2021 මැයි 08 වන සෙනසුරාදා

චීන එන්නතට අනුමැතිය නැත්තේ ඇයි?

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

ශ්‍රී ලංකාවට චීනයෙන් පරිත්‍යාගයක් ලෙසින් ලබාදුන් සිනෝෆාම් (Sinopharm) එන්නත ශ්‍රී ලංකාවේ සිටින වීන ජාතිකයන්ට එන්නත් කර අවසන් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සේවය කරන සහ පදිංචිව සිටින චීන ජාතිකයන් බොහොමයකටම මෙම එන්නත,‍ කොළඹ, පුත්තලම, හම්බන්තොට, මහනුවර වැනි ප්‍රදේශයන්හි එන්නත්කරණය සිදුකර තිබේ.

නමුත් චීනයේ නිෂ්පාදනය කෙරුණු මෙම සිනෝෆාම් (Sinopharm) එන්නත මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරනු ලබන්නේ විශේෂඥ ‍වෛද්‍ය සංගමයේ සභාපති බව ඇතැම් සමාජ මාධ්‍යයන්හි සඳහන් වී තිබුණි.

“එන්නත් ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් ලැබුණු විට අනුගමනය කළ ක්‍රමවේදය වූයේ විද්වත් උපදේශක මණ්ඩලයන් හරහා එන්නතට අදාළ ඉදිරිපත්කර ඇති තොරතුරු සොයාබලා එම විද්වත් මණ්ඩලයේ නිර්දේශයට අනුව අධිකාරිය විසින් අනුමැතිය ලබාදීමයි. බෝවන රෝග පිළිබඳව අපගේ දැනුම අනුව මමත්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් 2017 වසරේ සිටම මෙම උපදේශක මණ්ඩලයේ සමාජිකයන් ලෙස කටයුතු කළා” යැයි විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ සඳහා වූ ස්වාධීන උපදේශක මණ්ඩලය මෙහිදී කරනු ලබන්නේ එම එන්නතේ අතුරු ආබාධ සහ ප්‍රයෝජන (Risk-benefit) පිළිබඳව තුළනාත්මකව කරුණු පරීක්ෂාකර බැලීමයි.

“මේ සඳහා සෑමවිටම අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණවල සියලු දත්තයි. එවැනි දත්ත නොමැතිව එන්නතක් අනුමත කරනවා නම් එය අනුමත කළ හැකි අනෙකුත් විදිහ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම සංවිධානය විසින් දැඩි නියාමන අධිකාරියක්” ලෙස නම් කරන ලද රටක අනුමත වී තිබීමයි. දැනට කොරෝනා සඳහා ලංකාවේ අනුමත කර ඇත්තේ Covishield සහ Sputnik නැමති එන්නත් දෙක පමණයි. මෙම එන්නත් දෙකම සඳහා තුන්වැනි අදියරේ සියලුම දත්ත එන්නත් නිපදවන්නන් විසින් ඉදිරිපත් කර තිබුණා. මීට අමතරව  Covishield  එන්නත සඳහා දැඩි නියාමන අධිකාරියක් සේ සලකන බ්‍රිතාන්‍ය විසින් Astra Zeneca එන්නතට දී තිබූ අනුමැතියද ඉවහල් වුණා. අපි මේ දෙකම අනුමත කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමට පෙරයි. ඒ මේ රටේ එන්නත් කරන වැඩසටහනට උදව් කරන්නට තිබූ උනන්දුව නිසයි.” යැයි විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව එම එන්නත් දෙකටම අවසරය ලබාදුන්නද සිනෝෆාම් එන්නත සඳහා අවශ්‍ය අනුමැතිය ලැබීමට ප්‍රමාද වූයේ මන්දැයි අප කළ විමසුමේදී ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

“ඉල්ලුම්පතක් ලැබුණුවිට Sinopharm එන්නත අනුමත කිරීමට අපි උත්සාහ ගත්තේ පෙබරවාරි මාසේ ස්පුට්නික් (Sputnik) එන්නතටත් පෙරයි. නමුත් නැවත නැවතත් ඔවුන් ඒ අනුමැතිය ඉල්ලා සිටියත් තුන්වැනි අදියරේ දත්ත සියල්ල ඔවුන් අපිට ලබාදුන්නේ නැහැ. Online Zoom සාකච්ජාවකට පවා ඔවුන් පැමිණියේ නැහැ. එම දත්ත වෙනුවට ඔවුන් කියා සිටියේ මෙම එන්නත රටවල් ගණනාවක්ම එන්නත්කරණය කරන බවයි. මේ පාවිචිච් කරන සියලුම රටවල් එන්නත් ප්‍රදානයන් ලෙස ලැබුණු රටවල්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා Sinapharm එන්නත අයදුම් කර තිබුණේ මාස කිහිපයකට පෙරයි. එහි අනුමැතිය මාර්තු මස මුලදී දෙනවා කිව්වම අප්‍රේල් අගවත් එම අනුමැතිය ලැබී නැහැ. අපිට මෙම එන්නතේ වාසි, අවාසි ගැන තුලනාත්මකව පරීක්ෂා කර වාර්තාවක් දීමට නොහැකි බැවින් එම දත්ත ලැබෙන තුරු එන්නත අනුමත කිරීම සඳහා නිර්දේශ කළ නොහැකි බව අප දෙනෙකුගෙන් යුතු ස්වාධීන උපදේශක මණ්ඩලයක් ඒකමතිකව ඖෂධ අධිකාරියේ නිල වාර්තාවක් මගින් දැක්වූවා.” යැයි විශේෂ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

මාර්තු මස දාහත්වැනිදා ඖෂධ අධිකාරියට නිල වශයෙන් දැක්වූ එම වාර්තාවේ උපදේශක මණ්ඩලයේ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය චන්න රණසිංහ, පත්මේශ්වරන්, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සහ කාන්ති නානායක්කාර යන මහත්ම මහත්මීන්ගේ ඒකමතික තීරණයක සඳහන් විය.

මේ අනුව ඖෂධ නියාමන අධිකාරියේ මෙම Sinopnarm එන්නත පිළිබඳ කළ සාකච්ජාවකදී එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත්, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාත් මේ පිළිබඳව කමිටුවේ අදහස පළකර තිබුණි. උපදේශක මණ්ඩලය කුමන අදහසක් දැරුවද එම උපදෙස සලකා බලා එන්නත් අනුමත කිරීමේ බලයත් ඖෂධ නියාමක අධිකාරියට ඇති බවද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි. කෙසේ වුවද අවසානයේදී එන්නත් ලංකාවට ගෙන එන ලද්දේ චීන ජාතිකයන්ට පමණක් එන්නත් කිරීමේ තීරණයක් මතයි.

“එන්නතක් අනුමත කරන්නට පෙර එහි තුන්වැනි අදියර පිළිබඳව ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. පළමු සහ දෙවැනි අදියරවලදී පරීක්ෂණ සඳහා යොදාගනු ලබන්නේ පුද්ගලයන් සියයක් දෙසීයක් වැනි ඉතා පොඩි සංඛ්‍යාවකුයි. තුන්වැනි අදියරේදී විසි දහසක්, හතළිස් දහසක් වැනි විශාල සංඛ්‍යාවක් යොදාගනු ලබනවා. එහිදී ඒ එන්නතේ තියෙන අතුරුඑල සහ ප්‍රතිඵල පිළිබඳව තීරණය කරන්න පුළුවන්. ඒ තුන්වැනි අදියර සම්බන්ධ දත්ත මොවුන් අපිට ලබාදුන්නේ නැහැ. එන්නතක් අනුමත කරන්න ඒක අත්‍යාවශ්‍යයි. ඒ දත්ත අපිට නැති නිසා තමයි අපි මේක ලංකාවේ ජනතාවට අනුමත කළේ නැත්තේ.” යැයි විශේෂඥ වෛද්‍ය සංගමය සාභපති ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

කෙසේ වුවද එන්නත ලබාගත් චීන ජාතිකයන්ට මෙතෙක් කිසිදු අහිතකර බලපෑමක් වාර්තා වී නොමැති බව සභාපති කාර්යාලය සඳහන් කරයි. එම එන්නතේ දෙවැනි මාත්‍රාව ඉදිරි සති කිහිපයක් තුළ ලබාදීමට නියමිතය.

 දිශානි ජයමාලි කරුණරත්න