ඉක්ම ගියේ මෙරට කොවිඩ් රෝගයේ හැරවුම් ලක්ෂ්‍යක් ලෙස ඉතිහාස ගතවන සතියකි. කොවිඩ් ආසාදිතයන් ලක්ෂය පැන්නූ රටවල් අතරට ලංකාවද පසුගිය සතිය තුළ එක්විය. රට තුළ වඩාත් වැඩිවේගයකින් කොවිඩ් පැතිරෙන අතර එය දෛනිකව 2000ක අනතුරුදායක මට්ටමක් කරා ළඟා වී හමාරය. සෞඛ්‍ය අංශවල ධාරිතාව උපරිම වශයෙන් භාවිතාවට ගැනෙන අතර දැන් පැමිණ ඇත්තේ තීරණාත්මක මොහොතයි.
පළමු කොවිඩ් රෝගියා වාර්තා වූ දින සිට මේ දක්වා වැඩිම දෛනික පී.සී.ආර්. ප්‍රමාණය වූ 27,104ක් පර් යේෂණ සිදුකළේ ඉකුත් අප්‍රේල් 30දාය. ඒ දින 1662 ආසාදිතයන් වාර්තා විය. අප්‍රේල් 27දා සිට ලංකාවේ දෛනික රෝගීන් ගණන දහස පන්නා වාර්තා වන්නට වූ අතර එහි උපරිමය බදාදා දිනයේ 1939ක් ලෙස වාර්තා විය. අප්‍රේල් 30දායින් ඇරඹී මැයි 05 වැනිදායින් නිමා වූ දින 06ක කාලය තුළ පී.සී.ආර්. 143,290ක් සිදුකර තිබූ අතර සතියකට ආසන්න ඒ කාලයේදී ආසාදිතයන් දසදහස පන්නා 11048ක් ලෙස වාර්තා වී තිබේ. දෛනික මරණ සංඛ්‍යාවද මේ සමඟ ඉහළ යාමක් පෙන්නුම් කළ අතර අසාමාන්‍ය මරණ කිහිපයක් ගැනද වාර්තා එළියට ආවේය. අයිසියූ ඇඳන් තිබියදී කාර්යය මණ්ඩලය හිඟවීම නිසා එක් මරණයක් සිදුව තිබුණි. තවත් අයෙක් පී.සී.ආර්. මඟහැර කට්ටිපැන සිටියදී නිවසින් පිටතදී මියගිය බව වාර්තා විය. මහමග සිදුවූ මරණ ගැන වාර්තා කිහිපයක්ම එළියට ආවේය. මේ අතර සෞඛ්‍ය අංශ බලධාරීන්ද පුනපුනා කියන්නට වූයේ තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට ළඟාවී ඇති බවය.
පසුගිය සතිය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 70%ක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කීවේය. දෛනික ආසාදිතයන් 2000 පැන්නුවහොත් භයානක ප්‍රතිඵල බලාපොරොත්තු විය යුතු යැයි ඔවුන් අනතුරු අඟවා ඇත. මේ ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබුණේ කඩිනමින් රෝග පාලන වැඩපිළිවෙළකට යොමු නොවුණහොත් ඉන්දියාවේ පවතින ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවටද අද හෙටම මුහුණදීමට සිදුවන බවටය. එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කීවේ කොවිඩ් ආසාදිතයින් දිනකට 1800ක් පමණ හඳුනාගන්නා විට සමාජයේ රෝගීන්ගේ ගණන එමෙන් දෙගුණයකින් හෝ තෙගුණයකින් ඉහළ විය හැකි බවයි.
“අපි දිනකට රෝගීන් 1800ක් විතර හඳුනාගන්නා විට සමාජයේ මේ රෝගීන්ගේ ගණන දෙගුණ හෝ තෙගුණ වෙනවා. රෝගීන්ගේ ඇඳන් ඉඩකඩ ඉතාමත් සීඝ්රයෙන් අඩුවෙමින් යනවා. දැඩි සත්කාර ඒකක පිරෙමින් යනවා. කායික වෛද්‍ය විශේෂඥවරු පවසන ආකාරයට මේ අලුත් ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තියත් එක්ක පවුලේ එක් අයෙකුට මේ වෛරසය ආසාදනය වුණාම පවුලේ අනෙක් සියලුදෙනාටම වගේ ඒ වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන සංචරණ සීමා උපරිම ක්‍රියාමාර්ග මේ අවස්ථාවේ රජය විසින් ගතයුතුයි.” වෛද්‍ය විශේෂඥවරිය පෙන්වා දෙන්නේ දිනකට රෝගීන් 2000 පන්නා වාර්තා වුවහොත් මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින ධාරිතාව ඉක්මවා යෑම සහ සම්පත් සීමාසහිත වීම හේතුවෙන් සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යනු ඇති බවය.
පසුගිය සතිය වනවිට ලංකාවේ කොවිඩ් රොගීන් සඳහා වෙන්කර තිබූ ඇඳන් 13,800 පිරි යන මට්ටමට රෝගීන් ළඟාවී තිබුණි. මේ අනුව කඩිනමින් තවත් ඇඳන් 20,000ක් පමණ සපයා ගත යුතු තත්ත්වයක් උදාවී ඇත. ඉදිරි සති 2ක කාලය තුළ තවත් ඇඳන් 10,000ක් පමණ අලුතෙන් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියා තිබුණි.
තත්ත්වයේ භයානක කම ගැන ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම ලැබුණේ කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙතිනි. අද වනවිට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි පිළිගත් ඇය මෙරට හඳුනාගෙන සිටින කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි යැයි කීවාය. මේ අතර වාර්තා වූයේ රට තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් මෙරට පුද්ගලික රෝහල්වලද ආසාදිතයන් සඳහා වෙන්කළ රෝහල් ඇඳන් ධාරිතාවන් සම්පූර්ණයෙන්ම පිරි අවසන් බවය.
ස්වාධීන විද්වතෙකු වන ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ උපදේශක ආචාර්ය සංජය පෙරේරාද ලංකාවේ දැනට ආසාදිතයන් ලක්ෂ තිහක් පමණ සිටින බවද ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ වේගය ඉන්දියාවට වඩා ඉහළ බව ඩිජිටල් මාධ්‍යයට කියා තිබුණි.
මේ අතර දිනකට කොරෝනා ආසාදිත පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් අලුතින් හඳුනා ගනිමින් සිටීම නිසා එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබුණි. මෙරට දැනට 17,000 ඉක්මවූ පිරිසක් රෝහල් ගතව සිටින බවද පැවසූ එහි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර දිනකට තවත් 2000ක පමණ පිරිසක් හමුවීමෙන් සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද සඳහන් කළේය. ඒ නිසා සියලුම ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු දැඩිව අවධාරණය කර තිබුණි. දැඩි කොරෝනා අවදානම පිළිබඳව නොසැලිකිලිමත්ව නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් යාපනය පොලීසිය මූලිකව ආරම්භ කොට ඇත. මුඛ ආවරණ පැළඳ නොසිටීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් පොලිස් භාරයට ගැනීමේ ක්‍රියාවලිය රටේ අනෙකුත් ප්‍රදේශවල පොලීසිවලින්ද අනුගමනය කරන තත්ත්වයක් සති අන්තය වනවිට උදා වී තිබුණි.
මේ වනවිට උදාවී ඇති අවදානම් අධික තත්ත්වය සැලකිල්ලට ගන්මින් මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබුණි. එය තීරණය වන්නේ ඉදිරියේදී වාර්තා වන රෝගීන් ප්‍රමාණය සහ ජනතාවගේ හැසිරීම් අනුව බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් අවශ්‍යතාවය පරිදි රෝගීන් වැඩි වශයෙන් වාර්තාව ප්‍රදේශයන්හි සංචරණ සීමා දැනටමත් පනවමින් ඇතැයිද ඔහු තවදුරටත් කියා ඇත.
මේ වනවිට ඉක්මන් පැතිරයාමක් දක්වන එංගලන්ත B117 කොරෝනා ප්‍රභේදය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වී ඇති බව විද්වතුන් සනාථ කර සිටිති. එවන් එක් අයෙක් වන ආචාර්ය චන්දනමලී පුංචිහේවා මහත්මිය දැනටමත් මෙම ප්‍රභේදය අවිස්සාවේල්ල, කුලියාපිටිය, වාද්දුව, රත්මලාන, පොල්ගස්ඕවිට ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර රටේ සෙසු ප්රදේශයන්හිද මෙම ප්‍රභේදය ව්‍යාප්තව ඇතැයි සැකකළ හැකි බවයි. එය ඉතාම අවදානම් තත්ත්වයක් බව සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය පැතිරීම ඉතාම සීඝ්‍ර බවත් එසේ වුවොත් මීටත් වඩා දරැණු ප්‍රභේද රටේ ඇති විය හැකි බවත්ය.
ඒ අතර ශ්‍රී ලංකාව තුළ දෛනිකව කොරෝනා ආසාදිතයන් සීඝ්රයෙන් ඉහළ නිසා බැරෑරුම් කොවිඩ් ව්‍යාප්තියක් ලෙස සලකන ලෙසත් දැඩි සංචරණ සීමා ගැන අවධානය යොමුකරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයද ශ්‍රී ලංකාවට අණතුරු අඟවමින් අවධාරණය කර ඇත.
එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදය ආසන්නයේම සිටිනා බවටය.
I සුගත් පී. කුලතුංගආරච්චි