2021 මැයි 08 වන සෙනසුරාදා

පබ්ලිස්ගේ උරුමයෙන් කෑම බිස්නස් එකට අත තැබූ දියණිය

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

හෙළ රටාවට ඉවුම් පිහුම් කරනා ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රවීණ සූපවේදී පබ්ලිස් සිල්වාගේ අඩි පාරේ යමින් රසවත් ආහාර පිසින ඔහුගේ බාල දියණියද අද දක්ෂ සූපවේදිනියකි. පියාගේ ඉවුම් පිහුම්වල අත් ගුණයට තවත් සාක්ෂි දරමින් නිශානි මහේෂිකා නම් වන ඇය රත්මලානේ Publis Legends නමින් පවත්වාගෙන යනු ලබන අවන්හලට ගොඩවැදෙන කෙනකුට කෘත්‍රිම රසකාරක නොයෙදූ රස, ගුණ සපිරි ආහාර වේලක රස බැලිය හැකිය.

මගේ අම්මා තාත්තාවත්, මගේ සහෝදරයෙක්වත් මේ වෘත්තියට යොමුවුණේ නැහැ. මම රස්සාවක් ඉගෙන ගත්තෙත් නැහැ. රස්සාවක් නැතිකමට ගල්කිස්ස මහ හෝටලේ කුලී වැඩටයි මම ගියේ. ඒ වෘත්තිය ප්‍රගුණ කරලා අද වෙනකොට මම සෑහෙන තැනකට ඇවිත් තියෙනවා. ඒ කාලේ නම් මගේ දරුවෙක්, දෙන්නෙක් මේ වෘත්තියට පුරුදු කරන්නට ඕන වුණා. මගේ ලොකු පුතාට මම ඉගැන්නුවා. ඔහු රසකැවිලි අංශයෙන් ප්‍රධාන සූපවේදියෙක් හැටියට රට රටවල්වලට ගිහින් ලංකාවේ හෝටල් කිහිපයක වැඩකරලා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා. එයා සුනිල් රණසිංහ. දෙවැන්නා දුව. තුන්වැනියාත් දුව. හතරවැනියා පුතා. ඒ පුතා පාසල් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික බැංකුවක සේවය කළා. වසර පහළොවක් පමණ කරගෙන යද්දී ඔහුටත් මේ ක්ෂේත්‍රයට එන්න ආස හිතිලා මගේ අත්තිඩිය මහ ගෙදර පුංචියට මේ ව්‍යාපාරය ආරම්භ කළා. මගේ බාල දුව මේ ක්ෂේත්‍රයට එන්න මුලදී බලාපොරොත්තු වුණේ නැහැ. ඇයගේ සැමියා දැනඋගත්, හොඳ රැකියාවක තනතුරක් දරන කෙනෙක්. ඔහුගේ නම නිලංග වික්‍රමසිංහ නමුත් මේ දුවටත් මේ අත්ගුණේ තිබුණා. ඇයත් පහුකාලීනව නිවසේ සිට ආහාර සම්බන්ධව පොඩි ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. ඒ නිසා තමයි මම මගේ මේ බාලදුවට මෙතන එයාගේ ආහාර ව්‍යාපාරය කරගෙන යන්න කියලා කිව්වේ. මගේ ලොකු දුවත් පානදුරේ ආහාර ව්‍යාපාරයක් කරගෙන යනවා. තුන්වැනි දුවත් එයාගේ නිවසේ සිට තවත් ආහාර ව්‍යාපාරයක් කරගෙන යනවා. දැන් මගේ දරුවෝ පස්දෙනාම මේ වෘත්තිය තමයි කරගෙන යන්නේ.
ඒ මේ දරුවන් පස්දෙනාගේ ආදරණීය පියා, බොහෝ දෙනකු හඳුනන පබ්ලිස් මහතා දේශයට තම දරුවන් ගැන කියූ කතාවයි.

පබ්ලිස් මහත්තයා ජීවිතේ පටන් ගත්තේ අඩියෙනි. මවගෙන්, පියාගෙන් යැයි කියන්නට වත්කමක් ඔහුට තිබුණේ නැත. නමුත් ධෛර්යවන්ත හිතක්, මේ දෙමව්පියන්ගෙන් ඔහුට ලැබුණි. කම්කරුවකු වූ පියා අසීමිත දුක් මහන්සියෙන් ජීවත්වූ හැටි පබ්ලිස්ට මතකය. ඉඳිආප්ප, ආප්ප සුළුවෙන් සාදා සත ගානට අම්මා කෑම විකුණාගත් රුපියලට එකල වටිනාකමක් තිබුණි. රත්ගම සිට ගාල්ලට සැතපුම් හයක් පමණ පා ගමනින් ගොස් ගාල්ලේ තැලී පොඩිවුණු එළවළු කූඩයක අසුරා හිස මත තබාගෙන ආ අම්මාගේ පසුපස ඇවිද ගිය අතීතයක් පබ්ලිස් මහත්තයාට තිබුණි. පොඩිවුණු තක්කාලිවලින් ගැලූ ඉස්ම මවගේ හිසෙන් බේරාගිය ඒ අතීතය අදටත් ඔහුට මතකය. ගල්කිස්ස මහ හෝටලයේ ලිපට ගල් අඟුරු එක්කරමින් වෘත්තීය ජීවිතය ඇරඹූ පබ්ලිස්ට ඊට අමතරව උදේ පාන්දර පොල්ගෙඩි අසූවක් ගා මිරිකා තැබිය යුතුව තිබුණි. ඒ සෑම මඟක්ම අදටත් ඔහුට හොඳහැටි මතකය. වර්තමානයේදී ගල්කිස්ස මහ හෝටලයේ ඉහළ නිළතලයක් දැරුවද අදටත් පබ්ලිස් මහතා ඒ අතීතය මතක් කරන්නේ සැබෑවූ සෙනහසක් හිතේ දරාගෙනය.

Publis Legendsහි උදේ, දහවල් සහ රාත්‍රි කෑම මිලදී ගත හැකිය. උදෑසන ආහාර වේල සඳහා කැඳ, ඉඳිආප්ප, පිට්ටු, රොටී, කිරිබත්, මුං කිරිබත්, ප්‍රධාන කොටගෙන තවත් කෑම වර්ග කිහිපයක්ම දිනපතා සැකසේ. දහවල් ආහාර වේල සඳහා බත්වර්ග කිහිපයකට සරිලන එළවළු වර්ග කිහිපයක්ද, මස්, මාළු ව්‍යාංජනද පිසිනා අතර ඉරිදි දිනයන්හි &Publis’s Biriyani* නම් විශේෂ දහවල් ආහාර වේලක රස බැලිය හැකිය. රාත්‍රී ආහාර වේලට ක්‍රම කිහිපයකට බත්, ඉඳිආප්ප, පිට්ටු, එළවළු රොටී ඇතුළු තවත් ආහාර වර්ග කිහිපයක්ද පිසිනා අතර තමන් කැමැති ආහාර වර්ගයක් ඇණවුම් කොට ලබාගැනීමේ හැකියාව Publis Legends හි ලබාදී ඇත.

දිනපතා Publis Legends හි උදෑසන සාදන කොළකැඳ සාදන්නේ සම්පූර්ණයෙන්ම පබ්ලිස් මහත්තයාගේ අතිනි. ඔහු සෑම දිනකම අවදි වන්නේ පාන්දර දෙකටය. එතැන් සිට ඔහු පෙරදින රාත්‍රියේ තම දියණිය විසින් සූදානම් කොට තිබෙන පලා වර්ගයක් ගෙන ඉතා සංසුන්ව කැඳ වර්ගය පිසින්නේය. එය භාවනාවකට සමාන වූවකි.

මම ඉන්නේත් මේ ගෙදරයි. මගේ ලොකු පුතා මෙතන මේ ව්‍යාපාරය මුලදී කරගෙන යද්දීත් කැඳවලට හරි ප්‍රසිද්ධයි. ඒ හැදුවෙත් මමමයි. ඒ නිසා මම කැඳ ටික හදල මගේ රස්සාවට යන්නම් කියලා මම දුවට කිව්වා. මම උදේ පාන්දර දෙකට නැගිටලා තනිවම මේ කැඳ ටික හදනවා. මේ අය අවශ්‍ය කරන කොළ සුද්ධ පවිත්‍ර කරලයි තියෙන්නේ. මම තමයි කොළ කපල බ්ලෙන්ඩර් කරල මේ කැඳ එක හදන්නේ. මා නිතරම බලාපොරොත්තු වන්නේ සැබෑ සූපවේදියෙක් වශයෙන් ක්‍රියා කරන්නයි. සූපවේදියා කියන්නේ ලෙහෙසි පහසු කෙනෙක් නෙමේ. දොස්තර කෙනෙක්ට වගේ දැනුමක් එයාට තියෙන්න ඕනේ. එයාගේ වැරුද්දෙන් තමයි මිනිස්සු රෝගී වෙන්නේ. මම මේ කැඳ තනිවම හදද්දී බොහෝම පිරිසිදුවෙන්, හදවතට එකඟව තමයි කැඳ එක හදන්නේ. කැඳ හැඳිගාද්දී මම ඒකට කරුණාව, ආදරය, මෛත්‍රිය මිශ්‍ර කරනවා. මේක හැඳි ගාන්නෙත් භාවනාවක් වගේ හිත නිදහස් කරගෙනයි. මේක විශේෂ කැඳ කෝප්පයක්. කැඳ විතරක් නෙවෙයි හැම කැමක්ම අපි පිසින්න ඕනේ හරිම නිදහසින්. කිසිම වෙලාවක හිතේ කේන්තියෙන් ඉන්න වෙලාවක කෑමක් නම් පිසින්න එපා. යැයි පබ්ලිස් මහතා පවසයි.

Publis Legends අවන්හලේ පිසින කෑම පිළිබඳව පබ්ලිස් මහත්තයා නිරන්තරයෙන් සොයා බලයි. පබ්ලිස් මහත්තයා කෑම පිළිබඳව බොහෝ අත්දැකීම් ඇති කෙනෙකු වුවද නිවසේ කෑම පිසීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ ඔහුගේ බිරිඳටය. තම දරුවන් කුඩා කාලයේදී පවා ඔවුන් වට කොටගෙන තම නිවසේ මුළුතැන්ගෙයි කෑම පිසීම පබ්ලිස් පුරුද්දක් කරගෙන තිබුණේ නැත. ඒ නිසාම දරුවන්ට ඒ හැම අත්ගුණයක් ලැබුණේද තම මවගෙනි. නමුත් ගුරුහරුකම් පියාගෙන් ලැබුණි.
මම වෘත්තියට තැන දුන්නා මිසක් මම දරුවන්ට, ගෙදරට තැනක් දුන්නේම නැති තරම්. මම මේ බාල දුවට තමයි ටිකක් හරි තැනක් දුන්නේ. බාල දියණිය ඉගෙනගත්තේ ගල්කිස්ස උසස් බාලිකාවේ. ඒ නිසා මම හැමදාම පාන්දර රස්සාවට යන ගමන් මෙයාව පාසලට ඇරලවගෙන ගියා. බාල පුතා ඉගෙන ගත්තේ විද්‍යා විද්‍යාලයේ. මේ දෙන්නා තමයි ඒ කාලේ මුලින්ම පාසලට පාන්දරම යන දරුවෝ දෙන්නා වුණේ. මගේ නෝනායි ළමයි පස්දෙනයි, මමයි හරියට අහසයි පොළොවයි වගේ. කිසිම සම්බන්ධයක් නැහැ. මම හෝටලයට තැන දුන්නා මිසක්, මගේ හාමිනේටවත්, මගේ දරුවන්ටවත් තැනක් දුන්නේ නැහැ. එහෙම කළා නම් අද පබ්ලිස් කෙනෙක් නොහිටින්නත් තිබුණා. මම වෘත්තියට පුදුමාකාර විදිහට කැප වුණා. මගේ මේ නම මම හදාගත්තේ බොහෝම ගෞරවනීයවයි. හරි අමාරුවෙන්. ඒක නාස්ති වෙන්න දෙන්න බැහැ. ඒ නිසා මේ ව්‍යාපාරය කළත් ඉතා පරිස්සමෙන්, සැලකිල්ලෙන් කරන්න කියලයි මම මේ අයට කියන්නේ. පබ්ලිස් මහතා කියන්නේය.

තාත්තාට වගේම මගේ අම්මටත් හොඳට උයන්න පුළුවන්. ආහාර පිළිබඳව හොඳ දැනීමක් තිබෙනවා. තාත්තා හැමදාම රෑට කෑම කන්නේ අම්මා හදල දෙන ඒවායි. උදේට, දවල්ට තාත්තා හෝටලෙන් කෑවත්, කොහේ ගියත් මොන උත්සවයකට ගියත් තාත්තා රූට කන්නේ අම්මා හදපු කෑමයි. අම්මා හදන ඒ කෑම අපිට හදන්න බැහැ. ඒක වෙනමම අත්ගුණයක්. මගේ ව්‍යාපාරයේ හදන කෑමවලට අවශ්‍ය කරන කුළුබඩු අම්මා ගෙදරම තමයි හදලා මට දෙන්නේ. තාත්තා කියලා දීපු වට්ටෝරුවකට අනුව තමයි අම්මා ඒක හැමදාම හදලා ‍දෙන්නේ. ඒකෙන් කෑම හරි රසයි. බොහෝ දෙනෙක් දැන් නිතරම Publis Legends එකට ඇවිත් අපෙන් කෑම අරගෙන යනවා. ඇණවුම් කර කෑම නිවසටම අපෙන් ගෙන්වා ගන්නවා. නිශානි මහේෂිකා පවසන්නීය.
පබ්ලිස් සිල්වාගේ ආහාර පිසීමේ කලාව දරුවන් පස් දෙනාටම පිහිටා තිබේ. ඔවුන් පස්දෙනාම අද ආහාර සම්බන්ධ ව්‍යාපාර පවත්වාගෙන යති. නිශානිගේ පුතණුවන්ගේ හිතේද මේ ආහාර පිසීමේ කලාවට වැඩි කැමැත්තක් ඇති වී ඇත. ඔහුට හෝටල් පාසලක මේ වනවිට ආහාර සම්බන්ධ අධ්‍යාපනය හදාරමින් පසුවන්නේය. මෙසේ පරම්පරා තුනක එකතුවකි.

තාත්තා හැමදාම උදේ දෙකට නැගිටලා කැඳහදලා මෙතන අඩුපාඩු තියෙනවා නම් ඒවා බලලා තමයි රුකියාවට යන්නේ. දැන් මගේ පුතාත් හෝටල් පාසලක අවුරුද්දක් ඉගෙන ගන්නවා. එයා කැමැත්තෙන් තමයි එයා මේ ක්ෂේත්‍රයත් තෝරාගත්තේ. පුතාත් Publis Legends අවන්හලට පැමිණ මේ දේවල් හොයලා බලලා කරනවා.

කොවිඩ් වසංගතය අවසන් වූවාට පසුව මෙතැන බුෆේ එකක් දාන්න අපි හිතාගෙනයි ඉන්නේ. එවිට ඕනෑම කෙනෙකුට ඕනෑම කෑමක් මෙතනදීම තෝරාගන්න පුළුවන්. දරුවන්ට වුණත් මම බල කරන්නේ නැහැ. මම මේ ඉල්ලීමක් විතරයි කරන්නේ. මගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ රට හැදුණාට පස්සේ කැඳවලට ගන්න හැම කොළයක්ම, අමුද්‍රව්‍යයක්ම පෙනෙන්නට තබා මෙතැනට එන පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව පලා වර්ගය හෝ වර්ග දෙකතුන එක්කොට ඔවුන් ඉදිරියේම ඒ කැඳ කෝප්පය සාදා පිළිගැන්වීමේ ක්‍රමයක් හදන්න. ඒකේ තාක්ෂණය මම ගාව තිබෙනවා. අප්‍රේල් මාසේ 24 වැනිදා මගේ පොත් තුනක් එළිදැක්වූවා. මේ වෘත්තිය ඉගෙන ගන්න දරුවන්වත්, මේ වෘත්තීය උගන්වන හෝටල් පාසල්වලටත් දේශීය භාෂාවෙන් පොතක් මම එළිදැක්වූවා. එම පොතේ ආහාර පිසින හැටි පමණක් නොව කුළුබඩු පිළිබඳව, ඒවා සකසා ගැනීම, එළවළු, මස් ආදිය කැපීම පිළිබඳව විස්තර ඇතුළත් වෙනවා.* ඔහු කියයි.

‍ දිශානි ජයමාලි කරුණාරත්න
    සේයාරූ සුමුදු හේවාපතිරණ