
අනූව දශකයේ මුල් භාගයේ මෙරට පිරිසක් මිල්ලේ සොයාගෙන බෝට්ටුවෙන් ඉතාලි පැන්නේය. 2000න් පසුව තවත් පිරිසක් ඩොලර් සොයා බෝට්ටුවෙන් ඔසී පැන්නේය. ඔවුන් සියලුදෙනාගෙම අරමුණ වූයේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමය.
අපි එහෙම ගියත් ලංකාවට එහෙම බෝට්ටුවෙන් ආපු කිසිවකු මේ කපේට අසා නැත. අඩුම තරමේ අපරාධකාරයෙක් හෝ බෝට්ටුවෙන් ලංකාවට ආ බව අප දන්නේ නැත. අප අසා ඇත්තේ එක්කෝ කුඩු, ආයුධ වැනි දේ ලංකාවට ආ බව මිසක ජීවත්වීම සඳහා ලංකාවට බෝට්ටුවෙන් පිටරට ඈයෝ එන බව කිසිදාක අසා නැත. එහෙත් ඒ සියල්ල උඩියටිකුරු කරමින් දැන් සමහර පිරිස් ජීවිතය බේරා ගැනීම සඳහා බෝට්ටුවෙන් ලංකාවට එති. ඒ ඉන්දියානුවන්ය. දරුණු කෝවිඩ් අනතුරකට මුහුණදී සිටින ඉන්දියානුවන් ඇති හැටි ආකාරයෙන් රටින් පැනයාමට මේ වනවිටත් පටන්ගෙන ඇත. ධනපතියෝ තම පෞද්ගලික ජෙට් යානාවලින් පැන යන අතර මධ්‍යම පාන්තිකයෝ සංචාරය කරන මුවාවෙන් ගුවන් යානා හරහා රටවල් වලට ගොඩබසිති. එහෙත් යන එනමං නැති දුප්පතුන් පැනයාම සඳහා තෝරාගෙන ඇති ක්‍රමය සහ එකම රට වන්නේ බෝට්ටුවෙන් ලංකාවට පැමිණීමය. එය කෙතරම් මෙරටට අවදානමක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දියාව පුරා පැතිරී යන කොවිඩ් ප්‍රභේදය මෙරටද ඇතුළු වීමේ අවදානම ඉතා බරපතල ලෙස ඇත.
පසුගියදා එය සනාථ කරමින් සිව්දෙනෙකු පොලීසිය සහ සෞඛ්‍ය අංශ මැදිහත්ව සොයා ගත්තේය. ඔවුන් චෙන්නායි, කුප්පම් ප්‍රදේශයේ සිට මෙරටට පැන ඇවිත් ඇති අතර ඒ පසුගිය 30 වැනිදාය. කාන්තාවන් දෙදෙනකු සහ දරු දෙදෙනකු මෙලෙස පැමිණ එක් කාන්තාවක් සහ දරුවන් දෙදෙනා පුත්තලම ප්‍රදේශයේ සැඟවී සිටියදී සොයාගෙන තිබේ. එහෙත් අනෙක් කාන්තාව සොයාගැනීමට හැකි වී නැත. පසුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කිරීමේදී හෙළිවී ඇත්තේ අනෙක් කාන්තාව මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ සැඟව සිටින බව කියාය. ඒ අනුව එම කාන්තාවද අත්අඩංගුවට ගෙන එකී සිව්දෙනාම නිරෝධායනය සඳහා සෞඛ්‍ය අංශ විසින් යොමුකර ඇත.
එම සිද්ධිය සිදුවී වැඩිදවසක් ගතවන්නට වුණේ නැත. තවත් පුද්ගලයන් 89 දෙනෙකු ධීවර යාත්‍රා 11ක නැගී මෙරට මුහුදු සීමාවට ඇතුළු වන මොහොතේ නාවික හමුදා බාරයට ගත්තේය. ඒ මන්නාරම දකුණු දෙසින් වන්නටය. ඔවුන්ද කෙසේ හෝ මුහුදු මාර්ගය ඔස්සේ රට තුළට පැමිණියා නම්, නියත වශයෙන්ම එකී පිරිස සංක්‍රමණික නීතිය යටතේ බාරගන්නට සිදුවනු ඇත. එහෙත් මෙරට මුහුදු සීමාව ආසන්නයේදී අත්අඩංගුවට ගත් නිසා එය සිදුවුණේ නැත. පසුව නාවික හමුදාව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත්, ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකායත් දැනුවත් කර ඔවුන් නැවත සිය රටටම බාරදුන්නේය.
කෙසේ වෙතත් මෙය නීතිය සහ සෞඛ්‍ය පැත්තෙන් ඉතාම බරපතල අවදානම් සහිත මොහොතක් වුවත් මානුෂීය පැත්තෙන් ගත් කළ මේ ජනතාව කෙතරම් අසරණදැයි සිතට දැනේ. තමන්ගේ රට අතැර දා වෙනත් රටකට යන්නේ ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට මිස වෙනත් දෙයකට නොවේ. එතරම් ඉන්දියාවේ ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. ඔවුන්ට බංගලිදේශයට, පාකිස්ථානයට, භූතානයට වැනි රටවලට ඇතුළු වීමේ හැකියාව සීමිතය. එයට හේතුව එකී රටවල දේශසීමා ආරක්ෂාව නිසාය. ඒ වගේම ඒ රටවල් පුරාද මේ ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය පැතිර යමින් තිබෙන බැවිනි. එහෙත් මේ මොහොතේ හොඳම ආරක්ෂිත රට නිසාත් මුහුදු මාර්ගයෙන් ලේසියෙන්ම පැමිණිය හැකි රට නිසාත් ඔවුන් තෝරාගන්නේ ශ්‍රී ලංකාවය. ඉන්දියානු ධීවරයන් සහ ශ්‍රී ලංකා ධීවරයන් අතර ඇති මිත්‍රත්වය නිසාත් ඔවුන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරමින් සිටිති.
කෙසේ වෙතත් මේ තත්ත්වය ඉදිරියේදී තව තවත් වැඩිවිය හැකි නිසා ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත නාවික හමුදාව විසින් මුර සංචාර වැඩිකරමින් මුර යාත්‍රා කීපයක් තවත් එක්කිරීමටත් තීරණය කළේය. පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම මුර මෙහෙයුම්වලට අනුව එකී සියල්ලම ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සිදුකරනු ඇත. එහිදී අත්අඩංගුවට ගන්නා සෑම යාත්‍රාවක්ම නැවත ඒ අවස්ථාවේම හරවා යවන්නත් නාවික හමුදාව තීරණය කර ඇත.
මේ මෙහෙයුම සඳහා ධීවර ප්‍රජාවද එක්කර ගැනීමට නාවික හමුදාව තීරණය ගත්තේය. එනම් ධීවර කටයුතුවල යෙදෙන අවස්ථාවේ යම් සැකකටයුතු ධීවර යාත්‍රාවක් දුටුවහොත් වහාම ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනූවත් කරන ලෙසත් දන්වා ඇත. කෙසේ වෙතත් කුමන හෝ ආකාරයකින් රට තුළට ඇතුළත් වීම නවතා දමන්නට නාව්ක හමුදාව ගතයුතු සෑම පියවරක්ම ගැනීමට සූදානමින් සිටී.
ඉන්දියාවේ සිට පැමිණ යම් අයකු ගොඩබිමට ඇතුළු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා පොලීසිය බුද්ධි අංශ පරීක්ෂණයක් වෙනම ආරම්භ කැරිණි. යම් පිරිසකට මෙරට කවුරුන් හෝ නවාතැන් පහසුකම් ලබාදී තිබුණහොත් ඔහුට විරුද්ධව නිරෝධායනය පනත යටතේ නඩු පැවරීමටත් තීන්දු කර තිබේ. කෙසේ වෙතත් යම් පිරිසක් මෙය ජාවාරමක් ලෙස සිදුකරනවා නම් ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය සැරසෙන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් පොලිස් මූලස්ථානය මගින් වෙරළබඩ පොලිස් ස්ථාන සඳහා දැනුම් දී ඇත්තේ මුර සංචාර වැඩිකර සෝදිසි මෙහෙයුම් සිදුකරන ලෙසය. යම් පිරිසක් හමුවුවහොත් වහාම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හරහ ඔවුන් නිරෝධායනයට යොමුකරන ලෙසත් දන්වා ඇත.
මේ අකාරයෙන් ඉන්දියාවේ කොවිඩ් මකර කටින් මිදී මෙරටට පැන එන පිරිස් නවතාලීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විශාල ක්‍රියාමාර්ග රුසක් ගෙන තිබේ. මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයත්, ඉන්දියානු වෙරළබඩ හමුදාවත් සමඟ එක්ව මෙම සියලු මෙහෙයුම් සිදුකරන අතර අවසාන තීන්දුව වී ඇත්තේ කුමන හේතුවක් නිසා හෝ ඔවුන් මෙරටට නොගැනීමටය. ඒ නිසා සැබවින්ම මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය එරට ජනතාව දැනුවත් කළයුතු අතර එසේ නොමැති වුවහොත් ඔවුන් මරණයෙන් බේරීම සඳහා තව තවත් මෙරටට පනිනු ඇත. කෝවිඩ් වලින් බේරීම සඳහා ජීවිතය අනතුරේ හෙළමින් යාත්‍රා මගින් මෙරටට පැමිණීම කෙතරම් අන්තරාදායකද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ඊටත් වඩා පැමිණ නැවත හරවා යැවීම තව තවත් ජීවිතේ අනතුරක හෙලීමක් වනු ඇත. එහෙත් මැරෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ දැන් ඉන්දියානුවන්ගේ පිදුරු ගස වී ඇත්තේ මේ පුංචි ලංකාවය.
ගයාන් ගාල්ලගේ