
1953 සිට කියුබානු විප්ලවය මෙහයවමින් 1959 කියුබාවේ පාලනය අත්පත් කරගත් ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු නායකත්වට පත් රාවුල් කැස්ත්‍රෝ, අඩසියවසක කැස්ත්‍රෝ නායකත්ව යුගය අවසන් කරමින් කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා ප්‍රකාශ කළේය.
89 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ මේ බව ප්‍රකාශ කළේ පාලක පක්ෂයේ අටවැනි සම්මේලනය ආරම්භ කිරීමේ කතාවේදී ය. ඔහු කියා සිටියේ තම මෙහෙවර ඉටු කර ඇති බවත්, මාතෘ භූමියේ අනාගතය ගැන විශ්වාසයක් තමාට ඇති බවත්*ය. “කිසිවෙක් මට මෙවැනි තීරණයක් ගැනීමට බල කළේ නැහැ. මා ජීවත්ව සිටින තාක් කල්, වෙන කවරදාටත් වඩා වැඩි බලයකින් නිජබිම, විප්ලවය සහ සමාජවාදය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමි. යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කියුබානු ජනාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ හමුදා ආඥාදායක පාලනයට එරෙහිව ෆිදෙල් කැස්ත්‍රෝගේ විප්ලවවාදී ජූලි 26 ව්‍යාපාරය සහ එහි සගයන් විසින් මෙහෙයවන ලද සන්නද්ධ විප්ලවය 1953 ජූලි මාසයේ ආරම්භ වූ අතර කැරලිකරුවෝ 1958 දෙසැම්බර් 31 දින බැටිස්ටා නෙරපා හැරීමට සමත් වූහ. එතැන් සිට කියුබාවේ බලය පැවතියේ ෆිදෙල් කැස්ත්‍රෝ අතය.
ලෝකයේ ධනවාදී බල කඳවුරට එරෙහිව දශක ගණනාවක් තිස්සේ අභීතව සටන් වැදුණු ජුලි 26 ව්‍යාපාරය පසුව මාක්ස්-ලෙනින්වාදී මඟ අනුව ප්‍රතිසංස්කරණය කර 1965 ඔක්තෝබර් මාසයේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය බවට පත් විය. එතැන් සිට එම පක්ෂයේ නායකයා වූයේ ෆිදෙල් කැස්ත්‍රෝය. 1959 සිට 2008 දක්වා වසර 49ක කාලයක් තිස්සේ කියුබාව පාලනය කළ ෆිදෙල් 2008 වසරේදී සිය සහෝදරයා වූ රාවුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ නායකත්වය භාර දුන්නේය. 2016 වසරේ ෆිදෙල් කැස්ත්‍රෝ මරණයට පත් වූ අතර ඒ වනවිට ඔහු 90 වැනි වියේ පසුවිය.
2018 වසරේදී රාවුල් කැස්ත්‍රෝ ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර සිය අනුප්‍රාප්තිකයා ලෙස පත්කළේ ඩියාස් කැනල්ය. කොමියුනිස්ට් පක්ෂ නව නායකයා ලෙස පත්වන්නේ කවුරුන්දැයි රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර නොමැත. එහෙත් ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නව ජනාධිපති 60 හැවිරිදි ඩියාස් කැනෙල්ට පාලනය ලබාදීමට තමා කැමති බවකි. කියුබාවේ ඒක පාක්ෂික පාලනය තුළ පක්ෂයට හිතවාදී තරුණ පරපුර විසින් නව ආර්ථික යුගයක් කරා කියුබාව ගෙන යනු ඇතැයි යන්න තම විශ්වාසය බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. කියුබානු කොමියුනිස්ට් පක්ෂය හැර වෙනත් පිළිගත් දේශපාලන පක්ෂයක් කියුබාවේ නොමැත. එහෙයින් කොමියුනිස්ට් පක්ෂයට උත්තරීතර බලයක් හිමිය.
ඔලිව් කොළ පැහැති නිල ඇඳුමින් සැරසුණු රාවුල් කැස්ත්‍රෝ ජනාධිපති ඩියාස් කැනල් සමඟ සම්මේලනය ඇමතීමට පැමිණ සිටියේය. ඔහුගේ විශ්‍රාම ගැනීමත් සමඟ දශක හයකට අධික කාලයකට පසු පළමු වතාවට කියුබානුවන් කැස්ත්රෝවරුන්ගෙන් තොර පාලනයකට යොමුවී තිබේ. බොහෝ කියුබානුවන් මෙවැනි වෙනසක් අපේක්ෂා කරමින් සිටි බව පැවසේ. 2018දී ජනපති පදවියට පත් ඩියාස් කැනල් එරට නව ආර්ථික ප්‍රතිසංස්කරණ රුසක් සිදුකරනු ඇතැයි කියුබානුවන්ගේ අදහස විය. එහෙත් ඔහුද මෙතෙක් දැනෙන වෙනසක් කිරීමට සමත් වී නොමැත. රාවුල් කැස්ත්‍රෝ පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු පක්ෂයේ නායකත්වය ඩියාස්හට හිමිවනු ඇතැයි විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් නුදුරු දිනෙක ඡන්ද විමසීමක් මගින් මීළඟ පක්ෂ නායකයා තෝරා ගැනීමට නියමිත බව පැවසේ.
කොමියුනිස්ට් පක්ෂය ක්‍රියාකාරීන් 700,000 කින් සමන්විත වන අතර කියුබාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජාතියේ හා සමාජයේ කටයුතු මෙහෙයවීම සඳහා වගකීම දරයි. 1959 දී ඒකාධිපතියෙකු වූ ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් පහකළ ෆිදෙල් කැස්ත්‍රෝ වසර හතරකට පමණ පසු 1965 දී නිල වශයෙන් පක්ෂයේ ප්‍රධානියා බවට පත්විය. කෙටි කලකින්ම සිය පාලනය යටතේ තිබූ පැරණි පක්ෂය අවශෝෂණය කර ගත් ඔහු 2006 දී රෝගාතුර වන තෙක් කියුබාවේ උත්තරීතර නායකයා විය.2008 දී ඔහු ජනාධිපති ධුරය ඔහුගේ බාල සොහොයුරු රාවුල්ට භාර දුන්නේය. 2011 දී රාවුල් පක්ෂයේ ප්‍රධානියා ලෙස පත්විය. ෆිදෙල් කැස්ත්‍රෝ 2016 දී මිය ගියේය. ජීවිතයෙන් වැඩි කාලයක් රාවුල් සිය සහෝදර ෆිදෙල්ට පමණක් දෙවැනි වූ නායකයා විය. ඔහු පළමුව ගරිල්ලා අණදෙන නිලධාරියකු ලෙසත් පසුව සමාජවාදී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ චරිතයක් ලෙසත් කටයුතු කළේය. ෆිදෙල් සහ රාවුල් කියුබාවේ ස්පාඤ්ඤ සංක්රමණිකයකුගේ දරුවන් හත්දෙනාගෙන් දෙදෙනෙකි. වැඩිමලා ෆිදෙල් වූ අතර සිව්වැන්නා රාවුල්ය. 1953 දී නැගෙනහිර සන්තියාගෝහි මොන්කාඩා හමුදා බැරුක්කයට එල්ල කළ ප්‍රහාරයේදී බැටිස්ටාගේ හමුදාවන්ගෙන් එල්ල වූ මර්දනයෙන් දිවි ගලවා ගැනීමට රාවුල් සමත් විය. බැටිස්ටා පෙරළා දැමූ ෆිදෙල්ගේ නායකත්වයෙන් යුත් ගරිල්ලා යුද්ධයේ ප්‍රධාන පෙරමුණකට නායකත්වය දුන් ඔහු පසුව ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඔහු තම සහෝදරයා වන ෆිදෙල්ටත් වඩා සාම්ප්‍රදායික කොමියුනිස්ට්වාදියකු ලෙස සලකනු ලැබේ.
2014දී එක්සත් ජනපද ජනාධිපති බැරුක් ඔබාමා සමඟ එකඟතාවකට පැමිණියේ රාවුල්ය. එහෙත් ඔබාමාගේ අනුප්‍රාප්තික ඩොනල්ඩ් ට්‍රම්ප් එම එකඟතා යළි කණපිට හැරවූ අතර කියුබාවට යළි සම්බාධක පැනවිණි. මේ වනවිට වෙනස්වීම් හා අභියෝග මධ්‍යයේ රාවුල් කැස්ත්‍රෝ පක්ෂනායක ධුරයෙන් ඉවත් වී ඇති අතර කියුබාව ඩියාස් කැනල් යටතේ සංවර්ධනය කරා යා යුතු බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.
ඩියාස් පාලනය තුළ ගෙවුණු තුන් වසර තුළ රටේ සැලකිය යුතු වෙනසක් සිදුවූයේ නැත. රටේ මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෝ මැසිවිලි නගති. ඩියාස් කැනල් පාලනය තුළ අන්තර් ජාල පහසුකම් වර්ධනය වී ඇති අතර කස්ත්‍රෝ පාලනයට වඩා මඳක් ලිහිල් ප්‍රතිපත්තියක් පවතී. වර්ධනය වන ආර්ථික පීඩනය සහ සමාජ අතෘප්තිය අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. ආර්ථික ප්රතිසංස්කරණයන්ගේ මන්දගාමිත්වය බොහෝ දෙනකුගේ විවේචනයට ලක්ව තිබේ. බොහෝදෙනකු සඳහන් කර ඇත්තේ කැස්ත්‍රෝ පාලනය නියෝජනය කරන ඊනියා ඓතිහාසික පරම්පරාව රටේ ආර්ථිකය විවෘත කිරීම ප්‍රමාද කරන බවටය.
එරට ද්විත්ව මුදල් ක්‍රමය එක් ක්‍රමයකට ගෙන ඒම සඳහා පසුගිය ජනවාරියේ ඩියාස් පාලනය විසින් අනුමත කරන ලද සැලැස්ම හේතුවෙන් විශාල උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි යන බිය පැතිර තිබේ. තහනම් කරන ලද හෝ සීමාකරන ලද පෞද්ගලික ව්‍යාපාර සඳහා නව ජනාධිපතිවරයා දොරගුළු විවර කරමින් සිටී. එමෙන්ම කියුබානුවන්ට ස්වයං-ව්‍යාපාර රාශියක් තම නිවෙස්වල සිටම නීත්‍යානුකූලව පවත්වාගෙන යෑමටද අවසර දී තිබේ.
2021 වසරේදී රාජ්‍ය ව්‍යවසායන් යළි සකස් කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ පෞද්ගලික ව්‍යාපාරික කටයුතුවලට වැඩි නීතිමය රුකවරණයක් සැපයීම සඳහා නව ප්‍රතිසංස්කරණ කෙරෙහි රජය වැඩි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා ඇති සම්බාධක, කොරෝනා වසංගතය, දුර්වල මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය සීමාවන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. කියුබාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්යාපාරයයයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක ආදායම සහ වෙනත් ආදායම් මාර්ග 2020 වසරේ 11% දක්වා පහත වැටිණි. 1990 දශකයේ මුල් භාගයේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව ඇති වූ “අර්බුද කාලයේ* සිදු වූ පරිදි ආහාර හිඟය හා ආහාර මිලට ගැනීම සඳහා වන දිගු පෝලිම් යළි නිර්මාණය වී තිබේ.
පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ කතාවේදී රාවුල් කැස්ත්‍රෝ පැවසුවේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම වැදගත් බවයි. රජය සතු සමාගම්වල වර්ධනයේ ඌණතා ද ඔහුගේ දෝෂ දර්ශනයට ලක් විය..
රාවුල් කැස්ත්‍රෝගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ කියුබාව ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සහ කොරෝනා වසංගතයත්, ට්‍රම්ප්ගේ යුගයේ එක්සත් ජනපද පරිපාලනය විසින් පනවා ඇති සීමාවලින් පීඩා විඳිමින් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින මොහොතකය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා