2021 මැයි 08 වන සෙනසුරාදා

ලොකුගේ පොඩිකළ පිළියන්දල ලොක්ඩවුන් නීතිය

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 204

රට වසා දමනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට රජය සූදානම් වූයේ මීට සති දෙකකට පෙරය. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කොවිඩ් මර්දන මෙහෙයුම් කමිටුවේ බහුතරයකගේ තීරණය වුණේ ද සති දෙකකට හෝ රට වසා දැමීමටය. එහෙත් ඉහළ අධිකාරියත් දෙවැනි වටයේ කතාබහත් නිසා අවසානයේ තීරණය වුණේ දැඩි ලෙස නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමත්, යම් ස්ථානයකින් රෝගීන් පොකුරක් හමුවුවහොත් අදාළ ප්‍රදේශය හුදෙකලා කිරීමත් ප්‍රමාණවත් බවය.

විශේෂයෙන් ජනාධිපතිවරයාගේ තීරණය වුණේ ජනජීවිතය කිසිසේත් අඩාල කළ නොහැකි බවය. මේ නිසා උපරිම වශයෙන් නීති ක්‍රියාත්මක කරමින් රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම අවසන් තීන්දුව විය. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත් රජයේ එම තීන්දුව සම්බන්ධයෙන්  දැඩි විරෝධයක් එල්ල කළ අතර රට විවෘතව තැබීමෙන් ඉන්දියාවේ තත්ත්වයට ලංකාවත් පත්විය හැකි බව ඔවුන්ගේ නිගමනය විය. ඔවුන් සඳහන් කර සිටියේ උත්සව සමයේදී සංචාරක සීමා පනවන ලෙසට රජයට බලකර සිටියත් එය නොකිරීම නිසා වර්තමාන ඉරණම අත්වූවා සේම තවදුරටත් තමන්ගේ උපදෙස් නොපිළිගතහොත් ඉතාම අඳුරු ඉරණමකට මුහුණදෙන්නට සිදුවන බවය. එහෙත් රජය නව කොවිඩ් මාර්ගෝපදේශ ලබාදෙමින් රට විවෘතව තබමින් යම් සීමා මායිම් මැද රට කරගෙන යාමට තීරණය කළේය.

මේ අතර රජය දැනුම් දුන් පරිදි ඉතා කුඩා ප්‍රදේශ, ග්‍රාමසේවා වසම්, නගර, පොලිස් බල ප්‍රදේශ වශයෙන් හුදෙකලා කිරීම් සිදු කෙරිණි. ඒ අනුව ඉතාම තීරණාත්මක තැනකට එළඹෙමින් සිටි, වෛරසය ආසාදිතයන් වැඩියෙන්ම හමුවූ ප්‍රදේශයක් වන පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරනු ලැබීය. ඒ පසුගිය 2 වැනිදාය. එයට හේතුව වුණේ පිළියන්දල සහ කැස්බෑව ආදී ප්‍රදේශ තුළින් විශාල ලෙස රෝගීන් හමුවීමය. ඒ අනුව දෙවැනිදා උදෑසනම පිළියන්ද පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නේය. ග්‍රාමසේවා වසම් 52ක් පමණ අයත් පිළියන්දල පොලිස් බල ප්‍රදේශය මෙලෙස හුදෙකලා කිරීමට තීරණය කළේ කැස්බෑව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කරන ලද ලිපියකට අනුවය.

නිරෝධායන පනතට අනුව ප්‍රදේශයක් හුදෙකලා කිරීම හෝ ලොක්ඩවුන් කිරීමේ බලය පැවරී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටය. ඒ අනුව එම ප්‍රදේශය හුදෙකලා කිරීම හෝ එය ඉවත්කිරීමේ බලය ඔහුට පැවරී තිබීම පොලිස්පතිවරයා හා සමාන බලතලයකි. එහෙත් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ටද එම තීරණය ගැනීමේ හැකියාව ඇති අතර එසේ තීරණයක් ගත් පසුව ඊට අවසරය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබිය යුතුය. ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා 2 වැනිදා උදෑසන පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කළේය.

එය සෞඛ්‍ය අංශවල තීරණයක් වුවත් පිළියන්දල නගරයේ සමහර ව්‍යාපාරිකයෝ එම තීන්දුවට එකඟ නොවූහ. ඔවුන් වහාම ගොස් තම ප්‍රදේශයේ දේශපාලන අධිකාරීත්වය හමුවී මේ සම්බන්ධයෙන් චෝදනා ගෙන ආ බව දැනගන්නට ඇත. ඒ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා හමුවේය. එම තීරණය වෙනස් කරන ලෙසත් එම පිරිස් යෝජනා කළහ. ඒ අනුව ගාමිණී ලොකුගේ මහතා රටේ විවිධ අංශ වෙත පැමිණිලි කර එම හුදෙකලා බව ඉවත් කරන ලෙසට ඉල්ලීම් කර ඇතැයි දැනගන්නට තිබේ. එම නිරෝධායන නීතිය තඹයකට මායිම් නොකළ ඇතැම් ව්‍යාපාරිකයෝ හුදෙකලා බව තිබියදීත් තම ව්‍යාපාරික ස්ථාන විවෘතව තබන්නට කටයුතු කරමින් සිටියහ. ඒ පැහැදිලිවම දේශපාලන අධිකාරියේ හයිය මතය.

කෙසේ වෙතත් එකී නිරෝධායන නීතිය පැය 24 ක් ක්‍රියාත්මක වන්නට ඉඩ ලබා දුන්නේ නැත. නැවතත් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදෙකලා කිරීම සංශෝධනය කරමින් ග්‍රාමසේවා වසම් අටකට පමණක් එය සීමා කරනු ලැබීය. මෙය දේශපාලන අධිකාරියේ දඩබ්බරකම මනාව විදහා පෑමක් විය. ඉතාම තීරණාත්මක තැනක ඒ වන විටත් තිබූ පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන්නට පටන්ගත්තේ නීතියට පයින් ගසමිනි. 

මෙලෙස පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා බව ඉවත් කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු කිසිම නිලධාරියකු දැන සිටියේ නැත. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය එදිනම පවසා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවූ බවත් හුදෙකලා බව ඉවත් කිරීමට තමන් අනුමැතිය නොදුන් බවත්ය. එසේම එක්තරා රූපවාහිනී වැඩසටහනකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි විට ඔහු සඳහන් කර සිටියේ එම ප්‍රදේශයේ හුදෙකලා බව ඉවත් කිරීම සඳහා කිසිදු ආකාරයකින් තමන් අවසරයක් නොදුන් බවය. නිරෝධායන පනත අනුව හුදෙකලා බව ඉවත් කළ හැක්කේ තමාට බවත්, මෙහිදී තමන් කිසිවකුට ඒ සඳහා අවසරයක් ලබා නොදුන් බවත් ඔහු සඳහන් කර සිටියේය. 

එසේ නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ කිසිඳු අවසරයකින් තොරව පිළියන්දල හුදෙකලා බව ඉවත් කළේ කවුද? ග්‍රාමසේවා වසම් 52ක් පුරා ක්‍රියාත්මක කර තිබු හුදෙකලා බව ග්‍රාමසේවා වසම් අටකට සීමා කළේ කවුද? කළ කෙනකු තවම නැත. කෙසේ වෙතත් මෙය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය අවභාවිත කිරීමකි. එනම් ඔහු නොදැන, කවරකු හෝ එය ක්‍රියාත්මක කළා නම් එය එකී තනතුරට කළ ගැරහීමකි. විශේෂයෙන් මේ අවස්ථාවේ තමන්ගේ දේශපාලන හයිය, බලපුළුවන්කාරකම ප්‍රදර්ශනය කරන්නෝ මුග්ධයෝය. කොවිඩ් වෛරසය හමුවේ සියලු තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලෝකයේ ගත් කල පවරා ඇත්තේ ද සෞඛ්‍ය ක්ෂේත්‍රයටය. එහෙත් අපේ රටේ ඇතැම් දේශපාලකයෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍යවරුන් වෙන්නට හදති. ඒ සඳහා හුරේ දමන්නට ඔවුන්ගේ හෙන්චයියන් රැලක්ද සැදී ඇත. එහෙත් ඔවුන්ට නොතේරෙන දෙය නම් ලොකු ලොක්කන්ට යන්න එන්න තැනක් තිබුණාට තමන්ට වෛරසය හැදුණු කල යන එන මං නැතිවන බවය. තමන්ගේ දරුවන්, අම්මා තාත්තා, අඹුවන් පවා මාරයාගේ කටට රිංගවා බජව් නටන්නට හදන්නන් ගැන ආයේ අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව නොතනක පිරිසක් වේ නම් ඒ මුග්ධ රැලකි.

මේ සම්බන්ධයෙන් අප තවදුරටත් සොයා බැලීමේදී වාර්තා වුණේ අදාළ සිද්ධියට හේතුව කැස්බෑව සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මත ගැටුමක් බවය.  කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පවතින තත්ත්වය වටහාගෙන එම ප්‍රදේශය වසා දැමීමට තීරණය කළද පළාතේ දේශපාලන අධිකාරිය දෙවැනි වර එම තීන්දුව වෙනස් කර ඇත්තේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සමඟ එකඟතාවකින් පසු බවය. දේශපාලන හිතවත්කම් මිත්‍රකම් හමුවේ පිළියන්දල අවදානම් බව නොසලකා එක්වරම එදින සවස නැවත ඇරුණේ එබැවිනි. එහෙත් ඒ ගත් තීරණය කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය දැන සිටියේ නැත. මෙම කඹ ඇදිල්ල කුමක් නිසා ඇතිවුණේද, මෙලෙස අවදානම් තැනකට එලෙස තීරණ ගත්තේ කෙසේද යන්න අදටත් ප්‍රශ්නයකි.

මේ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගවලට පයින් ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගියදා කමිටුවක්ද පත්කරනු ලැබීය. එම කමිටුව පිළියන්දල ප්‍රදේශයට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. එහෙත් ලියුම්කරුගේ අදහස නම් අමුතුවෙන් පරීක්ෂණ කිරීමට අවශ්‍ය නැති බවය. මේ සඳහා පැහැදිලිවම දේශපාලන අධිකාරිය ගෑවී ඇති බව පෙනි පෙනී තිබියදී ඒ ගැන පරීක්ෂණ සිදුකිරීමටත්, කමිටු දැමීමටත් උත්සාහ ගන්නේ ප්‍රශ්නය දියාරු කිරීමටය. වහාම මේ සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කර අදාළ වගකිවයුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුය. එම තීරණවලට රජයේ නිලධාරීන් සම්බන්ධ නම් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ගද ගත යුතුය. එසේ නොමැතිව නිරෝධායන නීතිය මෙලෙස කැඩීම වැඩි කල් යාමට පෙර වෛරසයටත් වඩා වේගයෙන් දේශපාලන අධිකාරිය පුරා පැතිරී යනු ඇත. එවිට හුදෙකලා කිරීමත් නොකිරීමත් අනාගතයේ තීරණය කරන්නේ සෞඛ්‍ය අංශ විසින් නොව දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් විසින් වීමටද ඉඩ තිබේ.

ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ මේ ලොකු වැඩවල ප්‍රතිඵලය කෙතරම්ද කියතොත් අද වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ පිළියන්දල කැස්බෑව ප්‍රදේශයෙනි. පසුගියදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 95කින් 72 ක්ම පොසිටිව්ය. එම ප්‍රදේශය එතරම් අවදානමකට පත්ව තිබියදීත් තවමත් එකී ප්‍රදේශය මකර කට මෙන් විවෘතව ඇත. එසේම කැස්බෑව ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ පිරිසගෙන් 2/3ක් පොසිටිව්ය. පසුගිය දින කිහිපය තුළ පමණක් පිළියන්දල කැස්බෑව රෝගීන්  1000කට ආසන්නය. එහෙත් ඒ සියල්ල මැද තවමත් පිළියන්දලත් කැස්බෑවත් විවෘතය. ඒ දේශපාලන හයිය නිසාය.

මේ සම්බන්ධයෙන් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසා සිටියදී ඔහු පවසා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලින් විමසා සිටි බවත් බුද්ධි අංශ වාර්තාවලින් පවා කියා සිටියේ එම ප්‍රදේශය වසා දැමීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය. ඒ නිසා තමන් ඉල්ලීමක් කළ බවත් සෞඛ්‍ය බලධාරීන් ඉන්පසුව තීරණය ගත් බවත්ය. එමෙන්ම ඔහු කියා සිටියේ ප්‍රදේශයේ දේශපාලනඥයා ලෙස ජනතාවගේ සුබසිද්ධිය සහ පහසුකම් වෙනුවෙන් පෙනී සිටිමේ අයිතියක් තමන්ට ඇති බවත්ය.

අමාත්‍යවරයා පිළියන්දල ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා මැදිහත්වීමේ ප්‍රතිඵලයේ මහිමය දැන් දැන් වාර්තා වන රෝගීන් ප්‍රමාණය අනුව දැකගත හැක. එසේ පහසුව සොයන ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ පවා පහකට කොරෝනාය. ඒ බව දැන දැනම මෙලෙස ජනතාව අමාරුවේ දැමීම ගැන මේ ජනතා පුත්‍රයා රටටම වගකිව යුතුය. පාලකයන් සිටිය යුත්තේ ජනතාව බේරාගැනීමට මිස වළ දමන්නට නොවේ. එහෙත් අමාත්‍යවරයාටම දොස් පවරා පලක් නැත. අමාත්‍යවරයා මේ තැනට ගෙනාවේ එම ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ බලපෑම්ය. "යකාට අනුව විමානේ" කියන කතාවේ ඇත්තක් නැතුවාම නොවේ. එසේම කකුළුවෝ හරහට මිසක කෙළින් යන්නේද නැත. එහෙත් ඒ සියල්ලෙහි කර්මය විඳින්නට සිදුවී ඇත්තේ මේ අහිංසක ජනතාවටය. ඊට හොඳම උදාහරණය පසුගියදා පිළියන්දල පළතුරු ව්‍යාපාරිකයාගේ මියයාමය.

දැන් තිබෙන තත්ත්වය අනුව පිළියන්දල ප්‍රදේශයත්, කැස්බෑව ප්‍රදේශයත් කොළඹට විශාල තර්ජනයක් වී ඇත. දිනකට එම ප්‍රදේශ දෙකෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 150කට ආසන්න බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. ඔහු පවසන පරිදි එම ප්‍රදේශයේ තත්ත්වය අතිශය තීරණාත්මක මොහොතකය. එහෙත් ඒ සියල්ල දැන දැන දේශපාලන අධිකාරියේ මැදිහත්වීම මත තවත් දේ සිදුවෙයි නම් එම ප්‍රදේශයේ ජනතාවට විඳින්නට වන වේදනාව සුළුපටු නැත. දේශපාලකයන් කළ යුත්තේ දේශපාලනය මිස සෞඛ්‍ය තීන්දු තීරණ ගැනීමට මැදිහත් වීම නොවේ. එසේ කිරීම තවත් විසාලාවක් ඇතිකිරීමට පාර කැපීමකි. ඒ තැනට පිළියන්දල, කැස්බෑව ඇදෙමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී තිබේ.

ගයාන් ගාල්ලගේ