2021 මැයි 01 වන සෙනසුරාදා

දිස්ත්‍රික්ක හතක් දැඩි අවදානමේ

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

අවුරුද්දකට වැඩි කාලයක් කොවිඩ් වසංගතයෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලාංකිකයන් ලද නිදහසින් ගත් අයුතු ප්‍රයෝජන හේතුවෙන් වර්තමානයේදී රට දරුණු තත්ත්වයට මුහුණ පා ඇත. ගිය වසරේදී සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, වෙසක්, පොසොන්, රාමසාන්, නත්තල් වැනි ආගමික හා සංස්කෘතික උත්සව සැමරීමට නොහැකි වුණ ශ්‍රී ලාංකිකයෝ මෙවර අලුත් අවුරැදු කාලයේදී කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම අඩුවීමත් සමඟ මහ ඉහළින්, උත්සවශ්‍රීයෙන් උත්සව සැමරීමට උනන්දු වූහ. එහි ප්‍රතිඵලය වූයේ මේ වනවිටත් දිස්ත්‍රික්ක කිහිපයක්ම දැඩි අවදානම් තත්ත්වයක පසුවීමත්, එම දිස්ත්‍රික්කවල වසම් බොහොමයක් හුදෙකලා කොට දැමීමත්ය.

අලුත් අවුරුද්ද නිමිති කොටගෙන බොහෝ දෙනා තම ගම්බිම් සහ නිවාසවලට යාමද මෙම කොවිඩ් වසංගතය නැවත වර්ධනය වීමට හේතුවක් විය. 

“අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවෙන් දිනකට වාර්තා වූයේ කොවිඩ් රෝගීන් එකසිය පනහකට අඩු ප්‍රමාණයක්. නමුත් අලුත් අවුරුද්ද නිමාවෙනවාත් සමඟම එය දෙගුණ වුණා.” යැයි පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

නමුත් මේ වනවිට සිදුව ඇත්තේ කිසිවකු නොසිතූ අන්දමට ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යමින් තිබීමය. විශේෂයෙන් බොහෝ දෙනා පසුගිය සති අන්තයේ පැවැති දින තුනක නිවාඩුවත් සමඟ සංචරණ සීමා පැනවීමක් නොමැතිවීම හේතුවෙන් වගකීමකින් තොරව කටයුතු කර තිබුණි.

මේ නිසා මේ වනවිට කොළඹ, ගම්පහ සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇත. මෙම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී.

“ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතා අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින්, ආසාදිතයන් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතිනවා. පසුගිය සති අන්තයේදී සංචරණ සීමා හෝ පනවයි යැයි අපි අපේක්ෂා කළා. නමුත් එවැනි තත්ත්වයන් පැනවූයේ නැහැ. මේක ඉතා අවදානම් කාලයක්. ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මහජනතාවට සියයට සියයක්ම වගකීම් පැවරෙනවා.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මීට අමතරව ඉදිරියේදී රාමසාන් උත්සවයක් පැවැත්වෙන බැවින් මෙම පවතින අවදානම් තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ඇතිව ඉතාම වගකීමෙන් කටයුතු කරන ලෙස සියලුම ආගමික නායකයන්ගෙන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කරයි.

කොවිඩ් වසංගතය මුල්වරට මෙරට වාර්තාවීමේදී පැවැති වෛරස් ප්‍රභේදයට වඩා මෙවර මුළු රටේම පැතිරෙමින් තිබෙන වෛරසය ඉතා අවදානම්, ප්‍රබල ප්‍රභේදයක් බව සොයාගෙන ඇත. මෙම කොවිඩ් වෛරසය එංගලන්ත ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර තිබිණි.

මෙම ප්‍රභේදය තරමක් කරදරකාරී වෛරස ප්‍රභේදයක් බැවින් එයින් ආරක්ෂාකාරී වීම ඉතාම වැදගත් බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

අප්‍රේල් මස බොරලැස්ගමුව ඉදිකිරීම් ස්ථානයක සේවකයන් කිහිප දෙනෙකුගෙන් ලබාගත් වෛරස නියැදියන්ගෙන් මෙම එංගලන්ත වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇත. පසුව කොළඹ, කුරුණෑගල යන ප්‍රදේශවලින්ද ලබාගත් සම්පල්වලින්ද මෙම වෛරස ප්‍රභේදය තහවුරු කරගෙන ඇත.

මේ අනුව මේ වනවිට කළුතර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, ගම්පහ, ගාල්ල, මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් ග්‍රාම නිලධාරී වසම් සියයකටත් වඩා වැඩි ප්‍රදේශයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කොට ඇත.

එයින් වැඩිම ග්‍රාම නිලධාරි වසම් ලෙස ලෙස හුදෙකලා කොට ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් වසමේය. එය ග්‍රාම නිලධාරි වසම් අසූ පහකටත් වැඩි ප්‍රමාණයකි.

මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරී සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙසින් හඳුනාගැනීම හේතුවෙන් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කොට ඇත. කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමඟ දින කිහිපයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද හුදෙකලා කිරීමට සිදු වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම්ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් වසමේ, සිරිකොත, ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල පොලිස් වසමේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි වසමද මෙලෙස හුදෙකලා කර ඇත.

“මෙම ප්‍රභේදයට අනුව කුඩා දරුවන්ටත් වෙනදාටත් වඩා ආසාදන වීමට පුළුවනි. ඒ වගේම ගැබිණි මාතාවන්ට කොවිඩ් - 19 වැළඳුණොත් එයින් සංකූලතා ඇතිවිය හැකි බවත් දරු ප්‍රසූතියට එහි බලපෑමක් ඇතිවිය හැකි බවටත් සාධක තියෙනවා. ඒ නිසා වැඩිහිටියන් බෝ නොවන රෝග ඇති අය, ගැබිණි මාතාවන් වගේම කුඩා දරුවනුත් මේ අවස්ථාවේදී කොවිඩ් රෝගය ආසාදනය වීම පුළුවන් තරම් වළක්වා ගැනීම සඳහා ප්‍රවේශම්කාරී විය යුතු වෙනවා.”

යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා පැවසීය.

මීට අමතරව හෙද හෙදියන් විසි පස් දෙනෙකුට මේ වනවිටත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවත් තවත් හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක්ද නිරෝධායනයට ලක්කර ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කර ඇත.

“විදෙස් රටවල සිට පැමිණෙන අයට අපි නිරෝධායන නීති ලිහිල් කරලයි තිබුණේ. නමුත් පවතින තත්ත්වය මත නැවතත් සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කරන්නට නියමිතයි. එන්නත් දෙකම ලබා රටට පැමිණෙන අයගේ පී.සී.ආර්. නෙගටිව් නම් අපි ඔවුන්ට රට තුළට යන්න දුන්නා.  නමුත් දැන් ඒක නතර කර ඒ අයටත් සති දෙකක කාලයක් නිරෝධායනයට යොමුකරන්නට තීරණය කර තිබෙනවා” යැයි විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නැවතත් සති දෙකක නිරෝධායනය කරනා අතර විදෙස්ගතව සිට පැමිණෙන අයගෙන්ද කොවිඩ් ආසාදිතයන් දිනෙන් දින වාර්තා වේ.

අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම්කර ඇති කුරුණෑගල, තිත්තවැල් ගාල ප්‍රදේශයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් වැඩි පිරිසකට කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයන් එක්දාස් තුන්සීයකට වැඩි පිරිසක් නිරෝධායනය කර ඇත.

මේ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය, තිත්තවැල්ගම, කුඹුක්ගැටේ ග්‍රාමසේවා වසම, නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාමසේවා වසම් හුදෙකලා කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ අධිකාරිගොඩ, මිරිස්වත්ත, පැළවත්ත, උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාමසේවා වසම්ද හුදෙකලා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල, අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාමසේවා වසම්ද, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඹුලගොඩ සහ කටුදම්පේ ග්‍රාමසේවා වසම්ද හුදෙකලා කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ ග්‍රාමසේවා වසම, අලුගොල්ල ග්‍රාමසේවා වසම, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, වෙහෙරයාය, කොට්ටම්ගම්බොක්ක සහ රහතන්ගම යන ග්‍රාමසේවා වසමද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුම්පුහාර්, සුමේතන්ගපුර (උප්පුවේලි) මූඩෝ, කොවිලාඩ්, ලිස්ගානගර්, කාවට්ටිකුඩා සහ චීන වරාය යන ග්‍රාමසේවා වසම්ද හුදෙකලා කොට ඇත.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත්, උඩුබද්දාව ගල්අමුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසයත්, මොණරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී කොට්ඨාසයත් හුදෙකලා කර ඇත. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගල්වෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් ද හුදෙකලා කොට තිබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00