2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

මහජන මුදල් ගිලින බහිරවයෝ

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

රටේ ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා උරදෙන ප්‍රධාන ආයතන තුනක් වෙයි. ඒවා නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවයි. මේවායේ ප්‍රධාන කාර්යභාරය වනුයේ එම අංශවලින් ලැබිය යුතු රාජ්‍ය ආදායම සාර්ථකව එකතු කර ඒකාබද්ධ අරමුදලට බැර කිරීමයි.

එහෙත් මේ වන විට සමාජය තුළ කතාබහට ලක්ව ඇත්තේ මෙම දෙපාර්තමේන්තු තුනෙන් රජයට ලැබිය යුතු ආදායම නිසි පරිදි නොලැබීම පිළිබඳවයි. මෙම ආයතන ස්වකීය වගකීම් පැහැරහැරීම නිසා රජයට අයවිය යුතු ජාතික ආදායම නිසි ලෙස නොලැබෙන ප්‍රවණතාවක් මේ වන විට උද්ගතව ඇති බවට සාකච්ඡා පැනනගිමින් පවතී. මෙලෙස ආදායම එකතු නොවීමට ප්‍රධාන කරුණු තුනක් හේතුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. එම ආයතනවල අදාළ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව හා මන්දගාමීත්වය ඉන් ප්‍රධාන වේ. අනිත් හේතුව වන්නේ එම ආයතනවලට පිළිලයක් වී ඇති වංචා හා දූෂණ ආදියයි. මෙම ආදායම එකතු කරන ක්‍රමවේදවල මෙන්ම පවතින නීතිවල ඇති දුර්වලතාද තවත් හේතුවක් වෙයි. මෙම හේතුවලින් එකක් හෝ දෙකක් නිසාද නොඑසේ නම් තුනම නිසාද ආදායම් නිසි පරිදි එකතු නොවන බව සොයාගෙන ඇත. මෙයට පෙර බලයට පත්වූ බොහෝ ආණ්ඩු මෙම දෙපාර්තමේන්තු තුන ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගත්තද, ඒවායින් සිතූ තරම් සාර්ථකව ප්‍රතිඵල ලැබී නොමැති බව කිව යුතුය.

මෙම ආයතනවල නිලධාරීන්ගේ රාජකාරි කටයුතු කාර්යක්ෂමව කිරීම සඳහා ඔවුන්ට විවිධ පාරිතෝෂික සහ ප්‍රදාන ආදියද ගෙවනු ලබන බව කවුරුත් දන්නා කරුණකි. මේ නිසා වෙනත් රාජ්‍ය සේවකයන් හා සසඳන විට ස්වකීය වැටුපට වඩා විශාල වශයෙන් ආදායමක් ලබාගැනීමට ඔවුහු භාග්‍යවන්තයෝ වී සිටිති. එහෙත් ඇතැම් සේවකයන් තමන්ට නිත්‍යනුකූලව හිමිවන මුදල්වලට වඩා විශාල මුදලක් වෙනත් අවිධිමත් ක්‍රමවලින් උපයා ගැනීමට උත්සාහ කරන නිසා එම ආයතනවල සමහර අංශ හොර ගුහා බවට පත්ව තිබේ. සුළු නිලධාරීන් පමණක් නොව ඇතැම් උසස් නිලධාරීන් පවා මෙම දූෂණ ජාලයේ කොටස්කරුවන් වී ඇති අයුරු අනාවරණය වී තිබේ. මෙම වංචා දූෂණවලට සම්බන්ධ වන්නේ ඉතාම සුළු නිලධාරීන් පිරිසක් වන නමුත් ඔවුන්ගේ අයථා කටයුතු නිසා එම සමස්ත ආයතනද අපකීර්තියට ලක්ව ඇති අතර රටේ ජාතික ආර්ථිකයටද සිදුව ඇත්තේ විශාල හානියකි. මෙම තත්ත්වයට සමහර ඇතැම් දේශපාලනඥයන්ද සම්බන්ධ බවට විවිධ කටකතා පවතී. සමහර දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාරවලටද මෙම නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන්ද නොමසුරුව මුදල් වියදම් කරන නිසා මෙම තත්ත්වය නැති කිරීමට ගන්නා උත්සාහය අසාර්ථක වී තිබේ.

මෙම ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය උසස් කිරීම සඳහා වගකිවයුත්තන් විවිධ දියුණු ක්‍රම සහ විධි හඳුන්වා දීමට උත්සාහ කළද එම නිලධාරීන් වැඩිදෙනා ඒවා ව්‍යාප්ත කිරීමට බාධා කරමින් තමන්ට පුරුදු සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීමට පෙළඹීම නිසා මෙම නව තාක්ෂණ ක්‍රියාමාර්ග පුස්කමින් පවතී. උදාහරණයක් වශයෙන් කිවහොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු ජාත්‍යන්තර Ramix ක්‍රමයට පරිවර්තනය කිරීමේදී පවා සිදුවූ ප්‍රමාදයන් කැපීපෙනේ. තවමත් මෙම ක්‍රමයේ දුර්වලතා පවතී. විශාල මුදලක් වැය කර සිංගප්පූරු සමාගමක් මගින් මෙම පරිවර්තනය සිදු කළද එහි පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඇතැම් පනත් සංශෝධනය කළ යුතුව තිබෙන බව මේ වන විට අනාවරණය වී ඇත. පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2020-12-31 වන විට පුද්ගලයන් 200කට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 14553කට අධික මුදලක් අයවීමට ඇති බවය. එසේම ආදායම් බදු ගෙවීම සඳහා විවිධ ආයතන ඉදිරිපත් කළ චෙක්පත් 6878ක් අගරු වී තිබේ. වැඩි වශයෙන් මෙවැනි චෙක්පත් ඉදිරිපත් කර ඇත්තේ විශාල ව්‍යාපාරිකයන් සහ විවිධ ධනවතුන් බවද අනාවරණය වී තිබේ. මෙවැනි චෙක්පත් ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ ගෙවීම් කිරීම වුවමනාවෙන් ප්‍රමාද කිරීමය. මේ සඳහා දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහායද මොවුන්ට ලැබී ඇති බවට සැක පහළව ඇත්තේ නිලධාරීන්ගේ සහයෝගය නොමැතිව මෙලෙස චෙක්පත් බාරගැනීම කළ නොහැකි නිසාය. මේ පිළිබඳ නීති කටයුතු කිරීමේදී අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම් සිදුවන අතර ඇතැම් නඩු අවුරුදු ගණන් ඇදි ඇදී යන බවද දක්නට තිබේ.

2020 දෙසැම්බර් 31 දිනට කැසිනෝ ආදී සූදු ව්‍යාපාරවලින් ගෙවීමට ඇති හිඟ මුදල පමණක් රුපියල් කෝටි 267ක් බවද අනාවරණය වී තිබේ. 2010 අංක 16 දරණ ගෙවීම් පැහැරහරින බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනතේ 12 වැනි වගන්තිය අනුව 2020 වසර අවසානයට අය කළ හැකි බදු මුදල් රුපියල් කෝටි 14453ක් බවද අනාවරණය වෙයි. එහෙත් මෙම හිඟ මුදල් අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගකීමෙන් කටයුතු කර තිබේද යන්න පිළිබඳ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ. මෙහිදී ගිණුම් කාරක සභාව මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු ක්‍රමවේදයක් ඉක්මනින් සකස් කරන ලෙසටය. ආයතන 29ක් මෙම තොරතුරු පද්ධතියට ඇතුළත් කර ගැනීමට කටයුතු කරමින් පවතින බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී හෙළි වී තිබේ.

සෑම වසරකම පාහේ බලාපොරොත්තු වූ බදු ආදායම ලබාගත නොහැකි බව අනාවරණය වී තිබේ. 2019 බලාපොරොත්තු වූ බදු ආදායම රුපියල් මිලියන 1,038,129,000 ක් වන නමුදු අයකරගෙන ඇත්තේ මිලියන 1,025,315 – 006,780ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් අනාවරණය වෙයි. ආදායම් බදු වංචාවලින් සහ භාණ්ඩ ආනයන බදු වංචාවලින් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 100කට වැඩි මුදලක් අහිමි වන බව පෙනී ගොස් ඇත. 2019 වර්ෂය අවසන් වන විට ආදායම් බදු ගෙවන සංඛ්‍යාව 281,105 ක් වන අතර රටේ ජනගහණයට සාපේක්ෂව සහ රුකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය අනුව සැසඳූවිට මේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
බොහෝ අය බදු දැලෙන් මිදී යන අතර ඔවුන් පිළිබඳ පසුවිපරම් කිරීමක් සිදු නොවේ. විශේෂයෙන්ම බදු උපදේශකයන් ලෙස ක්‍රියා කරන ආදායම් බදු දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන් නීතියේ දුර්වල තැන්වලින් රිංගා ගොස් බදු ගෙවීමෙන් වැළකීමට උපදෙස් දෙන නිසා අයකරගත හැකි විශාල බදු මුදලක් රටට අහිමි වී යයි. බොහෝ අවස්ථාවල බදු දැලෙන් රිංගා යන්නේ කුඩා කුඩා ව්‍යාපාරිකයන් නොව, මහා පරිමාණ ව්‍යවසායකයන්ය. ඒ අයට දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් උදව් කරන බව ප්‍රසිද්ධ රහසකි. අසීමාන්තික ලෙස ආදායම් උපයන දොස්තරවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, මිනුම්දෝරුවන්, ගුරුවරුන් ආදීන්ගේ සත්‍ය ආදායම සොයාගත හැකි අතර ඔවුන් කොටුකර ගැනීමට දැනට පවතින නීතිරීතිවල දුර්වලතා ඇති බවද පැවසේ. මේ නිසා ආදායම් බදු පනත සංශෝධනය කර හෝ මේ අයගෙන් ආදායම් බදු අයකර ගැනීමට කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසේම ඇතැම් පෞද්ගලික රෝහල්වලින්ද නිසි ආදායම නොපෙන්වන නිසා අයකරගත යුතු විශාල මුදලක් අය නොවන බවද කියති.

විශාල වශයෙන් ආදායම් ලැබිය හැකි සුරාබදු ක්ෂේත්‍රයෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සිදුවන පිටිවහල ගැන සෑහීමකට පත්විය නොහැකිය. හොර සුරා වැටලීම් ප්‍රමාණවත්ව සිදු නොවන අතර ඒ පිළිබඳ පවරා ඇති නඩු කටයුතුද දිගින් දිගටම කල් යමින් පවතී. සුරාබදු දෙපාර්තමේන්තුවේ නඩු නිලධාරීන්ට වඩා දක්ෂ නීතිඥයන් සැකකාර පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වීම නිසා නීතියේ අඩුපාඩු වාසියට ගලපාගෙන ගෙවිය යුතු දඩ මුදල්වලින් ලිස්සා යාමට පහසු වන බව පැවසේ. මෙම තත්ත්වය නිසා විෂ මත්පැන් ප්‍රචලිත වීම වර්ධනය වීමෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයටද මරුපහරක් වැදී තිබේ. රෝගීන් සඳහා වැය කිරීමට සිදුවන මහජන මුදල් ප්‍රමාණය ඉහළ යාමද තවත් අතකින් සිදුවන අසාධාරණයකි. 
සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.ජේ. ගුණසිරි මහතා දැනට පවතින සරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට ඇති අවශ්‍යතාව පිළිගෙන තිබේ. දැනට වසර 108ක් පැරණි සුරාබදු ආඥා පනත වහාම සංශෝධනය කිරීමට අවශ්‍ය බව ඔහුගේ අදහසය. නව පනතක් සකස් කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් 15 දෙනකුගෙන් යුතු කමිටුවක් මේ වන විට පත්කර තිබේ. එය නව පනතක් හෝ මුල් පනතේ සංශෝධනයක් ලෙස හෝ ඉදිරිපත් කිරීමට නියමිතය. එහි මුල් වාර්තාව ජූනි මස 30 දිනට පෙර අවසන් කිරීමට දින නියම වී ඇත.

සමාජ, ආර්ථික, දේශපාලන හා නෛතික ක්ෂේත්‍රවල නව ප්‍රවණතාවලට අනුරෑපී වන ලෙස පනත සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇති අතර, දූෂණ අවම කර ගැනීම, වැරදිවලට දඬුවම් ප්‍රමාණවත් නොවන නිසා ඒවා ඉහළ නැංවීම හා බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම මෙහි මූලික අරමුණ බව ඔහු පවසයි. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසන්නේ නව තාක්ෂණය යොදාගෙන බදු ගෙවීමට &ඔන්ලයින්* ක්‍රමය යොදාගන්නා අතර දූෂණ සඳහා ඇති ඉඩකඩ අවම කරලීම මෙහි ප්‍රධාන අපේක්ෂාව බවය. දැනට ඇති පනතේ වැරදිකරුවන්ට පනවන දඬුවම් පැරණි වන අතර, ඒවා වර්තමානයට අනුරෑපී වන පරිදි වෙනස් කර බදු නොගෙවන අය කොටුකර ගැනීමට මෙතෙක් පැවති වගන්ති සංශෝධනය කරන බවද ඒ මහතා කියයි.
රේගුවෙන් ලැබිය යුතු ආදායම අපතේ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එහි පවතින වංචා සහ දූෂණ වේ. ඒ සඳහා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බවද සොයාගෙන තිබේ. ව්‍යාජ ඉන්වොයිස් ඉදිරිපත් කර ආනයන භාණ්ඩවල වටිනාකම අඩුවෙන් පෙන්වන අතර, බොහෝ අවස්ථාවල රේගුවට ඒ බව අනාවරණය කරගත නොහැකි වේ. මෙලෙස නියම වටිනාකම සැඟවීම Under Value ලෙස හැඳින්වෙයි. එසේම භාණ්ඩ සඟවාගෙන එවීමද බාල භාණ්ඩ ආනයනය කිරීමද ප්‍රධාන දූෂණ වෙයි. පසුගියදා තහනම් කර තිබූ වියළි කහ රහසේ ආනයනය කිරීම සහ ගුණාත්මකභාවයෙන් පහත් තෙල් ආනයනය කිරීමද මෙවැනි දූෂණවලට හොඳ උදාහරණ සපයයි. බහාලුම් පරීක්ෂාව විධිමත්ව සිදුනොවීම නිසා මෙවැනි භාණ්ඩ රට තුළට ඇතුළු වන බව පෙනේ.

හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලෙස්ලි ගාමිණී:-

රේගු ආඥා පනත ඇතිවීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ දේශීය ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් ආදායම් එකතු කිරීමයි. එසේම ආනයන අපනයන නීති සකස් කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාමට පහසුකම් සැලසීම හා සමාජ ආරක්ෂණය හෙවත් අහිතකර දේවල් රට තුළට පැමිණීම වැළැක්වීමද තවත් හේතු වෙනවා. මේ හතර වටා තමා රේගු ආඥා පනත තැනී ඇත්තේ.

රේගු ආඥා පනතේ බදු එකතු කිරීම මෙන්ම බදු අතහැරීම ගැනද සඳහන්. උදාහරණයක් ලෙස කිවහොත් ආයෝජන මණ්ඩලයෙන් රටට එන ආයෝජකයන්ගේ ඇතැම් භාණ්ඩ බදුවලින් නිදහස් කරනවා. ජනාධිපතිතුමා වෙනුවෙන් ගෙන්වන භාණ්ඩ, තානාපති කාර්යාලවල භාණ්ඩ, සමාජ සේවා කටයුතුවලට ගෙනෙන භාණ්ඩ ආදියට රේගුව බදු අය කරන්නේ නැහැ. එයින් රේගුවට හිමිවන විශාල ආදායමත් අහිමි වෙනවා. දැනට බලපවත්වන රටේ ආනයන තහනම හා සීමා කිරීම් නිසාද ආදායම අඩු වී ඇත. එහෙත් රේගුව සෑමවිටම උත්සාහ කරනුයේ තම නීති රාමුව තුළ සිටිමින් උපරිම ආදායම එකතු කිරීමටයි.

රේගු නිලධාරීන්ට යම් යම් බලපෑම් නිසා ආදායම අහිමි වන බවද කිව යුතුයි. එය සෑම රජයකින්ම සිදුවූ දෙයක්. එසේම රේගුවට සම්බන්ධ ඇතැම් දූෂිත නිලධාරීන් නිසාද බදු වංචා සිදුවෙනවා. මෙවැනි අවිධිමත් ක්‍රියා අද ඊයේ ඇතිවූවක් නොව අතීතයේ සිට පැවතගෙන එනවා. දෙවුන්දර සෙල්ලිපියකින් සනාථ වෙනවා, 2 වැනි පරාක්‍රමබාහු රජ සමයේ පවා මෙවැනි බදු වංචා සිදුවූ බව. නිලධාරීන්ට අල්ලස් දී භාණ්ඩ රටට ගේන බව. මනුස්මෘතිය යන පැරණි ග්‍රන්ථයෙන්ද ඒ බව ප්‍රකාශ වෙනවා. මෙවැනි වංචා සම්පූර්ණයෙන් නැවැත්වීම කෙසේවත් නොකළ හැකි අතර, ඒවා අවම කිරීමටයි කටයුතු සිදුවන්නේ. රේගුව මගින් අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකමින් සහ ඒවාට අයකරන දඩ මුදල්වලින් 1/3ක් ඒ අදාළ වැටලීමට සහභාගි වන නිලධාරීන්ට හිමිවෙනවා. එයින් සෑහීමකට පත්නොවන ඇතැම් නිලධාරීන් තමා මෙලෙස මහා පරිමාණ වංචාවල නිරත වෙන්නේ.

 යසවර්ධන රුද්රිගූ