2021 මැයි 08 වන සෙනසුරාදා

කාලක් කැපුණු ප්‍රයිවට් බස් සේවා

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ මෙතෙක් ධාවනය වෙමින් පැවති බස් ධාවනයේ අඩුවීමක් සිදුකෙරෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව මෙය සෑම මාර්ගයකම ධාවනය වූ බස්රථ ප්‍රමාණයෙන් සියයට විසිපහ දක්වා අඩුකරනු ලැබ තිබේ.

“මේ වනවිට රටේ කර්මාන්තශාලා සහ සේවා ආයතනය වසා දැමීම නිසා බොහෝ දෙනෙක් රාජකාරිවලට දිනපතා වාර්තා කරන්නේ නැහැ. සමහර ආයතන සේවකයන් රැකියාවට ගෙන්වා ගන්නේ දින බෙදාදීමකින්. ඒ නිසා සුපුරුදු පරිදි පොදු ප්‍රවාහන සේවයෙන් රුකියාවට එදිනෙදා ගිය සේවකයන්ගේ බොහෝ අඩුවක් පෙන්නුම් කරනවා. දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාමසේවා වසම් මෙන්ම විවිධ පැති හුදෙකලා වීම නිසාත් එවැනි ප්‍රදේශවලින් මඟීන් බස්රථවල ගමන් කරන්නේ නැහැ. මේ නිසා තමයි අපි මේ ධාවනය වන බස්රථවල යම් අඩුකිරීමක් සිදුකළේ. ධාවනය වූ බස්රථවලින් සියයට විසිපහක් තමයි අපි මේ දිනවල ධාවනය කරන්නට යොදාගෙන තිබෙන්නේ.” යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබූ බොහෝ පෞද්ගලික බස්රථ මේ වනවිට පෞද්ගලික ආයතනවල සේවකයන් සේවා ස්ථානයට රුගෙන ඒම නැවත නිවෙස්වලට රැගෙන යාම සඳහා සේවා ස්ථානවලට ලබාදී ඇත. බස්රථ හිමිකරුවන් පවසන්නේ මගීන් අඩුව හිස් වුණු බස් රථ දිනපතා මාර්ග ධාවනයේ යෙදෙනවාට වඩා මෙය ලාභදායී බවය.

“බොහෝ ආයතනවල පෞද්ගලිකවම ඔවුන්ගේ සේවකයන්ට රැකියාවට වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දී තිබෙනවා. මගේ පෞද්ගලික බස් දෙකක්ම කාර්යාල ප්‍රවාහනයට මේ වෙද්දී යොදවා තිබෙනවා. ‍බොහෝ මාර්ගවල ධාවනය වුණු බස්රථ ආයතනවලට යොදාගෙන තියෙනවා. බොහෝ ආයතන ප්‍රධානීන් තමන්ගේ ආයතනයේ ආරක්ෂාවටත්, සේවකයන්ගේ ආරක්ෂාවටත් මේ බස්රථ යොදාගන්න කැමතියි. ඒ නිසා දැන් බොහෝ බස්රථ හිමියන් ප්‍රමුඛසේවය ලබාදීලා තියෙන්නේ ඒකටයි.

කාර්යාල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන නිසා පෞද්ගලික බස් ගණනාවක් මේ සඳහා යොදවා තියෙනවා. දෛනික ජනතාව ගමන් කරන බස්රථ ධාවනය සියයට විසිපහකින් අඩුවුණත් තවත් සියයට විසිපහක් මෙම කාර්යාල ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා තිබෙනවා. මේ අනුව සමස්ථයක් විදිහට පෞද්ගලික බස්රථ සියයට පනහක් පමණ මේ වෙද්දී ධාවනය වෙනවා” යැයි ද විජේරත්න මහතා පැවසීය.

මේ අනුව මගීන් ධාවනයේ යෙදෙන බස්රථවල උදෑසන කාර්යාල සේවකයන් වාර්තාකරන කාලසීමාව තුළදී ඇතැම් බස්රථවල තවමත් පෙර පරිදි නොවුණත් යම් තදබදයක් ඇතැම් මාර්ගවල දැකගත හැකිවිය. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ආසන සංඛ්‍යාවට පමණක් මගීන් බස්රථ තුළ ගෙන යා යුතු වුවද ඇතැම් මාර්ගවල ගමන්කරන බස්රථවල ආසන සංඛ්‍යාවට වඩා තවත් මගීන් සංඛ්‍යාවක් බස්රථවල ගමන්කරනු දැකගත හැකි විය. නමුත් දහවල් කාලයේදී බොහෝ බස්රථවල ගමන් කරනු ලබන්නේ ඉතා අඩු මගීන් පිරිසකි. මේ නිසාම ඇතැම් බස්රථ මාර්ගයේ ධාවනය කරනු ලබන්නේ ඉබි ගමනෙනි.

”දැන්නම් මේ යන විදිහට එපාවෙලා. වෙනදාට මේ වෙලාවට සෙනඟ ඉන්නවා. දැන් සීමා ගණනටවත් ගෙනියන්න මිනිස්සු නැහැ. ගොඩක් බස් කම්පැණි දාලා. තවත් බස් අයිතිකාරයන්ගේ වත්තේ දාලා. තෙල් ගහලා දවසේ දිව්වම කිසිම ලාභයක් නැහැ. බස් එක යන්නේ හෙමින් කියල යන මිනිස්සු බණිනවා. මෙහෙමවත් අපි මිනිස්සු ගෙනිච්චේ නැත්නම් මේ අයට යන්නවත් බස් නැහැ. හැබැයි ඒක මේ මිනිස්සුගෙන් තේරුම් ගන්නේ  කීයෙන් කී දෙනාද? ආසාවට මෙහෙම අවදානමක් තියාගෙන අපි මේ මිනිස්සු එහා මෙහා අරගෙන යනවා නෙමේ. මේ යන අයගෙන් කාට කොරෝනා තියෙනවාද කියල දන්නේ නැහැ. ඒත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. මේක අපේ රස්සාව.” යැයි මොරටුව - පිටකොටුව පෞද්ගලික බස් රථයේ කොන්දොස්තර ලෙස සේවය කරන අරුණ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

පෞද්ගලික බස්රථවල ධාවනය වන මගීන්ගෙන් බස්රථවල රියැදුරු සහ කොන්දොස්තරවරුන්ට ඇති ප්‍රධානම චෝදනාව වන්නේ මගීන් කොයිතරම් සුරක්ෂිතව මුඛ ආවරණය පළඳා සිටියද බස්රථවල රියදුරන් සහ සේවකයන්ගේ මුඛ ආවරණය නිසි පරිදි පැළඳ නොසිටින බවයි.  ඇතැම් අයගේ මුඛ ආවරණය ඇත්තේ නිකටේය. ඇතැම් මුඛ ආවරණ ඉතා අපිරිසිදුය. මගීන් බොහෝමයක් ගමන් කරන බස්රථවල සේවය කරද්දී මීට වඩා රියදුරන් සහ කොන්දොස්තර මහත්වරුන් මේ පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ.

මගී ජනතාවගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා බස්රථ සීමාකර ඇතැයි ශ්‍රී ලංකා ගමානාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එම්. පණ්ඩුක මහතා සඳහන් කරයි.

“මේ දිනවල රටේ පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ ධාවනය සුපුරුදු පරිදි කරගෙන යනවා. නමුත් මේ දිනවල ඒ බස්රථවල ගමන්කරන මගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් තියෙනවා. ඒක මේ වාතාවරණය මත හොඳ තත්ත්වයක් වුණත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැත්තෙන් අපිට ආදායම් අහිමිවීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇතැම් පැතිවලට ජනතාවගේ අඩුවීමක් මත අපි බස්රථවල ගමන් මාර්ග යම් යම්  සීමා කිරීම් සිදුකරනවා. විශේෂයෙන් දුර ගමන් සේවා වාර මේ වනවිටත් සීමා කරලා තියෙනවා. අධිවේගී බස්රථවලට මෙන්ම සිටි සේවා බස්රථවල ගමන් කරන මගීන්ගේද අඩුවීමක් පෙන්නුම් කරනවා. නමුත් උදෑසන සහ රාත්‍රියේ පළමු හා අවසන් බස්රථ සේවා මුර අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා” යැයි ද ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. 

 දිශානි ජයමාලි කරුණාරත්න