2021 මැයි 01 වන සෙනසුරාදා

පුතාගේ උපන්දිනේට කොල්ලන්ට-කෙල්ලන්ට කුඩු පාටියක් දැමූ ඉන්ටර්නැෂනල් ටීචර්

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

තාවකාලික වින්දනයකට මඟපාදා සදාකාලික රෝගාබාධ සහිත වේදනාවක් ඉතිරිකර දෙන මත්ද්‍රව්‍ය භාවිත කරන අයට එවැනි හැඟීමක් නොදැනීම ගැටලුවකි. ඊටත් එහා ගොස් අත තිබූ මුදලුත් ශරීරයේ නිරෝගීකමත් ජීවිතයේ වටිනාකම මෙන්ම හිතේ වු සිහිනත් සුණුවිසිණු කර දමන මත්ද්‍රව්‍යවලට ලොබ බැඳීම පුදුමයකි. තාවකාලික වින්දනයක් සඳහා ඇතැමුන් මත්ද්‍රව්‍ය මායාවට ගොදුරුව එහි සුව විඳිති. දැන හෝ නොදැන මවක සිය දරුවන් සමඟ මතට යොමුවීම බරපතළ ව්‍යසනයකි.

සිය පුතකුගේ උපන්දිනය වෙනුවෙන් දරුවාගේ මිත්‍රයන් ගෙන්වා මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වූ මවක පිළිබඳව වාර්තා වූයේ වැල්ලවත්ත ප්‍රදේශයෙනි. මෙකී මව කොළඹ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක බවද කියැවේ. මේ ආකාරයට කියන අරුම පුදුම මවක වූ ගුරුවරියගේ කතාව සැකෙවින් මෙසේය.

දිනය ගතවූ ඉරිදාවකි. ඒ පසුගිය 25 වැනිදාය. වෙලාව පෙරවරු 10.30ට ආසන්නය. වැල්ලවත්ත පොලිස් ස්ථානයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු යටතේ ක්‍රියාත්මක වන පොලීසිය යටතේ වූ එක් අංශයකි. එහි ප්‍රධානියා වූ උප පොලිස් පරීෂකවරයාට හිතවත් ඔත්තුකරුවකුගෙන් ලද දුරකථන ඇමතුමකි.

&පාමංකඩ ගෙදරක පාටියක් යනවා. තාමත් ඉස්කෝලෙ යන වයසේ කොල්ලො ටිකක් එතන ඉන්නවා. අයිස්, ගංජා වගේ දේවලුත් පාවිච්චි කරනවා. ළමයින්ගේ වැඩිහිටියොත් මේකට මොකුත් නොකියන එකයි....... පුදුම වැඩේ.

උප පොලිස් පරීෂකවරයාට ලැබුණු තොරතුරු අනුව පොලීසියේ ස්ථනාධිපතිවරයාට කරුණු දන්වා තවත් නිලධාරීන් පිරිසක් සමඟ අදාළ ප්‍රදේශය බලාගොස් තිබිණ. එසේ ක්‍රියාත්මක නිලධාරීහු වැඩිවෙලාවක් ගතවන්නට මත්තෙන් වැල්ලවත්ත පොලිස් වසමේ පාමංකඩ ප්‍රදේශයේ පිහිටි අතුරු මාවතක් වෙත පිවිසියහ. තොරතුරුකරුගේ දැනුම්දීම අනුව ගිය නිලධාරීන්ට සෙසු නිවාස අතරින් හඳුනාගැනීමට අපහසු නොවූ දෙමහල් නිවෙසකි. ඒ තුළින් දෙදරුම් කමින් නැගෙන සංගීත නාදයක්ද ඇසෙන්නට විය.
සංගීත නාදය මැද පිරිසකගේ කටහඬ ශබ්දයක් මනාව නිවසින් පිටතට ඇසෙමින් තිබූ නිසා පොලීසියට අදාළ ස්ථානය සොයාගැනීමට එතරම් කල්වේලා ගතවූයේ නැත. නිවෙස ඉදිරිපිටට ගිය නිලධාරීහු නිවැසියන්ගේ අවසරයෙන්ම ගෙතුළට ගොස් තිබිණ. තරුණ වයසේ පසුවන විස්සකට අධික කොල්ලන් කෙල්ලන් පිරිසක් එහි සිට ඇත.

තරමක ඉඩපහසුව ඇති සුවිසල් දෙමහල් නිවසේ තරුණ තරුණියන් පිරිස සංගීත රටාවට රංගනයේ නිරත වෙමින් සිට තිබුණි. ඇතැම්හු නිවසේ කෙළවරක මත්ද්‍රව්‍ය උරමින් සිටියහ. සාලයේ කෙළවරක තිබූ මේසයක් මත පැණිබීම බෝතල කිහිපයක් හා වතුර බොතල් ගණනාවක් තිබී ඇත. පෙරවරු 10.30 – 11.00 පමණ වනවිටත් දැඩි මත් ගතියකින් පසුවූ තරුණ තරුණයන් පිරිසට සාදය පැවැති නිවසට පොලීසිය පැමිණ ඇති වගට නිච්චියක් නැති තරම්ය. යම් තරමකට සිහිය පත තිබූ තරුණ තරුණියන් සිය රංගනය හා කතාබහ නතර කර පසෙකට වී තිබුණේ පොලීසියේ නිල ඇඳුම නිසාය.

රුස්ව සිට පිරිස උපන්දින සාදයක් සඳහා සහභාගී වූ බව කියා තිබිණ. ඒ එම ගෙහිමි කාන්තාවගේ පුත්‍රයකුගේය. ඇයට පුතුන් දෙදෙනකු සිටින අතර ඒ දෙදෙනාම පොලීසිය ඉදිරියේ මත් වී සිටි පිරිස අතර සිටියහ. මේ දරුවන් දෙදෙනාගේ මවද තරුණ තරුණියන් පිරිස සමඟ විනෝද වෙමින් සිටියාය. ඇය දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතයට සහාය වෙමින් ඊට අවශ්‍ය පසුබිම සකසා දෙමින් සිටි බවද කියයි. මෙකී කාන්තාව කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක බවට ප්‍රකාශ කෙරුණු අතර රුස්ව සිටි තරුණ තරුණියන් පිරිස ඇගේ දරුවන් දෙදෙනා ඉගෙනුම ලබන ජාත්‍යන්තර පාසල්වල හිතමිතුරෝ වූහ.

එම දරුවන් දෙදෙනාද පදමට මත් වී සිට තිබුණු අතර මතින් වෙලී සිටි තරුණ තරුණියන් පිරිස පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදුකළ අතර පිරිස අත තිබියදී ගංජා ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 470ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 914ක් සමග ඒවා භාවිතය සඳහා ගන්නා උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අයුරින් තරුණියන් දෙදෙනෙක් හා තරුණයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

මේ තරුණ පිරිස වයස අවුරුදු 18-23 අතර පසුවන්නන්ය. සාදය පැවැත්වීම සඳහා ආධාර අනුබල දෙමින් සිටි උපන්දිනය සැමරෑ තරුණයාගේ මව 42 හැවිරිදිය. නිවෙසට පැමිණ සිටි සෙසු තරුණ තරුණියන් පිරිස දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, කිරුළපන වැනි ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

තම පුතුගේ උපන්දිනය නිමිති කොටගෙන මත්සාදයක් පැවැත්වූ මවගේ ක්‍රියාකලාපය අරුමයකි. ඇය අම්මා නමටත් කැළලකි. එපමණක් නොව ගුරුවරියක වන ඇය ගුරු වෘත්තියටත් නිගාවකි. දුරාචාරයට සිය දරුවන් මෙන්ම දරුවන්ගේ හිතමිතුරන්ද යොමුකරන ඇය ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබිණ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර