2021 මැයි 01 වන සෙනසුරාදා

කුඩා ළමුන්ට හැදෙන අලුත් උණක්

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 201

අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ජනතාව අතර මේ දිනවල තවත් උණ රෝගී තත්ත්වයක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මෙම උණ රෝගය වැඩි වශයෙන් ඇතිවන්නේ කුඩා දරුවන් අතරය. ඩෙංගු උණ රෝගී තත්ත්වයේ ඇතිවන රෝග ලක්ෂණවලට වඩාත් සමාන රෝග ලක්ෂණ මෙම උණ රෝග තත්ත්වයේදී දැකගත හැකිය.

&මෙම උණ රෝග තත්ත්වයේ ලක්ෂණ බොහෝවිට ඩෙංගු රෝගයට සමාන වුණු රෝග ලක්ෂණයි. කුඩා දරුවන්ට වැඩි වශයෙන් ඇතිවන මෙම රෝගයේදී රෝහලට ප්‍රතිකාර ගැනීමට එන හැම දරුවකුම ඩෙංගු රෝගය සඳහා අපි පරීක්ෂා කරලා බලනවා. රෝග ලක්ෂණත් එක්ක පළමු දවසේ සිටම මෙම දරුවන්ව පරීක්ෂා කර බලද්දි ඒ බොහෝ දරවන්ට මේ ඩෙංගු රෝග ලක්ෂණ තියෙනවා. උණ. හිසරදය, ඇඟපත රුදාව, ඇස් යට රිදීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ දරුවන්ගෙන් පළමු දවසේ සිටම සුදු  රුධිරාණු සහ රුධිර පට්ටිකා අඩුවීමකුත් පෙන්නුම් කරනවා. නමුත් ඒ තත්ත්වය ඉතා දරුණුවට පෙන්නුම් කරන්නේ නැහැ. මේ අඩුවීම වැඩි වශයෙන් ඩෙංගු රෝගයේදී දක්නට ලැබෙන්නේ දින දෙක තුනකට පසුව වුවද මෙම උණ වෛරසයේදී මුල් දිනයේදීම බොහෝවිට මෙම සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා මඳ වශයෙන් අඩුවීමක් දැකගත හැකි වෙනවා මෙම රෝගී දරුවන්ගේ ඩෙංගු පරීක්ෂණය කළ විට ඩෙංගු රෝගය නොමැති බව සොයාගන්නට පුළුවන්. මේ නිසා මෙම උණ රෝගී තත්ත්වය ඩෙංගු රෝගයට සමාන වුවද ඩෙංගු මෙන් දරුණු වන්නේ නැහැ.* යැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මෙම රෝග ලක්ෂණවල ඇතැම් ලක්ෂණ කොවිඩ් රෝගයට සමාන ලක්ෂණ වුවද ඒ සම්බන්ධව කරන පරීක්ෂණවලදීද කොවිඩ් ආසාදිතයකු නොවන බව සොයාගත හැකිය. මෙය වෛරස උණක් බැවින් ඇතැම් කුඩා දරුවන් දවස් තුන හතරකින් සුවය ලැබුවද ඇතැමුන්ට සුවවීමට දින අටක් දහයක් පමණ ගතවන බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කාලෙන් කාලෙට විවිධ වෛරස උණ රෝගවල වර්ධනයක් දැකගත හැකිවන අතර මේ කාලයේදී සුලබව කුඩා දරුවන් අතර දැකගත හැකි මෙම උණ වෛරසය එතරම් දරුණු වෛරසයක් නොවුවද වැඩි වශයෙන් දරුවන් වෙත අවධානය යොමු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වේ. මේ දිනවල රජයේ රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බොහෝ දරුවන් තුළ මෙම රෝගය පවතින බව වෛද්‍යවරුන් සොයාගෙන තිබේ.
&මෙම උණ වෛරසයට අමතරව Hand foot and mouth disease (HFMD) නම් තත්ත්වයද මේ දිනවල කුඩා දරුවන් තුළින් දැකගත හැකි වෙනවා. අත්වල, මුඛයේ සහ පාදවල රතු ලප මතුවීම කාලෙන් කාලෙට ඇතිවන රෝගී තත්ත්වයක්.* යැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

Hand foot and mouth disease (HFMD) යනු අත්, පාද සහ මුඛ වෛරස සමූහයන් විසින් ඇතිකරන පොදු ආසාදනයකි. එය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ උණ ඇතිවීමෙනි. උණ වැළඳී දිනකට හෝ දෙකකට පමණ පසුව පැතලි දුර්වර්ණ වූ ලප හෝ ගැටිති දෑත්, පාද සහ මුඛය ආශ්‍රිතව ඇතිවිය හැකිය. ඉඳහිට ඉඟටියේදීද මෙම ලප හෝ ගැටිති ඇතිවිය හැකිය.

කුඩා දරුවන් තුළ බහුල ලෙස ඇතිවන මෙම බිබිලි තුවාලද විය හැකිය. එය වේදනාකාරී විය හැකි වුවද බරපතළ වන්නේ නැත. ඕනෑම කෙනකුට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකි නමුත් බහුල වශයෙන් දැකගත හැකි වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් තුළිනි. නමුත් ඊට වයසින් වැඩි දරුවන් තුළද Hand foot and mouth disease (HFMD) රෝග තත්ත්වය දැකගත හැකිය.

මෙහි මූලික රෝග ලක්ෂණය වන්නේ උණ තත්ත්වයයි. ඊට අමතරව උගුර වණවීම, වේදනාකාරී බිබිලි, තෙහෙට්ටුව දැනීම, අධික ලෙස බිබිලි කැසීම, මුඛයේ ඇතිවන තුවාල හේතුවෙන් ආහාර ගිලීමට අපහසු වීම වැනි රෝග ලක්ෂණයන් ඇතිවිය හැකිය. මෙම රෝගය ඇතිවන්නේ Coxsackie නම් වෛරසය හේතුවෙනි.

&මෙම වෛරසය ඇතිවීමෙන් පසුව ඇතැම් දරුවන්ගේ නියපොතු හැලෙන තත්ත්වයකට පත්වෙනවා. එය ඉක්මනින්ම දැනගත්තොත් වෛද්‍යවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙනවා. එයින් Hand foot and mouth disease රෝගයේ අතුරු ආබාධයක් ලෙස ඇතිවන නියපොතු ගැලවී යාම වළක්වා ගන්නට පුළුවන් වෙනවා. මෙය කාලෙන් කාලෙට ඇතිවන වෛරස තත්ත්වයක් වන අතර මේ දිනවල දරුවන් තුළින් ඒ තත්ත්වය ඇති බවට සොයාගෙන තියෙනවා. එවැනි රෝග ලක්ෂණ ඇත්නම් කුඩා දරුවන් ඒකරාශී වන තැන්වලට නොයවා සිටින්න යැයි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. එය ඉතා ඉක්මනින් බෝවන නිසා දරුවන්ට පිටතට යැවීම සීමා කරන්න. මෙය දින හතරකින් පහකින් සුව වන රෝග තත්ත්වයක්.* යැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න