2021 මැයි 08 වන සෙනසුරාදා

ආණ්ඩුවේ පොකට් එක හිස් වෙයිද?

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

ශ‍්‍රී ලංකාව අවදානම් කලාපයකට ඇතුළු වෙමින් සිටී. සාමාන්‍යයෙන් අපේක්ෂා නොකරන තරමට දරුණු ප‍්‍රතිවිපාක ඇති කරනු ඇත. රජයේ ආදායම අඩුවෙමින් තිබේ. වියදම ඉහළ යන බව උපකල්පනය කිරීමට සිදුවෙයි. ආර්ථිකය කළඹා යස ඉසුරු ඇති කරන පියවරකට අලුත් ආණ්ඩුව ගමන් කනු ඇතැයි ජනතාව අපේක්ෂා කළේය. ආර්ථික සහ සමාජ පරිවර්තනය තුළ වේගයක් අඩාල වී ඇති බව වාර්තා දක්වයි.

පාස්කු ඉරිදාවක සිදුවූ අන්තවාදී ප‍්‍රහාර මාලාවකින් අඩපණ වී තිබුණ ආර්ථිකය කොවිඩ් වෛරසය තලා පෙලා දමා තිබේ. සමාජයේ පහළ පංතිය අතෘප්තිමත්ය. අතට ලැබෙන ආදායම අඩුවී ඇති අතර ජීවන වියදම වැඩිවන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. මේවා එක සිද්ධියක ප‍්‍රතිඵල නොවේ. ඉතාම සංකීර්ණ ක‍්‍රියාපටිපාටියක අවසාන විග‍්‍රහය බව දැක්විය යුතුය. වසංගත තත්ත්වය පාලනය කර ඉදිරි කාලය තුළ ආර්ථිකය මනා වර්ධනයක් සඳහා ගෙන යන පියවර දෙස ජනතාව බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිති. 

• ආදායම පහත වැටී ඇති රටක පැවැත්ම

ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි රජයේ ආදායම අනපේක්ෂිත පරිදි පහත වැටී තිබේ. 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ අය වැය හිඟය මෑත ඉතිහාසයේ නොතිබුණ දරුණු තැනකය.  රජයේ ආදායම රු. බිලියන 1,368 තෙක් සියයට 27.7 කින් පහත වැටී තිබේ. බදු ආදායම අඩුවීම දැවැන්ත එකකි. 2019 වසරේ සියයට 24.7 කින් බදු ආදායම අඩු වී තිබුණි. එයට හේතුව අලුත් ආණ්ඩුවේ බදු සංශෝධන බව දැක්වෙයි. 2020 වසරේ දී බදු ආදායම තවත් සියයට 22.1 කින් අඩු වී ඇත. එය කොවිඩ් තර්ජනයෙහි ප‍්‍රතිඵලයකි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පසුගිය 2020 අවුරුද්දේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් සියයට 11.1 ක් බවට පත්ව ඇත. එය කිසිසේත් පහසු රාමුවක් නොවේ. රටට ආදායම් ලැබෙන සියලු මාර්ග අවහිර වී තිබේ. වියදම පාලනය කරගත නොහැකි තරමටය. ආනයන අඩුකරන අතර අනවශ්‍ය වියදම කපා හරින තීරණ ගෙන ඇත.

රටට ආදායම ලැබෙන ක‍්‍රම ගණනාවකි. ප‍්‍රධාන අංශය රේගුවයි. මෙරට ගෙන්වන සියලු දේ වලින් බදු අය කෙරේ. මෝටර් රථ විශාල වශයෙන් ගෙන්වන දේ අතර සැලකිය යුතු අංශයකි. බදු අරමුණු කරගෙන ආනයනය කරන වාහනවලින් වටිනාකම අනුව සියයට 100-800 බදු අයකරන ප‍්‍රතිපත්තියක සිටියේය. විනිමය ප‍්‍රශ්න හෙයින් වාහන ආනයනයට සීමා පමුණුවා තිබේ. එය රටට බදු නොලැබෙන එක හේතුවකි. ආනයන අඩු කර පාරිභෝජනය සීමාකරවන රටක බදු පහත වැටීම අරුමයක් නොවේ. මෙවැනි පසුබිමක් තුළ වියදම් පරිපාලනය කරගැනීමට විශාල පරිශ‍්‍රමයක් දැරිය යුතුය. එය ගැඹුරින් සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. ඉතාම ඉක්මනින් අලුත් ආර්ථික රාමුවක් වෙත යොමු නොවුණහොත් සමාජ අතෘප්තිය ඇති විය හැකිය. කොවිඩ් අනතුර තිබිය දී ඉතාම ආරක්ෂිත ක‍්‍රියාමාර්ග සහිතව ආර්ථික කටයුතු සක්‍රියව තබා ගැනීම සුදුසුය.

• රටක් ගොඩනගන ධනය එන්නේ කොතැනින්ද

ආර්ථිකය හැදෙන්නේ ආයෝජනයෙන්ය. නිෂ්පාදනයක් සිදුවෙයි. වෙළඳාම වර්ධනය වෙයි. එය ආර්ථිකය සක‍්‍රීය කරන පිළිවෙළකි. නිෂ්පාදන හෝ සේවා අංශ වෙනුවෙන් කරන ආයෝජනයවලදී අලුත් රුකියා අවස්ථා බිහිවන අතර එය තවත් ප‍්‍රසාරණයකි. වෙළෙඳපොළ කටයුතුවලදී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අය කරන ගාස්තු හෝ බදුවලින් සැලකිය යුතු ආදායමක් ලැබේ. සංවර්ධන කටයුතු හා  සුබසාධනය වෙනුවෙන් මුදල් වැය කරන්නට හැකිවෙයි. මෙම චක‍්‍රය සරල බව පෙනෙන නමුත් ඉතාම සංකීර්ණ ජාලයකි. රජයේ බදු ආදායම අඩුවන විට එය වෙළඳපොළට බලපාන අතර ජනතාව මතපීඩනයක් ඇති කරයි. කොවිඩ් වසංගත තත්ත්වය ඉදිරියේ ජනතාවගේ වියදම් පාලනය වී තිබේ. විනෝදය හා අත්‍යවශ්‍ය නොවන ආහාර පානන වියදම පාලනය කරගෙන ඇත. ගමනාගමන හා සෞඛ්‍ය වියදම් පවා අඩු වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බලාපොරොත්තු සහගත වියදම සීමා වී තිබේ. අතට ලැබෙන අඩු ආදායමෙන් පවා සාමාන්‍ය ජීවන වටපිටාවක් සකස් කරගෙන ඇත. මෙම රාමුව ආර්ථික සංකෝචනයකි. 

ආර්ථිකය හකුලා පවතින ආදායම මත වියදම ගලපා ගැනීම ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙළ වී තිබේ. ජනතාව සීමිත මිල දී ගත හැකි පිරිසක් බවට හරවන පියවර ගෙන තිබේ. පසුගිය කාලයේදී වැටුප් වැඩිකිරීම වෙනුවට ආණ්ඩුව අය කරන බදු අත්හැරියේය. නමුත් දැන් වැඩ කරන ජනතාවගේ අතිකාල දීමනා හෝ වෙනත් ආදායම් මාර්ග සීමා වී ඇත. අතිරේක ආදායම ලැබෙන විට එය එන්නේ වෙළෙඳපොළටය. පාරිභෝජනය ඉහළ නගී. එම ඉල්ලුමට සමානව නිෂ්පාදනයක් සිදුවිය යුතු අතර මෙතෙක් ආර්ථිකය තිබුණ රාමුව තරමක් විශාල වෙයි. මෙකී විශාලත්වය ක්ෂණික පිබිදීමකට හේතු විය  යුතුය. දැන් පවතින ස්වභාවය අනුව වර්ධනය සීමා කරන පියවර ගෙන තිබේ. ධනය එන්නේ ආයෝජනයෙන්ය. රාජ්‍ය ආයෝජනය සීමා වී ඇත. පුද්ගලික අංශය පවා වික්ෂිප්ත වී සිටී. ව්‍යාපාර පුළුල් කරන පියවරකට අවතීර්ණ වී නැත. මෑත කාලය තුළ විශාල වශයෙන් ගොඩනැගිලි හා ඉදිකිරීම් අංශය ප‍්‍රසාරණය විය. නමුත් දැන් එය පහත වැටී තිබේ. විදේශ ආයෝජන පවා සීමසහිතය. වසංගත තත්ත්වය හමුවේ අනාරක්ෂිත භාවය ආයෝජන දුර්මුඛ කර තිබේ. රටක් හදන ධනය එන ආයෝජනය අඩුවන විට මතුවන ගැටලු ඉතාමත් සංකීර්ණය.

• මූලික වියදම් කළමනාකරණය

කොවිඩ් තර්ජනය හමුවේ ජනජීවිත ආරක්ෂා කරන පියවර වෙනුවෙන් දැවැන්ත ප‍්‍රයත්නයක් දරන්නට සිදුවී තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ සඳහා වියදම සුළු පටු නොවේ. රෝහල් හා කාර්ය මණ්ඩලය නඩත්තු වියදම් දෙගුණ තෙගුණ වී ඇත. විපක්ෂයට චෝදනා කළ හැකිය. වෘත්තීය සමිති අඩුපාඩු පෙන්වා දෙයි. එහෙත් කළ හැකි සීමාවක් තිබේ. ලෝකයේ සමහර රටවල තත්ත්වය සලකනවිට ශ‍්‍රී ලංකාවේ කළමනාකරණය හොඳ තත්ත්වයක තිබේ. මෙම අභියෝගාත්මක කාලසීමාවේදී සියළු අංශ එකතු විය යුතුය. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ගෙන ගිය යුද්ධය හා සමාන දැවැන්ත අරගලයක් කොවිඩ් වෛරසයට එරෙහිවද ක‍්‍රියාත්මකය. ආණ්ඩුව හෝ ආණ්ඩුවේ නිලධාරීන් පමණක් කළ යුතු වගකීමක් සේ කල්පනා කරන්නේ නම් එය ඉතා පටු අදහසකි. 
මහා භාණ්ඩාගාරය දක්වන අන්දමට රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප සඳහා දරන්නට සිදුවී ඇති වියදම දරුණුය. 2014 වසරේ දී රජයේ සේවකයන් හා විශ‍්‍රාමිකයන් වෙනුවෙන් වෙන් කරන ලද පිරිවැය රු. බිලියන 567 කි. එය එවකට රජයේ බදු ආදායමෙන් සියයට 53 ක් බව අනාවරණයවෙයි. 2018 වසරේ දී මෙම පිරිවැය රු. බිලියන 821 ක් වූ අතර රජයේ බදු ආදායමෙන් සියයට 47.9  ක කොටසක් බව දැක්වෙයි. දැන් එය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවා තිබේ. වැටුප් වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නට සිදුවන නමුත් බදු ආදායම අඩුය. නිෂ්පාදනය සීමා සහිත වී තිබේ. පසුගිය වසරේ දී ආර්ථිකය සියයට 3.6 කින් රින අගයක් ගෙන තිබේ. එය දැවැන්ත පරිහානියකි. ලෝකයේ සියළුම රටවල එම අභාග්‍යයට මුහුණ පා ඇත. මෙම වසරේ දී නැවතත් වර්ධනයක් අපේක්ෂා කළ නමුත් තෙවැනි රැල්ලක් පැන නැගී තිබේ. කෙළවර කොතැනක දැයි නොදන්නා, අවසානයක් නොපෙනෙන අරගලයක දී ආර්ථිකය පමණක් වාසිදායක තැනකට හැරෙන්නට අවකාශයක් නැත.  

• අවදානම දැනගෙන යා යුතු ඉලක්ක

2021 වසර ඉතා සුබවාදී වනු ඇතැයි කල්පනා කළ නමුත් ප‍්‍රතිඵලය මිශ‍්‍ර විය හැකිය. දැනටමත් වසරේ මාස පහක් ගත වී ඇත. අධ්‍යාපනය අඩාල වී තිබේ. ප‍්‍රවාහන අංශ දුර්වලය. නිෂ්පාදන සීමා වී තිබේ. රටට ආදායම් ලැබුණ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබේ. එක පැත්තකින් ආර්ථිකයේ දේශීය පැත්ත හසුරුවාගත යුතුය. අනෙක් පැත්තෙන් ලෝක ආර්ථිකයේ සිදුවන පෙරැළි ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. ගුවන් ගමන් සීමා වී තිබේ. සංචාරක හෝටලවලට තවත් වසර ගණනක් ප‍්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවනු නිසැකය. 

දැනට ප‍්‍රකාශයට පත් ව ඇති 2021 පළමු වසර හතරේ ආදායම හා වියදම අනුව සලකන විට ආණ්ඩුව කළ යුතු සටන බරලතලය. මෙම පරතරය තුළ අලුතින් ණය වශයෙන් ගත යුතු මුදල රු. බිලියන ගණනින් වැඩිවන්නට ඉඩ ඇති බව සඳහන්ය. එය පහසු ඉලක්කයක් නොවේ. දේශීය වශයෙන් ණය ගන්නා අවස්ථාවේදී එය උද්ධමනයට බලපෑමකි. කලින් ගත් විදේශ ණය වාරික නිසි පරිදි ගෙවීම පවා ගැටළු සහගත තැනකය. අලුතින් ණය ගෙන වාරික ගෙවන්නට සිදුවී තිබේ. එය විනිමය අනුපාතිකයට එල්ලවන පීඩනයකි. මෑතක් දක්වා ආර්ථිකය යනු හුදෙක් නිෂ්පාදනය, වෙළෙඳපොළහා පරිභෝජනය පමණකි. එහෙත් සෞඛ්‍ය සාධක වේගයෙන් ආක‍්‍රමණය කර තිබේ. වෙළඳ පොළට සිදුවන බලපෑම හා ජනී ජනයාට එල්ලවන පීඩනය සමස්ථ ආර්ථික තත්ත්වය දරුණු කැළඹිල්ලක බව අන්තර් ජාතික වාර්තා දක්වයි. මේවා අවදානමක ලක්ෂණ බව පෙනේ. ආර්ථිකය පවත්වාගෙන යා යුතු ඉලක්ක සකස් කළයුතු අතර ප‍්‍රතිපත්ති සම්පාදකයෝ එම ඉලක්ක නොගිලිහී ආරක්ෂා කරගැනීම ගැන වඩාත් සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය. 

• ඇතුළතින් හා පිටතින් එන පීඩනය

ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන්ට අනුව 2021 වසර තුළ යම් මැදහත් වර්ධනයක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ. එහෙත් එය සාපේක්ෂය. ලෝකයේ රටවල් අතර ගනුදෙනු අඩාල වී ඇත. අසල්වැසි ඉන්දියාව බරපතල තැනෙක පවතින විට එහි උණුසුම ශ‍්‍රී ලංකාවටද දැනෙන්ට ඉඩ ඇත. බොරතෙල් හා ගෑස් මිල ගණන් වැඩිවෙමින් තිබේ. වරාය මෙහෙයුම් වියදම් දෙගුණ තෙගුණ වී ඇත. කොවිඩ් වසංගත තත්ත්වයට කලින් වෙළඳාමේදී කරන පිරිවැය පාලනයක් අපේක්ෂා කළේය. කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මුලික ඉලක්ක අතර තිබුණි. දැන් එම රාමුව වෙනස් වී ඇත. එහි වාසි අවාසි කොපමණ තියුණු දැයි සාකච්ඡා කිරීම ද වැදගත්ය. 

රට තුළ ණය ගෙවාගත නොහැකි ව්‍යවසායකයන් පිරිසක් සිටිති. පොලී අනුපාත අඩුවීමෙන් ඉතිරිකිරීම් දුර්වල වී ඇත. එය ආයෝජනයට හා රජයේ ණය ගැනීමේ ක‍්‍රියාවලියට බාධාවකි. රජයේ ආයතනවල අලාභය තවත් ඉහළගොස් තිබේ. ශ‍්‍රී ලන්කන් වැනි රජයට අයත් සමාගම්වල වියදම දරන්නේ කෙසේද? විදුලියබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව හා ජල සම්පත් මණ්ඩලය නොපිරිහෙලා සේවා සපයමින් සිටින අතර මහජනතාවගෙන් පමණක් නොව රජයේ ආයතන වලින්ද බිල් නොගෙවන තැනක බව නොරහසකි.  ආර්ථිකය අඩාල වනවිට එය එසේ සිදුවීම ස්වභාවිකය. ආණ්ඩුව ජනතා ප‍්‍රසාදය ආරක්ෂා කරගත යුතුව තිබේ. රට තුළ හා රටින් පිට නැගෙන ප‍්‍රශ්න ජනතාව තේරුම්ගන්නේ නැත. ආයෝජනය අඩු ආර්ථිකය දුබලවන පසුබිම තුළ වැඩිපුර සහන දෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට සමාජයෙන් උත්තර අපේක්ෂා කිරීම අනුචිතය. දැනට අඩාල වී ඇති රජයේ ආදායම ඉදිරි පියවර හමුවේ ඉතා තීරණාත්මකය.

 ගාමිණී සරත් ගොඩකන්ද