2021 මැයි 08 වන සෙනසුරාදා

එක එක පැත්තට ඇදෙන රසායනික පොහොර තහනම

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

රසායනික පොහොර ආනයන නතර කිරීම සම්බන්ධව ජනපති තීරණය වටා සුවිසල් සමාජ කතිකාවතක් නිර්මාණය කර තිබේ. පක්ෂ විපක්ෂ මතවාද ද පැහැදිලි කිරීම්ද විවේචනද අපමණය. එම නිසාම සියලු තැන්හි කතාබහට ලක්වෙන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීම පිළිබඳ මතවාද එක තැනකට ලඝුකොට පාඨක ඔබේ විමසීමට අපි ඉදිරිපත් කරමු.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ වස විසෙන් තොර ආහාර රටාවකට ජනතාව රැගෙන යෑම ප්‍රමුඛ පොරොන්දුවක් විය. වසර 10ක් තුළ එය සිදුකරන බවට එහි සඳහන් කර තිබුණි. බලයට පත්වූ මුල් කාලයේම මෙම තීරණය ගැනීමට ජනපති සැරසුණත් විවිධ කරැණු කාරණා හේතුවෙන් එය මගහැරී ගියේය. මේ අතර විවිධ මත ගැටුම් අතරේ ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවිය. ඒ අනුව පසුගියදා ජනාධිපතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කළේය. එසේම රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත්කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් 29දා ප්‍රකාශ කළේය.

අනතුරුව විවිධ පාර්ශ්ව මෙම තීරණයේ ප්‍රායෝගික බව ප්‍රශ්න කර සිටින්නට වූහ. ඉදිරි වසරේ ගොවිතැන් පිළිබඳ ගොවීන් තුළද යම් චකිතයක් නිර්මාණය වී තිබුණි. පොහොර නැව් හරවා යැවීම මෙම තීරණය හරහා ආණ්ඩුවේ ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීමට යාම ආදී දෑ සම්බන්ධව ප්‍රබල චෝදනා එල්ල විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියට පැමිණියේ එවිටය. ඔහු මේ සම්බන්ධව අදහස් දැක්වූයේය.

“අපි මේ යල කන්නයට අවශ්‍ය පොහොර ටික දැන් ගෙන්නලා ඉවරයි. අපිට මේකට මුහුණදෙන්න වෙන්නෙ ඊළඟ මහ කන්නයේ. ඊළඟ මහ කන්නයේ ඉඳලා තමයි අපි ගොවියාට පොහොර දෙන්නෙ කොහොමද කියලා තීරණය කරන්නෙ. අපි රසායනික පොහොර ආනයනය කරන්නෙත් නෑ, ගොවියාට පොහොර හිඟයක් ඇතිවෙන්න දෙන්නෙත් නෑ, කියන සහතිකය අපි මේ රටේ ගොවි ජනතාවට ලබාදෙනවා. ඔබ මේ පරිවර්තනයට යෑමේදී ඔබට යම් අසාධාරණයක් සිදුවුණොත් රජය හැටියට ඒ සඳහා ඔබට වෙන පාඩුවට වන්දිය ගෙවන්න අපි සූදානම්. ඔබ මතක තියාගන්න කාබනික පොහොරවලින් පමණක් කෘෂිකර්මාන්තයේ යෙදෙන ලෝකයේ එකම දූපත බවට ශ්‍රී ලංකාව පත්වෙනවා. අපි රසායනික පොහොරවලට දීපු සහනාධාරය දෙනවා කාබනික පොහොර එකට. දැනට ආනයනය කරලා තියෙන කිසිවක් නවත්තන්න තහනම් කරන්න බෑ අපට. ආනයනය නවත්තලා තියෙන්නෙ. එනිසා මින් ඉදිරියට ආනයනය කරන්න බෑ. රටේ ගෙන්නපු නිෂ්පාදන ටික තියෙනවා.”

එහෙත් විපක්ෂ පාර්ශ්වයෙන් කියා සිටියේ මෙම ක්ෂණික තීරණය හේතුවෙන් රට විශාල අර්බුදයකට ගමන් කළ හැකි බවයි. විශේෂන්ම ඔවුහු තේ රබර් ඇතුළු අපනයන බෝග වගාවන්ට රසායනික පොහොර නොමැති වුවහොත් ඇතිවන අවදානම පැහැදිලි කළහ. නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීමට ඉඩ ඇති බව ඔවුන් පවසන්නට විය. මේ සම්බන්ධව සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිදුකළේ මෙවන් පැහැදිලි කිරීමකි.

මේ ලෝකයේ ජනගහනය වැඩිවෙද්දී, අපි දන්නවා 1960 ගණන්වල තිබ්බා හරිත විප්ලවය. එයින් මොනවද ලෝකෙ තීන්දු කළේ. ආහාර නිෂ්පාදනය වැඩි කරන්න රසායනික පොහොර සහ කෘෂිරසායන භාවිතය වැඩිකරන්න. අනතුරුව ආහාර නිෂ්පාදනය කිහිප ගුණයකින් වැඩිවුණා. ලෝකයේ දැන් තියෙන්නෙ අභිජනනය කරපු බීජ. ඒවට සුදුසු වෙන්නේ රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යය. අස්වැන්න ගන්න පුළුවන් වෙන්නේ එහෙම. ඒත් අපි දන්නවා ලෝකයේ අද වෙනකොට උත්සාහ කරනවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කරන්න.

ලෝකයේ සල්ලි තියෙන රටවල්, තාක්ෂණය තියෙන රටවල් කොපමණ උත්සාහයක් ගත්තත් මුළු ලෝකෙම අද වෙනකොට කාබනික පොහොර යොදලා ගොවිතැන් කරන්නේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 1.5 ක විතරයි. ඒ සියයට 1.5 නුත් සියයට 60ක් වවන්නේ තණකොළ. ඒවා තෘණබිම්. ඉන්දියාවේ සීයට 2.9 යි කාබනික පොහොර භාවිතය. සියයට දහයකට වඩා කාබනික පොහොර භාවිතා කරන රටවල් ලෝකෙ තියෙන්නේ දාසයයි. අපේ වී වගාවට වාර්ෂිකව පොහොර ටොන් තුන්ලක්ෂ අසූපන්දාහක් ගේනවා. අනෙක් ඒවාට හත්ලක්ෂයක් ගේනවා. ලබන වසර වෙනුවෙන් ඇස්තමේන්තු කරල තියෙනවා ටොන් දොළොස් ලක්ෂයක්. කාබනික පොහොර භාවිත කරනවා නම් කෘෂි විද්‍යාඥයෝ රජයට වාර්තාව දීලා තියනවා, මේ වගේ විසි ගුණයක් අවශ්‍යයි කියලා. ආණ්ඩුවට මේවා නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් තියෙනවද? නෑ. ඔවුන් කරන්න යන්නේ ලෝකෙ කවුරුත් නොකරන දේවල්.

කාබනික වගාව වෙනුවෙන් පෙනී සිටින පාර්ශව රැසක් මෙරට තුළ ක්‍රියාකාරීව සිටියි. ජනාධිපතිවරයාගේ තීන්දුව ඔවුන්ගේ සතුටට හේතුවිය. ඒ සමඟ මේ හා සම්බන්ධව විෂය දැනුම ඇති බුද්ධිමතුන්ද කරළියට පැමිණියහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාක පෝෂණය හා පාංශු විද්‍යාව පිළිබද මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා මෙම තීරණය සම්බන්ධව මතුකර තිබුණේ මෙවන් අදහසකි.

කාබනික පොහොර යොදලා කරන නිෂ්පාදනවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවා සෞඛ්‍යය ආරක්ෂිතයි කියලා හිතන නිසා ඒවට වැඩි මිලක් ගෙවනවා. ඒ මිල හින්දා සමහර වෙලාවට ගොවි මහතුන්ට වන හානිය අවම කරගන්න පුළුවන්. නුවරඑළියේ තියෙනවා කාබනික ද්‍රව්‍ය විතරක් යොදලා කරන ගොවිපොළවල්. ඒවායේ කැරට් කිලෝ එකක් රුපියල් හයසීයක් හත්සීයක් විතර වෙනවා. එහෙම වෙන්නෙ මෙහෙ අපි සාමාන්‍යයෙන් කැරට් කිලෝ එකක් රුපියල් දෙසීයකට වගේ ගන්න කාලයක් එනකොට. කාබනික ද්‍රව්‍ය විතරක් යොදලා කරන ගොවිතැනෙන් නිෂ්පාදනයට ලැබෙන මිල වැඩියි. ඒ නිසා තේ වගාව කරන පුද්ගලයන්ගේ ආදායමේ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්.

නමුත් ඔය ආහාර ලංකාවේ සාමාන්‍ය ජනතාවට මිල දී ගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ ක්‍රමවේදය හදන්න ඕනා. කාබනික ගොවිතැන කරන ගොවි මහතුන්ගේ සාර්ථකත්වය ගැන වගේම අනෙක් ගොවි මහතුන් ගැනත් අධ්‍යයනය කරලා අපි මොකක්ද හොඳම සංයෝජනය කියලා අපි හොයලා බලන්න ඕනෑ. ඒ ගැන අපි හොයල බලල තියෙනවද මේ වෙනකොට? මම හිතන විදියට මේ තීරණය ගන්න මොහොත වෙනකොට අපි විද්‍යාත්මක දැක්මකින් ඒ පිළිබඳව හොයල බලලා නෑ. පර්යේෂණ කරලා නෑ. දැනට තිබෙන එක එක දත්තවලට පමණක් සීමාවෙලා තීරණ ගත්ත බවක් මට නම් පේන්නේ.

ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධව ඇති විද්වත් මතද විවිධ පරාසයන් ඔස්සේ දිව යයි. පසුගියදා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතාද මේ සම්බන්ධව පැහැදිලි කළේය. මෙම තීරණයේ ඇති වැදගත් බව ඔහු ප්‍රකාශ කළ අතර වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වයද පැහැදිලි කළේය.

පාසල්වල ඉඳලා කෘෂි විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල තනිකර මේවා උගන්වන්නේ, පරීක්ෂණ කරන්නේ රසායනික කෘෂිකර්මාන්ත සම්බන්ධව. ලංකාවේ පර්යේෂණ ව්‍යාපෘතිවලට රජය විශාල දායකත්වයක් දක්වනවා. අපි ගණන් හදලා බැලුවම දැනගන්න ලැබුණා සාමාන්‍යයෙන් සියයට එකක් විතර කාබනික පරීක්ෂණ සඳහා දීලා තියෙන්නෙ කියලා. ඒ නිසා ඒකෙන් තේරෙන්නේ කාබනික වගාව පිළිබඳ පරීක්ෂණ සිද්ධ වෙන්නෙත් නෑ, ඒවායේ ප්‍රතිඵල එළියට එන්නෙත් නෑ, යාවත්කාලීන වෙන්නෙත් නෑ. ඒ නිසා කාබනික කෘෂිකර්මාන්තය වැඩකට නැති එකක් විදිහට පැත්තකට දාලා රසායනික කෘෂිකර්මාන්තය තමයි කර කර ඉඳල තියෙන්නෙ. ඒ නිසා මේ අලුත් තත්ත්වයේදී විද්‍යාඥයන්ට පවා බයක් දැනෙනවා. ගොවීන් දේශපාලනඥයන් විතරක් නෙවෙයි විද්‍යාඥයන් දැන් බයවෙලා ඉන්නවා මේක කොහොමද කරන්නේ කියලා.

කාබනික කෘෂි කර්මාන්තයට, පාරිසරික කෘෂි කර්මාන්තයට තමයි දැන් දැන් ලෝකය විසිඑක්වන සියවසේ කෘෂිකර්මාන්තය කියලා කියන්නේ. ඇමෙරිකාව තමයි රසායනික කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ලෝකෙට ඉදිරිපත් කළේ. Norman Borlaug කියන විද්‍යාඥයා ඔහුට නොබෙල් තෑග්ගකුත් හම්බ වුණා. ඒ විද්‍යාඥයාගේ පරීක්ෂණවලට සම්පූර්ණයෙන්ම දායකත්වය ලබාදුන්නේ ෆෝට් කර්මාන්තශාලාව සහ රොකෆෙල් කියන තෙල් කර්මාන්ත ශාලාව. ඒකෙන්ම අපිට ටික හිතාගන්න පුළුවන් මේකේ අරමුණ පිළිබඳව.

විද්වත් සහ දේශපාලන මත රුසක් ඔස්සේ ගමන්කරන මෙම සංවාදය දැන් ගොවි ජනතාව ඉදිරිපිටට පැමිණ තිබේ. ජනපති මෙම තීරණය කිසිවිටෙක ආපස්සට නොගන්නා බවද කියා ඇත. ඒ අනුව සිදුවන්නට යන්නේ කුමක්දැයි අපට හරි හරියාකාරව අවබෝධ කර ගැනීම පහසු නැත. ජයගත හැකිනම් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇත. පරාජය වුවහොත් රට තවත් සුවිසල් ආර්ථික අර්බුදයකට ගමන් කරනු ඇත. මේ සියල්ල හරියාකාරව දැනගැනීමට කාලය මිසක වෙනත් කිසිදු විකල්පයක් මහජනතාව ලෙස ඔබ අප හමුවේ නොමැත.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00