කීර්තිමත් ලේඛකයකු හා කෙටිකතාකරුවකු වූ ජී.බී. සේනානායකයන් විසින් සිය ප‍්‍රථම නවකතාව වූ ‘මේධා’ ලියනු ලැබුවේ බුද්ධ වර්ෂය ආරම්භ වන්නට අවුරුදු අනූ අටකට පමණ පෙර දඹදිව කොසඹෑ නුවර හටගත් වසංගත රෝගයක් පසුබිම් කරගෙනය.
දිනක් ගමනක් ගොස් ආපසු පැමිණි සෝම තම බිරිඳට කතා කළේය.
මේ වීදිය ළඟ වීථි දෙකක අහිවාතක රෝගය පැතිරී තියෙනවා*යි ඔහු ඇයට කීය.
දකුණු වාසල ළඟත් ගෙවල් කීපයකම රෝගය තියෙනවාලු. අහිවාත රෝගය සමහරවිට ටිකක් පැතිරී නවතිනවා. සමහරවිට හුඟාක් පැතිරෙනවා. රෝගය මුළු නගරයේම පැතිරෙන්ට බැරි නැහැ*යි ඔහු ශාන්ත ලෙස පැවසීය.
ගෙයක මිනිසුන්ට අහිතකර රෝගය හැදෙන්ට ඉස්සෙල්ලා දැනගන්ට පුළුවනි යි දාසියක් පැවසුවාය.
ඒ ගෙදර මැස්සොත් කුරා කුහුඹිත් රෝගයෙන් මැරෙනවා. ඊට පස්සේ බල්ලෝ, බළල්ලු මැරෙනවා. එතකොට ඒ ගෙදර මිනිස්සුන්ට අහිවාතක රෝගය ඇතිවෙන්ට යන බව දැනගන්ට පුළුවනි.* දාසයෙක් කීවේය.
දැනගෙන ඇති වැඩේ මොකක්ද? ගෙදර මිනිසුන්ට රෝගයෙන් බේරෙන්ට බැහැ* යි දාසයෙක් කීය.
පුළුවනි, ගෙදර බිත්ති බිඳගෙන යන්ට ගියොත් බේරෙන්ට පුළුවනි.
මේධා නවකතාවෙන් අහිවාත වසංගත රෝගය ගැන සමාජ තොරතුරු රුසක් හෙළිවෙයි. මේ නවකතාව ලිවීමට ජී.බී. සේනානායකයන් මූලාශ‍්‍ර ලබාගෙන ඇත්තේ ජාතක කතා පොත, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ආදී කෘතිවල එන ඉන්දියානු සමාජයෙන් බව ඒ මහතා අප සමඟ පැවසුවේ ‘නව යුගය’ පුවත්පතට 1976දී කළ සංවාදයකදීය. ‘වසංගත රෝග’ ගැන සාහිත්‍යය තොරතුරු ගවේෂණය කරන විට අප ඇසූ, කියවූ තොරතුරු කිහිපයක් මේ ලිපියෙන් කීමට උත්සාහ දැරුවෙමු.
මීට වසර 92 කට පෙර 1928 අගෝස්තු 28 දිනමිණ පුවත්පතේ මුල් පුවත වූයේ %මැලේරියා වසංගතය’ රටපුරා පැතිර යන බවය. වෛද්‍ය හා සනීපාරක්ෂක දෙපාර්තමේන්තුව මැලේරියා රෝගයෙන් වැළකීම පිළිබඳ දැනුවත් කර තිබුණි. එදා සිටි මාධ්‍ය ප‍්‍රකාශකයා එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප‍්‍රියර් ක්ලිප් මැලේරියා නම් උණ රෝගය ගැන පුවත්පත්වලින් දැනුවත් කර තිබුණේ මෙසේය.
නිරුක්ති වශයෙන් අශුද්ධ වාතය යන අර්ථාන්විත මැලේරියා නම් සාමාන්‍ය නාමයෙන් වෛද්‍ය ශාස්ත‍්‍රය පිළිබඳ ඉතිහාසයෙහි සඳහන් වන වෙන කොයි යම් රෝගයකටත් වඩා ලෝකයේ අර්ථ රක්ෂණයට හානි පැමිණෙන්නට උණ රෝගයක් අඟවනු ලැබේ. වසර 2000ක් මුළුල්ලේ ලෝකයෙහි නොයෙක් පළාත්වල විශාල නගරවලද රාජ්‍ය හා අනුරාජ්‍යවලද විනාශයට මැලේරියාව නම් රෝග උවදුර හේතු වූ බව පෙන්වා දෙන සනීපාරක්ෂක අධ්‍යක්ෂ ක්ලිප්, මුල් කාලවල විසූ ග‍්‍රීක් රෝමන් ග‍්‍රන්ථ කර්තෘවරුන්ගේ පොත්වලින් හා පැරුණි හින්දු තන්ත‍්‍රවලද ඒ පිළිබඳ විස්තර දක්නට ලැබෙන බව පවසා ඇත. මිසර දේශයේ දේවාලවල ලියා තිබෙන පැරණි ලේඛනවල අඩු තරමින් එක තැනක මෙම රෝගය අවුරුදු පතා නැවත නැවත පැමිණෙන බව දැනසිටි නිසා පුරාණ මිසරවරු මේ රෝගයේ ඇතැම් ලක්ෂණ හොඳින් දැන සිටින්නට ඇති බවද ඔහු සඳහන් කර තිබිණි.
1935 වසරේ සති හයක් ඇතුළත මැලේරියා උණින් ළමයින් 3500 ක් මියගිය බව දිනමිණ’ (1935 ජනවාරි 25 සෙනසුරාදා) මුල් පිටුවෙන් අනාවරණය විය. එහි මෙසේද සඳහන්ව ඇත.
කෑගල්ලෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචිවල හැටියට තත්ත්වය තවමත් භයානක බව පෙනේ. ආරෝග්‍යශාලාවල හා වතුවල මරුමුවට පත් රෝගීන් හැර ගාලු දිස්ත‍්‍රික්කයේ ගම් නියම්ගම්වල පමණක් පසුගිය මාසයේදී 3,027 දෙනෙක් මිය ගියහ. මෙයින් 2,500 ක් පමණ ළදරුවෝය. මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවට වෛද්‍ය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රියර් ක්ලිප්, උප අධ්‍යක්ෂ දොස්තර ඇස්.ටී. ගුණසේකර, මැලේරියා නාශක ව්‍යාපාරයේ සුපිරින්ටන්ඩ් දොස්තර කේ.කේ. රස්ටමිජ් සහ විශේෂ ප‍්‍රතිෂ්ඨාධාර කොමසාරිස් එච්.ඊ. නිව්න්හැම් යන මහත්වරුන් සහභාගි වී ඇති බව වාර්තාවේ. එම සාකච්ඡාවෙන් පසු පුවත්කලාවේදීන් පෙරදින රාත‍්‍රියේ මහා ආරෝග්‍ය ශාලාවට ඇතුළත් කරගත් රෝගීන්ගේ ගණන සහ සිදු වූ මරණ ගැන ඇසීය.
බොහොම කණගාටුයි. පත‍්‍රවලට තොරතුරු දීමක් නැහැ. වෛද්‍ය සුපිරින්ටන්ඩ්වරයා පුවත්පත් නියෝජිතයන්ට කියා ඇත. පසුදා උදෑසන ඔහු ප‍්‍රවෘත්ති පත‍්‍රවලට කිසිම තොරතුරක් නොදෙන ලෙස කාර්ය මණ්ඩලයට චක‍්‍රලේඛ යවා ඇත.
කෙසේ වෙතත්, එකල පුවත්පත්වල මැලේරියා වසංගතයෙන් පණ අදින පියවරුන්ගේ ඇඳන් යට කුඩා ළමයි අඬති වැනි ශීර්ෂපාඨ පළව තිබිණි.
මැලේරියා රෝගීන් වෙනුවෙන් අරමුදලක් ඇති කිරීමට එවකට සිටි ස්වදේශ කටයුතු ඇමති ඩී.බී. ජයතිලක මහතාගේ ඉල්ලීම පරිදි ලෙඩුන්ට සංග‍්‍රහ කිරීමට රජය රුපියල් දෙලක්ෂයක් වෙන්කර ඇත. මැලේරියා අනාථාධාර අරමුදලක් ඇති කළ ඔහු අධික ලෙස වෙහෙසව දුර්වල වී මැලේරියා උණ තුන්වරක්ම සෑදී ඇති බව ආචාර්ය නන්දදේව විජේසේකර විසින් ලියන ලද ඩී.බී.ගේ චරිතාපදානයෙන් (සිංහල පරිවර්තනය ලලිත් හීන්ගම) අනාවරණය වෙයි.
1934 වසරේ මරදානේ පන්සල පාරේ පිහිටි ආනන්ද ගිරි’හි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ මූලිකත්වයෙන් සූරියමල් ව්‍යාපාරය’ මගින් මැලේරියා වසංගතයට මුහුණදෙන ජනතාවට රුපියල් 250ක ආහාර ලබාදීමට මුලපිරීය. මේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට පිලිප් ගුණවර්ධන දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ හා ආචාර්ය ඇන්.ඇම්. දුක් විඳිමින් ගෙයක් ගෙයක් ගානේ ලෙඩුන් සොයාගොස් ඇත්තේ කූඩැල්ලන් කඩ කඩා, හාල්, පරිප්පු, සීනි, මාමයිට්, තේ කොළ රැගෙනය. මැලේරියා වසංගතයට වැඩිය මුහුණ දුන් තුන් කෝරළයේ ජනතාවට කෑමබීම මෙන්ම බෙහෙත්ද රුගෙන මේ පිරිස කඳු පල්ලම් තරණය කොට මුදලි මුහන්දිරම්වරුන්ගෙන් අපමණ බාධා ඇති වූ අයුරු මලල්ගොඩ බන්දුතිලක විසින් ලියූ ඇන්.ඇම්. චරිතාපදානයේ සඳහන් කර ඇත. ඇන්.ඇම්.ට පරිප්පු මහත්තයා යන ආදරණීය නම ලැබී ඇත්තේ මේ මැලේරියා වසංගතයේදී ජනතාවට කළ අපරිමිත සේවාව නිසාය.
එදා ඇන්.ඇම්., පිලිප්, දොස්තර වික‍්‍රමසිංහ මුලපිරෑ සූරිය මල් ව්‍යාපාරය සඳහා උරදුන් පිරිස මෙසේය.
රොබින් එල්. රත්නම්, ඊ.එච්. ද අල්විස් මෙනෙවිය, එස්. ද එස්. කල්දේරා මහත්මිය, පිලිප් රෝයි, වී.එච්. ගුණරත්න, ආතර් සී. වීරසේකර, වී. ගමගේ මෙනෙවිය, වෛද්‍ය එස්.ඒ. වික‍්‍රමසිංහ, ටෙරන්ස් එන්. ද සිල්වා ආදීන්ය. මේ අතර මැලේරියා රෝගීන්ට සහන අරමුදල තරකර ගැනීමට කැරොල් ගායන පැවත්වීමට අර්නස්ට් ද සොයිසා මහත්මිය, ජේ.සී.එම්. ප‍්‍රනාන්දුද දායක වූහ. ඔවුන් ඉපැයූ මුදල රුපියල් 18856.89 කි.
මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් 1931 වසරේ ලියන ලද ග‍්‍රාමීය විද්‍යා ප‍්‍රවේශනය කෘතියද 1934 දී ලියන ලද ප‍්‍රජාපාලන ශික්ෂා කෘතියේද වර්තමානයේ අප මුහුණ දී ඇති කොරෝනා වසංගතයට නිරෝධානයේ දී අනුගමනය කළ හැකි උපදෙස්, රැසක් ඇතුළත්ව ඇත. තුන්කල් දන්නා මහා ප‍්‍රඥායා වූ වික‍්‍රමසිංහයන් එදා ලියූ ඒ සෞඛ්‍ය උපදෙස් අදටත් අපට අතිශයින්ම මහෝපකාර වෙයි.
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ ලේකම් අප මිත‍්‍ර දයාපාල ජයනෙත්ති මහතා කාරුණිකව මේ උද්ධෘත අප වෙත යොමුකළේ දයාවෙනි. 1934 දී පළ වූ ප‍්‍රජාපාලන ශික්ෂා කෘතියේ උද්ධෘතයයි මේ.
වසංගත රෝගියකු ගෙදරක තබාගැනීම ගෙදර අනෙක් උදවියට පමණක් නොව ගමෙහි හෝ නගරයෙහි හෝ අනෙක් වැඩි වැසියන්ටද අන්තරායෙකි. වසංගත රෝගය ගෙදර අනෙක් අයටත් අහල පහළ අයටත් බෝ වීමෙන් නරගය පුරා පැතිර යන බැවිනි. එහෙයින් වසංගත රෝගයක් වැළඳුන අයෙක් සිටින කළ ඒ බව පළාත් පාලන මණ්ඩලයේ නිලධාරීන්ට දැනුම්දීම වැසියකුගේ යුතුකමයි. එයින් රෝගියාට හෝ තමන්ට හෝ යම්කිසි හිරිහැරයක් ඇති වුවත් පොදු යහපත සලකා ගෙන ඔවුනොවුන් විසින් ඉවසිය යුතුය.
මේ 1931දී පළවූ ග‍්‍රාමීය විද්‍යා ප‍්‍රවේශනය කෘතියේ උද්ධෘතයයි.
රෝගියකුගේ ශරීරය ස්පර්ශ නොකළත්, ඔහුට ඉතා ළංව විසීමෙන් රෝගය බෝ වන්නට පුළුවන. කහින විටද කිවිසින විටද, තදින් කථාකරන විටද කටින් පිටවන වාෂ්පාකාර ක්ෂූද්‍ර කෙළ බින්දුවල විෂබීජ ඇත්තේය. උගුරේ ලෙඩකින් හෝ පෙනහැල්ලේ ලෙඩකින් හෝ පීඩා විඳින තැනැත්තකුගේ කටින් පිටවන කෙළවල ඒ රෝග උපදවන බීජාංකුර ඇත්තේය. වාෂ්පාකාරව පිටවන මේ කෙළ ආශ්වාස කරන්නන්ට ඒ රෝග සෑදෙන්නට පුළුවන. මේ හැර ලෙඩා ස්පර්ශ නොකරම ඔහුගෙන් නික්මෙන රෝග බීජ රෙද්දක මාර්ගයෙන් හෝ අත්වල මාර්ගයෙන් හෝ තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළු වන්නට පුළුවන.
වසංගත රෝගයක් ගාල්ලේ සිට මයිල දහතුනක දුරින් පිහිටි ඌරල ගමින් වළක්වාගත් සැටි මීට වසර 85 කට පෙර එනම් 1935 දී පළ වූ ග්‍රාස් ෆෝ මයි ෆිට් (මා පයට තණ නිල්ල) කෘතියේ සඳහන් වෙයි. විශ්ව කීර්තියට පත් ජගත් ලේඛකයකු වූ ජිනදාස විජයතුංග (1902-1989) විසින් ලියූ මේ කෘතිය සිංහලට පරිවර්තනය කර තිබුණේ (1970) නිව්ටන් ජයසේන විසිනි. ඔහු හෙන්රි ජයසේන සූරීන්ගේ වැඩිමහල් සොහොයුරාය. ලේඛක විජයතුංගගේ බාල සොහොයුරා වූයේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ පූජිත විජයතුංගය. විජයතුංගගේ කෘතියේ එන වසංගතයක් වැළැක්වීම පරිච්ඡේදය ආරම්භ වන්නේ මෙසේය.
කලින් කල ගම ඉස්මත්තෙන් පටන් ගෙන ක‍්‍රමයෙන් පැතිර, පෑළදොරින් නික්ම යන සේ අප වෙත පාත්වන බෝවන රෝගවලින් වෙනත් ගම් මෙන් නොව අපේ ගම බේරැණා යයි කීම අතිශයෝක්තියක් නොවේ. අපට ඒකාන්තයෙන්ම කිව හැක්කේ ඌරල තනි වශයෙන් ඒ බෝවන රෝග ගැන නොදන්නවා නොව, එහෙත් සරම්ප, අඩප්පරේ හා පැපොල සාමාන්‍ය හෙම්බිරිස්සාවක් සේ සැලකීමට අප පුරුදු බවයි.
කෙසේ හෝ වේවා අපේ පවුලේ හෝ අප පවුලට සම්බන්ධ වූ පවුල්වල හෝ සරම්ප රෝගය හෝ පැපොල රෝගය ඇති වූයේ යයි දැනුමක් නැත. රෝගය ගමේ පැතිර යන සේ මුළු වසංගතයක් බවට පත්වී, එය පාලනය කළ නොහැකි බවක් හැඟුණොත් පමණකි මේ රෝගයන් ගැන තරමක් බියක් අප වෙතින් පළවෙනුයේ. එහෙත් එයද, චිරාගත සම්ප‍්‍රදායන් අනුව රෝගය සමනය කිරීමට අපහසු වෙතොත් පමණකි. ලෙඩා කළුවර කාමරයක තබා ඇතැම් එළවළු ජාති කෑමෙන් තොරව සරක්කු තෙම්පරාදු යනාදිය නොදී නියමිත දින ගණන ගෙවී ගොස් ඇඟේ හොරි පොතු ගැලවී යනවිට කුකුලා හැඬලීමටත් පෙර හිමිදිරියේම ලෙඩා ඇළ ළඟට ගෙනවිත් දින හතක් නාවයි. රෝගයෙන් විරෑපී වී ගිය ලෙඩා අන් අයට නෙතට හමුනොවී සම්පූර්ණ සුවය එනතෙක් සැඟවීමට හෝ වෙන කිසියම් කරැණක් නිසා හෝ මෙම කරැණත් අපේ උදවියගේ මේ පිළිවෙත ගැන දැඩි විශ්වාසයක් තිබෙන බව පමණක් කිවමනාය. ඇතැම් විට මෙවැනි රෝගයකින් අපේ ඇළ ඉස්මත්තේ ගෙවල අය පෙලෙන විට සති ගණනක් යන තුරැ ඇළෙන් නෑමට හෝ එහි කෙළිසෙල්ලම් කිරීමට අපට තහනම් වේ.*
ජිනදාස විජයතුංග කියා ඇති පරිදි ගමේ මහදැනමුත්තනුත් මේ වසංගතයන්ට මූලික හේතූන් වූයේ හරක් මස් කෑම යයි නිගමනය කොට ඒ නිසා රෝග බියක් ඇති වේ යැයි සැකයක් පලකළ අවදියේ ඒ එක්කම ගාල්ලෙන් පටන්ගත් පැපොල රෝගය වසංගතයක් මෙන් අක්මීමන, කීඹිය, බද්දේගම, ලේල්වල හා වඳුරඹ යන ගම්වලට එහා පැතිර, වාසනාවකට මෙන් ඌරල ගමේ ඉස්මත්තේ නැවතී ඇත. මේ අතර ගමේ දෛවඥයන් හා ගම්මුලාදෑනිවරු, මේ රෝගය සමනය කිරීමට චිරාගත සම්ප‍්‍රදායයන් අනුගමනය කරමින් පොරපොල් ගැසීමේ ක‍්‍රීඩාවක් පවත්වා ඉනික්බිතිව පනස් නමකගෙන් යුත්, සංඝයා ලවා සර්ව රාත‍්‍රී පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්වෙයි. නොකඩවා කියන පිරිතේ ආනුභාවය රුකෙන්නේ එය නොබිඳව කියන ශෛලිය හා ස්වරය අනුව බවත්, පිරිතේ මේ විශේෂ ලයාන්විත ස්වරය, බෞද්ධ අබෞද්ධ කාගේත් සාතිශය ප‍්‍රමෝදයට හේතු වූ බව ජිනදාස විජේතුංගයන් පවසා ඇත.
මේ ලිපිය ලියන අතර ඉඳහිට විරාමයකදී මට පොත් රාක්කය අතපත ගාද්දී මහගම සේකර විසින් 1956 වසරේ පරිවර්තනය කළ ධවල සේනාංකය කෘතිය නෙත ගැටුණි. එය සර් ආතර් කොනන් ඩොයිල්ගේ White Company නමැතs ඉංග‍්‍රීසි පොතේ සිංහල අනුවාදයකි. එහි ඉංග‍්‍රීසි පොත 1955 වසරේ ඉංග‍්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගයට නියම වී ඇත. සේකර මේ නවකතාවේ සිංහල අනුවාදය තම වයස අවුරදු 26දී පමණ පලකළේ ඒ නිසාය. රසවත් වූ එම අනුවාදයේ එක්තැනක 1349 වසරේ විශාල ජන සංඛ්‍යාවක් මරණයට පත්කරමින් යුරෝපය පුරා පැතිර ගිය මහා වසංගත රෝගයක් ගැන තොරතුරු සඳහන් වේ. එය හැඳින්වී ඇත්තේ Black Death නමිනි. මේ එහි කොටසකි.
එහෙත් එය අශුභවාදී අප‍්‍රසන්න සිතුවිල්ලක් සහිත ප‍්‍රබන්ධයකි. දත් ගලවන්නාත්, තෙල් වෙළෙන්දාත්, සංගීතඥයාත් ඈත කොනකට වී කරන සාකච්ඡාව එවිට ඇලීන්ට ඇසිණි. මහාමාරියට මං හැමදාම කරන බේත තමයි, මීයා! යි වෙදා කීය. මීයාගේ බඩ පලලා ගන්නවා!
ඌ බැදලා ගන්න එක වඩා හොඳ නැද්ද? වෙද මහත්තයො යි දත් ගලවන්නා ඇසීය. මීයා අමුවෙන් කන එක හරිම අමාරු වැඩක්.
කන්න නොවෙයි! වෙදා අවඥාවෙන් කීය. ඒ වාගේ දෙයක් මිනිහෙකුට කන්නත් පුළුවන් ද? චිඃ
එහෙනම් මොකටද? සංගීතඥයා ඇසීය.
මීයගේ බඩ පලලා වනවුණ තැන හරි ඉදිමුණු තැන හරි තියලා බඳිනවා. මීයා විස සහිත අපිරිසිදු දේ කා හැදෙන සතෙක්. විසට විස එකතුවීම ස්වභාවයක් නිසා අර විදිහට බැන්දාම ලෙඩාගේ ඇඟේ තියෙන අන්තරායදායක විස ඔක්කෝම මීයගෙ මළකඳට උරනවා.
වන වසංගතේටත් (Black Death) ඔය බේත හොඳද?
ඇත්ත වශයෙන්ම.
එහෙම නම් ඔය බේත ගැන වෙන කවුරැවත් නොදන්න එක වඩා හොඳයි. ඒ මොකද ඔය වසංගතය තමයි එංගලන්තයේ සාමාන්‍ය මිනිහගෙ හොඳම මිත‍්‍රයා.
ඒ කොහොමද?
ඇයි යාළුවා. ඒ ප‍්‍රශ්නයෙන්ම තේරෙනවා තමුසේ අතේ පයේ වැඩකරලා ජීවත්වෙන මිනිහෙක් නොවෙන බව. මහ වසංගතයේ එකපාරක් හැදුණම රටේ ඉන්න මිනිසුන්ගෙන් දෙකෙන් පංගුවක් විතර මැරිලා යනවා. එතකොට රටේ වැඩ වැඩියි. මිනිස්සු අඩුයි. ඒ නිසා ඉතිරි කොටසට තෝරාගන්න ඉඩ ලැබෙනවා තමන් කැමති පඩියකට තමන් කැමති කෙනකු ළඟ වැඩකරන්න.
ඇත්ත තමයි.
ඒ.ඩී. රන්ජිත් කුමාර