2021 මැයි 08 වන සෙනසුරාදා

ආයුර්වේද රෝහල් කොවිඩ් රෝහල් වෙයි

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ආයුර්වේද රෝහල් යොදාගැනීමට අනුමැතිය හිමිව ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය, ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.
ඒ අනුව රාජගිරිය සහ නාවින්න ආයුර්වේද රෝහල්වල කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර සඳහා අවසර දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආයුර්වේද රෝහල් සඳහා කොරෝනා රෝගීන් ඇතුළත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව බොරුල්ල ආයුර්වේද රෝහලත්, නාවින්න මහරගම ආයුර්වේද පර්යේෂණ  රෝහල ඇතුළුව අපේ රටේ විසිරිලා තියෙන ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ මධ්‍යස්ථාන ලෙස නම් කිරීමට රජය තීන්දු කරල තියෙනවා. ඒ මධ්‍යස්ථානවලදී ලබාදෙනු ලබන්නේ අපේ දේශීය කැඳ වර්ග, ඔසුපැන් වර්ග, පාරම්පරික ඖෂධයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව ලෙස සුවධරණී ඖෂධ රට පුරා නොමිලේ බෙදී දීමටත් කටයුතු කරලා තියෙනවා. යැයි ඇමැති සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙර සිටම පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේදී කොරෝනා ආසාදිතයන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් පවත්වාගෙන ගිය අතර එය මේ වනතුරු ද සිදුවෙමින් පවතී.

මුලින්ම 2020 දෙසැම්බර් මාසේදී තමයි ඇඳන් සීයකින් යුත් වාට්ටුවක් පවත්වා ගත්තේ. ඒ කොවිඩ් රෝගීන් සඳහායි. මේ වන විට ඇඳන් එකසිය හතළිහ දක්වා වැඩි කරලා තියෙනවා. මේ වන විටත් ඒ ඇඳන් එකසිය හතළිහේම කොවිඩ් රෝගීන් පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ගනු ලබනවා. මේ රටේ පවතින තත්ත්වය අනුව අපි ශ්‍රී ලංකා යුද හමුදාවත් සමඟ තවත් ඇඳන් සංඛ්‍යාවක් අලුතින් එකතු කරන්නට කටයුතු කරගෙන යනවා. ලබන සතිය වන විට තවත් ඇඳන් හතළිහක් පමණ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ගන්න අපිට පුළුවන් වේවි. ඒ අනුව එකවර කොවිඩ් රෝගීන් එකසිය අසූවකට පමණ මෙම පල්ලෙකැලේ ආයුර්වේද රෝහලෙන් ප්‍රතිකාර ලබාදීමට අපිට හැකියාව ලැබේවි. යැයි මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මෙහිදී බොහෝ දුරට කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙන්නේද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුවය.

මේක මුලින්ම පටන්ගත්තේ සෞඛ්‍ය කාර්යාල සඳහායි. නමුත් මේ වනවිට හදිසි අවශ්‍යතා මත ඔක්සිජන් ලබාදෙන මට්ටම දක්වා ප්‍රතිකාර ධාරිතාවය වැඩිවෙලා තියෙනවා. මෙහි සිටින කොවිඩ් රෝගීන්ට ආයුර්වේදය අනුව බෙහෙත් පද්ධතියක් ලබා දෙනවා. කොවිඩ් රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ගඳ සුවඳ නැති වී යාමයි. ඒ අනුව දේශීය ප්‍රතිකාරයක් ලෙස මුඛ ශෝධන ඖෂධයක් ලබාදීම, ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමේ ඖෂධ ලබාදීම මෙන්ම රෝගීන්ගේ රෝගී තත්ත්වය අනුව ඖෂධ ලබාදීමටත් අපි කටයුතු කරනවා. යැයිද වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා කියයි.

මෙය කොවිඩ් රෝගය ආසාදිත වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පවත්වාගෙන යයි. ඒ අනුව වෛද්‍යවරැන්, හෙදියන් මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ප්‍රතිකාර ලබාදීම සිදුවෙයි. කොවිඩ් ආසාදනය වූ බොහෝ බටහිර වෛද්‍යවරුන්ද මෙම රෝගයෙන් සුවය ලැබීම සඳහා දේශීය ප්‍රතිකාර සඳහා යොමු වූ බවද කියයි.

පල්ලෙකැලේ ආයුර්වේද රෝහල පාදක කරගෙන ලබන සතිය වනවිට නාවින්න ආයුර්වේද පර් යේෂණ රෝහල, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල, හම්බන්තොට රෝහල සහ ලංකාවේ ප්‍රධාන ආයුර්වේද රෝහල්වලත් මේ ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. යැයි වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

සිංහල අලුත් අවුරුද්දට පසුව රට පුරා ඉතා ශීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවද ගිය වරට සාපේක්ෂව මෙවර කොළඹ නගර සීමාව තුළ වාර්තාව වන ආසාදිතයන්ගේ යම් අඩුවීමක් දැකගත හැකි බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. එයට හේතුව ලෙස ඇය පවසන්නේ ආයුර්වේද ඖෂධ හා පිළිවෙත්වලට ජනතාවගේ ඇති උනන්දුව බවය.

දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් සකස් කරන ලද ප්‍රතිශක්තීකරණ ඖෂධයක් මේ වනවිට අපි ජනතාවට නොමිලේ ලබා දෙනවා. ඒකත් අපි මේ දිනවල දිනපතාම පාවිච්චි කරනවා. එය ඉතා හොඳ ඖෂධයක්. කොළඹ නගර සභා සීමාවට වගේම රාජ්‍ය ආයතනවලටත්, යුද හමුදාවටත් බොහෝ දෙනකුටත් නොමිලේ එය ලබාදීලා තියෙනවා. යැයි ඇය වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් රෝගය වසංගතයක් සේ මුළු රට පුරාම ව්‍යාප්ත වූ මුල් කාලයේ සිටම දේශීය වෛද්‍යවරුන් මෙන්ම පාරම්පරික වෛද්‍යවරැද විවිධ ඖෂධ වර්ග මේ සඳහා අත්හදා බැලූහ. එහි ප්‍රධානම අවස්ථාව වූයේ කෑගල්ලේ ධම්මික වෙද මහතා විසින් හඳුන්වා දුන් ඖෂධීය පැණියයි.

මෙම ඖෂධය සාර්ථක දැයි පරීක්ෂා කර බැලීම සිදු කෙරිණි. එහිදී පළමුව වතුපිටිවල කොවිඩ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූලා බණ්ඩාර, වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කොවිඩ් ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාර සහ කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ද සමරකෝන් යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ රොගීන් එකසිය හතළිස් දෙනෙක් සම්බන්ධ කරගනු ලැබූහ. එයින් අහඹු ලෙස තෝරාගත් රෝගීන්ගෙන් කොවිඩ් වෛරසය ශරීරයෙන් ඉවත්ව ඇති බව තහවුරැ විය. ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරැණ මුණසිංහ මහතාද සම්බන්ධ කර ගනිමින් තවත් පරීක්ෂණයක්ද සිදු කෙරැණි. ධම්මික පැණිය කොවිඩ් රෝගීන් සඳහා ලබාදීමට රජරට විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම කමිටුවේ අනුමැතිය හිමිවූ අතර සායනික මට්ටමින් පරීක්ෂණයට යොමු කිරීමටද කමිටුව නිර්දේශ කළේය. මෙහිදී අදාළ විශේෂඥ කමිටුව පවසා ඇත්තේ කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා කෑගල්ල ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් මෙම පැණිය කොවිඩ් රෝගීන් සුවපත් කිරීමට තවදුරටත් යොදාගත හැකි බවට සාධනීය ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට ගෙන යාම අවශ්‍ය නොවන බවත්ය. 

මේ ගැන විමසූ විට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා මෙසේ කීය.

බටහිර වෛද්‍යවරු පිරිස් දෙකක්ම තමයි මේ පරීක්ෂණ සිදු කරන්නේ. අනුරාධපුරයේ පැවැත්වූ පරීක්ෂණය තියලා මාස ගණනකට පස්සේ තමයි කිව්වේ මේ දීපු වාර්තාව මම පිළිගන්නේ නැහැ. අද දවසේත් මගෙන් ඖෂධ අරගෙන මස් මාළු නොකා නිසි මාත්‍රාවට අනුව මේ ප්‍රතිකාර ලබාගන්නා අයට මේ රෝගය හැදෙන්නේ නැහැ.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00