2021 මැයි 01 වන සෙනසුරාදා

වඩාත් හරි ලොක්ඩවුන්ද? මෙහෙම යන එකද?

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

දැනට හිස ඔසවා ඇති කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීම උදෙසා පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධන බලකාය රැස්වූ අවස්ථාවේදී සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ජනාධිපතිවරයාට යෝජනා කර සිටියේ පසුගිය වර සිදුකළා මෙන් රට කෙටි කාලයකට වසා තැබිය යුතු බවටය. එහෙත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ මෙවර කොවිඩ් පාලනය සඳහා පසුගිය වර මෙන් රට වසා දැමීමට කටයුතු නොකරන බවය. ඔහුගේ අදහස වූයේ ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් සුළු කාලයකට හෝ අකර්මණ්‍ය කිරීමෙන් රටේ ආර්ථිකයට හා ජනජීවිතවලට සිදුවන අහිතකර බලපෑම අති විශාල බවය. එය ඇතැම්විට කොවිඩ් බෝවීමෙන් සිදුවන හානියට වඩා වැඩි විය හැකි යැයිද පෙන්වා දෙන්නට ලැබුණි. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ මෙවර පසුගිය සමයේ මෙන් ඇඳිරි නීතිය පනවා රට වසා දැමීමට කටයුතු නොකරන අතර අවශ්‍ය වුවහොත් යම් යම් ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බවය.

මෙයට පෙර සිංහල අලුත් අවුරුදු උත්සව සමය ආරම්භ වන අවස්ථාවේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය රජයට යෝජනා කළේ අවුරුදු සමයේ ජනතාව රට පුරා විසිරී යන නිසා සංචරණ සීමා පැනවීම අවශ්‍ය බවය. එසේ සිදුනොවුණහොත් කොළඹ සහ රටේ සෙසු ප්‍රදේශවලින් කොවිඩ් වෛරසය රටේ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට ඉඩ වැඩි බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත් ඒ අවස්ථාවේ රජය සංචරණ සීමා පැනවීමට ඉදිරිපත් නොවුණු අතර පිටතට යන්නන් අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් රෝගය ව්‍යාප්ත වීම මර්දනය කිරීමේ උත්සාහයක නිරත විය. එහෙත් එම උත්සාහය ඵල රහිත වී ඇති බව මේ දිනවල සිදුවෙමින් පවතින කොවිඩ් බෝවීමේ ශීඝ්‍රතාව අනුව පෙනී යයි. නගරයේ තිබූ බව වෛරසය මේ වන විට ගම්වලටද ගොස් හමාරය. 

රජය රට වසා දැමීමට මෙවර පෙළඹ නොවුණේ පසුගිය වර එම පියවර ගැනීම නිසා විඳින්නට සිදුවූ කටුක අත්දැකීම්වලින් පාඩමක් ඉගෙන ගැනීම නිසා බව කිව යුතුය. රට වසා දමා සියලු අංශවල ක්‍රියාකාරීත්වය නැවැත්වීම නිසා ආර්ථිකයට මෙන්ම ජනජීවිතයටද සිදුවූ හානිය බරපතළ බව කිව යුතුය. කර්මාන්තශාලා වසා දැමීමෙන් ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම නැවතුණි. ඇඟලුම් කර්මාන්තයට මෙය විශාල ලෙස බලපෑවේය. ලක්ෂ ගණනකට රැකියා අහිමි විය. වැඩ නොකර සේවකයන්ට වැටුප් ගෙවීමට සිදුවීම නිසා හාම්පුතුන්ට විශාල අසාධාරණයක් සිදුවිය. මාස ගණනක් මෙලෙස වැටුප් ගෙවීමට නොහැකිවීම නිසා සේවකයන් වැටුප් රහිත නිවාඩු යැවීම කෙරුණි. වැටුප් නොමැතිවීම නිසා සේවකයන්ට සහ ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවත්වීමට මඟක් නැති විය. කර්මාන්තශාලාවල නිෂ්පාදනය නැවතීම නිසා සිදුවූයේ විශාල ආර්ථික හානියකි. විදේශ ඇණවුම් සපුරාලිය නොහැකිවීම නිසා එම කොන්ත්‍රාත් යළි නොලැබෙන තත්ත්වයට පත්විය. නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයන්නන් විශාල සංඛ්‍යාවකට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය.

රටේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වූ සංචාරක ව්‍යාපාරය අඩපණ වූයේ රට වසා තැබීම නිසාය. සංචාරකයන් රුගෙන ඒමට නොහැකිවීම සහ පැමිණි අය ආපසු හරවා යැවීමට සිදුවීම හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල ආදායමක් අහිමි විය. සංචාරක කර්මාන්තයෙන් ඍජුව සහ වක්‍රව යැපෙන හෝටල් ආදී විවිධ ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩා වැටුණි. මෙරටට පැමිණීමට සූදානම්ව සිටි බොහෝ දෙනෙක් ස්වකීය සංචාර අවලංගු කළහ.

ආයෝජනවලටද අහිතකර තත්ත්වයක් ඇතිවිය. රට වසා ඇති නිසා ආයෝජකයන් අලුතින් ආයෝජනයට පැමිණියේ නැත. රටේ සිටින ආයෝජකයෝද දීර්ඝ කාලයක් රට වසා තිබෙනු ඇතැයි උපකල්පනය කර තම ආයෝජන වෙනත් රටවලට රුගෙන ගියහ. විදේශවල රැකියා කරන්නන්ගේ විදේශ විනිමය රට තුළට පැමිණියේ නැත. එසේම පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතුද පටන්ගෙන යාමට නොහැකි විය. ස්වයංරැකියාලාභීන්ටද තම රැකියා කරගෙන යාමට නොහැකි වූ අතර ඔවුන්ගේ වෘත්තීන් බිඳවැටුණි. ඔවුන්ගෙන් යැපෙන්නෝද අමාරුවේ වැටුණාහ. ආනයන අපනයන කටයුතු මුළුමනින්ම අඩපණ විය.

පසුගිය වර රට වසා තැබීම නිසා රටේ ආර්ථිකයට සිදුවූ හානිය සලකා බලා යළි එවැනි තත්ත්වයක් උදා නොවීමට රජය මෙවර කටයුතු කළ බව සිතාගත හැකිය. කොවිඩ් වෛරසය සමඟ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පවත්වාගෙන යමින් සාමාන්‍ය ජීවිතය අඛණ්ඩව ගෙන යාමට රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව පසුගියදා පෙනෙන්නට තිබිණ. නිෂ්පාදන ආයතන එලෙසම පවත්වාගෙන යාමටද, රජයේ සහ පෞද්ගලික කාර්යාල දිගටම සක්‍රියව තබාගැනීමටද, පාසල් හා සරසවි විවෘතව තබාගැනීමටද, පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි කරගෙන යාමටද විවිධ පියවර ගත්තේය. රජය මෙම උත්සාහයන් ගත්තේ කෙසේ හෝ රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයද කඩා නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය බැවිනි. එහෙත් එම උත්සාහය මෙවරද දිගටම ගෙන යාමට රජයට හැකිවූයේද යන්න මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇත. ජනතාව ජීවත් කරවීම සඳහා රුපියල් 5000 බැගින් විශාල මුදලක් ගෙවීමටද රජයට සිදුවිය. 

කොවිඩ් දෙවැනි රැල්ල උග්‍රවීම නිසා අද වන විට ප්‍රදේශ රුසකට සංචරණ සීමා පැනවීමට රජයට සිදුව ඇත. සමහර ගම් මුළුමනින්ම වසා දැමීය. ආර්ථික මධ්‍යස්ථාන, බැංකු ඇතුළු ව්‍යාපාරික ආයතන රැසක් නගරයේ මෙන්ම රට පුරාම වසා දැමීමට සිදුව තිබේ. එසේම ඇඟලුම් කම්හල් ඇතුළු නිෂ්පාදන ආයතන රුසක්ද සම්පූර්ණයෙන් වසා තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් කඩින් කඩ සේවයට කැඳවීමට සිදුව තිබේ. පාසල් සහ විශ්වවිද්‍යාල මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනද කෙසේ හෝ පවත්වාගෙන යාමට රජය උත්සාහ කළද මේ වන විට එය ව්‍යර්ථ වී තිබේ. දැනට සිදු කර ඇති වෙනස්කම්වලට අනුව නාමිකව ආයතන පවත්වාගෙන ගියද ඒවායින් සාර්ථක වැඩ කොටසක් ඉටුකළ නොහැකි වන බව පැහැදිලිය. නිෂ්පාදන ආයතනවලද පවතින සීමා කිරීම් නිසා ඒවායේ සාමාන්‍ය ධාරිතාව තබා ඉන් අඩක් හෝ පවත්වාගෙන යාමට දුෂ්කර වී තිබේ.

මේ වන විට රට විවෘතව තැබෙනවා යැයි පැවසුවද පෙනෙන්නට ඇත්තේ ක්‍රමයෙන් ක්‍රියාකාරීත්වය දුර්වල වන බවය. නිෂ්පාදනය අඩපණව ඇති විටෙක ආයතන විවෘත කර තැබීමෙන් සිදුවන්නේද පාඩුවකි. ඒවායේ යටිතල පහසුකම් සැපයීමට නිකරුණේ වැය කිරීමට සිදුවේ. ඉදිරියේදීද කොවිව් වසංගතය තීව්‍ර වන බවට මේ වන විට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රට සති දෙකක් හෝ සම්පූර්ණයෙන් වසා තැබුවහොත් වසංගතය පාලනය කළ හැකිවේ යැයි ඇතැම් වගකිව යුතු අංශ ප්‍රකාශ කරන බවක් පෙනෙන්නට තිබේ.

රජයට මේ පිළිබඳ කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් තිබේද යන්නද සාකච්ඡාවට බඳුන් වී ඇති මාතෘකාවකි. අනාගතයේදී මෙවැනි අවස්ථාවක් ඇතිවුවහොත් එයට මුහුණදීමට රජයේ සූදානම කෙසේද යන්නද සලකා බැලීමට මේ සුදුසුම අවස්ථාව වෙයි.

මෙම ගැටලුව පිළිබඳ දේශය පුවත්පතට අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසන්නේ අද උද්ගතව ඇති ගැටලුවට පේන තෙක් මානයේ හෝ සැලසුමක් රජය වෙත නොමැතිය යන්න පැහැදිලිව පෙනෙන බවය. ඔහු අවධාරණය කරනුයේ රජයේ අසාර්ථකත්වය වසාගැනීම සඳහා කොවිඩ්-19 වසංගතය යොදාගන්නා බවට මේ වන විට සැක ඇතිවන බවයි. රජය අසාර්ථක වූ ආර්ථික, සමාජමය හා දේශපාලන ගැටලු වසාගැනීම සඳහා කොවිඩ් තත්ත්වය යොදාගන්නා බවට ඔහු චෝදනා නගයි. පළමු හා දෙවැනි කොවිඩ් රුලි ආරම්භ වූ පසුව ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයකට මුහුණදීමට සැලසුමක් සකස් කිරීමට රජයට අවස්ථාව තිබුණද ඔවුන් වුවමනාවෙන්ම එය පැහැර හැර ඇති බව පෙනෙන්නට තිබේ යැයි ඔහු කියයි.

කොවිඩ් වසංගත තත්ත්වය ලොව පුරා ආරම්භ වී මේ වන විට වසර 1 ½කට ආසන්නයි. අපටත් එසේමයි. මේ කාලයේ ලොව බොහෝ රටවල් විශ්වාස කළේ රෝගය ස්වභාවික සමතුලිතතාවකට පත්වෙනු ඇත කියලයි. එය  වැඩිවෙලා ක්‍රමයෙන් අඩු වේවි යැයි බලාපොරොත්තු තබාගෙන සිටියා. එහෙත් මෙය සෙසු වසංගත රෝගවලට වඩා වෙනස් වූ නිසා සමතුලිතයකට එන්නේ නැහැ. දැන් ඉහළටම ගමන් කරනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අංශ දෙකක් ක්‍රියාත්මක විය යුතුයි. එකක් රජය පැත්තෙන්. අනික ජනතාවට පැවරී ඇති සමාජමය වගකීම. එහෙත් අද වන විට මේ දෙපැත්තම අසාර්ථක වී ඇකි බව පෙනෙන්නට තිබෙනවා. රජය තම වගකීම නිසි ලෙස ඉටුකර නැහැ. වසංගතය මුවාවෙන් ස්වකීය දේශපාලන අපේක්ෂා ඉටුකර ගැනීමටයි රජය උත්සාහ කරන්නේ. රජයට පමණක් මෙය තනිව විසඳිය නොහැකි අතර රජයට වඩා වැඩි වගකීමක් සමස්ත සමාජයට පැවරෙන බව කිව යුතුයි. සමාජය තුළ රෝගය පිළිබඳ යම් බියක් ඇතිව තිබුණත් වැඩි දෙනාගේ හැසිරීම අනුව පෙනෙන්නේ එවැනි අර්බුදයක් නැති ගාණටයි. එසේ නැතිනම් වුවමනාවෙන්ම අමතක කරලා වගෙයි. ඔවුන් බොහෝ සේ පෙළඹිලා ඇත්තේ තමන්ගේ සාමාන්‍ය කටයුතු නොවෙනස්ව කරගෙන යාමටයි. මෙහිදී සමාජ වගකීම වඩාත් වැදගත් වන නමුත් වැඩිදෙනා එය බැහැර කර ඇති බවයි පෙනෙන්නේ. පසුගිය සිංහල අලුත් අවුරුද්ද ජනතාව ඉතාම උත්කර්ෂවත් ලෙස සැමරුවා. වෙළෙඳපොළ සක්‍රිය වුණා. ජනතාවගෙන් කඩ සාප්පු පිරී ගියා. ව්‍යාපාරික ප්‍රජාවගේ ආර්ථිකය යහපත් වුණා. එහෙත් මෙයින් රටට ඇතිවූ ආර්ථික වර්ධනයක් තිබේද? මෙම වගකීම් විරහිත හැසිරීමේ ප්‍රතිඵල මේ වන විට ජනතාවට අත්විඳින්න සිදුව තිබෙනවා. අපේ සමාජයට බොහෝ දේ ඉක්මනින් අමතක වෙනවා. අතීත අත්දැකීම් කෙටි කලකින් අමතක කරනවා. මේ තත්ත්වය ඇතිවූයේ ඒ නිසයි.

ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මෙම වසංගතය පාලනය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මේ සියල්ල ඒ ඒ අංශවලට පවරා රජය අත සෝදාගැනීමේ උත්සාහයක නිරත වෙනවාදැයි සැකයක් බොwහෝ අය තුළ ඇතිවී තිබෙනවා. ලිපි යැවීමෙන් චක්‍රලේඛ නිකුත් කිරීමෙන් සියල්ල සාර්ථකව ඉටුකරගත හැකිද යන්න ගැටලු සහගතයි. ක්‍රියාකාරී මැදිහත්වීමක් හෝ වගකිව යුතු දේශපාලකයන්ට නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඔවුන් තම දේශපාලන වුවමනා එපාකම් කොවිඩ් වසංගතය ඉදිරියට දමා ඉටුකරගන්න බවයි කියන්නට තිබෙන්නේ. රජයට කිසිදු සැලසුමක් නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ කෙටිකාලීන ආර්ථික මූල්‍ය ප්‍රතිපත්තියක් මත ඉදිරියට යාමටයි. මුදල් අච්චු ගැසීම වැනි කෙටිකාලීන විසඳුම්වලින් සහනයක් ලබන්නට බැහැ. ආනයන සීමාකිරීම, ආනයන තහනම් කිරීම ආදියද එයට විසඳුම් ලෙස ආදේශ කරන්නට උත්සාහ කරනවා. එහෙත් ඒවා සාර්ථක නැහැ. රජය කොරෝනා වසංගතය ආශිර්වාදයක් කරගෙන රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමටයි උත්සාහ ගන්නේ. එහෙත් එය තාවකාලිකයි. ඔවුන් තවමත් දීර්ඝකාලීන විසඳුමක් පිළිබඳ සිතා බලාවත් නැති බව පෙනෙන්නට තිබෙනවා. ඒ වෙලාවට මොනවා හරි කරලා පැලැස්තර විසඳුම් යොදන්නයි යන්නේ. ජනතාවට ආහාර පාර්සල් දීම, රුපියල් 5000 බැගින් බෙදාහැරීම ආදියෙන් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකිද? එයින් සිදුවන්නේ රට ආර්ථික වශයෙන් තවත් අගාධයට යාමයි.

මෙම කොවිඩ් ව්‍යාප්තිය මෙතනින් අවසන් වන්නේ නැහැ. ලංකාවේ සහ විදේශවල අද පවතින තත්ත්වය කෙටි කාලයකින් තාවකාලිකව අඩු වුණත් එය සදාකාලික නැහැ. යළිත් මෙයට වඩා තදින් රෝග ව්‍යාප්තියක් එන්න පුළුවන්. එහෙත් ඒ පිළිබඳ රට සූදානම් කර තබන්නට රජය මොනවාද කළේ?

රජයේ සැලසුම්වල අසාර්ථකත්වය වසාගන්නට රෝගය පාවිච්චි කළා පමණයි. රටට දේශීය ආර්ථික සැලසුමක් නැහැ. අද රට පාලනය කරන්නේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු දැයි සැකයක් මතුවෙනවා. භාණ්ඩ සහ සේවාවල මිල මට්ටම තීරණය කරන්නේ ව්‍යාපාරික ප්‍රජාවයි. ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාව රජය කරන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. ඉදිරියේ බඩු මිල වැඩි වුවහොත් එය පාලනය කිරීමට රජයට කිසිදු සැලසුමක් නැහැ. මේ පිළිබඳ දීර්ඝකාලීන විසඳුමකට යා යුතු වෙනවා. එහෙත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නා බවයි පෙනෙන්නට තිබෙන්නේ.

කොවිඩ්වලින් පසු ආනයන තහනම් කළ විට භාණ්ඩ මිල ඉහළ ගියා. එයට හේතුව ඉල්ලුමට සරිලන සැපයුමක් රට තුළ නොමැති වීමයි. අපේ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් රජයට නැහැ. භාණ්ඩ මිල ඉහළ ගිය පසු ජනතාව කෑගසන නිසා රජයට යළිත් ආනයන සීමා ලිහිල් කරන්නට සිදුවුණා. එවැනි අවස්ථා ගණනාවක් උදාහරණ ලෙස දෙන්නට පුළුවන්.

මෙවර රජය තීරණය කර ඇත්තේ කිසිම ලෙසකින්වත් රට වසා නොදැමීමටයි. රජයේ එම ආකල්පයට මමත් එකඟයි. එයට හේතුව රට වසා දැමීම නිසා සිදුවන ආර්ථික හානිය කොවිඩ් වසංගතයෙන් සිදුවන හානියට වඩා බරපතළ වීමයි. රජයේ ආදායම් මාර්ග අහිමි වෙනවා. බදු ආදායම් නැතිවෙනවා. අවශ්‍ය වියදම්වලට තව තවත් ණය ගන්නට වෙනවා. ජනතාවගේ ජීවනෝපාය අහිමිවීමෙන් ඔවුන් විශාල පීඩනයකට පත්වෙනවා. රැකියා ස්ථාන වසා තැබෙනවා. කාර්යාල වැසීම නිසා ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකරගත හැකි වන්නේ නැහැ.

රජයට බැහැ හැමදාම ජනතාවට සහනාධාර දෙන්න. මුදල් බෙදන්න. ඒ නිසා රට විවෘතව තබාගෙන එදිනෙදා වැඩ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවස්ථාව සැලසිය යුතුයි. එය කොවිඩ් වසංගත සමයේ සාමාන්‍ය ධාරිතාවෙන් සිදුනොවන බව සත්‍යයක්. එහෙත් යම් පමණකට හෝ නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙනවා. එය සම්පූර්ණයෙන් අත්හිටුවීමට වඩා යහපත්. එහෙත් මෙහිදී රජයේ පාර්ශ්වයෙන් ජනතාව නියාමනය කළ යුතුයි. ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවයේ නිරතවීමට මඟපෙන්විය යුතු වෙනවා. අද පවතින කොවිඩ් තත්ත්වය කවදා ඉවර වෙයිද කියන්න බැහැ. දිගටම මෙය පැවතුණහොත් රට එය අවසන් වනතුරු වසා තැබිය හැකිද? පාසල් වසා තබා රටේ අධ්‍යාපනය අඩපණ කළ හැකිද? ඒ සියල්ල හැකි තරම් මට්ටමකින් ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා මා නම් විශ්වාස කරන්නේ රට වසා නොදමන බවට ජනාධිපතිවරයා ගත් තීරණය යහපත් බවයි. එහෙත් රට විවෘතව තබාගෙනම සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සාමාන්‍ය කටයුතුවල නිරතවීමට ජනතාව මෙහෙයවීම රජයේ වගකීමක්. එය හරියට කළ යුතුයි.

 යසවර්ධන රුද්රිගූ