2021 මැයි 08 වන සෙනසුරාදා

අංක එකට උසස් පෙළින් ජයගත්තෝ

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය මැයි මස 4 වැනිදා නිකුත් කෙරුණි. සෑම වසරකම උසස් පෙළ විභාගය අගෝස්තු මස පැවැත්වුවද කොවිඩ් 19 වසංගතය හමුවේ 2020 වසරට නියමිතව තිබූ අ.පො.ස. උසස්පෙළ විභාගය පවත්වන ලද්දේ ඔක්තෝබර් මාසයේදීය.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ එක්දහස් හත්සිය හැත්තෑ එකකි. (3,01,771)කි. ප්‍රතිඵලවලට අනුව එයින් අයැදුම්කරුවන් එක්ලක්ෂ අනූ හතර දහස් දෙසීය අනූ හතක් (1,94,297) විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලබා සිටිති. නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි පිරිසෙන් එක් ලක්ෂ හැත්තෑ අටදහස් තුන්සිය තිස් හතක්ද (1,78,337)ද පැරණි නිර්දේශයට අනුව පෙනී සිටි අයදුම්කරුවන්ගේ පහළොස් දහස් නවසිය හැටඅටක්ද (15,968) විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. එය විභාගයට පෙනී සිටි සංඛ්‍යාවෙන් සියයට 64.39 ක ප්‍රතිශතයකි.

මෙවර නව නිර්දේශයට අනුව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් හැත්තෑ දෙදෙනකුගේත් පැරණි නිර්දේශයට අනුව පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් දාහතර දෙනෙකු ඇතුළුව අයැදුම්කරුවන් අසූ හය දෙනෙකුගේත් විභාග ප්‍රතිඵලය අත්හිටුවා ඇත.
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ යාපනය චාවකච්චේරි හින්දු විදුහලේ ඉගෙනුම ලැබූ ධනරාජ් සුන්දරබවන් සිසුවාය.

තමන්ගේ විද්‍යාලයට මෙන්ම උතුරු පළාතට මෙම ජයග්‍රහණය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව පැවසූ ධනරාජ් මෙම ජයග්‍රහණය ලබාගැනීම සඳහා තමන්ට සහයෝගය ලබාදුන් තමන්ගේ මව්පියන්, ඥාතීන්, පාසලේ විදුහල්පතිතුමන් ඇතුළු සියලුම ගුරු මණ්ඩලයටත්, පෞද්ගලික උපකාර පන්තිවල ගුරුවරුන්ටත් ස්තූති කරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයද හොඳින් අවසන් කොට අනාගත පරපුර වෙනුවෙන් යහපතක් උදාකරලීමට තමන් බලාපොරොත්තු වන බවද ධනරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණවේදයෙන් පළමුවැනියා කේ. අවිශ්ක චානුක සිසුවාය. හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අවිශ්ක තම ජයග්‍රහණය පිළිබඳව පවසන්නේ මෙවැනි අදහසකි.
“මේ ජයග්‍රහණය ගැන මට අද තියෙන්නේ ලොකු සතුටක්. මේ වෙනුවෙන් මට උපකාර කළ මව්පියන්ටත්, මගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයටත්, අමතර ඉගැන්වීම් කළ පෞද්ගලික පන්තිවල ගුරුවරුන්ටත් ස්තූති කරන්න ඕනේ. පසුගිය කාලයේදී අපි වැඩිපුරම ඉගෙන ගත්තේ Online ක්‍රමේටයි. පාසලේ ගුරුවරුන් ඒ හැම දවසකම අපිට ඒ Online ක්‍රමයට නිවැරදිව ඉගැන්වීම් කළා.”

අවිශ්ක චානුක මූලික අධ්‍යාපනය ලැබුවේ වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර මහ විදුහලෙනි. පසුව බණ්ඩාරගම ජාතික පාසලෙන්ද ඉගෙනුම ලැබූ අවිශ්ක උසස් පෙළ විභාගය සඳහා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමය. ඔහුට පහේ ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 02ක් අඩුවෙන් ලැබීම නිසා හොරණ තක්ෂිලාවට ඇතුළුවීමේ අවස්ථාව අහිමි විය. එහෙත් සා.පෙ. විභාගයෙන් ලද ඉහළ ප්‍රතිඵල හේතුවෙන් උසස් පෙළ සඳහා තක්ෂිලාවට ඇතුළුවීමට ඔහු වරම් ලැබීය. අවිශ්කගේ පියා ගොවි මහතකු වන අතර මව ඇඳුම් මසන්නියකි.

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් මෙම විභාග ප්‍රතිඵල අනුව ලබාදීමට එම පාසලේම තවත් ශිෂ්‍යයකුට හැකියාව ලැබුණි. ඒ ජෛව තාක්ෂණ අංශයෙන් දිවයිනේ ප්‍රථමයා ලෙස ජයග්‍රහණය අත්කර ගැනීමෙනි. ඔහු සුසික සඳසර නම් ශිෂ්‍යයාය.

සුසිකගේ පියා පොලිස් අභ්‍යාස විදුහලේ සේවය කරන පොලිස් නිලධාරියෙකි. මව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනියකි. සුසික මූලික අධ්‍යාපන ලැබුවේ කළුතර තිස්ස විදුහලෙනි. ඔහු තාක්ෂණ විෂය ධාරාව සඳහා උසස් පෙළ විභාගය සඳහා ජෛව පද්ධති තාක්ෂණවේදය, කෘෂි විද්‍යාව සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් තෝරා ගත්තේය.

දිවයිනේ ප්‍රථමයන් දෙදෙනකු බිහිකළ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිනි පද්මා මාලිනී ජයතිලක මහත්මිය තම පාසල ලද ජයග්‍රහණ පිළිබඳව දේශයට මෙසේ අදහස් දැක්වීය.

“මේ දරුවෝ දෙන්නාටම පළමු ස්ථානය ලබාගන්න පාසලේ ගුරුවරුන්ගෙන් විශාල සහයෝගයක් ලබාදුන්නා. මේ දරුවන් අන්තිම දවස වෙනතුරු පාසලට ඇවිත් තිබෙනවා. අපේ පාසලේ ඉංජිනේරු තාක්ෂණය වගේම ජෛව තාක්ෂණයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු ඉතාම හොඳින් සිදුකළා. දරුවන්ට පොත්වල ඉගැන්වීම් වගේම ඒ ප්‍රායෝගික පරීක්ෂණ දිගටම ලබාදුන් නිසා තමයි මේ දරුවන්ට මේ ජයග්‍රහණයන් කරා යාමට හැකිවුණේ. ඉංජිනේරු තාක්ෂණය දරුවන්ට හොඳ ප්‍රායෝගික අත්දැකීමක් මේ පාසලේ ගුරුවරුන් ලබා දුන්නා. ඒ දරුවන් ඔවුන්ගේ දැනුම භාවිත කරලා පාසලේදී කාර් එකක් හැදුවා. ඒ දැනුම ඔවුන්ට ලබාදෙන්නට පාසලේ ගුරුවරු උපරිමයෙන් මහන්සි වුණා. ඔවුන් දරුවන් වෙනුවෙන් කොවිඩ් වසංගත කාලයේදීත් උපරිමයෙන් කැපවීම් කර දැනුම ලබාදුන්නා. විභාගය ලියා අවසන් වූවාට පසුවත් දරුවන්ට පාසලට ගෙන්වා ඔවුන්ට මේ ප්‍රායෝගික දැනුම ලබා දුන්නා. කොවිඩ් නිසා පාසල වසා තැබුවත් කුඩා කණ්ඩායම් සාදා වෙන් වෙන් වශයෙන් දරුවන් ගෙන්වා ඒ ප්‍රායෝගික දැනුම දරුවන්ට ලබා දුන්නා. ඒ වගේම පාසල වසා තැබූ හැම දවසකම හැම දරුවකුටම Online ක්‍රමයට හැම ගුරුවරයකුම ඒ අවශ්‍ය දැනුම ලබා දුන්නා. තක්ෂිලා මධ්‍ය මහා විදුහලේ හැත්තෑ පස්වැනි සංවත්සරය මැයි මස හයවැනිදාට යෙදී තිබුණා. මේ දරුවන් ලබාදුන් මෙම ජයග්‍රහණ දෙක මේ පාසලට ලබාදුන් වටිනාම තෑග්ගක් විදිහටයි මම දකින්නේ.” යැයි හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය පැවසීය.

ප්‍රතිඵල දැක්කාම දැනුණු සතුට ගැන කියන්න තේරෙන්නෙ නෑ

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ ඉගෙනුම ලබන චමල්කා සෙව්මිණි සිසුවිය 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනෙන් පළමු ස්ථානය දිනාගත්තාය.

“එදා අන්තර්ජාලයෙන් මමමයි ප්‍රතිඵලය මුලින්ම බැලුවේ. ඒක දැක්කහම මට හිතාගන්නවත් බැරිවුණා. මට ඇතිවුණු සතුට ගැන කියන්න මට තේරෙන්නේ නැහැ. මම මේ ජයග්‍රහණය ගන්න පුදුමාකාර කැපකිරීමක්, මහන්සියක් වුණා. මම විතරක් නෙමේ මගේ අම්මා, තාත්තා, මගේ පාසලේ ගුරුවරුන් මේ වෙනුවෙන් මහන්සි වුණා. මේ ප්‍රතිඵලය ගැන මම මුලින්ම කිව්වේ මගේ අම්මටයි. එක වසරේ ඉඳන් මම ඉගෙන ගත්තේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලෙයි. එක වසරේ ඉඳන් මට හොඳ ගුරු මණ්ඩලයක් පාසලේ සිටියා. ඒ අවුරුදු ගණනාවටම මට ඉගැන්වූ ඒ හැම ගුරුතුමියකටම ගුරුවරයකුටම මම හිස නමා වඳිනවා. ඔවුන්ගේ මඟ පෙන්වීම නිසයි මට මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණේ. කොවිඩ් නිසා Online ක්‍රමයට තමයි බොහෝ දවස්වලදී අපිට ගුරුවරුන් ඉගැන්වූවේ. විදුහල්පතිනිය ඇතුළු ඒ හැම ගුරුවරයෙකුටම ගුරුවරියකටම මම ස්තූති කරනවා.”

ගෘහ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව හා ජනසන්නිවේදන හා මාධ්‍ය අධ්‍යාපන විෂයන් ලෙසට ඉගෙන ගත් චමල්කාගේ පියා රියැදුරෙකි. ඔහු නමින් සරත් කුමාරය. නිලූකා සඳමාලි අමරසිංහ වූ චමල්කාගේ මවද දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. අනාගතයේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කථිකාචාර්යවරියක වීම චමල්කාගේ බලාපොරොත්තුවයි.

විභාගය හොඳට කළත් පළමුවැනියා වෙයි කියා හිතුණෙ නෑ

ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමුවැනියා වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මනුජය ප්‍රවීන් විජේසිංහ සිසුවාය.

“මම පාසලේදී සියලුම විෂයන් සඳහා වැඩි ලකුණු ලබාගත්තා. දිවයිනේ ප්‍රථමයා වෙයි කියලා නම් එහෙම ලොකු බලාපොරොත්තුවක්  තිබුණේ නැහැ. හැබැයි මම විභාගය හොඳටම කළා. මට මම ගැන විශ්වාසයක් තිබුණා. මේ වෙනුවෙන් මට මගේ මව්පියන් වගේම සියලුම ගුරුවරුන්ගෙන්ද අමතර පන්තිවල ගුරුවරුන්ගෙන්ද ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ හැමදෙනාටම මම ස්තූති කරනවා.” යැයි මනුජය ප්‍රවීන් සඳහන් කළේය.

මෙහිදී ජීව විද්‍යා අංශයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගන්නා ලද්දේද කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විහාන් ඩීලක විජේරත්න සිසුවා වීම විශේෂත්වයකි.

2020 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ ඉගෙනුම ලබන අමන්දි ඉමාෂා මදනායක සිසුවියයි.

“පාසල් අධ්‍යාපනයට අමතරව මම පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට සහභගි වුණා. පාසැලේ විවිධ සංගම්වල නිලතල දැරුවා. ඒවායිනුත් අත්දැකීම් ලබාගෙන මම මගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගෙන ගියා. මේ ජයග්‍රහණ මට ලබාගන්නට මම සහයෝගය දුන්නා. මට දැනුම ලබාදුන්නු මගේ දෙමව්පියන්ට, මගේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු මම ඉගැන්වූ සියලුම දෙනාට මම ස්තූති කරන්නට ඕනේ. මගේ උපකාරක පන්ති ගුරුවරුන්ටත් මම ස්තූති කරනවා.”

අමන්දි ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය හා තොරතුරු තාක්ෂණය යන විෂයන් වලින් වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකි. 

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරියේදී අයදුම්පත් කැඳවන බවත්, ප්‍රතිඵල www.doenets.lk සහ www.reults.exams.gov.lk  යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00