2021 මැයි 08 වන සෙනසුරාදා

පරිසරය වනසන ප්ලාස්ටික්

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

අප රටේ පරිසරයට විශාල හිසරදයක් බවට පත්ව තිබෙන යෝගට් කප්, අයිස්ක්‍රීම් කප් ඇතුළු තවත් ප්ලාස්ටික් වර්ග කිහිපයක නිෂ්පාදන කටයුතු තහනම් කිරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයක් ඉදිරියේදී නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්ලාස්ටික්වලින් නිපදවන හැඳි, ගෑරුප්පු, යෝගට්, අයිස්ක්‍රීම් ආදී නිෂ්පාදන ද තහනම් කිරීමට නියමිතය.

ෂොපිං බෑග් සම්බන්ධ නියාමන කටයුතු විධිමත් කිරීමටද මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරියේදී පියවර ගැනීමට යයි. වර්ෂ 2017 දීද පරිසර දූෂණයට බලපාන පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළේය. ඒ අනුව මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන, පොලිතීන් ආහාර දවටන, වැඩි ඝනත්ව පොලිඑතිලීන් (HDPE) වලින් නිපදවන ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග් නිෂ්පාදනය ද ප්‍රසාරික පොලියස්ටරින් කෑමපෙට්ටි නිෂ්පාදනද තහනම් කෙරිණි. ඒවා වෙළෙඳාම සහ භාවිතයද ඒ අනුව තහනම්ය.

පසුගියදා තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදනය කරන මීගොඩ පිහිටි කර්මාන්තශාලාවක් වටලා එහි නිෂ්පාදන අත්අඩංගුවට ගෙන කර්මාන්ත හිමිකරුද අධිකරණයට ඉදිරිපත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබුණි.
ඉකුත් මාර්තු 31දා සිට සැෂේ ඇසුරුම්, කෘමිනාශක සඳහා යොදාගන්නා පෙට් බෝතල්, සුළං පුරවන ලද සෙල්ලම් බඩු නිෂ්පාදනය තහනම් කෙරිණි. දැනටත් වෙළෙඳපොළේ තිබෙන සැෂේ ඇසුරුම් ආදිය අලෙවියට තහනමක් නැත. සැෂේ පැකට් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ දිනවල දැඩි පරීක්ෂාවට ලක්කෙරෙන බව පැවසේ.

කැලණිය විශ්වවිද්‍යාලය සමඟ මධ්‍යම පරිසර අධිකාරිය කළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ මාසයකට සැෂේ පැකට් බිලියන 1ක් පරිසරයට ඉවත් කරන බවයි. එක් වරක් පමණක් භාවිත කර ඉවත් කරන ප්ලාස්ටික් තහනම් කිරීමේ යෝජනාව වර්ෂ කිහිපයකට පෙර පටන් කතාබහට ලක්වෙමින් පැවතුණි. වෙනත් දියුණු රටවල නම් පෙට් බෝතල්, යෝගට් හා අයිස්ක්‍රීම් කප් සඳහා නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම නම් සංකල්පය ක්‍රියාත්මක කෙරේ. එහිදී ඉවත දමන බෝතල් නිෂ්පාදකයා ලබාගෙන ප්‍රතිචක්‍රීයකරණය කෙරේ. දශක දෙකකට පමණ පෙරදී අප රටේ බීම බෝතල් නිෂ්පාදනය කළේ වීදුරුවලිනි. ඒවා ආපසු නිෂ්පාදකයන්ම ලබාගෙන නැවත පිරවීම සිදුවිය. යෝගට් කප් නිපදවූයේ ඉටි මිශ්‍රිත කඩදාසිවලිනි. මුදවපු කිරි බඳුන් ආවේ මැටි හට්ටිවලය. 

යෝගට් කෝප්ප පමණක් දවසට ලක්ෂ 15ක්

සමහර පර් ෙය්ෂකයන් පවසන අන්දමට ශ්‍රී ලංකාව ප්ලාස්ටික් කසළ කළමනාකරණය නිසි ලෙස සිදු නොකරන රටවල් අතරින් 5 වැනි තැන ලබා සිටී. අනෙක් රටවල් හතර වන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමයයි.
ජාතික විගණන කාර්යාලය 2020 ජනවාරිවල නිකුත් කළ වාර්තාවකට අනුව වාර්ෂිකව අප රටේ ප්ලාස්ටික් සහ පොලිතීන් මෙට්‍රික් ටොන් 210,000ක් පරිසරයට මුදාහැරීම සිදුවේ. වර්ෂ 2012 සිට 2018 දක්වා අප රට විවිධ නිෂ්පාදනවලට ආනයනය කර ඇති ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353.9කි. එහි වටිනාකම රුපියල් බිලියන 184.3කි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය කළ වෙළෙඳ නාම සමීක්ෂණයකින් හෙළිවූයේ බොහෝ පාරිභෝගිකයන් ප්ලාස්ටික් ඇසුරුම් භාවිතයෙන් ඉවත්වීමට කටයුතු නොකරන බවයි. ඒ අතරම පිළිස්සීමට තහනම් වුවද බොහෝ දෙනෙක් ප්ලාස්ටික් පිළිස්සීමට හුරුව සිටිති.

ලංකාව පුරා ප්‍රධාන කසළ කඳු 350ක් තිබෙනවා. ලංකාවේ මාසිකව යෝගට් කෝප්ප මිලියන 45ක් පරිසරයට එකතු වෙනවා. මේවා ප්‍රතිචක්‍රීයකරණයට ආයතන කිහිපයක් සිටියත් ඒ වෙත යෝගට් කෝප්ප බාරදීමට වැඩි දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසුවේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්ලාස්ටික් සමීක්ෂණයේදී රට පුරා ස්ථාන 12කදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ඒවායේ වෙළෙඳ නාම සලකා බැලිණි. එසේ එකතු කළ දෑ අතරින් අයිස්ක්‍රීම් හා යෝගට් කප් විශාල ප්‍රමාණයක්ද හමුවිය.
අද ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර යෝගට් කෝප්ප හිසරදයක් බවට පත්ව ඇත. මාසයකට රටේ ගොඩගැසෙන යෝගට් කෝප්ප ප්‍රමාණය මිලියන 45කි. එය දිනකට ලක්ෂ 15කි. මෙතරම් විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු වුවද ඉන් ප්‍රතිචක්‍රීයකරණයට යොමුකෙරෙන්නේ 1කටත් වඩා අඩු ප්‍රමාණයකි. මදුරුවන් බෝවීමටද යෝගට් කෝප්ප කෙම්බිමකි. මදුරුවන් 60ක් බෝවන්නේ හිස් යෝගට් කෝප්ප හා පොලිතීන් නිසාය. වරක් භාවිත කර ඉවත දමන ඇසුරුම් යෝගට් කොප්පවලට පමණක් නොව මීකිරි, අයිස්ක්‍රීම්, අච්චාරු, ජෑම් මෙන්ම කෙටි ආහාර වර්ග දැමීමටත් යොදාගැනේ. කෝපි වැනි පාන වර්ගද නාගරිකව ප්ලාස්ටික් කෝප්පවල අලෙවි කෙරේ.

 කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00