2021 මැයි 01 වන සෙනසුරාදා

ලෝකෙටම අහිමි වූ ලෝක කම්කරු දිනය

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහයෝගය පළ කරමින් සෑම වසරකම පාහේ මැයි දිනය ලොව පුරා සැමරීම සිදුවෙයි. මෙවර මැයි දින සැමරුම යෙදුණේ සෙනසුරාදා (01) දිනයේය. ඒත් ලෝකයටම මැයි දිනය වෙනුවට සැමරීමට සිදුවුණේ අවමංගල සැමරුම්ය. ඒ ලෝකයටම ඛේදවාචකයක්  වී ඇති කොවිඩ් වසංගතය නිසයි. අසල්වැසි ඉන්දියාවට නම් මැයි දිනය ගැන මතකයක්වත් නැති තරම් කොඩිඩ් රකුසාගෙන් බැටකමින් තිබේ.

අප රටට නම් දැන් පිට පිට අවුරුදු තුනක් මැයි දින නැත. 2019 පාස්කු ප්‍රහාරය නිසා මැයි දිනය පමණක් නොව වෙසක් පොසොන් ද රටට අහිමි විය. ගිය අවුරුද්දේ මෙන්ම මේ අවුරුද්දේ ද කොවිඩ් හරහට සිටියේය.   

 කොවිඩ්-19 වසංගතය නිසා පසුගිය 2020 වසරේ ද ලොව කිසිදු රටක මැයි දින රැලි සහ උත්සව නොපැවැත්වූ අතර එය මැයි දිනය ඇරඹීමෙන් පසු වසර 130 තුළ මැයි දින සැමැරුම් නොපැවැත්වෙන පළමු අවස්ථාව බව කොමියුනිස්ට් පක්ෂ නායකයෝ ප්‍රකාශ කළහ. ග්‍රීසියේ කම්කරු සමිතිය 2020 මැයි දින සැමරුම ඇතෑන්ස් නුවර දී පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවත්වූයේ සමාජයීය දුරස්ථභාවය රුකගනිමිනි. ඩෙන්මාර්කයේ අගමැතිනිය සිය මැයි දින දේශනය පැවැත්වූයේ ෆේස්බුක් ඔස්සේය. ඒ කෝපන්හේගන් නුවර වැඩ කරන ජනතාවගේ කෞතුකාගාරයේ සිටයි. දකුණු කොරියාවේ පෙළපාලිකරුවන් එකිනෙකා අතර පරතරය පවත්වා ගත්තේ කඹයක් පාවිච්චි කරමිනි. එය පැවැත්වුනේ සෝල් නුවර මධ්‍යයේය.

දෙවැනි ලෝක යුද සමයේදීද මැයි දිනය සමරනු ලැබූ අතර ලොව වැඩි ආකර්ෂණයකින් යුතුව මැයි දින රැලි පැවැත්වෙනුවේ සමාජවාදී රටවලයි. සමාජවාදය උපන් රටවලටවත් රතු කොඩි අතට අරන් ලෝකයේ කම්කරුවනි එක්වව් යන පාඨය කියමින් පාරට බැසීමට අවස්ථාවක් නැත. ඇසට නොපෙනෙන සතුරකු නිසා කිසිදු රටකට පිට පිට දෙවැනි වතාවටත් මැයි රැලි සහ උත්සව පැවැත්වීමට නොහැකි වී තිබේ.

 කෙසේ වුවත් අප්‍රේල් මුල සතිය වන විටත් රටේ පැවති යහපත් වාතාවරණය නිසා සෞඛ්‍ය නීතිවලට අනුව මැයි රැලි පැවැත්වීමට හැකි වෙතැයි දේශපාලන පක්ෂ සිතා සිටි බව පෙනේ. මෙවර මැයි දින උත්සවය වෙනම සැමරීමට කටයුතු සූදානම් කර ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ ඒ අනුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මෙවර මැයි දින පෙළපාලි නොපවත්වා උත්සවයක් පමණක් පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණි. 
පසුගිය අප්‍රේල් 19දා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති පක්ෂ නායක රුස්වීමේ දී මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු රැලියක් හෝ වැඩසටහනක් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇතැයි නිවේදනය විය. යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී එම එකඟතාවට පැමිණි බවය. ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියේ මැයි දිනය වැළැක්වීමට ආණ්ඩුව දරන සටකපට උත්සාහයට එකඟ බවයි. තම පක්ෂය අනිවාර් යෙන්ම මැයි දිනය පවත්වන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය. මැයි දිනය තහනම් කළ ඉතිහාසයක් මෙරට තිබූ බවත් එම ඉතිහාසයෙදිද වැඩ කරන ජනතාව මැයි දිනය පැවැත්වූ බවද ඒ මහතා සඳහන් කළේය. නමුත් මේ වන විට ජවිපෙට ද ඒ රුඩිකල් තීරණය අකුලා ගන්නට සිදුව ඇත. මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මැයි දිනය නැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩක් බව මුලින්ම පවසා සිටියේය. 

ලංකා ගුරු සංගමය ද ප්‍රකාශ කර සිටියේ වැඩ කරන ජනතාවට හිමි මැයි දින සැමරුම් අවලංගු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට තම සංගමය දැඩි විරෝධය පළ කර සිටින බවයි. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිරෝධායන පිළිවෙත් අනුව මැයි 1 දින බැංකු, තැපැල්, වරාය, ගුරු-විදුහල්පති, සෞඛ්‍ය, රක්ෂණ, ටෙලිකොම් ආදී ක්ෂේත‍්‍රවල ස්වාධීන වෘත්තීය සමිති විසින් ඒකාබද්ධව පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටියත් දැන් නම් ඒ කිසිවක් කළ නොහැකි වාතාවරණයකි, උද්ගතව ඇත්තේ.

මේ අතර දේශපාලන පක්ෂ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට මැයි දින සැමරුම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂයද අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මැයි දින සැමරුමක් පැවැත්වීමට තීරණය කළ බවයි. 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර කම්කරු සැමරුම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බවත් ඒ ගැන තීරණයක් ගන්නා බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ මැයි දිනය සමරන්නේ ද යන්න පිළිබද සිය පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ පළමු මැයි දින සැමරුම පවත්වා ඇත්තේ ලංකා කම්කරු සංගමයයි. එහි නායක ඊ.ඒ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් 1927දී කොළඹ දී එය පවත්වා තිබේ. පසුව වඩාත් සංවිධානාත්මක ආකාරයෙන් පෙළපාලියක් ද සහිතව 1933 දී මෙරට පළමු සංවිධානාත්මක මැයි රැලිය පවත්වා ඇත්තේ ද ඔහුගේ නායකත්වයෙනි. 1934 දී කොළඹ තරුණ සංගමය මැයි දින රැලියක් පවත්වා ඇති බව වාර්තා වේ.  1935 දී වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් සමාජවාදීන්ගේ මැයි දින රැලියක් කොළඹ ප්‍රයිස් පිටියේදී පවත්වා තිබේ. සමසමාජ පක්ෂයේ ප්‍රථම මැයි රැලිය පවත්වා ඇත්තේ 1936දීයි. 

මැයි දිනයට වැදගත්කමක් දෙමින් එය රජයේ නිවාඩුවක් බවට පත් කළේ 1956දී අගමැති බණ්ඩාරනායකගේ රජයයි. 1978 සිට එජාපය මැයි දින සැමරුම ජාතික සංස්කෘතික උළෙලක් ලෙස පැවැත්වූයේ සංගීත ප්‍රසංග ද උපයෝගී කර ගනිමිනි.  ජනතා විමුක්ති පෙරමුණද 1978 සිට සිය මැයි දිනය  පක්ෂය තහනම් කළ 1983 දක්වා ආකර්ෂණීය ලෙස පැවැත්වීය. 

මෙරට මැයි දින පෙළපාලි නොපැවැත්වූ අවස්ථා කිහිපයක් ද වාර්තා පොත පෙරළන විට හමුවේ. 2006 වසරේදී ආරක්ෂක හේතු මත මැයි දිනය නොපවත්වන ලෙස එවකට පැවති රජය ඉල්ලීමක් කළේය. ඒ අනුව මෙරට සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි දින පෙළපාලි සහ රැලි පැවැත්වීමෙන් වැළකී සිටියහ. 2018 වසරේදී මැයි සැමරුම මැයි 1 වැනිදා නොව මැයි 7 වැනිදා පවත්වනු ලැබුවේ ඒ වසරේදී වෙසක් පොහොය අප්‍රේල් 29 වැනිදාට යෙදී තිබීම නිසායි. 2019 වසරේ අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය නිසා රටම බියකින් සහ අවදානමකින් වෙලී ගිය අතර මැයි දින පෙළපාලි සහ රුස්වීම් පැවැත්වුණේ නැත. කොවිඩි--19 ගෝලීය වසංගතයේ තුන්වන රුල්ලෙන් බැටකමින් සිටින ශ්‍රී ලංකාවට මෙවර මැයි දින පෙළපාලි, රුස්වීම් පමණක් නොව සැමරුම් පවා පැවැත්විය නොහැකි තත්ත්වයක් මතුව පවතී. 

1977 වසරේ මැයි පළවෙනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියට සහභාගි වී ආපසු යමින් සිටි කම්කරුවන් 7 දෙනකු බෝට්ටුවක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්විය. මැයි දිනය ලෙයින් නැහැවූ තවත් ශෝචනීය අවස්ථාවක් 1987 වසරේදී සිදුවිය. එල්ටීටීඊ සංවිධානයේ බෝම්බ අවදානම නිසා 1987 මැයි 1 වැනිදා පෙළපාලි සහ රුස්වීම් පැවැත්වීම රජය විසින් තහනම් කළේය. ඒවා මැයි 22 වැනිදා පවත්වන ලෙස නියෝගයක් නිකුත් විය. එම තහනමට එරෙහිව යමින්  මැයි රැලියක් සහ පෙළපාලියක් පැවැත්වීමට මවුබිම සුරුකීමේ ව්‍යාපාරය තීරණය කළේය. එයට නායකත්වය දුන්නේ  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි සහ දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. නාරහේන්පිට අභයාරාමයේදී පැවති එම රුස්වීමට දෙදහසකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර රුස්වීමෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළකරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතැතිව මහා මාර්ගයට පිවිසියහ. ඊට පොලීසිය ප්‍රතිචාර දැක්වූයේ බැටන්, කඳුළු ගෑස් සහ රබර් උණ්ඩවලිනි. පොලීසිය පසුව වෙඩි ප්‍රහාර එල්ල කළේය. වෙඩි වැදීමෙන් දෙදෙනකුට දිවි අහිමි වූ අතර තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි. මියගියේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යාන්ත්‍රික ක්‍රියාකරුවකු ලෙස කටයුතු කළ ලෙස්ලි ආනන්දලාල් සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ සිසුවකු වූ කිත්සිරි මෙවන් රණවකයි.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට බිලි වූයේ 1993 වසරේ මැයි දින රැලියේදීය. එපාප මැයි රැලියේ ගමන් කරමින් සිටින අතරතුර ඔහු ආමර් වීදියේදී බෝම්බ ප්‍රහාරයට ලක්විය. 

 කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00