2021 මැයි 01 වන සෙනසුරාදා

පොල්තෙල් මඟ හැලෙයිද?

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

පොල්තෙල් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින්නේ යහපත් අදහසක් නොවේ. ඒ ප්‍රධාන වශයෙන් ඇෆ්ලටොක්සීන් නැමැති විෂකාරකය පොල්තෙල් තුළ අන්තර්ගතව ඇති බවට හඳුනාගැනීමත් සමඟය. රට තුළ පොල්තෙල් නිෂ්පාදනය කෙරුණද ඒ වැඩිහරිය අපනයනය සඳහාය. මෙරට පරිභෝජනය සඳහා ටොන් ගණනක් තෙල් විදේශවලින් ආනයනය කෙරෙයි. ඒවා වැඩි ප්‍රමාණයක් පාම් තෙල්ය. පාම් තෙල් වර්තමානයේ ලොව බොහෝ රටවල තහනම්ය.

ලංකාවේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් බව කියැවේ. මෙයට දේශීයව නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 25,000ක් පමණ බව ගණන් බලා තිබේ. ඉතිරි මෙට්‍රික් ටොන් 155,000ක් වාර්ෂිකව විදෙස් රටවලින් ආනයනය කෙරෙයි. මෙසේ ආනයනය කෙරෙන්නේ පොල්තෙල් නොව ඊට වෙනත් ආදේශක තෙල්ය. මේවා මෙරට ගෙන්වූ පසුව රස හා සුවඳ ගන්වා විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙයි. තෙල්වලට කලවම් කරන අමුද්‍රව්‍ය නිසා විවිධ දිලීරවර්ග හටගැනීම සිදුවේ. ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය එවැනි දිලීරයකි. මේවා දීර්ඝ ලෙස අනුභව කිරීමේදී කාලයත් සමඟ අදාළ විෂ ශරිරයේ එක්රුස්වීමෙන් භයානක ලෙඩ රෝග වැළඳීමේ ඉඩකඩ පවතින බව කියැවේ.

පොල්තෙල් සම්බන්ධයෙන් පවතින මෙම අනතුරුදායක තොරතුරු හමුවේ ඉදිරි දෙසතියකට පමණ පසුව මෙරට පොල්තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තාවේ. මේ අතර කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය හා බේකරි ආශ්‍රිත ආහාර නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවමින් කියා තිබුණේ රට තුළ දෙසතියකට ප්‍රමාණවත් පරිදි පමණක් පොල්තෙල් ඉතිරිව ඇති බවකි. කෙසේ නමුත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොල්තෙල් හිඟය මවාපෑමක් බවය.

පවතින තත්ත්වය හමුවේ දේශීය පොල්තෙල් කර්මාන්තය. දේශීය පොල්තෙල් සන්නාමය, ආරක්ෂා කර ගැනීමට මෙරට දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් රැකගත යුතුව ඇතැයි ප්‍රකාශ කෙරුණේ කර්මාන්ත අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙනි. මේ අතර අනාවරණය වී ඇත්තේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයේ යෙදුණු ආයතන 500ක් පමණ මේ වනවිටත් නිෂ්පාදන කටයුතු අත්හැර දමා ඇති බවය. මීට හේතුපාදක කාරණා පිළිබඳ සොයාබැලීමේදී පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය දේශීය අමුද්‍රව්‍ය හිඟය, විවිධ මාදිලියේ තෙල්වර්ග ආනයනය කිරීමට ඇති අවසරය, පොල්තෙල් වෙනුවට වෙනත් ආදේශක ගෙන්වීම හා කලවම් කර විකිණීම මෙන්ම දේශීය කර්මාන්තකරැවන් ව්‍යාපාර කටයුතු සඳහා ලබාගෙන ඇති ණය ප්‍රමාණය අධික වීමය.

මේ අතර පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු පිළිබඳ කර්මාන්ත අමාත්‍යංශයේ පැවැත්වූ සාකච්ඡාවකදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් කියා තිබුණේ රට තුළ කිසිදු ආකාරයකින් පොල්තෙල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැති බවය.

මේ අනුව රජය තීරණය කර ඇත්තේ දේශීය නිෂ්පාදකයාට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කොට කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසීමය. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ටොන් 39,000ක පොල්මද සුදුසු රටකින් ගෙන්වීමට අවසර ලබාදී තිබේ. මේවා කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල්මද හෙවත් කොප්පරාය. මේ අනුව විදේශයන්ගෙන් ගෙන්වන පොල්තෙල් ආදේශක නොගෙන්වා අමුද්‍රව්‍ය ආනයනය කර ඒ තුළින් සෞඛ්‍ය ආරක්ෂිත හා ප්‍රමිතිගත පොල්තෙල් ස්ථාවර හා අඩුමිලකට සැපයීමට හැකිය. මේ ඔස්සේ වස විෂ රහිතව ආහාර සුරක්ෂිතතාවක් ඇතිකර ගැනීමට හැකිය. මේ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිටත් අවසන් අදියරේ පවතින බව ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් සෞඛ්‍යාරක්ෂිත පොල්තෙල් පාරිභෝගිකයන්ට ලබාදීමට නම් විදේශවලින් ගෙන්වන සියලු ආකාරයේ පිරිපහදු නොකළ ආදේශක තෙල්වර්ග ආනයනය තහනම් කළයුතු බව දේශීය කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් පොල්තෙල් කර්මාන්තය නගා සිටුවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වියළි පොල්මද මෙට්‍රික් ටොන් 39,000 ගෙන්වීම බී.බී.සී. ආයතනය හරහා සිදුකිරීමට නියමිතය. මේ හරහා වසර පුරාවට පාරිභෝගික ජනතාවට ස්ථීර හා වෙනස් නොවන මිලකට පොල්තෙල් ලබාදිය හැකි බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම වැඩසටහනට සමගාමීව දේශීය කර්මාන්තකරුවන් සමග කාර්මික සංවර්ධන මණ්ඩලය පෙනී සිටින බවය.

පොල්තෙල් වෙනුවට දැනට ලංකාවට ආනයනය කෙරෙන්නේ ආදේශක තෙල් වර්ගය. ඒවා ඉන්දුනීසියාව, මැලේසියාව හා පැපුවා නිව්ගිනි වැනි රටවලින් ගෙන්වයි. මෙරට ව්‍යාපාරිකයෝ ඒවා අනර්ඝතම තෙල් බව හඳුන්වා දෙමින් විවිධ උපක්‍රම යටතේ අලෙවි කරති. ඒ බහුතරය පාම්තෙල් බව වැඩි පිරිසක් නොදන්නා කරුණකි. මෙම ආදේශක තෙල් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 1300-1400 අතර පවතී. ලෝක වෙළෙඳපොළේ පිරිසිදු පොල්තෙල් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 1900ක් පමණය.

පිරිපහදු නොකළ පොල්තෙල් ආදේශක මෙරටට ගෙන්වීම ආරම්භ කර ඇත්තේ 2020 වසරේදීය. ආනයනික පොල්තෙල්වලට වෙනත් තෙල්වර්ග මිශ්‍ර කරමින් අලෙවියට ඉඩකඩ සැලසූ ගැසට් නිවේදනය 2016 වසරේ නිකුත් කළ එකකි. මේ ආකාරයට ආනයනික ආදේශක පොල්තෙල් හා දේශීය පොල්තෙල් කලවම්කර අලෙවි කිරීමට බලය ලබාදී තිබූ 2016.10.07 දිනැති අංක 1987/51 දරණ ගැසට් පත්‍රය අවලංගු කිරීමට පියවර ගනිමින් සිටිති.

පොල්තෙල් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් පවතින මොහොතක විවිධ වෙළෙඳනාම යටතේ අලෙවි කරන පොල්තෙල්වල සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. “N-Joy” වෙළෙඳ නාමය යටතේ අලෙවි කරන පොල්තෙල්වල පිළිකාකාරක ඇෆ්ලොටොක්සීන් ඇති බව මේ වනවිට තහවුරු කර තිබේ. මේ සඳහා අදාළ නාමය යටතේ වෙළෙඳපොළේ අලෙවි කරන පොල්තෙල් සාම්පල හා එම ආයතන ගබඩාවේ තිබූ සාම්පල හා වෙළෙඳපොළට ඉදිරපත් කිරීමට සකස්කර තිබූ තෙල් බෝතල්වල සාම්පල ලබාගෙන ඇත. ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාල පරීක්ෂණාගාරයකදී සිදුකළ පරීක්ෂාවකින් අනතුරැව මෙම අනාවරණය සිදුකළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ අදාළ සාම්පල ලබාගෙන කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණාගාරයේ සිදුකළ පරීක්ෂාවේදීද ඇෆ්ලොටොක්සීන් අන්තර්ගත බව අනාවරණය වී ඇති බවය. ඒ අනුව අදාළ වෙළෙඳ නාමය යටතේ බෙදාහැර ඇති සියලුම තෙල් නැවත රුස්කර ගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය එම සමාගමට දන්වා ඇත. එසේම එම සමාගමට අයත් කොළඹ ග්‍රෑන්ඩ්පාස් පිහිටි ප්‍රධාන ගබඩාවට මුද්‍රා තැබීමට අධිකාරිය කටයුතු කළ බවද කීය. මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00