් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙන යාමට ප්‍රමාණවත් තරම් වාහන නොමැතිවීම දැඩි  ප්‍රායෝගික ගැටලුවක් බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීමත් සමගිනි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙම දැනුම්දීම සිදුකර ඇත. එම නිසා අවශ්‍ය වාහන සංඛ්‍යාව කඩිනමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන ලෙස අමාත්‍යවරියන් දෙදෙනා දන්වා තිබේ. පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය වාහන ලබාදෙන බවට මේ වනවිට පොරොන්දු ලැබී තිබේ.

මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ උපරිමය දක්වා සිදුකෙරෙමින් පවති. ඉකුත් සති කිහිපය තුළ දිනකට උපරිමව පී.සී.ආර්. 27000කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබේ. ඒ රජයේ රෝහල් ආශ්‍රිතවය. දැනට රැපියල් 8000කට පමණ මිල ගෙවා ලබා ගතයුතු පෞද්ගලික අංශයේ සේවාවන්ද ඒවායේ උපරිම කාර්යක්ෂමතාව යොදා වැඩ කරමින් සිටියි. නමුත් මේ සිදුවන වසංගත වර්ධනයට සාපේක්ෂව ඉදිරියේදී පී.සී.ආර්. ධාරිතාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝම පෙන්වා දෙති.
මේ වනවිට රෝහල්වල රෝගී නඩත්තු ධාරිතාව ඉක්මවා ගොස් හමාරය. ඉකුත් බදාදා (5)  වනවිට රෝගී තත්ත්වය තහවුරු කළ රෝහල් ගත රෝගීන් ගණන 14795ක් වූ අතර එදා ඇඳන් ධාරිතාව උපරිමයෙන් ඉක්මවා ගොස් තිබුණි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියනා අන්දමට කොවිඩ් රෝගීන් සඳහා දළ වශයෙන් ඇඳන් 13,800ක් රෝහල් තුළ  වෙන්කර තිබේ. දිවයින පුරා මධ්‍යස්ථාන 76ක රෝගීන් ඇතුළත් කර ප්‍රතිකාර කරති. දැන් මේ සියල්ල පිරී ගොසිනි. මේ නිසා ඉදිරි සති 2ක කාලය තුළ තවත් ඇඳන් 10,000ක් පමණ අලුතෙන් ලබාදීමට කටයුතු කරන බව ඇය කියා ඇත. අතිරේක මධ්‍යස්ථාන සැකසීමටද ලහි ලහියේ කටයුතු කරනු පෙනේ.

ලංකාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙළද මේ වනවිට අඩුලුහුඩුකම් මැද ක්‍රියාත්මකය. මේ වනවිටද කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇත්තේ 9,25,242කට පමණි. එයින් දෙවැනි මාත්‍රාව ලැබූ සංඛ්‍යාව 1,39,286ක් ලෙස වාර්තාවේ. සයිනොපාම් එන්නත ලක්ෂ 6ක් ලැබී ඇති අතර එය මේ වනවිට චීන ජාතික 2865කට පළමු මාත්‍රාවත් 2435කට දෙවැනි මාත්‍රාවත් ලබාදී ඇත. දැන් ස්පුට්නික් එන්නත ලබාදීම අරඹා ඇති නමුදු සැලකිය යුතු මට්ටමකට තවමත් එන්නත් ලබාදීමට හැකිව නැත.

එහෙත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියන්නේ මෙම වසර අවසන් වීමට ප්‍රථම මෙරට ජනගහනයෙන් සියයට 63 කට වැඩි පිරිසකට පූර්ණ එන්නත්කරණ කටයුතු සිදු කිරීමට හැකියාව පවතින බවය.

දැනටමත් රෝහල් තුළ උද්ගත වෙමින් ඇති ප්‍රධානතම ප්‍රායෝගික ගැටලුවක් වන්නේ ඔක්සිජන්ය. අසාධ්‍ය රෝගීන් සඳහා අවශ්‍ය තරම් ඔක්සිජන් සපයා ගැනීමේ ප්‍රායෝගික ගැටලු රුසක් මතුව තිබේ. දැනට ඔක්සිජන් සපයන සමාගම් කියන්නේ මේ වනවිට ඔක්සිජන් ඉල්ලුම සියයට 6ක වැඩිවීමක් පෙන්වන බවය. නමුත් ඒ ප්‍රමාණය මෙන් තුන්ගුණයක නිෂ්පාදනයක් තමන්ට ලබාදිය හැකි බවය. නමුත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ කියන ඔක්සිජන් ලංකාව පුරා රෝහල්වල විසිරී ඇති රෝගීන්ගේ ඇඳ ළඟටම ලැබෙන කාර්යක්ෂම ක්‍රමවේදයක් තවමත් සැකසී නැති බවය.

දැනට අපේ රටේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ටොන් 25ක් යැයි කියන සෞඛ්‍ය ඇමැතිනිය ඔක්සිජන් ධාරිතාව ටොන් 80කට වැඩි කිරීමේ හැකියාව අප සතු බවද කියයි. මෙරට රෝහල් පද්ධතිය තුළ ඔක්සිජන් සිලින්ඩර 24,000ක් සංසරණය වෙයි. තවත් ජම්බෝ සිලින්ඩර 4,000ක්ද භාවිතයේ පවතී. අලුතෙන් සිලින්ඩර 7,000ක් ඇණවුම් කර ඇති අතර මේ සතිඅග වනවිට ඉන් සිලින්ඩර 400 ලැබීමට නියමිතය.

එසේ වුවද දැන් දිනකට දහස දෙදහස පන්නමින් වාර්තාවන රෝගී සුනාමිය සමඟ සසඳන විට දුර ඈත පළාත්වල තියා කොළඹ නගරබද රෝහල්වලටද අවශ්‍ය ඔක්සිජන් ඉල්ලුම කඩිනමින් සැපයීමේ පවා දුෂ්කරතා මතුව ඇති බව විශේෂඥයන් පෙන්වා දී තිබේ.

එසේම තවත් නොසිතූ විරෑ බලපෑමක් කොවිඩ් අතරේ සැඟවී පැතිර ගොස් තිබේ. ඒ ආර්ථිකමය සහ ජනතාවගේ පෝෂණය අතින් වූ බලපෑමකි. විශේෂඥයන් මෙය හඳුන්වන්නේ පෝෂණ දරිද්‍රතාවක් ලෙසටය. වසංගතය සමඟ  ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ ආර්ථික පසුබෑම හේතුවෙන් පුද්ගලයන්ගේ ජීවනෝපායන් අහිමි වීමෙන්, විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා ඇති ප‍්‍රවේශය සීමාසහිත වූ බව මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි. ආහාර සහ පෝෂණ ද්‍රව්‍ය සමස්තය අතර සමානව බෙදී යන සහ පහසු මිලට ගතහැකි නිසි ප්‍රායෝගික ක්‍රමවේදයක් නොයෙදුවහොත් ඉතා ඉක්මනින්ම මෙම ආර්ථික හා පෝෂණ දරිද්‍රතාවයේ ගොදුරැ බවට පත්වීම නිසා මහත් ව්‍යයසනයකට මුහුණදීමට සිදුවනු ඇත.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00