2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

මහනුවර ගංවතුර සුනාමිය

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

මිනිසා විසින් පරිසරයට සිදුකරන ලද අහිතකර බලපෑම්, පරිසරය විනාශ කිරීම්, ගස් කොළන් කපාදැමීම් ජල පෝෂිත ස්ථාන සහ ඇළ මාර්ග අවහිර කරමින් සිදුකරන අවිධිමත් නීති විරෝධී ඉදිකිරීම් හේතුවෙන් මිනිසාට මහත් ව්‍යසනයන්ට මුහුණදීමට සිදුවෙයි.

සුන්දර මහනුවර පුරවරය ආරක්ෂිත බවට බොහෝ දෙනෙකු පැවසුවද මුහුදක් ළඟක නැති නිසා සුනාමි බියක් නැතැයිද කියමින් මහනුවර වැසියෝ උදම් ඇනූහ. 

එහෙත් මහනුවරට සුනාමියක් සේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමාවීමත් සමඟ ඇදහැළුණු මහා වර්ෂාවත් සමඟ මහනුවර නගරයේ සුදුහුම්පොළ, නාගස්තැන්න සහ දෙයියන්නේවෙල යන ප්‍රදේශවල නිවාස 200කට අධික සංඛ්‍යාවකට අලාභහානි සිදුකරමින් ගංවතුර සුනාමියක් ගලා ආවේය. 

වසර 40-50 ක් තිස්සේ දුක්විඳ හරිහම්බ කරගත් මුදල් වැයකර තැනු නිවාස රුසක් හදිසි ජල ගැල්මකින් හානියට පත්විය. මහනුවර නගරයට ආශ්‍රිතව පිහිටි විහාරස්ථානයකටද වැසි ජලය ගංවතුරක් මෙන් ගලා ඒම නිසා දැඩි හානි සිදුවිය. මිනිස්සු එකිනෙකාට දෝෂාරෝපණය කරගත්හ. ඇළ මාර්ග වසා අවහිර කර අනවසර ඉදිකිරීම කර තිබීම නිසා ජලය පිරි ඇළ මාර්ග උතුරා යාමෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවූ බවට ඔවුහු චෝදනා නැගුහ.

සුනාමි ව්‍යසනයක් ඇතිවූවාක් සේ මහනුවර නගරයේ සුදුහුම්පොළ සහ දෙයියන්නේවෙල අවට නිවාස 200 කට අධික සංඛ්‍යාවක් හානියට පත්වුණේ හන්තාන කඳුමුදුනේ සිට පහළට ගලා ආ ඇළ මාර්ගයක අධික ජලපහර නගරයට කඩා වැදීමත් සමඟය.
කුඩා මොටර් රථ, ත්‍රිරෝද රථ පවා අධික ජල පහරට ගසාගෙන ගොස් විවිධ ස්ථානඅවල හිරවී තිබිණි. හදිසියේම ගලා ආ ජල පහරවල් සමඟ ගස් කොළන් කොටස්, පස්, ගල් කොට කැබලි කාණුවල සිරවී ජලය ගලාගොස් නිවාස යට වී තිබිණි.

ජලය ගලායන විශාල කාණු සහ ඇළ මාර්ග අවහිර කරමින් දැවැන්න ඉදිකිරීම් රැසක් කර තිබීම හේතුවෙන් මහනුවර නගරයට ආසන්න ජනපද දෙකක් (සුදුහුම්පොළ සහ දෙයියන්නේවෙල) වැසි ජලයෙන් යටවී නිවාස රැසකට හානි සිදුවී තමන්ගේ ලක්ෂ ගණනක් වටිනා දේපළවලටද අලාභහානි සිදුව තිබෙන බව නිවෙස් හිමියෝ පැවැසූහ. 

වගකිවයුතු නිලධාරීන්ගේ අවධානයක් යොමු නොවීමත් ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අනුදැනුම මත විවිධ ඉදිකිරීම් පරිසරයට එරෙහි වන ආකාරයෙන් සිදුවීමත් මෙවැනි මහා ව්‍යාසනයකට හේතුව බව පරිසර සංවිධාන නියෝජිතයෝ පවසති.
නිසි භූ විද්‍යාත්මක, ඉංජිනේරු විද්‍යාත්මක සහ පාරිසරික නිර්දේශ නොතකමින්  කලාපය තුළ සිදුකර තිබෙන සංවර්ධන කටයුතු නිසාද මහනුවර සහ අවට කඳු ආශ්‍රිත පෙදෙස් අවදානමට ලක්වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

වැඩිදුරටත් සිද්ධියට අදාළව කරුණු දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මෙසේද පවසයි. 

තිරිවානා බහුල පාෂාණ පද්ධතියක් තිබෙන හත්තාන කඳු පද්ධතියේ පස ලිහිල්ව වැලි සහිත වීම නිසා සෝදාපාළුවට ලක්වීමට ඉඩ තිබෙනවා. පසුගිය කාලවල හන්තාන කඳුවැටි පරිශ්‍රයේ සිදුකළ අවිධිමත් ගිනිතැබීම් හේතුවෙන් පස නිරාවරණය වී තිබෙනවා. එමනිසා සෝදාපාළුවක් සිදුවී තිබෙනවා. පසුගිය දිනවල හන්තාන ප්‍රදේශයේ විශාල කාණු කපමින් සිදුකළ ජලනළ එලීම් කටයුතු නිමාකර නැවත පස්දමා වසා දැමීමේදී එම පස් ඉවත් කිරීමේදි එය නිසි ක්‍රමවේදයකට අනුව සිදුකර නොමැතිවීමත් නිසා අධික වර්ෂවත් සමඟ එම ප්‍රදේශ ඉරිතැලීම්වලට ලක්වී තිබෙනවා. අභ්‍යන්තර ජලවහනයේදී එම ස්ථානවල ලිහිල් තැන් සොයා ජලය එක්රැස්වී විශාල නායයෑම් තත්ත්වයන් පවා ඉදිරි කාලවලදී (හන්තාන) කඳු ආශ්‍රිතව සිදුවීමට ඉඩ තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ හන්තාන කන්දෙන් පහළට ගලාඑන හන්තාන ඇළ පළල් වී අධික ජලය පිටත ගලායාමත් සමඟ අවට විශාල හානියක් සිදුව ඇති බවද අදාළ වගකිවයුත්තත් නිසි අවධානයක් යොමු නොකිරීම නිසාම මහනුවර නගරයේ ජනවාස ප්‍රදේශ මේ අයුරින් ජලයෙන් යට වී විශාල විනාශයක් සිදුව තිබෙන බවද හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

මහනුවර සුදුහුම්පොළ සහ දෙයියන්නේවෙල ජනතාව කිසිදා නොසිතූ ව්‍යාසනයකට ඔවුනට මුහුණදීමට සිදුවීමත් සමඟ ඔවුහු විසඳුම් නැති ප්‍රශ්න වැළකට පැටලී සිටිති. 

මහනුවර නගරය තුළ අවිධිමත්ව හා නිසි කළමනාකරණයක් පාලනයක් නොමැතිව ඉදිකළ දැවැන්ත මහල් ගොඩනැගිලි කඩාවැටී අහිංසක තරුණ දෙමාපිය යුවළක් සහ කුඩා බිළිඳෙකු මරැමුවට පත් වී වසරක් ගතවීමටත් පෙර මහනුවර පුරවරයට යළිත් මහා පාරිසරික ව්‍යාසනයක් උදාවුවද නගර පාලකයන් ඒ පිළිබඳව වගේ වගක් නොමැති නිහඬව සිටීමද මවිතයට කරුණකි.

මහනුවර පුරවරයේ සිදුකෙරෙන අවිධිමත් සංවර්ධන ක්‍රියාදාමයන් මෙන්ම නීති විරෝධී අනවසර ඉදිකිරීම් නිමක් නොවුණහොන් හන්තාන කඳුවැටියද පහත් වී නුවර පුරවරය ගිලගනු ඇතැයි පරිසර සංවිධාන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භු විද්‍යාඥයෝ අනතුරැ අඟවති.

හන්තාන සුරුකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක මහතා හන්තාන කඳු රක්ෂිතයට පස් දමා පරිසර හානි සිදුකරන රාජ්‍ය ආයතන දෙකකට එරෙහිව මහනුවර පොලීසියට පැමිණිලි කර තිබේ.

 කථාව හා සේයාරූ: ජේ.ඒ.එල්. ජයසිංහ, තෙල්දෙණිය චන්දන උඩුවාවල