2021 මැයි 08 වන සෙනසුරාදා

තුන්වැනි රැල්ල: වරද්දා ගත්තේ ආණ්ඩුවද? ජනතාවද?

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

යම් තැනක වරදක් වී ඇත්නම් ඒ වරද කළ නොකළ සියල්ලන්ම එකතු වී එය නිවැරදි කර ගැනීමට උත්සාහ කිරීම  අත්‍යන්තයෙන්ම සිදුවිය යුත්තකි. එහෙත් මිනිසුන් ලෙස අපගේ පුරුද්ද එය නොවේ. වරද කාගේද?  වරද කළ උන්ට දෙන දඬුවම කුමක්ද? ආදී දෑ පිළිබඳ අපි නිතර ප්‍රශ්න කරමු. මෙම සටහන ද එවන් ප්‍රශ්න කිරීමක් යැයි ඔබට හැඟෙනු ඇත. එහෙත් නොවලහා කිවයුතු යමක් තිබේ. මේ ප්‍රශ්න කිරීම වරද නිවැරදි කර ගැනීම පිණිසමය. යළිඳු වරදක් නොවීම පිණිසමය. මෙදා පොටේ කොවිඩ් මරුවා ඉදිරිපිට වැඩ වරද්දා ගත්තේ ආණ්ඩුවද? ජනතාවද? අපි ප්‍රශ්න කරමු.

කොවිඩ් වසංගතය මර්දනය කිරීමට පළමු දෙවැනි රැලිවලදී ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සැබැවින්ම ප්‍රශස්තය. එහෙත් ඉඳහිට ආණ්ඩුව එම රැලිවලදී ද වැඩ වරද්දාගත් අවස්ථා නැත්තේ නොවේ. කෙසේ නමුත් මෙරට ජනතාව ද පළමු දෙවැනි රැලිවලදී තරමක් බුද්ධිමත් වූහ. සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් බහුතරයක් දෙනා අනුගමනය කළහ. එහෙත් හුරුපුරුදු ලෙස ඇතැමුන් වැඩ වරද්දා ගත් තැන් ද තිබුණි. වර්තමානය පිළිබඳ කතා කරන්නට මත්තෙන් පසුගිය වසංගත සමයේ ආණ්ඩුව සහ ජනතාව වැඩ වරද්දා ගත් තැන් පිළිබඳව සිහිපත් කිරීම සුදුසුය.

2020 ජනවාරියේ දී සිදුවූ කොවිඩ් පළමු පහරදීමෙන්ම අපි කතාව පටන් ගනිමු. ජනවාරි 25  වැනිදා කොවිඩ් වැළඳුණු චීන කතක් IDH රෝහලට ඇතුළත් කරන විට මුළු රටම තැතිගත්තේය. මාර්තු 11 වැනිදා වන විට පළමු ශ්‍රී ලාංකික කොවිඩ් රෝගියා ද වාර්තා විය. මාර්තු අග පළමු මරණය ද වාර්තා විය. එසේ නමුත් කොවිඩ් පළමු අදියරේ දී කිසිවකු වැඩ වරද්දා ගත්තේ නැත. මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධව ඒ දිනවල යම් මතභේදයක් තිබුණු බව මතකය. ඒ සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මත ප්‍රකාශ කිරීමට ගොස් ඇතැම් බලධාරීහු නම් වැඩ වරද්දා ගත්හ. ඒත් එය ඒ හැටි දෙයක් නොවුණි.

කෙසේ වෙතත් පළමු අදියරේ දී ආණ්ඩුව වරද්දා ගනී ඇයි බොහෝ දෙනා සිතූ බව කිව යුතුය. විශේෂයෙන්ම ආණ්ඩුවේ මැතිවරණ කෙරුවාව නිසා වැඩ වරද්දා ගනී යැයි විපක්ෂය සිතුවේය. එහෙත් එය එසේ සිදු නොවුණි. ලොක්ඩවුන් රුපියල් පන්දහස, ගෙවතු වගා සංග්‍රාමය ආදිය හේතුවෙන් ආණ්ඩුවට ලකුණු වැටුණි. අවසානයේ දී තුනෙන් දෙකක බලයක් ද ආණ්ඩුවට ලැබුණි. වසංගතය ද යම් පමණකට මර්දනය විය. ආණ්ඩුවේ උදානයන් ද ඊට ප්‍රශස්ති ගයන්නෝද විරල නොවූහ. කෙසේ නමුත් දෙවැනි රැල්ලේ දී තත්ත්වය ඊට ඉඳුරා වෙනස් විය.

2020 ඔක්තෝබර් මාසය වනවිට දෙවැනි රැල්ල බ්‍රැන්ඩික්ස් පොකුර ලෙස මතුවිය. මුලදී එහි අගක් මුලක් පවා සොයා ගැනීමට නොහැකි විය. එහෙත් මේ වන වනවිට ආණ්ඩුව සිටියේ තමන් පිළිබඳ අධි තක්සේරුවකිනි. එය වරද්දා ගැනීමක් වූ අතර පෑලියගොඩින් කොරෝනා රට වටා යාමට ද හේතුව විය. රටේ බහුතර ජනයාගේ මතය වූයේ මේ දෙවැනි රැල්ල ආරම්භයේදීම ආණ්ඩුවට එය පාලනය කිරීමට හැකියාව තිබූ බවයි. බ්‍රැන්ඩික්ස් පොකුරෙන් දහස් ගණන් රෝගීන් මතු වන විට ගම්පහ දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කිරීම හෝ සංචරණ සීමා පැනවීම සිදු කළා නම් දෙවැනි රැල්ලේ හානිය අවම වන්නට තිබූ බව බොහෝ දෙනකුගේ විශ්වාසය විය.

දෙවැනි රැල්ලේදී ද ජනතාව සැලකිය යුතු තරම් පරිස්සම් වූ බව කිව යුතුය. එහෙත් දෙවැනි රැල්ලේ දී ජනතාව වරද්දාගත් තැන් කිහිපයක් තිබුණි. ඉන් පළමුවැන්න ධම්මික පැණියයි. ඇතැම් මාධ්‍යවල සාදර සමාදර අනුග්‍රාහක දායකත්වය යටතේ ධම්මික පැණිය නිසා ජනතාව වැඩ වරද්දා ගත්හ. වර්තමානයේ සිට බලන විට එය කොරෝනා කතාවේ එක්තරා හාස්‍යජනක ජවනිකාවක් හා සමානය. මීට සමගාමීව පැමිණියේ භූමදානය පිළිබඳ අර්බුදයයි. එයින් වැඩ වරද්දා ගත්තේ ආණ්ඩුවයි. ඒ සඳහා සමාදර අනුග්‍රාහක දායකත්වය දැක්වූයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ ජාතික සංවිධානයි. එය ද එකම නාටකයක් වූ අතර ජාත්‍යන්තර ප්‍රජාව ද එහි කොටස්කරුවෝ වූහ. 

මේ අතර කාලයේ කොවිඩ් සම්බන්ධව ජනතාව තුළ තිබූ බිය ක්‍රමයෙන් පහව යන බවක් පෙනෙන්නට තිබුණි. මුහුණු ආවරණ පැළදීම, දෑත් පිරිසුදු කිරීම ආදිය පොදු සමාජයෙන් ක්‍රමයෙන් දුරස් විය. එසේම ආරම්භයේ දී භාවිත කළ දේශීය ප්‍රතිසංස්කරණ ඖෂධ භාවිතය සහ හුමාලය ඇල්ලීම ආදිය ආරක්ෂිත උපක්‍රම බොහෝ දෙනාට අමතක වී ගියේය. බොහෝ දෙනකු හැසිරුණේ සියල්ල යථා තත්ත්වයට පත් වූ පරිද්දෙනි. පොදු මගී ප්‍රවාහන සේවය මගීන්ගෙන් පිරී ගියේය. සියලු කඩ සාප්පු, වෙළෙඳසල්, පොළවල්, ආර්ථික මධ්‍යස්ථාන සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය. එසේ නමුත් ඒවා තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ඉතා අවම විය.

තත්ත්වය එසේ වුවද දෙවැනි රැල්ලේ ආරම්භයේදී වැඩ වරද්දා ගත් ආණ්ඩුව 2021 වසර ආරම්භ වන විට නැවත සාර්ථක විය. වසරේ පළමු මාස තුන තුළ  ක්‍රමයෙන් එම රැල්ල පාලනය කිරීමට ද ආණ්ඩුව සමත් විය. රට පුරා කොවිඩ් රෝගීන් විටින් විට වාර්තා වුවද සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ වසංගතය සිය පාලනයට ගෙන තිබුණි. කොවිඩ් වසංගතය නිසාවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වී තිබුණ ද ජන ජීවිතය යම්තාක් දුරකට පවත්වාගෙන යාමට ආණ්ඩුව සමත් විය. ඒ නිසාම ඔවුහු උදම් වී සිටියහ. පාස්කු ප්‍රහාරය, දේශපාලන පළිගැනීම්, පක්ෂ අර්බුද ආදී වෙනත් මාතෘකා ප්‍රමුඛ වූ අතර ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය ඒවාට යොමුවිය.  විපක්ෂයට ද වූයේ වෙනම වැඩපිළිවෙළකි. ඔවුන් ජනතාවාදී නොවූ අතර ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ වුවමනාව පමණක් ඔවුන් සතු විය. ඒ අනුව ගෙවුණු සිංහල අලුත් අවුරැද්ද උදාවන විට කොවිඩ් පිළිබඳ කතිකාව ප්‍රධාන ධාරාව තුළ නොවුණි.

එම නිසාම මෙදා පොටේ වරද්දාගැනීමේ වගකීම සියලු පාර්ශ්ව විසින් සම ලෙස දරාගත යුතුය. බොහෝ විට සෞඛ්‍ය අංශ අදාළ අවදානම සිංහල අවුරුද්දට පෙර සිටම මාධ්‍ය ඔස්සේ අවධාරණය කරනු අපි දුටුවෙමු. නමුත් එය මෙරට ජනතාව මෙන්ම ආණ්ඩුවද නොතකන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ ද ඒවා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් බලධාරීන්ට නොතිබිණි. මේ අතර ජනතාවද අදාළ අනතුරු ඇඟවීම් නොතකා අවුරුදු සමරන්නට ගියහ.

ආණ්ඩුවේ නොසැලකිල්ලට හේතුව වූයේ රට හමුවේ මතුවුණු ආර්ථික අභියෝගයි. ලොක්ඩවුන් කිරීමකින් හෝ සංචරණ සීමා පැනවීමකින් ආර්ථික අර්බුදය උග්‍ර වේ යැයි ඔවුහු සිතූහ. එසේම ජනතාවගේ නොසැලකිල්ලට හේතු වූයේ කොවිඩ් නිසා ඇතිවූ මානසික පීඩනයයි. අවදානම නොතැකු ජනතාව මෙවර කල දුටු කල ඉහ ගත්තේ තමන්ගේ මරු වළයි.

අප සිංහල අලුත් අවුරුද්ද සමරන විටත් ඉන්දියාවේ තෙවැනි කොවිඩ් රැල්ල පැතිර යමින් තිබුණි. මාධ්‍ය ඔස්සේ රටම එය දුටුවේය. එය උදාහරණ කොට සෞඛ්‍ය බලධාරීන් කියූ කතාද අපමණ අසන්නට ලැබුණි. එහෙත් බුරුතු පිටින් ජනතාව නගරවල සාප්පු සවාරි යන විට බලධාරීන් ඊට මැදිහත් වූයේ නැත. එම නිසාම ජනතාව තත්ත්වය සාමාන්‍යකරණය කොට සලකන බව පෙනී ගියේය. නුවරඑළිය වසන්ත සැණකෙළියට දහස් ගණන් ජනතාව ඇදෙන විට බලධාරීහු එය නොතැකූහ. නිරෝධාන නීති අනුව  එය වළකාලන්නට ද ඔවුන්ට බලය තිබුණි. අවාසනාව නම් එදා එය නොතකා හැර අද ඔවුන් ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමයි. කතරගම, අනුරාධපුරය ආදී පුදබිම් දහස් ගණන් ජනයාගෙන් පිරී යන විට ද තත්ත්වය එයම විය.

රට පාලනය කරන පාලකයන්ට එරට ජනතාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. සාක්ෂරතාව උගත්කම කොතරම් තිබුණ ද ශ්‍රී ලංකාවේ ජනතාවට විනයක් නොමැත. අකැමැත්තෙන් වුවත් අප එය පිළිගත යුතුය. රට පුරාම කුණු කඳු ගොඩගැසෙන්නේ ද, දිනපතා රථවාහන වැරදි දහස් ගණනක් සිදුවන්නේ ද රටේ ජනතාවට විනයක් නැති නිසාය. මෙරට පාලකයෝ එය දනිති. වසංගතය හමුවේද මෙරට බොහෝ දෙනකු මුහුණු ආවරණ පළඳින්නේ කොරෝනාවලින් ආරක්ෂා වීමට නොවේ. පොලීසිවලින් ආරක්ෂා වන්නටය. මෙරට බහුතරයක් දෙනා බඩ ගැන සිතනවා විනා රට ගැන හිතන්නේ නැතුවා සේම කන්ද කෙන්ද කර හෝ තමන්ගේ වැඩේ කරගැනීමට සිතති. කොරෝනා නොතකා ආතල් ගැනීමට ඔවුන් රට වටා කරක්ගැසුවේ එබැවිනි. පසුගිය අවුරුද්දේ වාඩුවද අල්ලා ඔවුන් අවුරුදු කෑමට ගියේ එබැවිනි. එනිසා තුන්වැනි රැල්ලේ වගකීම අද මෙරට පොදු මහජනතාවගේ උර මතද වැටෙයි.

අවසානයේ කිව යුත්තේ මේ වසංගතයෙන් මිදීමට නම් ආණ්ඩුව සිය අධිතක්සේරුව සහ මාන්නය ද, ජනතාව තම මෝඩකම සහ ආත්මාර්ථකාමීත්වය ද අත්හල යුතු බවයි. උදාවෙමින් ඇත්තේ වසන්තය නොවේ. මරණයේ සෙවණැලි හැමතැනම සක්මන් කරන බියකරු ශීත ඍතුවයි. මිනිසුන්ට හැදෙන්නට හෝ මිනිසුන්ව හදන්නට තවත් කල් නොමැත. පාලකයන්ද ජනතාවද එය තේරුම් ගත යුතුමය. එසේ නොවන්නේ නම් මේ මාතෘ භූමිය විශාලා මහනුවරක් නොවනු ඇතැයි කාට කිව හැකිද? අපි නොදනිමු. 

 චමිඳු නිසල් ද සිල්වා